Sunday, September 28, 2025

9.නොබැඳුනු_මනසක_විත්ති - රත්තරං

("නොබැඳුනු මනසක විත්ති" විශේෂාංගය , එහෙම නැත්නම් ලිපි පෙළ තුලින් මම උත්සාහ කරනවා ම‍ගේ වෘත්තීය පරිසරය තුල දිනපතා මම අත්විඳින, සමහර විට ඔබ බොහෝ දෙනෙක් නොදකින, නොවිඳින වෙනස් සිදුවීම් මාලාවක් ඔබත් එක්ක බෙදා ගන්නට.)

මේ සිදුවීම වුනේ කෝවිඩ් අවදානම ටිකක් අඩුවෙමින් ගිය ආරම්භ‍යේ, දිනේ "දින සටහනේ" තිබෙන විදියටම කිව්වොත් ජුනි 21 අඟහරුවාදා 2022.

අළුත්ම සේවාලාභියෙක් සමඟ මුල්ම හමුවීමටයි යන්න තියෙන්නේ. සේවාලාභීන්‍ගේ තොරතුරු තිබෙන පරිගණක වැඩසටහනට ඇතුළු වුනා.

සේවාලාභියා මොරොස් මහත්මිය, වයස අවුරුදු 58යි, සැමියා සමඟ ජීවත් වන්නේ. කාළයක් තිස්සේ අධීරුධීර පීඩනයෙන් පෙළිල තියෙනවා, රෝග විනිශ්චය Mixed Dementia/PCA? , අති‍රේක කරුණූ වල තිබෙනවා MRI කර ඇති බව සහ තව දුරටත් ඒ ගැන සෙවීම් කරන බවත්

විස්තර ටික ඔළුවට දාගෙන, මොරොස් පවුලේ නෝනයි මහත්තයයි හමුවෙන්න, ගියා උදේ දහය වෙත්දි. ‍කෝවිඩ් අඩුවෙමින් තිබුණත් ආයතනික නීති අනුව සියළු ආරක්ෂක ඇඟළුම් දාගෙන යන්න වුනා. නිවසේ දොර සීනුව නාද කළා.

"මේ ... මේ මයික් වෙන්න ඕන" එළීයට ආව මොරෝස් මහත්තයා තිගැස්මක් එක්කම මුසු වුනු හිනාවකුත් දාගෙනම ඇහැව්වා.

"ඔව්, මම මයික්, අපි ඊයේ කතා කළේ. මෙන්න මගේ හැඳුනුම්පත, මම එන්නද ඇතුලට?"

"අනේ එන්න, ඔය මාස්ක් , කවර ඕන නෑ, අපි වැක්සීන් අරගෙන ඉන්නේ.. එන්න එන්න" මොරෝස් මහත්මයා ආරාධනා කළා.

"ඉන්න මම, ම‍ගේ රත්තරංට (my sweatheart) එන්න කියන්නම්"

විනාඩි කිහිපයක් ගියා. මම, මගේ අවට ගැන විමසිය යුතු සෙවීමකට ඇහැ යෙදෙව්වා. (මුල් හමුවීමකට නිවසට ඇතුළු වීමේදි වගේම, නිවස තුලදීත් ආරක්ෂාව වෙනුවෙන් කළ යුතු නිරික්ෂණයන් කිහිපයක් තිබෙනවා)

"රත්තරං, මේ ඇවිත් ඉන්නේ මයික්, ඔයාව හමුවෙලා ටිකක් කතා කරන්න කියලා." මොරොස් මහත්තය, නෝනව අතින් අල්ලගෙන පඩිපෙල බස්සගෙන සාලෙට එන ගමන්ම කිව්වා.

පෙනුමෙන් නම්, පනක්වත් කියන්න බැරි මොරෝස් නෝන ඇවිත් හිනාවක් දෙමින්ම වාඩි වුනා.

"මම මොරෝස් මහත්මිය, සතුටක් හඳුගන්න ලැබුණට මයික්" කෝවිඩ් නිසා අතට අත දෙන්න බැරි නිසා වචනයෙන් විතරක් ප්‍රතිචාර දුන්නා.

"මයික්, ‍අද මම කතාවට ඉන්න ඕනද නැත්නම් , ඔයා ,මගේ නෝන එක්ක කතා කරනවද තනියම"

"අද අපි මෙහෙම කරමු, අද අපි හැමෝම එකතු වෙලා කතා කරමු, දැන හඳුනගන්න එකත් හොඳයිනේ. ලබන සතියේ ඉඳන් මම මොරොස් මහත්සිය එක්ක අවශ්‍ය චිකිත්සීය කටයුතු ආරම්භ කරන්නම්. කොහොම වුනත් අද කතාබහට අවම වශයෙන් පැයක් යනවා, ඔබට හැකියාවක් තියෙනවද?"

"ආ මට ඕන තරම් වෙලාව තියෙනව මයික්, මම දැන් පැන්ෂන්. ගෙවල් ටිකෙන් එන ආදායම නිසා වැඩිය දුවන්න ඕනත් නෑ" මොරෝස් මහත්තය අත්බැම්ම උඩ තියල ආපු කෝපි කෝප්පයත් අරගෙනම ඇවිත් වාඩි වුනා.

"මම , ඔබේ සෞඛ්‍යය තොරතුරු ටිකක් කියවල දැනුවත් වෙලා ආවේ, නමුත් ඔබට දැනෙන දේ ඔබම මට කියනවා නම් මම හිතන්නේ ඒක වඩා සාර්ථකයි , නේද? "

මොරොස් නෝන කැමැත්තෙන්ම කතා කරන්න පටන් ගත්තා.

"මට කියන්න තරම් ලොකු ප්‍රශ්නයක් නෑ, සමහර වෙලාවට ඔය පොඩි පොඩි දේවල් අමතක වෙනවා. වෙනද තරම් පොත් කියවන්න ආසාවක් නෑ, පේනවනේ අර ලයිබ්‍රිය... ඔය මම කියවපු පොත්, එත් දැන් කියෙව්වට සතුටක් නෑ," මොරොස් නෝන කළුපාට දැවමය රාක්කයක බොහොම පිළවෙලට පෙළගස්වල තිබුණු විවිධ මාතෘකා වල පොත් සියගණනක් වෙත අත දිගු කළා.

"කියල වැඩක් නෑ මයික්, ඉස්සර ඇඳට එන්නේ පොතක් අරගෙන, ඕක කියවනවා උදේ දෙක තුන වෙනකං," මොරෙ‍ාස් මහත්තයා එකතු වුනා කතාවට.

"ඇයි , ඉස්සර පොත් කියවත්දි සතුටක් දැනිලා, දැන් පොත් කියවන්න ආසාවක් නැත්තේ කියල හිතුවොත් මොනවද හිතට දැනෙන හේතු , අපි ඒ ගැන කතා කරමුද?" රෝග විනිශ්චය තොරතුරු වල තිබුණූ යම් කරුණක් තහවුරු කරගන්නටත්, ලබන සතියෙන් පටන් ගන්න චිකිත්සීය උපක්‍රම සැලසුම් කරන්නත් වැදගත් නිසා හොයල බලන්න හිතුවා.

"දැන් මට පොත් කියවන්න අමාරුයි, ඇස් වල වෙනසක් තියෙනවාද මන්දා, අළුතින් කණ්නාඩිත් ගත්තා, ඒත් හරිම අමාරුයි කියවන්න, සමහර වචන වල තේරුම එන්‍නේ නෑ වගේ, දෙවෙනි වතාවේ කියවත්දි වෙන‍ තේරුමක් වගේ පේන්නේ. ඉතින් පොත කියවල ඉවර වෙත්දි පිස්සු වගේ , තරහ යනවා. ඒ නිසා නැවැත්තුවා කියවන එක. "

"ඇස් වල නම් මොකක් හරි අවුලක් තියෙනවා, මේ ඉස්සරහ ‍තියෙන කෝපි ‍කොප්පේ තියාගෙන කෑගහනවා, කෝ මගේ කෝපි එක කියලා. දවසක් යාළුවොත් එක්ක පසල් හදන්න ගිහින්, හොඳටම තරහ ගිහින් ඔක්කොම පොළොවේ ගැහැව්වා ඔය මේ සේරම පහුගිය මාස පහ හයට" මොරොස් මහත්තයා කියා ගෙන ගියා.

අපි තවත් කතා කළා, ජීවිත කතාව, කැමති ‍කෑම බීම, කළ ක්‍රීඩා, නරඹපු චිත්‍රපට, ගෙදර හදන රසවත්ම කෑම වට්ටෝරුව... තව කතා බෝමයි.

අවසානයේ, ලබන සතියේ කළ යුතු චිකිත්සීය සැලසුම ගැන අදහසක් අරගෙන ගෙදර ආව. සැලසුම වුනේ පෙනීම මත පදනම් වන ක්‍රියාකාරකම් වලට වඩා, හඬ , මතකය, ගණනය වැනි දේට වැඩි බරක් දෙන්න.

හේතුව මෙන්න මේකයි.

දැන් මේ මොරොස් මහත්මිය අපට යොමු කරන්නට හේතුව ඇය මිශ්‍ර ඩිමෙන්ෂියාව නැත්නම් ඩිමෙන්ෂියා වල තත්ත්ව කිහිපයක මිශ්‍රණයක් කියන තත්ත්වයෙන් පෙළීම. ඒ සඳහා අවශ්‍ය Therapeutic Recreational activities ඔස්සේ, සතුටක් , ජීවිතයට මුහුණ දීමට කැමැත්තක්, පවතින මානසික සහ බුද්ධිමය හැකියාවන් පවත්වා ගැනීමට හෝ දුර්වල වීම සීමා කිරීමට අවශ්‍ය ප්‍රතිකාරමය සේවාවක් ලබා දීම තමයි අපේ වගකීම.

Mixed Dementia ට අදාල, ආසන්න සිදුවීම් අමතක වීම, රස, ගඳ නිසි ලෙස හඳුනාගැනීමට නොහැකිවීම, මානසික අවපීඩන තත්ත්වය සහ සමහර අළුත් චර්යාවන් ඇතිවීම ඇය තුල දකින්න තිබෙනව සහ තවත් තිබෙන බව මොරොස් මහත්මයා තහවුරු කරනවා.

මෙතැන තවත් "අමතර වෙනසක්" තිබෙනවා ඒ තමයි අර රෝග විස්තර සටහනේ PCA ? කියල තිබුණේ. තවම අවසන්, විනිශ්චයක ‍නොආ, තවමත් අමතර පරික්ෂණ සිදුවන මෙම තත්ත්වයේදී සිදුවන්නේ, මොළයේ තිබෙන "දෘෂ්ටිය සහ පෙනීම හඳුනා ගන්නා" ප්‍රදේශයට යම් හානියක් වීම. මෙය මොළය තුල රුධිර නාල බිඳීමක් නිසා , ක්ෂණිකව ප්‍රබලව දැනෙන විදියට හෝ නොදැනෙන්නට ටිකෙන් ටික වන හානියක් වෙන්න පුළුවන්. මේ වෙනස් වීම වලදි "ඇස් පෙනීම සම්පුර්ණයෙන්ම නැති නොවුනත්" පෙනීමේ වෙනස්කම් එන එකයි බහුලව සිදුවන්නේ. ඒ වෙනස්කම් තුල, එක දෙක වෙලා වගේ පේන කඑ, පොතක් කියවත්දි වචන වල වාක්‍යයක සමහර තැන් "හිස් තැන් වගේ" පේන එක, පොතක් කියවත්දි ‍කියවූ පේලියම නැවත පේන්න පටන් ගැනීම නිසා සිදුවන පටලැවිලි, ගෙදර දොරේ තිබෙන සාමාන්‍ය දේ "හඳුනාගන්නට" නොහැකි වීම, දවසේ සමහර අවස්ථා වල ඇස් පෙනීම අසාමාන්‍ය ලෙස අඩුවී, අනෙක් අවස්ථා වල පෙනීම සාමාන්‍ය වීම (මේ නිසා, මෙම රෝග පසුබිම නොදන්නවා නම්, තමන්ගේ බිරිඳ එහෙම නැත්නම් සැමියා, "බොරු කරනවා" කියන වරදට හසුවන අවස්ථා බෝමයි.) ‍

මේ සියළු දේ නිසා, සහ මෙම වෙනස්කම් වලට හේතුව වටහා ගැනීමට නොහැකිවීම නිසා මානසික අවපීඩනය තත්ත්වයටත් පත් වන්නට පුළුවන්. අවාසනාවට මේ ඇස් ගැටළුවට සාමාන්‍ය අක්ෂි පරික්ෂාවක් කර, අළුත් කණ්නාඩි දැමූ පමණීන් සාර්ථකත්වයක් ලැබෙන්නේ නැහැ. මොකද , ප්‍රශ්නේ තිබෙන්නේ ඇහේ නොව, ඇහෙන් අරන් දෙන දේ ‍"තේරුම් බේරුම් කරන" මොළයේ Posterior Cortical" ප්‍රදේශයේ නිසා. ඒ ප්‍රදේශයේ සෛල, මිය යාම, දුර්වල වෙමින් හැකිලීයාමක් MRI දි හඳුනගන්නට පුළුවන් වෙනවා. නමුත් එය තහවුරු කරන්නට තවත් විශේෂිත පරික්ෂණ කිහිපයක් අදාල ‍පුද්ගලයාට යොමු වීමට සිදුවෙනවා. කෙසේ වෙතත් තත්ත්වය හඳුනාගත්තත්, එය "සුව කරන්නට" හැකියාවක් දැනට තිබෙන වෛද්‍ය ප්‍රතිකාර සීමාව තුල නැහැ. කළ හැක්කේ, අදාල තත්ත්වය වැඩිවීම සීමා කරගන්නට කළ හැකි ප්‍රතිකාර ක්‍රම යොදා ගැනීමත්, පවතින තත්ත්වය සමඟ ජීවත් වීමට අවශ්‍ය උපකාර කිරීමත් පමණයි.

දැන් මේ කතාව තුල මොරොස් මහත්මිය අද වෙත්දි ඩිමෙන්ෂියා තත්ත්ව මිශ්‍රණයක් එක්ක ජීවත් වෙනවා. එයින් අද "ඇස් කතාවට" අදාල තත්ත්වය, PCA එහෙම නැත්නම් Posterior cortical atrophy ඩිමෙන්ෂියා තත්ත්වයක් ලෙස හඳුනාගන්නවා.එයටම Benson’s syndrome කියන නමත් සමහර තැන්වලදි භාවිත වනවා.

මෙම තත්ත්වය සඳහා ජානමය සෘජු බලපෑමක් තවමත් ස්ථිරව හඳුනාගෙන නැතත්, සමහර කාළීන රෝග තත්ත්ව ( විශේෂයෙන්ම නිසි ප්‍රතිකාර සහ පාළනය නොකළ වගේම සමහර අවස්ථා වල අවශ්‍ය ප්‍රතිකාර සහ අගැයීම් කළත්) සමඟ ජීවත් වීමේදී මොළයට සිදුවන හානි නිසා සිදුවිය හැකි බව හඳුනාගෙන තිබෙනවා. ඒ අතර, අධි රුධිර පීඩනය , මොළය තුල ලේ නහර පිපිරීම, සහ ඩිමෙන්ෂියාවට පොදු මොළයේ සෛල අතර "ප්‍රොටීන අවහිර කිරීම" ඔස්සේ ද සිදුවිය හැකි බව තහවුරු වෙනවා.

එහෙම නම්, අද මේ පරණ කතාව ගත්ත එකේ, අවසානයට මෙහෙම කියන්නම්, "ඇස් දෙක, ඇස් දෙක වගේ" බලාගන්නම ඕන .හැබැයි, ඇස් දෙක විතරක්ම බලාගෙන ඇති වෙන්‍නෙ නෑ. වෙනත් කාළීන රෝග තිබේනම්, අන්න ඒව ගැනත් "සැලකිළිමත් වීම සහ අවශ්‍ය ප්‍රතිකාර, ඇගැයුම් කරගනිමින්" විමසිල්ලෙන් ජීවත්වීම වැදගත්.

දැන් ඩිමෙන්ෂියා කතාවට , තමන්ගේ නිවසේ, නැත්නම් රෝහලේ "ඩිමෙන්ෂියා" ලෙස රෝගය හඳුනාගත් අයෙක් ඉන්නවා නම්, ඒ අය සමහර වෙලාවට පෙන්නේ නැතිබව , පිංතූරයක සමහර තැන් හඳුනාගන්න බැරි බව, හදල දුන්න කෝපි කෝප්පය තිබෙන බව දකින්නේ නැත්නම් , "ඇස් පෙන්නේ නැත්ද" කියල අහන්න එපා. ඇස් පේනවා, නමුත් පේනදේ "තේරුම් ගන්නට" මේ අවස්ථාව‍ෙ හැකියාවක් නොමැති බව වටහාගෙන කාරුණිකව උදව් කරන්න.

පේනවනේ ඩිමෙන්ෂියා කියන්නේ, "අමතක වීම" කියන පොදු ලක්ෂණය විතරක් තිබෙන ‍"රෝගයක්" නොවේ. එය විවිධ ආකාර වලින් ජීවිතයට සීමා දාන, එයත් එක්කම ජීවත් විය යුතු තත්ත්වයක්. ඒ නිසා, ඩිමෙන්ෂියාව පිළීබඳ දැනුම පවත්වා ගැනීම ඔබටත්, ඔබේ පවුලේ අයටත් හුඟක් වැදගත් වේවි.

අද වෙත්දි, මො‍රොස් මහත්මිය මාස හයක් අපේ සේවාව ලබමින් වෙනදාට වඩා "සතුටින්" කාළය ගත කරන බව මොරෝස් මහත්මයා ලබා දුන් ප්‍රතිචාරයක තිබුණා. දැන් ඇය පොත් කියවන්නේ නැති තරම්, නමුත් "පොත් අහනවා". සංගීතමය ක්‍රීඩා කරනවා, එම ක්‍රීඩා කරන , ගමේ එම වයසේ "මිතුරන්" සමුහයක් එක්ක හැම සිකුරාදාම 'සෙල්ලම් කරනවා"

එහෙම නම්, "ඇස් දෙක, ඇස් දෙක වගේම පරිස්සම් කරගන්නා ගමන්, අනෙක් රෝග තත්ත්ව ගැන, විශේෂයෙන්ම බෝනොවන රෝග තත්ත්ව වන අධීරුධීර පීඩනය, දියවැඩියාව, රුධිර වාහිනී ආශ්‍රිත රෝග ගැන දැනුම සහ අවධානය සහිතව ඉන්න, ලෙඩක් නැතත්, අඩුම තරමේ අවුරුද්දකට සැරයක්වත් ගිහින් වෛද්‍යපරික්ෂණයක් කරගන්න එක වැදගත්. අවදානම් තත්ත්ව වලදී නියමිත කාළයකට සැරයක් එම පොදු වෛද්‍ය පරික්ෂණය වගේම විශේෂිත පරික්ෂණත්( උදා- මැමෝග්‍රෆි ව‍ගේ) කරගන්න එක වැදගත්. ඒ නිසා "ලෙඩ වුනාම විතරක් දොස්තර මහත්තයා/නෝන හම්බෙන්න යන" ක්‍රමය ගැන තව ටිකක් හිතන්න කියන එකත් අවසානයේ මතක් කරනවා.

කතාව ඉවරයි.

(කතාව ඇත්ත වුනත්, නම් ව්‍යාජ ඒවා, ඒ සේවාලාභියෙක්ගේ පෞද්ගලිකත්වය රැකිමට මට ඇති වෘත්තීය ආචාරධර්මානුකූල වගකීම රැකිය යුතු නිසා)

No comments: