ඩිමෙන්ෂියාව සමඟ ජීවත්වන්නෙක් තුල සිදුවන "වෙනස්වීම්" තුලින්, පවුලේ අය, ආසන්නම මිතුරන් මුලින්ම හදුනාගන්නා ලක්ෂණයක් ලෙස "කථනය වෙනස්වීම" දකින්නට පුළුවන්. මේ ලිපිය , අන්න ඒ "කථනය වෙනස්වීම" සහ ඒ සඳහා හේතුවිය හැකි සාධකත්, ඒ ඔස්සේ උත්සාහ කළ හැකි උපක්‍රම ගැනත් සාකච්ඡා කෙරෙන සටහනක් වේවි.
මුලින්ම බලමු, කතාබහ වෙනස්වීම ලෙස කරන හැදින්වීම තුල හදුනාගත හැකි අවස්ථා මොනවාද කියල.
- වචන අමතක වීම : මේ ඩිමෙන්ෂියාව තත්ත්වය (වගේම වෙනත් රෝග තත්ත්ව වලදීත්) සමඟ මුලින්ම වගේ හදුනාගත හැකි කථන වෙනසක්. වෙනදා සාමාන්‍ය විදියට ඕනෑම අයෙක්ට තේරුම් ගන්නට පුළුවන් අදහසක් ප්‍රකාශ කළ පුද්ගලයා, දැන් එම අදහසම ප්‍රකාශ කරන්න ලොකු උත්සාහයක් දරනවා. ඒ උත්සාහය තුල ගතවන කාළය වැඩි වෙනවා වගේම, අදහස තුල තිබිය යුතු ගැලපෙන වචන හොයා ගන්නට, මතක් කරගන්නට නොහැකි නිසා, ඒ හිස් තැන් "පිරවීමට" වෙනත් වචන හෝ උපක්‍රම යොදා ගන්නට උත්සාහ කරනවා.
වෙනද "ඔන්න ඔය මගේ හැරමිටිය මට ගෙනත් දෙන්න දුව" කියන කෙනා, ඩිමෙන්ෂියා තත්ත්වය එක්ක ජීවත් වෙත්දි ඒ අවශ්‍යතාවයම "කියන්නේ" මේ විදියට වෙන්න පුළුවන්.
"ඔන්න ඔය මගේ.....අර ...අර අන්න අරක , අර මං ඇවිදින්න ගන්නේ අරක , මෙන්න මේම තියන්නේ අන්න ඒක ගෙනත් දෙන්නකෝ" මෙන්න මේ "හැරමිටිය" කියන වචනය මතක් කරගන්නට බැරිව, ඒ හිස් තැන "වෙනත් පිරවීම්" වලින් පුරවමින් වාක්‍යය ගලපන්නට දරන අවස්ථාව තමයි මේ තත්වය හොඳින්ව හදුනාගන්නට පුළුවන්. මෙය, Anomia එහෙම නැත්නම් Anomic aphasia කියලත් හදුන්වනවා.
මෙයට හේතුව, මොළයේ සෛල , පටක වලට වන තාවකාලික පීඩාවක් හෝ කාළීන දුර්වල වීමක් වෙන්න පුළුවන්. කෙසේ වෙතත්, මෙම අවස්ථාවේ මුල් අදියර තුලදී නිසි සුදුසුකම් , විශේෂ පුහුණු ඇති භාෂණ චිකිත්සාවකට (Speech Therapy) යොමුවීම තුල සියයට සියයක් සාමාන්‍ය තත්ත්වයට නොවුනත්, ඉතා සාර්ථක වෙනසක් ලබා ගන්නට පුළුවන්.
මෙම චිකිත්සීය ප්‍රතිකාර වලට අමතරව,මෙම ගැටළුව හදුනාගැනීමත් සමඟ , අදාල පුද්ගලයාට පීඩාකාරී ලෙස කළබල කිරීම හෝ රිදවීමක් නොකර, පීඩනයට පත් නොකර, අදාල වචන නැවත මතක් කරගන්නට කාළය ලබා දීමට ඉවසිලිවන්ත වීමත්, වචනය මතක් කරගැනීමට උදව්වන "ඉඟි" ලබා දෙමින් උදව් කිරීමත්, අඩුපාඩු වන වචනය හදිසියේ පුරවන්නට කළබල නොවී ලබා දෙන්නට අදහස් කරන දේ ගැන යම් අවබෝධයක් ඇතිව, එය පිළිගනිමින්, අදාල වචනය ලබා දෙමින් එයදැයි තහවුරු කරගැනීම කටයුතු කිරීම වැනි උපක්‍රම භාවිත කළ හැකියි.
- එකම දේ නැවත කීම: මේ, ඩිමෙන්ෂියා සහ ආශ්‍රිත තත්ත්ව වලදි දකින්නට ලැබෙන පොදු ලක්ෂණයක් තරමටම හදුනාගත හැකි අවස්ථාවක්. එකම ප්‍රශ්නය, උත්තර ලැබුණද නැවත නැවත සුළු කාළ පරතරයක් තුල විමසීම, පිළිතුරු ලැබුණූ ගැටළුව තවත් ආකාරකින් නැවතත් විමසීම, එකම වචනය හේතුවක් නැතිව නැවත උච්ඡාරණය කිරීම වැනි අවස්ථා මේතුල හදුනාගන්නට පුළුවන්.
"අද දවල්ට අපි කන්නේ මොනවද?" ඔබ උත්තරයක් දේවි. ඒ සැණින් නැවතත් "අද අපි දවල්ට කන්නේ මොනවද?" ඒ ඔබ උත්තර දුන් ප්‍රශ්නයට නැවත අහවි. ඒකටත් උත්තර දුන්න කියමුකෝ, තවත් විනාඩි කිහිපයකි. "බඩගිනියි වගේනේ, අද දවල්ට අපි කන්නේ මොනවද" ආයෙත් අහන්න පුළුවන්.
මේ සඳහා මොළයේ වචන හදුනාගැනීම , අදහස් තේරුම් ගැනීම වැනි සංකීර්ණ ක්‍රියාකාරකම් වලට අදාල ප්‍රදේශ වලට සිදුවූ හානිය හේතුවන්නට වැඩි ඉඩක් තිබෙන අතර, මෙම තත්ත්වය සීමා කරගැනීම සඳහා චර්යාත්මක චිකිත්සා ක්‍රම යොදා ගැනීමට හැකි වුනත්, ප්‍රායෝගිකව කළ හැකි දේ අතර, අදාල පුද්ගලයා යම් කාර්යයක යෙදීමට අවස්ථාව, පහසුකම් ලබා දීම. මේ කරන නැවත විමසීම් වලදි ඔබ "යකා මවාගන්නේ නැතිව" (මොකද ඒ වෙනස වෙන්නේ ඇයි කියල තේරුම් ගන්නට මෙම පුද්ගලයාට බැහැ. ඔහු හෝ ඇය දකින්නේ, ඔබේ වෙනස්වන, යක්ෂාවේශ වන ඔබේ මුහුණ පමණයි. එය උත්තරයක් නොවනවා පමණක් නොවේ, එය අදාල පුද්ගලයාට වේදනාව සහ බියක් එකතු කරමින් , තවත් ගැටළු වැඩි කරන්නට හේතු වෙනවා) , වරක් හෝ දෙවරක් ඉවසිලිවන්තව පිළිතුරු දී, වෙනතකට යොමු කරගැනීම තුල "නැවත විමසීම්" සීමා කරගන්නට පුළුවන්. වෙනතකට යොමු කිරීම කිව්වේ, ඔබත් එක්ක කුස්සියේ කරන වැඩකට උදව් කරගන්නවා වෙන්න පුළුවන් (බෝංචි හෝදන්න, එළවලුවක් තෝරන්න වගේ අවදානමක් නැති වැඩ වලට)
හැබැයි අමතක කරන්නෙපා, මේ නැවත නැවත එකම දේ අහන සිදුවීම තුල මේ පුද්ගලයා ඔබට වෙනත් ගැටළුවක් දැනුම් දෙන්නට උත්සාහ කරනවා වෙන්න පුළුවන්. එය වේදනාවක්, කුසගින්න, මුත්‍රා පිටවීම, මළපහ පාලනයෙන් තොරව පිටවීම වැනි අවස්ථාවක, එම අපහසුතාවය කියනවා වෙනුවට , යම් එකම වචනයක්, ප්‍රශ්නයක් නැවත විමසීම කරන්නට පුළුවන්.
- වචන අඩුවීම : මෙම තත්ත්වයන් තුල මොළයට සිදුවන හානිය මෙන්ම, තවත් සමහර අවස්ථාවක ලබා දෙන ඖෂධ වල බලපෑම නිසාවෙනුත් එම පුද්ගලයාට අදහස් ප්‍රකාශ කිරීමට යොදා ගත හැකි වචන ප්‍රමාණය සීමාවෙන්න පුළුවන්. එතැනදි , අවශ්‍යතා, අදහස් ප්‍රකාශ කිරීම සීමා වීමත්, බොහෝ අවස්ථා වල දී එකම සමාන වචන කට්ටලයක් යොදා ගැනීමත් දැක ගන්නට පුළුවන් වේවි.
මෙවැනි අවස්ථාවක් නැවත සාමාන්‍ය තත්ත්වයට ගන්නවා වෙනුවට, මෙම අවස්ථාවට මුහුණදීම සඳහා, අදාල පුද්ගලයා ප්‍රකාශ කරන දේ තුල අන්තර්ගතය හදුනාගැනීමට හුරු වීමත්, එම පුද්ගලයා සමඟ සන්නිවේදනයේදී , සමාන , සරළ වචන සහිත කෙටි වාක්‍ය ඔස්සේ අදහස් හුවමාරු කරගැනීමත්, අදාල පුද්ගලයාගේ ඇස් මට්ටමේ සිට කතාබහ කිරීම, වාචික ප්‍රකාශනයට අමතරව නිර්වාචික , ඒ කිව්වේ අත ඇස් මුහුණේ ඉරියව් වැනි උපක්‍රමද එකතු කරමින් අදහස ලබා දීමට උත්සාහ කිරීමත් කළ යුතු වෙනවා.
අදාල පුද්ගලයා කැමති සංගිතයකට, රූපවාහිනී හෝ ගුවන් විදුලි වැඩසටහනකට සවන් දීමට අවස්ථාව දීම, නිවස තුල විවේකී අවස්ථා වලදි, කළබල කිරීමකින් තොරව කතාබහට, සාකච්ඡාවට එකතු කරගැනීම, හැකියාවක් ඇත්නම් කණ්ඩායම් චිකිත්සාවන් ඔස්සේ අදහස් ප්‍රකාශ කිරීමට , සවන් දීමට අමතර අවස්ථා ලබා දීමත් තුල යම් සාර්ථක ප්‍රතිපල ලබා ගන්නට පුළුවන්.
- "අදහස" ගැලපීමේ අපහසුතාව : මේ සඳහා මොළයේ සංකීර්ණ ක්‍රියාකාරකම් වලට උදව්වන ප්‍රදේශවලට සිදුවන බලපෑම් ප්‍රධාන හේතුව වන අතරේ, ඩිමෙන්ෂියා තත්ත්වය සමඟ එක්වන යාහැකි මානසික රෝග නිසාවෙනුත් මෙම ලක්ෂණය හදුනාගන්නට පුළුවන් වේවි.
අවශ්‍ය අදහස ප්‍රකාශ කිරීම ආරම්භ කළත්, එය පැහැදිලි වාක්‍යයක් ලෙස ගලපා අවසන් කිරීමට නොහැකි වීම, වාක්‍යය අතරමග නවත්වා දැමීම, වාක්‍ය දෙකක් අතර කිසිදු ගැටපීමක් නොවීම, කිසිදු හේතුවක් නොමැතිව එක් වාක්‍යයකින් තවත් නොගැලපෙන වාක්‍යයකට මාරුවීම (පීලි පැනීම), කිසිදු තේරුමක් නැති වචන ගොන්නක් එකතු කිරීම (Word salad) වගේ අවස්ථා ගණනාවක් මේතුලට කැටි කරන්නට පුළුවන්.
මේ අවස්ථාවට Speech Therapy තුලින් යම් ක්‍රියාකාරකම් ලබා ගත හැකි වුවත්, අදාල පුද්ගලයා ප්‍රකාශ කරන්නට උත්සාහ කරන දේ ගැන අවබෝධයක් ලබා ගැනීම හැකි තරමේ සම්බන්ධතාවයක්, බැඳීමක් ගොඩනගා ගැනීමත්, කළබල නොකර අවශ්‍ය කාළය ලබා දෙමින් අදහස ගලපා ප්‍රකාශ කරන්නට ඉඩ දීමත්, මුල් අවස්ථාවේ ලෙස , "ප්‍රකාශ කරන්නට යන" අදහස ඔබට වැටහේ නම්, එම අදහස, සරළව , කෙටියෙන්, ඔබේ තොල්, ඇස්, මුහුණ පැහැදිලිව පෙනෙන මට්ටමක සිට අදාල පුද්ගලයා වෙත නැවත "කියමින්" තහවුරු කරගැනීමත් කරන්නට පුළුවන්.
- කතා කිරීමේ හැකියාව අඩුවීම : පෙර කී අවස්ථා වගේම , ක්ෂණිකව වෙනස්වන චිත්තවේග, (emotions) , ඖෂධ වල බලපෑම නිසා සිදුවන වෙහෙසකර බව නිසා දිගු වේලාවක් නිසි ලෙස කතාබහක් පවත්වාගෙන යන්නට මේ අයට නොහැකි වෙන්නට පුළුවන්. වෙනදා පැය ගාණක් එක දිගට කතා කරන කෙනා, දැන් එක වාක්‍යයකින් දෙකකින් කතාව අවසන් කරන ඉවත්වන්නේ ඔබත් එක්ක කතා කරන්න අකමැතිකමකට නොවන බවත්, ඒ කතා කළ වාක්‍යය හෝ දෙක වෙනුවෙන් ඔහු හෝ ඇය වෙනදාට වඩා ලොකු ශක්තියක් වැය කළබවත් ඔබ තේරුම් ගන්නවා නම් එයමයි සාර්ථක සත්කාරයක ඇරඹුම.
මෙතැනදී, කැමැත්ත පරිදි, කළබල , පීඩා නොවන පරිදි නිවස තුල හැකි අවස්ථාවලදි කතා බහට එකතු කරගැනීම, අදහස් ප්‍රකාශ කරන්නට ඉඩ ලබා දෙන්නට ඔබ ඉවසිලිමත් වීම, (විශේෂයෙන්ම, ඔබේ මුහුණවර, චර්යාවන් තුල අපහසුතා ඇති නොකර සිටීමට කටයුුතු කිරීම) වැනි උත්සාහත්, අවස්ථාවක් ඇත්නම් , කණ්ඩායම චිකිත්සන වැඩසටහන් තුලට එක් කරමින් අළුත් පරිසරයන් තුලදී අදහස් ප්‍රකාශ කිරීමට ඉඩ ලබා දීමත් මේ තත්ත්වය තුලදී කළ හැකි වෙනවා.
- හඩ, වේගය නොගැලපීම : හිතේ සතුටක් මතුවුනු අවස්ථාවක, බොහොම ආවේගකාරී ලෙස එම "සතුට" ප්‍රකාශ කරන අවස්ථා මෙන්ම, කිසිදු හේතුවක් නැතිව වේගවත්ව කතා කරන, එකම දෙබස තුල ක්ෂණිකව හඩ, කතා කරන වේගය අසාමාන්‍ය ලෙස අඩු වැඩිවන මේ සඳහාත් මොළයේ පටක වලට , භාෂණයට අදාල මධ්‍යස්ථාන වලට සිදුව හානි බලපාන අතර, මෙම අවස්ථාවේදී වඩාත් වැදගත් වන්නේ එම පුද්ගලයා ප්‍රකාශ කරන්නට උත්සාහ කරන අදහසට මිස, හඩේ සැරට හෝ වේගයට නොවන බව ඔබ වටහා ගැනීමයි වැදගත්. මෙන්න මේ අවස්ථාවෙදි තමයි , ඩිමෙන්ෂියාව සහිත අයෙක්ට සාත්තු කිරීමේදී, එම පුදගලයා ගැන නිසි වැටහීමක් තිබීම හරිම වැදගත් වන්නේ. එසේ නොවීම තුල අනපේක්ෂිත කරදර දෙපාර්ශවයට ඇති වන්නට පුළුවන්. ඉවසීමෙන් යුතුව, ඔහු හෝ ඇය ප්‍රකාශ කරන හෝ කරන්නට උත්සාහ කරන "අදහස" හඳුනාගැනීමත්, අවශ්‍ය නම් එය නැවත විමසා තහවුරු කරගැනීමත්, මෙම පුද්ගලයා මුහුණදෙන, "පාලනය කරගත නොහැකි " අවස්ථාව ගැන සහකම්පණයෙන් යුතුව උපකාර වීමත් කළ යුතුම අවස්ථාවක් මේ.
- ඇහෙන දේ නැවත කීම : කිසිදු අදහස්මය වටිනාකමක් නැති හෝ අවස්ථානුකූල නොවන, වෙනත් අයෙක් කියූ, හෝ ඇසුනු වචනයක් ඒ ලෙසින්ම නැවත නැවතත් ප්‍රකාශ කිරීම මේ අවස්ථාවයි. "අම්ම තේ එක බිව්වද" කියල ඔබ අහන ප්‍රශ්නයට, උත්තර දෙනවා වෙනුවට ඇය නැවතත් ඔබෙන් අහන්න පුළුවන්" අම්ම තේ එක බිවිවද" , එකවතාවක් නොවෙයි නැවත නැවතත්.
මෙම තත්ත්වයට හේතුවන සාධකය මත ඖෂධීමය ප්‍රතිකාර ඔස්සේ මෙම තත්ත්වය සීමා කරගත හැකි වුවත්, වෙනතකට යොමු කරගැනීම, වෙනත් වැඩකට එකතු කරගැනීම, කාරුණිකව ප්‍රතිචාර දැක්වීම තුල මෙම පුද්ගලයා පත්වන පීඩාකාරී තත්වය සීමා කරගන්නට උදව් වන්නට ඔබට පුළුවන් වේවි.
- කතාව නැවත්වීම : ඩිමෙන්ෂියාවේ යම් මට්මමකදි අදාල පුද්ගලයා සම්පුර්ණයෙන්ම අදහස් "ප්‍රකාශ කිරීම" නවත්වා දමන්නට පුළුවන්. සම්පුර්ණයෙන්ම ගොලුවූ ලෙස හැසිරෙමින්, පිරිසගෙන් වෙන්ව, වැඩි වෙලාවක් නින්දේ හෝ තනිව ඉන්නට උත්සාහ කරන මේ අවස්ථාවේදී , ඔබේ කාරුණික අවධානය හරිම වැදගත් වෙනවා. වචනයෙන් නොවන නිර්වාචික ක්‍රම ඔස්සේ එම පුද්ගලයාගේ අවශ්‍යතා හදුනාගැනීම උදව් කිරීම , පිංතූර, අවශ්‍යතා පිංතූර කාඩ්පත්, හෝ හැකියාවක් ඇත්නම් මේ සඳහාම විශේෂිත ලෙස සූදානම් කර ඇති තාක්ෂණික උපකරන වල සහය ලබා ගැනීම හෝ ඒ සඳහා Speech Therapist වෙත යොමු වීම කළ හැකියි.
දැන් අපි බලමු , මේ සඳහන් කළ ආකාරයේ භාෂණ වෙනස්කම් ඇති වීම සඳහා මොනවගේ හේතු බලපානවාදැයි.
- Cognitive Decline - මුල්ම හේතුව ලෙස "පොදුවේ" හදුන්වාදිය හැක්කේ, මෙම තත්ත්වය ඇතිවීමට සහ මෙම තත්ත්වය තුල මොළයේ සෛල, පටක, මධ්‍යස්ථාවලට වන බලපෑම නිසා සිදුවන දුර්වල වීමයි.
- Memory Impairment : රෝග තත්ත්වය නිසාම, මතකයේ රඳවා ගැනීම් බාධාවන්, මතකයේ ඇති දේ අවශ්‍ය අවස්ථාවේ මතු පිටට ගැනීමේ අපහසුතාවයන් හේතුවන්නට පුළුවන්.
- Aphasia : ප්‍රකාශ කිරීමට අවශ්‍ය අදහස තිබුණත්, එය "ප්‍රකාශ කිරීමට" නිසි ලෙස උච්ඡාරණය යොමු කිරීමට නොහැකි වීම, ඇසෙන වචනයක අදහස "තෝරා ගැනීමට" නොහැකි වීමත් සිදුවන්නට පුළුවන්. මේතුල , නිවැරදි වචනය උච්ඡාරණය නොවීම, නිවැරදි ලෙස උච්ඡාරණය නොවීම, නොගැලපෙන වචන කියවීම වැනි අවස්ථා ගණනාවක Aphasia තත්ත්ව මතුවන්නට පුළුවන්, මොළයේ බලපෑම වූ ප්‍රදේශය අනුව.
- Executive Function Impairment: ඩිමෙන්ෂියා තත්ත්වය නිසාවෙන්, මොළයේ සංකීර්ණ කටයුතු, එනම් සැලසුම් කිරීමේ, තීරණ ගැනීමේ , හේතු හදුනාගැනීමේ හැකියාවන් දුර්වල වීම තුල අදහස් ප්‍රකාශ කිරීම, අදහස් ප්‍රකාශ කිරීමේ රටාවන් වලට බාධාවන් ඇතිවන්නට පුළුවන්.
- Emotional Factors: ඩිමෙන්ෂීයාව සමඟ සහ ඩිමෙන්ෂියා තත්ත්වය තුල තමන් විඳින විවිධ පීඩාවන්, බියවීම්, රිදවීම් තුල එම පුද්ගලයන් විවිධ මානසික ගැටළු, චිත්තවේගීය අපහසුතාවලට පත්ව ජීවත්වන අවස්ථා බෝමයි. ඒ තුල , ඇතිවන මානසික අවපීඩනය, බිඳ වැටීම, තනිවීම්, දුක් මුසු බව වැනි හැඟීම් තුල වෙන්වීම, තනිවීමට දක්වන කැමැත්ත මෙන්ම, තවත් වෙහෙසකර උත්සාහක් ලෙස අදහස් ප්‍රකාශ කිරීම නොකර සිටීමට පෙළඹෙන්නට පුළුවන්. මේ සියල්ලට වඩා ප්‍රයෝගිකව දකින අවස්ථාවක්, තමන් කියන්නට හදන දේ "හදුනානොගන්නා" තම පවුලේ සාමාජිකයා, සාත්තු ලබා දෙන්නට දක්වන ආවේගකාරී, අප්‍රසන්න ප්‍රතිචාර නිසාම , කතාව නවත්වා සිටින අවස්ථාව තිබෙනවා.
- Anxiety: විශේෂයෙන්ම ඩිමෙන්ෂියාවේ මුල් අවස්ථා වලදි, "තමන්ට සිදුවන වෙනස ගැන" හදුනාගන්නා සහ එම වෙනස තුල තමන්ගේ වටිනාකම නැතිවී යන ලෙස තත්ත්වය තුල වගේම, සිදුවෙමින් පවතින වෙනස්කම් නිසාම ඇතිවන මානසික පීඩනය , කාංසා තත්ත්වය නිසා පෙර කී සියළු කථන ගැටළු ඇතිවන්නට පුළුවන්. එය කතා කිරීම නැවත්වීමක සිට, වචන අමතක වීම, නැවත කියවීම වැනි විවිධ මට්ටම් වලට යන්නට හැකියාව තිබෙනවා.
- Social Isolation: රෝග තත්වය නිසා මෙන්ම, එම තත්වය තුල පවුලේ සාමාජිකයන් පත්වන පීඩාකාරී අවස්ථා නිසා පෙර පැවති සමාජ සම්බන්ධතා අඩු වෙමින් ක්‍රමයෙන් තනිවීමට සිදුවීම තුල කතාබහ, අදහස් ප්‍රකාශ කිරීම, කතාබහට එකතු වීම් අඩුවන්නට පුළුවන්.
- Medication Side Effects: මෙම තත්ත්වයට මෙන්ම, මේ සමඟ ඇති වෙනත් මානසික ගැටළු, රෝග තත්ත්ව වලට ලබා දෙන ඖෂධ වල බලපෑම නිසාවෙනුත්, කථණය වෙනස්වීම, කතා කරන හඬ, වේගය වෙනස්වීම, වචන අමතක වීම, හෝ කතා කිරීමට උනන්දු නොවීම වැනි අවස්ථා මතු වෙනවා.
- Physical Changes: රෝග තත්ත්වය සමඟ ඇතිවන සමහර කායික වෙනස්වීම් , ස්නායුමය ගැටළු නිසා දිව, තොල්, කම්මුල් වල හැසිරීම් පාලනය වෙනදා මෙන් කළ නොහැකිවීම, පෙනහලු සහ ශ්වසනය ආශ්‍රිත ගැටළු වැනි අනෙක් කායික හේතු නිසාවෙනුත් "කථනය" වෙනස් වන්නට පුළුවන්.
එහෙම නම්, මේ තමයි ඩිමෙන්ෂියාව සමඟ ජීවත්වන අයෙක්ගේ "කථනය" වෙනස්විය හැකි හේතු සහ අවස්ථා කිහිපයක් මෙම ක්ෂේත්‍රය තුල ප්‍රායෝගිකව අත්දකින අවස්ථා සමඟ සසඳමින් සටහන් කරන්නට පුළුවන්. තවත් හේතු සහ සාධක ගණනාවක් ඇති. ඒ නිසා, මෙය මෙම ගැටළුව ගැන පරිපූර්ණ , විශේෂඥ සටහනක් ලෙස නොගන්න. මෙය, වඩාත් ප්‍රායෝගික මෙම ක්ෂේත්‍රය තුල දැකිය හැකි අවස්ථා කිහිපයක් ලෙස පමණක් හදුනාගන්නේ නම් වඩාත් සුදුසුයැයි හිතනවා.
No comments:
Post a Comment