මේ ලිපිය අපේ සාමාජිකයෙක්ගේ ගැටළුවකට දෙන පිළිතුරක්. කොමෙන්ට් තීරය තුල ප්‍රමාණවත් ලෙස අදහසක් එක් කළ නොහැකි නිසා වෙනම පෝස්ට් එකක් ලෙස එකතු කළා.
ගැටළුව -
"ඩිමෙන්ෂියා රෝගියෙකුගේ ශරීරය වෙව්ලීමට හේතු මොනවාද? ප්‍රතිකාර කරත් එය විටින් විට මතුවනවා.වෛද්‍යවරුන්ටද මෙය පාකින්සන් රෝගයද යන්න නිෂ්චිතවම කීමට අපහසුයි.මෙම රෝග ලක්ෂන තියෙන ඩිමෙන්ෂියා රෝගින් මෙම සමූහයේ ඉන්නවද?"
මගේ අදහස්.
මුලින්ම කියන්නට ඕන, මගේ පිළිතුර අපේක්ෂා කරන්නේ ඔබේ ගැටළුවට යම් අදහස් හෝ පිළිතුරු කීපයක් එක් කිරීම මිස, තනිව රෝග විනිශ්චයකට යාමට ඒ වෙනුවෙන් උනන්දු කිරීමකට නොවේ. කළ යුතු හොඳම දේ, පවතින රෝග ලක්ෂණ වගේම, රෝග ලක්ෂණ වල සිදුවන වෙනස්කම් පිළිබඳව තොරතුරු ද(දින වකවානු , වෙලාවන්, වෙනස් වීමට පෙර සහ පසු තත්ත්වයන් වැනි ) සහිතව , මෙම තත්ත්වය සමඟ ජීවත්වන්නා සමඟ වෛද්‍යවරයා වෙත ගොස් සාකච්ඡා කර, නියමිත උපදෙස් සහ ප්‍රතිකාර ලබා ගැනීමට උනන්දු වීම. (විශේෂයෙන්ම කියන්න ඕන, ඩිමෙන්ෂියා තත්ත්වය හෝ ඊට ආසන්න තත්තවයක් පිළිබඳ රෝග විනිශ්චය ලබා ගැනීමට, ප්‍රතිකාර සැලසුම් කිරීමට වෛද්‍යවරයා හෝ සෞඛ්‍යය කණ්ඩායමට පමණක් කරන්නට අපහසුයි. එතැනදී, පවුලේ සාමාජිකයන්, මෙම තත්ත්වය සමඟ ජීවත්වන්නා වෙත සාත්තු ලබා දෙන්නන්ගේ නිරීක්ෂණ හරිම වැදගත් වෙනවා.)
දැන් ඔබේ ගැටළුවට.
මෙවැනි තැනකදි "ගැටළුව තුල" මතුවන ප්‍රධාන ගැටළුවක් තමයි භාෂාමය ගැටළුව. ඒ කියන්නේ, ඔබ මෙතැන "වෙව්ලීම" කියත්දි එය කොයිවගේ වේව්ලීමක්ද කියන එක ගැන අදහසක් නැතිව වඩාත් සාර්ථක පිළිතුරක් දෙන්නට අපහසුයි, නමුත් උත්සාහ කරන්නම්.
වෙව්ලීම කියන්නේ, අතක පයක එහෙම නැත්නම් මුළු ඇඟ පුරාම පවතින ගැස්මක්ද? රිද්මයානුකූල (ඒ කියන්නේ එකම රටාවකට සිදුවන) පැද්දීමක්ද? විවේකයෙන් සිටින අවස්ථාවේ පවා අතැඟිළි වල සිදුවන රිද්මයානුකූල කරකවන චලනයක් ද ? (Pill-rolling tremor) , මහන්සි වුනාම එන වෙව්ලීමක්ද? නැත්නම් එක තැනක ඉඳිත්දි පවා සිදුවන වෙව්ලීමක්ද? ඒ වගේම ඒ වෙව්ලීම සිදුවන්නේ එක් පැත්තකද? ඔය වගේ සාධක හරිම වැදගත් රෝග විනිශ්චයේදී. මේ තත්ත්වය දිගටම තිබේනම් වෛද්‍යවරයාට , දේහ පරික්ෂාවෙදි හදුනාගන්නට පුළුවන් වුනත්, මෙය ඇති නැතිවන තත්ත්වයක් නම් එතැනදි , වෛද්‍යවරයාට ඔබේ වචන මත රැදෙන්නට සිදුවන නිසා, මේ ගැන අවධානය යොමු කිරීම වැදගත් නිසයි මෙම කරුණූ එක් කළේ. (මෙම වෙව්වලීම ඇතිවන නැතිවන තත්ත්වයක් නම්, හොඳම දේ එම වෙව්ලිම සිදුවන අවස්ථාවේ සිදුවන ප්‍රදේශය සහ සම්පුර්ණ පුද්ගලයා හසුවන ආකාරයට ඔබේ ජංගම දුරකථනයේ කැමරාවෙන් වීඩියෝවක් ලබා ගැනීම. එය වඩාත් සාර්ථකයි "පැහැදිලි කිරීම්" කරනවාට වඩා)
මුලින්ම, මෙම තත්ත්වයට තවමත් "පාකින්සන් තත්ත්වය" දැයි රෝග විනිශ්චයක් නොලැබීමට හේතු ගණනාවක් තිබෙන්නට පුළුවන්. (මේ කියන්නේ, අදාල පුද්ගලයා තෝරා ගත් වෛද්‍යවරයෙක් වෙත හෝ විශේෂඥ වෛද්‍යවරයෙක් වෙත අවස්ථා කිහිපයකදී පෙන්වා ඇත යන උපකල්පනයෙන්)
මෙවැනි වෙව්ලීම් ඇතිවීම, පාකින්සන් හෝ පාකින්සන් ඩිමෙන්ෂියා තත්ත්වය තුලදී පොදුවේ දැකිය හැකි වුනත් (විශේෂයෙන්ම Pill-rolling tremors) , තවත් අවස්ථා කිහිපයකි "වෙව්ලීම" ඇති වන්නට පුළුවන්. ඒ තුල ඩිමෙන්ෂියාවට අදාලව ගත්තොත් Lewy Body Dementia (LBD) තත්ත්වයේදීත් මෙවැනි වේව්ලීම් දැකිය හැකියි.
දැනට මේ දෙවර්ගය විතරක් අරගෙන පොඩි සැසඳීමක් කළොත් , පාකින්සන් හෝ පාකින්සන් ඩිමෙන්ෂියා තත්ත්වය තුලදි ඇතිවන වෙව්ලීම බොහෝ වෙලාවට එක දිගටම තිබෙන, විවේක ගත්තත් පවතින , ඒ වගේම එක්පැත්තක අනෙක් පැත්තට වඩා පැහැදිලි වෙනසක් දැක ගන්නට පුළුවන් "වෙව්ලීමක්" හෝ රිද්මයානුකූල ඇඟිළි වල චලනයක් (Pill-rolling tremors) තමයි බහුලව දකින්නට ලැබෙන්නේ. LBD වලදි එන වෙව්ලීම , විවේකයෙන් ඉන්න අවස්ථාවෙදි හඳුනාගන්නට ටිකක් අමාරු තරමෙ "සුළු වෙව්ලීමක්" වෙන්න වගේම, එය "ඇති නැතිවන" රටාවක් බහුලව දකින්නට පුළුවන්. මේ දෙවර්ගය විතරක් නොවෙයි, සමහර වෙලාවට වැස්ක්‍යූලර් ඩිමෙන්ෂියාව තුලදීත් වෙව්ලීම, අප සාමාන්‍යයෙන් කියන "වෙව්ලීමකට වඩා ගැස්මක්" විදියට දකින්නට පුළුවන්.
ඔය කිව්වේ, ඩිමෙන්ෂියාවට අදාලවනේ. නමුත්, ඊට අමතරව තවත් හේතු තිබෙන්නට පුළුවන් මේ කියන "වෙව්ලීම" ඇති වීමට.
ඩිමෙන්ෂියාමය නොවන තත්ත්වයක් වන Essential Tremor තුලදීත් මෙවැනි ගැස්මක් , වෙව්ලීමක් ඇති වන්නට පුළුවන්. (මට මතක විදියට ඒ ගැන ලිපියක් කාළෙකට ඉස්සර මේ ගෲප් එක තුලට පළකළා)
තවත් අවස්ථාවක්, සමහර ඖෂධ වල බලපෑම් , ප්‍රතිකාර ගන්නා බව කියන නිසාම ඒ ගැනත් අවධානය යොමු කිරීම වැදගත්. මොකද, විශේෂයෙන්ම, ඩිමෙන්ෂියාව හෝ එසේත් නැත්නම් ස්නායු ආශ්‍රිතව චිකිත්සීය බලපෑමක් කළ හැකි ඖෂධ වල අතුරුපල ලෙස ගැස්මක් හෝ වෙව්ලීමක් මතුවන්නට පුළුවන්. සෞඛ්‍යය ක්ෂේත්‍රයේදී drug-induced tremors හදුන්වන මෙම තත්ත්වය ගැනත් වෛද්‍යවරයා දැනුවත් කිරීමට වැදගත්.
තවත් බොහෝ වෙලාවට අප නොහිතන අවස්ථාවක් , එම පුද්ගලයාගේ රුධිරයේ විය හැකි වෙනස්වීම් නිසා සිදුවන වෙව්ලීම්. ඒ කියන්නේ, අදාල පුද්ගලයා කෑම බීම නිසි ලෙස නොගන්නවා නම්, එහෙම නැත්නම් කෑම බීම ගත්තත් අවශ්‍ය පෝෂණය විශේෂයෙන්ම අවශ්‍යම ලවණ වර්ග දේහ ගත නොවනවා නම්, එසේත් නැත්නම් වමණය, දියර ලෙස මළපහ යාම, ආහාර දිරවීමේ හෝ අවශෝෂණය වීමේ ගැටළු, සමහර ඖෂධ වල බලපෑම්, වකුගඩු හෝ අක්මාව තුල ක්‍රියාකාරීත්වයේ වෙනස්කම් නිසා රුධිරය තුල පැවතිය යුතු ලවණ වර්ග (රෝහල් පරිසරයේදි කියන ඉලෙක්ට්‍රොලයිට්ස්) අසමතුලිත වීම වගේම , විජලනය වගේ සාධක නිසාත් "වෙව්ලීම" ඇතිවන්නට පුළුවන්, වගේම වියපත් අයෙක් මෙම අවස්ථාවට පත්වීමට වැඩි ඉඩකුත් තිබෙනවා. මේකටම තවත් එකක්, මෙම පුද්ගලයාගේ රුධිර සීනි ප්‍රමාණය පිළිබඳ ගැටළු හෝ දියවැඩියාව වගේ තත්ත්වයක් ඇත්නම්, ඒ සඳහා ප්‍රතිකාර ගන්නවා නම් ඒ තුලත් වෙව්ලීම ඇති විය හැකි හේතු තිබෙනවා.
මේ පිළිතුර ලියාගෙන යත්දි ඔබට ලබා දුන් පිළිතුරක් ඔස්සේ "අවසාන වරට වෙව්ලීම සිද්ද උනේ මීට මාස 3කට පෙර.ඉන්පසු අද තමයි සිද්ද උනේ.විනාඩි 20ක් පමණ වෙව්ලීම තිබිලා ඉන් පසු කිසිම අපහසුතාවයක් නෑ" යන අදහස දකින්නට ලැබුණා. ඒ නිසා පෙර ඡේදයෙන් නිමාකරන්නට ගිය පිළිතුර තවත් ටිකක් එහාට ගෙනියන්නට වෙනවා මේ විදියට.
ඔය කියා තිබෙන මේ ලක්ෂණය හරිම ලස්සනට ගැලපෙනවා LBD එක්ක (මම රෝග විනිශ්චයක් දෙන්නට උත්සාහ කරනවා නොවෙයි, එම ලක්ෂණය LBD සමඟ ලොකු ගැලපීමක් තිබෙන බව විතරයි කියන්නේ.) හැබැයි, මේ කියන ලක්ෂණම ඇති වෙන්න පුළුවන්, මොළය තුල රුධිරවාහිනී වලට සිදුවන තාවකාළික අවහිර වීම් වලදීත් (වෛද්‍ය විද්‍යාත්මකව නම් කරන TIA, එහෙම නැත්නම් Transient Ischaemic Attacks වලදීත්) එමෙන්ම, අපි ව්‍යවහාරියේ කියන අපස්මාරයේ , පොදුවේ දකින ප්‍රධාන අපස්මාර තත්ත්වය නොවන partial seizures අවස්ථා වලදීත්, ගැස්මක්, වෙව්ලීමක් ලෙස මතුවී නැතිවී , නැවත කාළයකදි ඇති නැති වන්නට පුළුවන්.
මේ ලිපිය කියෙව්වා නම් ඔබට දැනටමත් වැටහෙන්නට ඇති "වෛද්‍යවරුන්ටද මෙය පාකින්සන් රෝගයද යන්න නිෂ්චිතවම කීමට අපහසුයි" ලෙස ඔබ දක්වන ප්‍රකාශයට හේතුව. ඇත්තටම මෙම තත්ත්වයන්, නියුමෝනියාව හෝ දියවැඩියාව විනිශ්චය කරනවා තරම්ම පහසු (ඒවා ඉතා පහසුයැයි කියන්නේ නැහැ) නැහැ. ඒ සඳහා යම් කාළයක් ගත වීම, රෝග ලක්ෂණ මෙන්ම ඒවායේ වැඩිවීම් වේගයන් හදුනාගැනීම ,එතැනදී, එම පුද්ගලයාට සමඟ ඉන්න , සාත්තු කරන අයගෙන් ලැබෙන තොරතුරු, සාක්ෂි, රුධිර පරික්ෂණ, මොළයේ විද්‍යුත් ක්‍රියාකාරීත්වයේ පරික්ෂණ, ස්කෑනින් වර්ග කිහිපයක්, ස්නායු ආවේග රටා මැනීම් වගේම ඖෂධ සැලසුම් වෙනස් කිරීම් කිහිපයකුත් සිදුවන්නට පුළුවන්. ඒ නිසාම , වඩාත් වැදගත් වන්නේ, මෙම ලක්ෂණ, වෙනස්කම් සටහන්, සාක්ෂි තබා ගැනීම , ඒවා වෛද්‍යවරයා සමඟ බෙදා ගැනීම, තැනින් තැනට පැන පැන යන ප්‍රතිකාර ආකෘතියකට වඩා (මෙහෙම කිව්වේ, ලංකාවේ ඉතා පහසුවෙන් තමන් කැමති වෛද්‍යවරයෙක් වෙත යාමේ වාසිය , අවාසියකට හැරවෙන අවස්ථා දැක ඇති නිසා) , හොඳින් දැනුවත්ව තෝරා ගත් වෛද්‍යවරයා, විශේෂඥවෛද්‍යවරා ඔස්සේ යම් කාළසීමාවක් ප්‍රතිකාර උපදෙස් ලබා ගනිමින් කටයුතු කිරීමයි.
No comments:
Post a Comment