මේ කියවන කෙනෙකුට සමහර විට මතක ඇති, 2004 සුනාමිය. දැන් මේ කියන්න හදන්නේ, ඒ සුනාමිය ගැන හෝ ඒ තුල මගේ අත්දැකීම නොවෙයි.
ඒ සුනාමිය දවස් වල බ්‍රිතාන්‍යයේ සිට පැමිණි සෞඛ්‍යය වෘත්තිකයන් කණ්ඩායමක් ලංකාවේ සංචාරය කරමින් හිටියා. ඒ අතරතුර තමයි සුනාමිය ඇවිත් විනාශයක් ඇති කරන්නේ. මේ බිහිසුනු අත්දැකීමට මුහුණදෙන මේ බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍යය වෘත්තික කණ්ඩායමේ එක් අයෙක් , තම ජීවිතය අවදානමෙන් බේරා ගැනීමත් සමඟ , ඒ වෙත්දි අවදානමට පත්ව සිටි අයට උපකාර කිරීම වෙනුවෙන් කැප වෙනවා. ඒ තුල ක්ෂණිකව ජීවිත අවදානම් වලින් බේරා ගැනීමේ සිට, සති කිහිපයක් පුරා පිරිසිදු කිරීම්, උදව් අවශ්‍ය පුද්ගලයින් සඳහා ආධාර උපකාර කිරීම් ඔස්සේ, හදුනාගත් පවුල් කිහිපයකට නිවෙස් හදාදෙමින් , ජල පහසුකම් සකසා දෙමින් "කිසිදු සංවිධානිත ආධාර එකතු කිරීමක්" නොමැතිව, පුද්ගලික ධනය සහ මිතුරන්ගේ එක්වීම ඔස්සේ කරමින් සිටිනවා.
එතැන් සිට, අවස්ථා හතරකදී ලංකාවට පැමිණෙමින්, රැඳී සිටිමින්, ඇයගේ වචනයෙන්ම "ආදරණීය මිනිසුන්ගේ රටට" උදව් කරමින් සිටින ඇය, මා හමුවන්නේ, 2006 දිනයක. ඒ, ඒ වන විට මා වැඩසටහන් සම්බන්ධීකාරකවරයෙක් ලෙස කටයතු කරමින් සිටි අර්ධ රාජ්‍ය අධ්‍යාපන ආයතනය තුලදි.
එතැන් සිට, ඒ දරුවන් වෙනුවෙන්ද උදව් වන ඇය, නැවත බ්‍රිතාන්‍යය බලා එන්නේ, පස්වන වතාවටත් නැවත ලංකාවට එන අපේක්ෂාව බෙදා ගනිමින්. කෙසේ නමුත්, විවිධ හේතු නිසා ඇයට ලංකාවට එන්නට නොහැකි වුනත්, එදා සිට ආරම්භ වුනු අපේ මිත්‍රත්වය අද දක්වා තබා ගන්නට මට සහ ඇයට හැකිවෙනවා.
ඒ මිත්‍රත්වය තුල ඇය පසුගිය දිනෙක මා වෙත පණිවිඩයක් එවනවා. ඒ වෙනදා වගේ පළාතේ ලස්සන, ඇවිදින්න ගිය ගමනේදි දුටු දේ වගේ සුන්දර දේ ගැන නොවෙයි. ටිකක් අභියෝගකාරී ජීවිත අත්දැකීමක් ගැන. ඒ, ඇය, ඇල්සයිමර් රෝගය සමඟ ජීවත්වන්නෙක් බව වෛද්‍ය විනිශ්චය ලබා දුන් බව කියන්නට. "Hi Mahesh, Happy New Year to you all. I wanted to share some difficult news - I've been diagnosed with Alzheimer's disease. It's hard to put my feelings into words, but I'm feeling stressed, upset, and down right now.” ලෙසින් ඇරඹුුනු කතාබහ පැය කිහිපයක කතාබහක් බවට හැරවුනා. තමන්ගේ හිතේ නැඟුනු අවිනිශ්චිත බව, වේදනාව වගේම බිඳ වැටුනු ස්වභාවය ගැනත් ඇය හිත නිදහස් කළා. කතාබහ අවසානයේ, යම් ස්ථාවර හැඟීමක්, අභියෝගය බාරගැනීමක් සහ අවශ්‍ය වෙනස්වීම් සහ හුරු වීම් පිළිබඳ එකඟවීම්, හිතන්නට කැමතිවීම් සමඟ එදා කතාබහ නිමා වුනත්, එතැන් සිට හැම දිනකම ඇගේ හිත තුල මතුවන හැඟීම් බෙදා ගන්නට උත්සාහ කළා.
ඒ කතාබහ තුල අවසන් වරට අද උදේ ලැබුණූ පණිවිඩය ඔස්සේ, ඔබත් එක්ක යමක් කතා කළ යුතු මාතෘකාවක් මට ගෙනාවා. ඒ පණිවිඩය, "........, but what I have had is thinking that I’ve done something but actually I haven’t" .
එහෙම නම්, මගේ මිතුරියට, ලංකාවට ආදරය කරන ඇයට මේ අභියෝගය වෙනුවෙන් ධෛර්ය ප්‍රාර්ථනා කරමින් ඇය වෙනුවෙන් ඔබත් එක්ක මේ අවසන් පණිවිඩය තුල කතාවන , දැන ගත යුතු සෞඛ්‍යය තත්ත්වය ගැන කතා කරන්නයි මේ උත්සාහය.
කුමක්ද මේ කියන ගැටළුව , ඇයට නොකළ දෙයක්, කළ බව හිතෙන එක තමයි මේ ගැටළුව. මෙහෙම සරළව වාක්‍යයකින් කීවත් මේ අවස්ථාව හරිම අපහසුකාරී සහ හිතට වදදෙන ගැටළුවක්.
උදාහරණයක්,
මේ කියන තත්ත්වය සමඟ ජීවත්වන අයෙක්ට හිතෙන්න පුළුවන්, "මම ඊයේ මගේ තාත්ත එක්ක කතා කළා මේ ගැන" කියල. ඒ පුද්ගලයගේ තාත්ත මිය ගිහින් කාළයක්, ඒත් මෙම අවස්ථාවේදි ඒ පුද්ගලයාට දැනෙනවා, හිතෙනවා සහ ඒ හිතුවිල්ල "විශ්වාස" කරනවා තමන් "තාත්ත එක්ක ඊයේ කතා කළබව"
සමහර විට පහුගිය දින කිහිපයේම රෝහලේ හිටිය කෙනෙක්ට හිතෙන්න සහ දැනෙන්න පුළුවන් "මම ඊයේ ට්‍රිප් එකක් ගියානේ, එතැනදිත් මේ ගැන කතා කළානේ" වගේ හිතුවිල්ලක්. ඒක කොයිතරම් අපහසුද කියනවා නම්, ඇත්ත වගේ දැනෙන මේ හිතුවිල්ල, "ඇත්තටම ඇත්ත නොවන බවත්" ඒයට දැනෙන්න පුළුවන්. මෙතැනදි තමයි මේ කියවන ඔබට පවා සමහර විට නොදැනෙන , හරිම අපහසුකාරී බවක් මතුවන්නේ.
දැන් මේ කියාගෙන යන්නේ, අපේ මතකය තුල සිදුවන යම් වෙනස්වීම් තුල මතුවන අපහසුකාරී අවස්ථාවක් ගැන. හැබැයි, මේ විදියට "බොරු මතකයන්" මතුවීම ඕනෑම වයසක, ඕනෑම තත්ත්වයක ඉන්න අයෙක්ටත් වෙන්න පුළුවන්.
False Memory සහ Confabulation
නැවත තවත් ටිකක් පැහැදිලි සහ ප්‍රායෝගික උදාහරණයකට යමු.
හිතමු, අපි කොහේ හරි ගමනක් යන්න සූදානම් වෙලා, එළියට ඇවිත් දොර ලොක් කරන්නත් සුදානම් වෙලා සියල්ල කරලා දැන් ගමන යනවා. අතරමගදි තමන්ගේ හිතවතා අහනවා, "දොර වහල නේද ආවේ" කියල. දැන් ඔබේ උත්තරය "ඔව් මට විශ්වාසයි, මම දොර වහල ආවේ" ඔබට "මතකයි," දොර වැහුව බව මතකයට දැනෙනවා. හැබැයි ඇත්තටම ඔබ දොර නොවසා ගමන ගොස් ඇතිබව දැන ගන්නේ, ගමන නිමාකර ගෙදර ආවට පස්සේ වෙන්න පුළුවන්.
තවත් අයෙක් කියන්න පුළුවන්, තමන් පාසල් යන කාළේ තවත් යාළුවෙක් එක්ක එකතු වෙලා කළ අපූරු දඟ වැඩක් ගැන, ඒත් ඇත්තටම එහෙම යාළුවෙක්වත්, එහෙම සිදුවීමක්වත් නොවුනු බව තහවුරු කළත්, ඒ පුද්ගලයා පිළිගන්නේම, දැනෙන්නේම, හිතන්නේම එය සිදුවු බව.
මේ උදාහරණ තුල සිදුවන දේ ඇතුලත අවස්ථා දෙකක් තිබෙනවා. එකක් අපි නම් කරන්නේ, False Memory කියල. මේ සිදුවීම අපි ඕනම කෙනෙක්ට වෙන්න පුළුවන්. අර දොරේ කතාවට ආවොත්, ගමන යන අතරේ හිතවතා අහත්දි "දොර වහල නේද ආවේ" කියල, ඔබට යම් විශ්වාසයක් තියෙනවා , දැනෙනවා දොර වැසූ බව. හිතවතා නැවත විමසීමක් කළොත් ඔබේ හිතේ පොඩි දෙගිඩියාවක් මතුවෙන්න පුළුවන් ," ඇත්තටම මම දොර වැහුවද" කියල. මේ වගේ පොඩි වුනාවගේ දැනෙන මතකයන් , මේ කියවන ඔබටත් දැනිලා ඇති. යාළුවෙක් එක්ක කතා කළා වගේ ... ගේන්න කියපු බඩු මුට්ටු ටික බෑග් එකට දාගත්ත වගේ ...ඔබ වගේ අමතක වීම් නොවන, කළා වගේ හිතෙන සහ දැනෙන බොරු මතකයන් අපටත් එන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ අවස්ථාව ලොකු අවධානයක් ගත යුතු නොවුනත්, මේ සිදුවීම් තමන්ගේ දවසේ කටයුතු වලට බාධාවක් වන තරමටම False memory මතුවෙනවා නම් අන්න එතැනදි සුදුසුකම් සහිත වෛද්‍යවරයෙක් හමුවී, මේ ගැන කතාබහ කරන එක වැදගත් වේවි. මෙතැනදි වැදගත්ම දේ False Memory නිසා මෙහෙම සිදුවීමක් වුනත්, ඔබටම නැවත ඒ "හිතුණ දේ ගැන, දැනුනු දේගැන" නැවත හිතෙන්නට, "අමතක වුනාදෝ" කියල හිතට දැනෙන්නට පුළුවන්.
නමුත් , මෙහිම ඊළඟ අවස්ථාව තමයි ගැටළුව මතු කරන්නේ. එතැනදිත් මේ වගේ "සිදු නොවුනු" දේ , "සිදුවුනා වගේ" හිතෙනවා, දැනෙනවා. නමුත් මෙතැනදි අදාල පුද්ගලයා කිසිදු ආකාරයකින් පිළිගන්නේ නැහැ, එය සිදු නොවුනු බව. ඒ තරමටම අදාල හිතුවිල්ල "ස්ථිරව" පිළිගන්න තත්ත්වයක් තමයි ඇති වන්නේ. අර මුලින් කී උදාහරණයෙන් පාසලේදි තමන්ගේ මිතුරා එක්ක කළ අපූරු දඟවැඩේ ගැන , එහෙම සිදුවීමක් නොවුනු බව තහවුරු කළත්, සමහර විය පාසලේ අදාල නමින් මිතුරෙක් නොවූ බව ස්ථිරවම පැහැදිලි කළත්, අදාල පුද්ගලයාට හිතෙන ඒ "දඟවැඩේ කතාව" ස්ථිරයි. එය සිදුවුනා කියලමයි කියන්නේ. මෙන්න මේ අවස්ථාව නම් කරන්නේ, Confabulation කියන නමින්.
Confabulation
මේ Confabulation නම් සැලකිල්ලට ගත යුතු, (ඒ කියන්නේ අදාල පුද්ගලයා සමඟ කටයුතු කරන හෝ සාත්තු කරන අය) අවස්ථාවක්. මොකද, Confabulation ඇති වීමට ප්‍රධානම හේතුව වන්නේ, මොළයට, ඒ ස්නායු පටක වලට හෝ එහි ස්නායුක රසායනික වලට සිදුවන යම් වෙනස්වීමක්. මේ වෙනස්කම් නිසා, සිදුනොවනු දේ, හිතෙන, දැනෙන , ඒ ඔස්සේ "බොරු කතා" කියන්නට ඉඩ ඇති අවස්ථාවක් මේ. හැබැයි අපට මෙය "බොරු කතාවක්" වුනත්, අදාල පුද්ගලයාට එය "ඇත්තටම සිදුවූවක්" ලෙසයි හිතෙන්නේ, මතකයට එන්නේ, සහ දැනෙන්නේ. එය සිදුනොවූවක් ලෙස පිළිගන්නට කිසිසේත්ම අදාල පුද්ගලයා එකඟ වන්නේ නැහැ.
මේක සිදුවන්නට පුළුවන්, කිසිදු විශේෂ හේතුවක් , විමසීමක් නැතිවම. ඒ අවස්ථාව Spontaneous confabulation නමින් හදුන්වනවා.
කෙසේ වෙතත්, මගේ වෘත්තීය ක්ෂේත්‍රය තුල බහුලව අප අත්දකින අවස්ථාව Provoked confabulation ඒ කියන්නේ, අදාල පුද්ගලයාගේ අතීතය, ජීවිත කතාව ගැන තොරතුරු සොයා ගැනීම සඳහා අප කරන විමසීම් වලදි , තමන්ගේ ජීවිත කතාවේ යම් කොටස් අමතක වීම තුල, ඒ අමතක වූ හිදැස පුරවන්නට Provoked confabulation විදියට "බොරු කතාවක්" එකතු වෙනවා. ඒ පුද්ගලයාට "ඇත්තටම සිදුවූ ලෙස දැනෙන, හිතෙන" කතාවක් අර හිස් තැන පුරවන්නට කියවෙනවා. නමුත්, මේ ගැන පවුලේ අය සමඟ කතා කරත්දි දැන ගන්නට ලැබෙනවා "එහෙම දෙයක් කොහෙත්ම වුනේ නෑ, එයා ඔය බොරු කියන්නේ" ලෙස උත්තරයක්.
නමුත්, අදාල පුද්ගලයා මේ කියන්නේ "බොරුවක්" නොවේ, මොකද, තමන්ගේ හිතට එන මතකය තමයි මේ කියාගෙන යන්නෙ. නමුත්, ඒ මතකය "ඇත්තම මතකයක් නොව" , මොළයේ පටක, සහ රසායනික වෙනස්වීම් නිසා "නිර්මාණය වුනු මතකයක්" බව ක්ෂේත්‍රය තුල දැනුම සහ අත්දැකීම් ඇති අයෙක්ට හදුනාගන්නට පුළුවන්.
මේ කියන Confabulation ඇති කරවන ප්‍රධාන හේතු අතරේ ඩිමෙන්ෂියාව ඉහළින්ම ඉන්නවා. ඊට අමතරව Korsakoff Syndrome (ඩිමෙන්ෂියාවේම ලක්ෂණ ඇති කරන තත්ත්වයක්) , මොළයට සිදුවන අනතුරු ( Traumatic Brain Injury කියල වෛද්‍ය විද්‍යාවෙදි හදුන්වන)ත් හේතු වෙන්න පුළුවන්. ඊට අමතරව ඔළුවේ නහරයක් පුපුරලා කියල , සාමාන්‍ය ව්‍යවහාරයේ කියන අවස්ථාව හෝ ඊට හේතුවිය හැකි Stroke හෝ aneurysm තත්ත්ව වලදිත් මේ කියූ බොරු මතකයක් නිර්මාණය වෙන්න පුළුවන්. තවත් , මොළයේ සිදුවන ආසාදන තත්ත්වයන්, අපි සාමාන්‍යයෙන් මොළේ උණ කියන කියන අවස්ථාවේ උග්‍ර තත්ත්වයේදි වුනත් මේ "බොරු මතකයන්" නිර්මාණය වෙන්නට පුළුවන්.
දැන්, මේ ටික කියවාගෙන ආවා නම් සමහර විට මේ වෙත්දි ඔබේ මතකයත් නිකං කරකවල අතෑරල වගේ වෙන්න පුළුවන් , මොකද මේ කතාව ඇතුලේ හුඟක් දුරට එකහා සමාන තත්ත්වයන් දෙකක් ගැන කතා කළ නිසා. ඒ, False memory සහ Confabulation. ඒ නිසා, අපේ ඔළුව පොඩ්ඩක් නිරවුල් කරගන්නත් එක්ක මේ අවස්ථා දෙකේ වෙනස්කම් ටිකක් කියන්නම්. ඊට පස්සේ කතාවේ ඉදිරියට යමු.
· False memory - නිරෝගී කෙනෙක්ට වුනත් ඇතිවන්නට පුළුවන්.
· Confabulation- බොහෝ විට ඇතිවන්නේ, මොළයට යම් හානියක් වුනු තත්වයකදි
· False memory - මතුවුනු "මතකය" ගැන හරිද වැරදිද කියල නැවත හිතන්න ඉඩ වැඩියි.
· Confabulation- මේතැනදි "ඒ මතකය" හරිද වැරදිද කියල හිතන්න දෙයක් නෑ, ඒ තරමට විශ්වාසදායකයි.
· False memory - බොහෝ විට සුළු වැරදි තමයි මේ මේ "මතකයන්" එක්ක වෙන්න පුළුවන්
· Confabulation- මේ මතකයන් එක්ක "ලොකු බොරුකතාවක්" ඇත්ත වගේ දැනෙන්න පුළුවන්.
දැන් පොඩි හරි අදහසක් ඇතිනේ මේ දෙකේ වෙනස ගැන.
දැන්, ඔබේ හිතවතා, ඔබේ පවුලේ ඥාතියා වෙතින් මේ Confabulation තත්ත්වය හදුනාගන්නට පුළුවන් නම් කළ යුතුදේ වෙන්නේ, ඒ අවස්ථාවන් "නොසලකා නොහැර" සටහන් තබා ගැනීමයි. එම "මතකයන්" පිළිබඳව එන "කතා" නිවැරදි කරන්නට යාම තුල , තර්ක කරන්නට යාම තුල අදාල තත්ත්වය සමඟ ජීවත්වන පුද්ගලයා වගේම ඔබත් පීඩාවට පත්වීමක් විතරයි සිදුවන්නේ.එම නිසා, තර්ක කරනවාට වඩා, කතාබහෙන් වෙනත් මාතෘකාවකට ගැනීම, එහෙම නැත්නම් වෙනත් ක්‍රියාකාරකමකට යොමු කරගැනීම වගේ, "වෙනස් පැත්තකට හරවා" ගැනීමක් කිරීම කරන්නට පුළුවන්. False memory මෙන් නැවත වටහා දී නිවැරදි තත්ත්වය වටහා ගන්නට උදව් කළ නොහැකි Confabulations තත්ත්වය ගැන සැකයක් ඇත්නම් , අදාල සිදුවීම් පිළිබඳ සටහන් සහිතවම වෛද්‍යවරයෙක් හමුවී උපදෙස් ගැනීමයි වඩා සුදුසු.
එතැනදි, "මෙයා දැන් බොරු කියනවා" වගේ රෝග ලක්ෂණයක් වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කරනවාට වඩා, එම පුද්ගලයා කියූ කතාව, ඒ මතකය ගැන සටහනක්, එය නිවැරදි කරන්නට යාමේදි මතුවූ තත්ත්වයන් ගැන තොරතුරු වැනි කරුණූ සහිතවම ඉදිරිපත් කිරීම වඩාත් සාර්ථක වෛද්‍ය හදුනාගැනීමකට වැදගත් වෙනවා.
දැන් අපි මෙහෙම හිතමු, ඔබේ පවුලේ සාමාජිකයා, හිතවතා සමහර විට අත්තම්මා හෝ සීයා මේ වගේ "බොරු කතා" ඇත්තටම කියන Confabulation තත්ත්වය සහිත අයෙක් බව හදුනාගත්තොත් කළ යුතු දේ මොනවාදැයි බලමු.
1) ඒ අයට අදාල දවසේ කටයුතු , සත්කාර , නැහැවීම් කැවීම් පෙවීම් වගේම නිවසින් එළියට රැගෙන යනවා නම් ඒ ගමන් බිමන් සියල්ල යම් සැලසුම් කළ රටාවකට, පිළිවෙලකට පවත්වා ගැනීම වැදගත්.
2) තනි දිනය හොඳින් පෙනෙන කැලැන්ඩරයක්, වෙලාව පැහැදිලිව දැකිය හැකි ඔරලෝසු, හැම පිංතූරයකටම කෙටි සටහනක් සහිත අදාල පුද්ගලයාගේ ජීවිත කතාවට වැදගත්වන පවුලේ හෝ එම පුද්ගලයාගේ පිංතූර ඇල්බමයක්, වගේ උපක්‍රම උදව්වක් වේවි.
3) කියන කතාව තුල වැරදි දෙයක් ඇත්නම් , එහි නිවැරදි බව තහවුරු කිරීමට හෝ ඊට උදව් වීම සඳහා පීඩාකාරි ලෙස නොවන, මෘදු ලෙස කරන නිවැරදි කිරීමේ යෝජනාවක් (කෙසේ වෙතත්, ඒ යෝජනාව තුල හෝ නිවැරදි කිරීමට දරන උත්සාහය තුල අදාල පුද්ගලයා පීඩාවට, ආවේගයට පත්වේ නම් නැවත නැවත උත්සාහ කිරීම නොකළ යුත්තක්. )
4) දවසේ කරන කියන දෑ, කන බොනදේ , කතා බහට එක්වන , වගේම සිදුවූ වැදගත් කතාබහ ගැන ජර්නලයක් පවත්වා ගන්නට උදව් කිරීම
වගේ උපක්‍රම ඔස්සේ මේ "ඇත්ත වගේ බොරු මතකයන්" නිසා සිදුවන පීඩාකාරී තත්ත්වයන් මගහරවා ගන්නට උදව් වෙන්න පුළුවන්.
කෙසේ වෙතත්, මෙම තත්ත්වය "සුව කිරීමට" ඇති හැකියාව රඳා පවතින්නේ, මෙම "ඇත්ත වගේ බොරු" මතුවීමට හේතුවූ මොළයේ පටක වලට සිදුවූ හානියේ ස්වභාවය අනුවයි. එම හානිය නැවත නිවැරදි කරගත හැකි තාවකාලික බලපෑමක් නම්, හේතුවු රෝගී තත්ත්වය සුව වූ පසු නැවත සාමාන්‍ය අවස්ථාවට පත්වේවි. නමුත්, ඩිමෙන්ෂියාව වැනි "මොළයේ පටක වලට ස්ථිර හානියක්" සිදුවූ අවස්ථාවක නම් , නැවත "සුවවන" අවස්ථාවකට එන්නට බැරි වේවි. නමුත්, Cognitive Rehabilitation Therapy (CRT) , Reminiscence Therapy , Reality Orientation Therapy වගේ චිකිත්සීය ක්‍රම ඔස්සේ යම් උපකාරයක් කරන්නට පුළුවන්. නමුත් එයද, අදාල පුද්ගලයාගේ වයස, ඇස්පෙනීම කන්ඇසීම තුල ඇති වෙනස්කම්, මොළයට වූ හානියේ ස්වභාවය වගේ සාධක ගණනාවක් මත රඳා පවතිනවා.
දැන් මේ ලිපිය කියවූවා නම් වැදගත්ම දේ Confabulation අවස්ථාවේ ඇති "ඇත්ත තත්ත්වය" ඔබ හදුනාගත්තා නම් , "මේ සීයා ඔයා කියන්නේ බොරු" කියමින්, තමන්ගේ ඥාතියා තවත් පීඩාවට පත් කිරීම හෝ "එහෙම දෙයක් වුනේ නෑ වුනේ මෙහෙමයි" කියමින් නිවැරදි කරන්නට ගොස් ගැටළු ඇති කරන නොගෙන, Confabulation යනු, මොළයේ හානියක් නිසා සිදුවන විකෘතික මතකයන් එකතු වීමක් හේතුවෙන් හිතෙන, දැනෙන "ඇත්ත වගේ වූ බොරු මතකයක්" බව දැන, වෙනදාමෙන් ආදරයෙන් අවශ්‍ය උපකාර , සාත්තු කිරීමට කටයුතු කිරීමයි.
ඔන්න එහෙම නම් ඇත්ත වගේ බොරු මතකය ගැන කතාව මෙතැනින් ඉවරයි.
No comments:
Post a Comment