Sunday, September 28, 2025

37. Reminiscence therapy ස්මර්ණ චිකිත්සාව

(මුලින්ම කියන්න ඕන මේ සිංහල පදය යෙදුවේ මට හිතුන සහ දැනෙන ආකාරයට. මෙයට මීට වඩා නිවැරදි හදුන්වාදීමක් ඇත්නම් එකතු කරන්න)

Reminiscence therapy කියල කියන්නේ, අද දවසේ මනෝචිකිත්සක පරිසරය තුල සාර්ථකව යොදා ගන්නා, ඒ වගේම බහුලව යොදා ගන්නා අපුරු චිකිත්සීය ප්‍රතිකාරයක්.මෙය කුඩා දරුවන් සඳහා යොදා ගැනීම පිළිබඳව අධ්‍යාපනික වශයෙන් හදාරා ඇතත්, මගේ වෘත්තිය අත්දැකීම් තුල ඉලක්ක වන්නේ වැඩිහිටි සහ වියපත් ප්‍රජාව නිසා, මේ ලිපිය තුල බෙදා ගන්නා තොරතුරු , අදහස් එම කණ්ඩායමට අදාලවයි ලියවෙන්නේ.

මෙම සටහන ලියන්නට හේතුව...හේතුවක් කියන්නම කියල දෙයක් මතක් වෙන්නේ නෑ. ඉඩක් ලැබෙන වෙලාවට අපේ ඩිමෙන්ෂියා ගෲප් එකට මෙවැනි චිකිත්සා ක්‍රම ගැන හදුන්වාදීමේ සටහන් ලියන්න හිතමින් ඉන්න අතරේ, ඊයේ දවසේ මගේ ෆේස්බුක් ප්‍රොෆයිලයේ මෙමරීස් වල මතු වුනු පිංතූරයක් නිසා , එය රස සතුට , Reminiscence therapy පිළිබඳ ‍ලිපියක් ලෙස මගේ අත්දැකීම් සමඟින්ම බෙදා ගන්න හිතුවා.

ඔන්න එහෙමනම් දැනුයි කතාව පටන් ගන්නේ.

Reminiscence therapy එහෙම නැත්නම් life review therapy කියල කියන්නේ, පුද්ගලයෙක්ගේ මතකය තුල තැන්පත් වෙලා තිබෙන එම පුද්ගලයාගේ අත්දැකීම්, විඳිම්, සංවේදනාවන් කාළයකට පස්සේ නැවත මතු කරමින්, යම් සැලසුම්ගත කාළයක් තුල එම "අතීත සුවඳ" තුල ජීවත් කරවමින් ලබා දෙන චිකිත්සීය ප්‍රතිකාරයක්. මේ ඔස්සේ ප්‍රධාන වශයෙන්ම , මතකය, බුද්ධිමය හැකියාව දුර්වල වන රෝග හෝ ආබාධිත තත්ත්වයක් සමඟ ජීවත්වන්නටත්, මානසික පීඩනය, ආතතිය, මානසික බිඳ වැටීම් මෙන්ම විශාදය වැනි මානසික රෝග තත්ත්ව සමඟ ජීවත්වන්නන්ටත් ප්‍රතිකාරමය වාසියක් ලබා දෙන්නට පුළුවන් අතරේ, මේ කිසිදු "ප්‍රතිකාරමය" අවශ්‍යතාවයක් නොමැති අයට වුවත් පැරණි මතකයන් නැවත ගෙන ඒම තුල "විඳීමක්" ඔස්සේ මනසට යම් සක්‍රිය බවක් ලබා ගන්නට පුළුවන් වේවි.

මෙහි මූලික සහ සරළම ක්‍රියාකාරකම වන්නේ, යම් මාධ්‍යයක් උදව් කරගනිමින් පුද්ගලයාගේ පැරණි මතකයන්, විඳීම් නැවත මතු පිටට ගෙන එමින්, ඒ ඔස්සේ සතුටු , ධනාත්මක මානසික තත්ත්වයක්, චිත්තවේගීය මට්ටමක් ලබා ගැනීමයි. මෙය ප්‍රතිකාරයක් ලෙස සෞඛ්‍යය ක්ෂේත්‍රය තුලදී ලබා දීමේදී මනෝචිකිත්සක, වෘත්තීය චිකිත්සක, සායනික මනෝවිද්‍යාඥ වගේ ක්ෂේත්‍රයන් වල වෘත්තිකයන් විසින් යොදා ගත්තත්, බහුලවම මෙම චිකිත්සීය ක්‍රමය සමඟ කටයුතු කරන සෞඛ්‍යය වෘත්තීයක් වන්නේ Recreational Therapist. (‍මේ සඳහාත් ගැලපෙන සිංහල වචනයක් ඇත්නම් එකතු කරන්න)

ඩිමෙන්ෂියාව සමඟ ජීවත්වන ප්‍රජාවක් වෙත සේවා ලබා දෙන අපේ සායනික පරිසරය තුල ඔවුන්ගේ හැම සායනික දිනයකදීම, අවම වශයෙන් පැයක කාළයක් මේ වෙනුවෙන් යොමු වෙනවා. ඒ ඔස්සේම, මෙම චිකිත්සීය ප්‍රතිකාර ක්‍රමය ඔස්සේ ඔවුන් ලබන සතුට, ඔවුන්ට ලැබෙන වාසි ගැන සෘජු අත්දැකීම් අප ලබනවා. ඒ තුල ජීවිතය නිමා කරගන්නට සැලසුම් කර සිටි පුද්ගලයෙක් , නැවත ජීවිතය ගැන කැමැත්තක් ඇති , සැලසුමක් ඇති අයෙක් බවට පරිවර්තනය වීමට වූ උපකාරක අවස්ථාවක සිට, වයස අවුරුදු විසි නමයකදි, මතකය සහ බුද්ධිමය හැකියාව පිළිබඳ ගැටළු මතුවී ප්‍රතිකාර ලබන කොළුගැටයෙක්, නැවතත් ගිටාර් වාදකයෙක් බවට (වෘත්තීය මට්ටමට නොව) පරිවර්තනය කරන්නට හැකිවූ සතුටුදායක අවස්ථා ගැන අත්දැකීම් එක් කරමින් කතාවේ ඉදිරියට යන්නයි උත්සාහය.

මෙම Reminiscence therapy session එකක් සැලසුම් කිරීමේදී අනුගමනය කරන පියවර කිහිපයක් තිබෙනවා. එම පියවර නිසි ලෙස ක්‍රියාත්මක නොවී ලබා දෙන Reminiscence therapy ඔස්සේ ඉතා අවදානම් ප්‍රතිපල ලැබෙන්නටත් පුළුවන්. මේ තමයි ඒ වැදගත්ම සැලසුම් පියවර වන්නේ,

1. Understanding Participant- සහභාගි වන්නා හදුනා ගැනීම , මේ කියන්නේ, මෙම චිකිත්සීය ප්‍රතිකාරය ලබා දෙන්නට සූදානම් වනවා නම් ඊට පෙර , ප්‍රතිකාරය ලබා ගන්නා පුද්ගලයා ගැන පුළුල් චිත්‍රයක් , අදහසක් අදාල ප්‍රතිකාරය ලබා දෙන චිකිත්සකවරයා සතු වෙන්නටම ඕන. ඒ සඳහා සහභාගීවන්නාගේ ජීවිත කතාව, ජීවිත අත්දැකිම්, මුහුණදී ඇති විශේෂිත අවස්ථා, ජීවිතයේ සිදුවූ නැඟීම් සහ බිඳ වැටීම් වැනි සියළු කරුණූ ගැන මූලික අවබෝධයක් ලබා ගන්නට ඕන. මේ නිසාම මෙම ප්‍රතිකාරය, "ලබා දීමට කෙටි කාළයක් යන, සැලසුමට දිගු කාළයක් ගතවන" උපක්‍රමයක් ලෙසත් සෞඛ්‍යය ක්ෂේත්‍රය තුල කතාබහට ලක් වෙනවා.

2. Setting Objectives- අරමුණු සහ ඉලක්ක සැලසුම , මේ ප්‍රතිකාරය සිදුවන්නේ හරිම සුහද කතාබහක් විදියට. බාහිරින් සිට බලන කෙනෙක් සමහර විට හිතන්නේ නැහැ, අදාල පුද්ගලයා චිකිත්සීය ප්‍රතිකාරයක් ලබන බව වත්. ඒ තරම්ම සුහද, මිත්‍රශීලී, රසබර කතාබහක් තමයි සිදුවන්නේ. ඒ නිසාම, පෙර සැලසුම් කළ , චිකිත්සකවරයා පමණක් නිරන්තරයෙන් හිත රඳවා ගන්නා, ප්‍රතිකාරය, සැලසුම ගලා යායුතු අරමුණු සහ ඉලක්ක ප්‍රතිකාරය ලබා දීමට පෙර සැලසුම් කර, ඒ පිළිබඳව දැනුවත් අවධානයෙන් තමයි කතාබහ ගෙන යායුතු වන්නේ. මේ තුල චිකිත්සාවෙ අරමුණ වන්නේ මූඩ් එක ඉහළ නැංවීමද, මතකය සහ බුද්ධිමය හැකියාව වර්ධණයට හෝ පවත්වා ගැනීමට උදව් වීමද, සුහද කතාබහක් ඔස්සේ සමාජීය කතාබහක් කිරීමද වගේ ගැලපෙන අරමුණක් අවශ්‍ය වෙනවා.

3. Selecting Content- ආධාරක තෝරා ගැනීම, මෙතැනදි අප චිකිත්සාව ලබා ගන්නා පුද්ගලයාගේ මතකය ඇවිස්සිය හැකි වඩාත්ම හොඳ මාධ්‍යයක් හෝ කිහිපයක් තෝරා ගන්නවා. යම් අයෙකුට එය කළු සුදු ඡායාරූපයක් වෙත්දි, තවත් අයෙක්ට එය සූදානම් කළ වීඩියෝවක් වෙන්න පුළුවන්. තවත් අම්ම කෙනෙක්ට එය , තමන්ගේ දුවණිය උපන් මුල්ම දවසේ ඇන්දු ඇඳුමක් වෙන්නත් පුළුවන්. මේ අතරේම, තමන්ගේ සැමියාගේ සුවඳ ලෙස හදුන්වන තරමටම හුරු සුවඳක් , මතක මල්ලක් ගෙන ඒමට උදව්වන අවස්ථාත් තිබෙනවා. මේ ඔස්සේ ඡායාරූප, වීඩියෝ, හුරු ස්ඵර්ශයන්, කෑම බීම , විවිධ සුවඳවර්ග වැනි මාධ්‍යය යොදා ගන්නට පුළුවන් අතරේ මෙය එක් මාධ්‍යයක් ලෙස හෝ මාධ්‍යය කිහිපයක මිශ්‍රණයක් ලෙස එක් කර යොදා ගන්නත් පුළුවන්.

4. Creating a Safe Environment- ආරක්ෂිත පරිසරය. මේ චිකිත්සීය ප්‍රතිකාරය තුලදී, පුද්ගලයා එම "අතීත මොහොත" තුල රැදෙමින් , විවෘතව නිදහසේ කතාබහ කරමින් අදහස් හුවමාරු කරගත යුතු නිසා, ඒ සඳහා එම පුද්ගලයාට නිදහස් , ආරක්ෂිත පරිසරයක් ලබා දෙමින් ,තහවුරු කරමින් දිරිමත් කිරීමයි ප්‍රතිකාරය ලබා දෙන්නාගේ වගකීම වන්නේ. විශේෂයෙන්ම, මෙය කණ්ඩායම් චිකිත්සාවක් ලෙස ලබා දීමෙදී මෙය හරිම වැදගත්. මක්නිසාද කතාබහට එක්වන අනෙක් පිරිස් එම කතාබහට එක්වීම, ප්‍රතිචාර දැක්වීම තුල, කතාබහ නිදහසේ එළියට ගැනීම හෝ කතාබහ සම්පුර්ණයෙන්ම නවතා දැමීම වුවද සිදුවිය හැකි නිසා.

5. Facilitator Preparation- ප්‍රතිකාරය ලබා දෙන්නාගේ සූදානම - මෙය චිකිත්සීය "ප්‍රතිකාරයක්" ලෙස ලබා දෙන්නට නම්, ඒ සදහා පෙර කී සෞඛ්‍යය වෘත්තික‍ අධ්‍යාපනික, වෘත්තිය පසුබිමක් තිබෙන්නට අවශ්‍ය වෙනවා. නමුත් එ‍සේ නැතත්, මෙම "ස්මර්ණය" ඔස්සේ පුද්ගලයෙක්ට සහනයක් ලබා දීමට , අනෙක් පුද්ගලයා ගැන වැටහීමක් ඇති, සහකම්පණයක් සහ සක්‍රිය සවන්දීමක් කරන්නට පුළුවන්, ක්ෂණිකව පුද්ගලයෙක් ගැන විනිශ්චය නොකර ඕනෑම අයෙක්ට පුළුවන්. මේ කවුරුන් කළත් පෙර සැලසුමක් සහිත වීම සහ අවදානම් හදුනාගනිමින් කරන කතාබහක් පවත්වා ගැනීම , සාර්ථක ප්‍රතිපලයක් සඳහා අවශ්‍යම දෙයක්.

6. Managing Emotions-චිත්තවේග සමඟ ගණූදෙනුව, මෙම චිකිත්සාව ලබා දෙත්දි ප්‍රතිකාරය ලබා ගන්නා විවිධ චිත්තවේගීය මට්ටම් වලට එන්නට පුළුවන්, බිඳ වැටුනු , වේදනාත්මක මට්ටමක සිට, සතුටින් පිරී ඉතිරී යන අවස්ථා වගේම, සාමාන්‍ය මට්ටමේ සිට , මානසිකව, චිත්තවේගීයව කඩා වැටෙන අවස්ථාත් මතුවන්නට පුළුවන්. මෙතැනදි, චිත්තවේග ඉහළට ඒමේදී , එය අසාමාන්‍ය ලෙස පවත්වා ගත යුතු සීමාවෙන් ඉහළට නොඒමට , කතාවේ රිද්මය වෙනස් කිරීම වගේම, බිඳ වැටී, චිත්තවේගීයව පහලට වැටෙන අවස්ථාවක නැවත සාමාන්‍ය මට්ටමට ගෙන ඒමට අවශ්‍ය ආදරණීය ස්පර්ශයක්, හග් එකක්, හඩන්නට එක්ව අවස්ථාවක් ලබා දීම වැනි "මානුෂීය රසයන්" එක් කළ යුතු වෙනවා.

7. Encouraging Participation- සහභාගි වන්නා දිරිමත් කිරීම , මෙම ප්‍රතිකාරයට සහභාගී වන්නන් බොහෝ විට කතාබහට එතරම් ප්‍රිය නොවන, තරමක් හෝ සංකීර්ණ ලෙස බිඳවැටුනු මතක, බුද්ධිමය සහ චිත්තවේගීය අවස්ථාවල සිටින අයෙක් වීමේ ඉඩ වැඩියි. එසේ නොවන අවස්ථාත් ඕන තරම් තිබෙනවා. නමුත් පෙර කී අවස්ථාවක අයෙක් නම් , ප්‍රතිකාරය ලබා දෙන්නා කොයිතරම් සැලසුම් කර වැඩසටහන ආරම්භ කළත්, ප්‍රතිකාරය ලබා ගන්නා "කතාබහට" එකතු නොවන්නේ නම් , චිකිත්සීය ප්‍රතිපලයේ වාසිය අඩුයි. ඒ නිසා, සහභාගී වන්නා ක්‍රමයෙන් කතාබහට එක් කරගැනීමට, අලවා ගැනීමට වගේම අවශ්‍ය නැනදී ගලවා ගැනීමටත් හොඳ සන්නිවේදන හැකියාවක් පහසුකම් ලබා දෙන්නාට අවශ්‍ය වෙනවා. මෙතැනදි , වාචික පමණක් නොවේ, නිර්වාචික සන්නිවේදන හැකියාවනුත් හුඟක්ම වැදගත්.

8. Respecting Diversity - විවිධත්වය අගය කිරීම, මෙතැනදි කියන්නේ, එක් එක් පුද්ගලයාගේ අතීත අත්දැකීම් වල ඇති විවිධත්වය පිළිබඳව සංවේදීව , පුද්ගලයාගේ අත්දැකීමට "එම පුද්ගලයා දක්වන ප්‍රතිචාරය" ඔස්සේ ප්‍රතිකාරය ගෙනයාමයි. උදාහරණයක්, දරුවෙක් ඉපදීම ගැන අත්දැකීමක් එක් අයෙක්ට චිත්තවේගීය වශයෙන් ඉහළම සතුටක් ගෙන දෙන , ආත්මතෘප්තියෙන් කතා කරන අවස්ථාවක් වුවත්, තවත් අයෙක්ට ජීවිතයේ බිඳ වැටීම ආරම්භ වූ අවස්ථාව වෙන්නටත් පුළුවන්. ඒ නිසා ,පුද්ගල විවිධත්වය තුල අත්දැකීම් වල විවිධත්වය වෙත ධන හෝ සෘණ ප්‍රතිචාරයක් නොදක්වමින්, අදාල අත්දැකීම විඳි පුද්ගලයාගේ චිත්තවේගීය ප්‍රතිචාරය හදුනාගනිමින්, එය පඩිපෙළක් ලෙස යොද ගෙන කතාවේ ඉදිරියට ඒමයි ප්‍රතිකාර ලබා දෙන චිකිත්සකවරයාගේ වෘත්තීය වගකීම සහ සාර්ථක ප්‍රතිපලයක් ලබා ගැනීම වෙනුවෙන් කළ යුතු වන්නේ.

9. Promoting Empowerment- අත්දැකීමේ හිමිකාරීත්වය දීම, ‍පෙර කීවාමෙන්, මෙම ස්මරණ චිකිත්සාව තුල බෙදා ගන්නා අත්දැකීම් වල නියම "හැඟීම" දන්නේ , විඳින්නේ, සහ මේ ප්‍රතිකාරය තුලදී "නැවතත් මතකයට" ගන්නේ එය ලැබූ පුද්ගලයාමයි. එතැනදි, පහසුකම් දෙන්න අනවශ්‍ය ලෙස මැදිහත්වී, එම පුද්ගලයාට දැනෙන , වැටහෙන ලෙස "අතීත අත්දැකීම" වෙනස්කරන්නට යාම ප්‍රතිකාරය අසාර්ථක වීමට වගේම සමහර විට කතාබහ එතැනින්ම නැවතීමටත් හේතු වෙන්න පුළුවන්. ඊටත් වඩා, ප්‍රතිකාර ලබා ගන්නා සහ පහසුකම් සපයන්නා අතර පැවතිය යුතු "විශ්වාසය" දැඩි ලෙස පළුදුවීමක් වීමටත් මෙය හේතුවක්. මේ නිසා, ස්මරණ චිකිත්සාව තුලදී, තම අතීත අත්දැකීම බෙදාගන්නා පුද්ගලයාට "එහි හිමිකම" ලබා දෙමින්, සහය වීම පමණක් කරන්නේ නම් වඩාත් සාර්ථක ප්‍රතිපල ලබා ගන්නට පුළුවන්. (විෂය පිළිබඳ වෘත්තීය දැනුමක් ලැබීමේ වැදගත්කම මතුවන වැදගත් අවස්ථාවක් මේ)

10. Assessment and Feedback - පසුඅගැයුම් සහ ප්‍රතිචාර - නියමිත කාළ සීමාවක් තුල සිදුවන මෙම ප්‍රතිකාර වැඩසටහනට නිමාවේ, පසුඅගැයුම් සහ ප්‍රතිචාර ලබා ගැනීමත් ඒවා සායනික සටහන් ලෙස පවත්වා ගැනීමත් වැදගත් වෙනවා. ඒ, පුද්ගලයාගේ සෞඛ්‍යය තත්ත්වයේ සිදුවන වෙනස්වීම හදුනාගැනීමට මෙන්ම, ඊළඟ චිකිත්සීය වැඩසටහන් සැලසුම් කරගැනීමටත්, අනෙක් සෞඛ්‍යය වෘත්තිකයන්ට අවශ්‍ය හදුනාගැනීම් සඳහා උදව්වීමටත්.මේ තුල චිකිත්සීය ප්‍රතිකාරයට සහභාගී වූ පුද්ගලයා සමඟ කෙරෙන මූලික විමසීමක සිට, චිකිත්සකවරයාගේ නිරික්ෂණ මෙන්ම, අද අපේ වෘත්තීය පරිසරය තුල නම්, පටිගත වූ හඩපට සහ වීඩියෝවන්ද උදව් කරගනිමින් පසුවිමසුම් කරමින් හදුනාගැනීම් කළ යුතු වෙනවා. ඊට අමතරව, ප්‍රතිකාරය ලබා දෙන ප්‍රධාන චිකිත්සකවරයාට අමතරව , සහයට එකතු වන චිකිත්සකවරයා හෝ ශිෂ්‍ය චිකිත්සකවරයාගේ (විශේෂයෙන්ම කණ්ඩායම් චිකිත්සා වලදී) අදහස් විමසීමක්ද මෙතැනදී සිදුවෙනව.

දැන් අපි කතා කරමු, මෙම ස්මරණ චිකිත්සාව ප්‍රායෝගිකව සායනික පරිසරය තුල ලබා දෙන ක්‍රම මොනවාදැයි. කෙසේ වෙතත්, මෙම සමහර උපක්‍රම සායනික නොවන පරිසරයකදී ,එනම් ගෙදර දොරේදී වුනත් භාවිත කරන්නට පුළුවන්.

1. Life Review - මේ උත්සාහය තුලදී සිදුවන්නේ, අදාල පුද්ගලයාගේ ජීවිතයේ යම් අවස්ථාවක් හෝ අවස්ථාවන් ඉලක්ක කරමින් එම මතයක් නැවත ගෙන ඒමට කටයුතු කිරීමයි. මෙතැනදි, සාමාන්‍ය කතාබහක් ලෙස, හෝ ප්‍රශ්නාවලියක් ලෙස එහෙමත් ‍නැත්නම් යම් ඡායාරූප, සහතික වැනි දේ ඔස්සේ සමර්ණය වන කතාබහක් ලෙස ලබා දෙන්නට පුළුවන්.දෙවන ලෝක යුද්ධයේදී ලැබුණූ පදක්කමක් ඔස්සේ විශ්‍රාමික හමුදා නිලධාරියෙක්‍ගේ ජීවිතය , මතකය ඔස්සේ සතුට ගෙන දෙන්නට පුළුවන් අවස්ථා මීට උදාහරණයක්.

2. Therapeutic Activities - අතීත‍යේ මතක සමඟ මුසුවුනු සුවඳ, රස , ස්පර්ශයන් එක් කරමින් "සැලසුම් කළ" ප්‍රතිකාර වැඩසටහනක් ඔස්සේ ඇති කරගන්නා කතාබහ, එහෙම නැත්නම් චිත්‍ර ඇඳීම් වගේ ක්‍රියාකාරකම් ඔස්සේ මෙම ප්‍රතිකාරමය චිකිත්සාව යොමු කිරීමයි‍ මෙහිදී සිදුවන්නේ.

3. Storytelling and Narrative Therapy - පුද්ගලයාගේ ජීවිත අත්දැකීම් "කතාවක්" ලෙස ඉදිරිපත් කරන්නට පෙළඹවීම, එම කතාව තුලට එකතුවීම් ඔස්සේ ලැබූ අත්දැකීම ඔස්සේ සරු මානසික , චිත්තවේගීය ප්‍රතිපලයක් ලබා දීමයි මේ.

4. Multi-Sensory Stimulation- අතීත මතකය් රැදුනු ඡායාරූප, වීඩියෝපට පොත්පත, ඇඳුම්, වැනි මාධ්‍ය කිහිපයක් එක්ව යොදා ගනිමින්, "මතකය ඇවිස්සීම" සහ ඒ ඔස්සේ චිකිත්සීය වාසියක් ලබා ගැනීම උදව්වීමයි මේ.

5. Group Reminiscence - මේ තුලදී තනි පුද්ගල ප්‍රතිකාරයකට වඩා, කණ්ඩායමක් ලෙස උදව් වීමයි සිදුවන්නේ. කණ්ඩායමේ සියළුදෙනාටම, හෝ වැඩි පිරිසකට ගැලපෙන "පොදු අත්දැකීම්" ඔස්සේ කතාබහ ගෙන යමින්, තනි තනි පුද්ගලයාගේ පෙර මතකයන් මතුපිටට ගෙන ඒම වගේම සමාන අත්දැකීම් ලැබූ තවත් අයෙකුගේ අත්දැකීම් බෙදා ගනිමින් අළුත් අත්දැකීම් එකතු කරගැනීමකුත් මෙතැනදි සිදුවෙනවා.

6. Life Review Books or Journals- අතීත සැමරුණූ පිළිබඳ කතාබහ ගෙන යන අතරේම, එම කතාබහ පොතක් ලෙස හෝ පිංතූර පොතක් ලෙස අමුණමින්, වැඩි කාළයක්, වැඩි "විඳීමක්" ලැබෙන ලෙස අතීත මොහාත තුල රඳවා ගනිමින් , මේ මොහොත සතුටට පත්කිරීමට මෙම චිකිත්සීය උපක්‍රමය යොදා ගන්නවා.

7. Intergenerational Activities- මෙය කණ්ඩායම් චිකිත්සාවක් ලෙස සිදු කරන අතර, ඒ සඳහා අතීත අත්දැකීම් සහිත වියපත් හෝ වැඩිහිටි කණ්ඩායමක් මෙන්ම, සමාන අත්දැකීම් මෑත කාළය තුල ලැබූ අඩුවියැති , හෝ තරුණ පිරිසකුත් එකිනෙකාගේ අත්දැකීම් බෙදා ගන්නවා. තරමක් සංකිර්ණ සහ චිකිත්සකවරයාගේ දැඩි අධීක්ෂණයක් මත විය යුතු අවස්ථාවක් ලෙස හදුනාගන්නා මෙම ක්‍රමය තුල ඇතිවන බැඳීම්, මතුවන මතකයන්, ගැටළු සහිත පුද්ගලයා තුලට අපූරු ජවයක් ලබා දෙන බව වෘත්තීය අත්දැකීම් ඔස්සේ කියන්නට පුළුවන්.

8. Digital Reminiscence - නව තාක්ෂණීක ක්‍රම ඔස්සේ , එම මාධ්‍යයන් යොදා ගනිමින් කරන චිකිත්සක වැඩසටහනක් මේ. නැවත වර්ණගත කළ පැරණි ඡායාරූප මේ සදහා හොඳම උදාහරණයක්. එම නැවත සැකසූ ඡායාරූප, වීඩියෝ, පැරණී හඬපට වගේම Virtual reality තාක්ෂණය වගේම අද දවස වෙත්දී AI පහසුකම් ඔස්සේද මෙම මතකයන් මතු කරගන්නා ප්‍රතිකාරය සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙනවා.

9. Open Reminiscence Sessions- Open එහෙම නැත්නම් Unstructured ලෙස හදුන්වන්නේ ,මෙතැනදි විශේෂිත චිකිත්සීය සැලසුමක් නොමැති නිසා. එය හුදෙක් පුද්ගලයෙක් සමඟ කෙරෙන කතාබහක්, පරණ සිදුවීම් මතක් කිරීමක් වගේ දෙයක්. කෙටි , විශේෂිත අරමුණු ඉලක්ක නැති සුහද මෙවැනි කතාබහ ඔස්සේත් වාසියක් ලබා දෙන්නට බැරිකමක් නැහැ. (නමුත් සීමාවන් හදුනාගැනීම මෙතැනදි හරිම වැදගත්)

10. Family Reminiscence Sessions- කණ්ඩායම් චිකිත්සා වර්ගය තුලට අයත් වෙන මෙම ක්‍රමය තුලදී , ස්මර්ණ චිකිත්සාවට ලක්වන පුද්ගලයා සමඟ අදාල චිකිත්සකවරයාත්, සහාය චිකිත්සකවරයෙක් සහ පවුලේ සාමාජිකයන් පුද්ගලිකත්වය ආරක්ෂාවන පරිසරයක් තුලදී කතාබහ සිදු කරනවා. මෙතැනදී යම් ආකෘතියක් පැවතියත්, කතාබහ තුල පවුලේ සාමාජිකයන්ගේ මැදිහත්වීම්, එක්කිරීම් ඔස්සේ කතාබහ වෙනස් රිද්මයන් වලට පත්විය හැකි නිසා, "වෙනස් කළ හැකි" පාවෙන සැලසුමක් ඔස්සේයි ප්‍රතිකාරය ලබා දීම කරන්නේ. මෙම ක්‍රමය තුලින් අදාල පුද්ගලයාට චිකිත්සීය වාසියක් ලැබෙනවා මෙන්ම එම පුද්ගලයා, එම පුද්ගලයාගේ පවුල් සාමාජිකයන් සහ සෞඛ්‍යය කණ්ඩායම අතර බැඳීම වැඩිවීමත් ප්‍රයෝගිකව දකින්නට පුළුවන් සරු අත්දැකීමක්.

මං හිතන්නේ කතාව ටිකක් දිගට ගියා වගේ , ඒ නිසා අපි දැන් මේ කතාව මෙතැනින් නිමා කරමු. මොකද, තවත් කතාව දිගට ගියොත් වාසියක් නොවන්නත් පුළුවන් නිසා. දැන් මේ කියාගෙන ගියේ "ස්මරණ චිකිත්සාව" නම් ප්‍රතිකාරාත්මක චිකිත්සීය ක්‍රමය ගැන මූලික කරුණු කිහිපයක්. මෙම ප්‍රතිකාර ක්‍රමය ගැන ලංකාවේ සෞඛ්‍යය පද්ධතිය තුල ඇති ක්‍රියාත්මක බව ගැන මට වැටහීමක් නැහැ. නමුත් , බටහිර සෞඛ්‍යය සේවාවන් තුල විශේෂයෙන්ම මතකය, බුද්ධිය ආශ්‍රිත ගැටළු සහිත ප්‍රජාව , විපයත් ප්‍රජාව සහ ඩිමෙන්ෂියා වැනි තත්ත්ව සමඟ ජීවත්වන ප්‍රජාව තුලට ලබා දෙන සෞඛ්‍යය සේවාවන් තුල බහුලව යොදා ගන්නා බව අත්දැකීමෙන්ම කියන්නට පුළුවන්.

පොතකින් පිටපත් කිරීමක් නොව, වෘත්තීය අත්දැකීම් ඇසුරින් කළ සටහනකි. මග හැරුණූ , දැනගත යුතු ‍යමක් වේනම් කොමෙන්ට් තීරුව ඒ සඳහා විවෘතයි.

No comments: