Sunday, September 28, 2025

36. නොබැඳුනු මනසක විත්ති - I felt like myself again

("නොබැඳුනු මනසක විත්ති" විශේෂාංගය , එහෙම නැත්නම් ලිපි පෙළ තුලින් මම උත්සාහ කරනවා ම‍ගේ වෘත්තීය පරිසරය තුල දිනපතා මම අත්විඳින, සමහර විට ඔබ බොහෝ දෙනෙක් නොදකින, නොවිඳින වෙනස් සිදුවීම් මාලාවක් ඔබත් එක්ක බෙදා ගන්නට. ඒ තුලින් ඩිමෙන්ෂියාව සහ ආශ්‍රිත තත්ත්වය සමඟ ජීවන මගේ සේවාලාභීන්ගේ ඇත්ත අත්දැකීම්, ‍ඔබේ කරමින් ,මෙම තත්ත්වය ගැන යම් දැනුමක්, තොරතුරක් ලබා දෙන්නයි උත්සාහය.)

සිදුවීම වුනේ අඟහරුවාදා දවසේ, එදා අපේ ‍" මධස්ථ සිට උග්‍ර ඩිමෙන්ෂියා" තත්ත්වයන් සමඟ ජීවත්වන සේවාදායකයින් වෙනුවෙන් වැඩසටහන් පැවැත්වෙන දවස. පෙර ලිපියේ කීව වගේම හරිම "වර්ණවත් දවසක්".

අපේ වැඩසටහන තුල සේවා ලබා දීම එහෙම නැත්නම් පහසුකම් සපයන්නන් විදියට රැදෙන්නේ, මා සහ මගේ සහයක වෘත්තීය මිතුරිය පමණයි. නමුත්, අපේ සේවාලාභීන් සමඟ එක්ව කටයුතු කරන්නට උදව්වන්නට හැම දවසක ස්වෙව්ඡාවෙන් සේවය කරන එක් අයෙක් හෝ ඉන්නවා. ඒ ස්වෙච්ඡා සේවක උදව්ව නැතිව, විවිධ මතක මට්ටම්, විවිධ චර්යාවන් සහිත මෙවැනි "වර්ණවත් කණ්ඩායමක්" පැය හයක් පුරා පරිස්සම් කරගැනීම තරමක් අපහසුයි.

අඟහරුවාදා දවසේ අප‍ේ ස්වෙච්ඡා සේවය කරන මිතුරිය වුනේ ඊජිප්තු ජාතික වෛද්‍යවරියක්. ඇය කැනඩාව තුල සෞඛ්‍යය ලිපිකරුවෙක් ලෙස සේවය කළත්, තමන්ගේ විවේකය දවස අප සමඟ එක්ව, ස්වෙච්ඡා සේවය ලබා දෙන එකයි කළේ. කෙසේ වෙතත්, පහුගිය දිනෙක ඇයගේ පියා අභාවයට පත්වීම නිසා, ඇයට සිදුවනවා එම අවසන් කටයුතු වෙනුවෙන් නැවත ඊජිප්තුව බලා යන්නට. ඒ කියන්නේ, මේ තවත් සති කිහිපයක අඟහරුවාදා අපට වොලුන්ටියර් කෙනෙක් නැහැ.

මේ අඟහරුවාදාත් අපේ ස්වෙච්ඡා උපකාරය නොමැතිව වැඩසටහන කරගන යාමට අප සූදානම් වුනා. අද විශේෂ දවසක්, ඒ හැම මාසයකම එක දවසක් අපේ වැඩසටහන වෙත එකතු වෙනවා , Art therapist කෙනෙක්. ඇය, විශ්‍රාමික පාසල් ගුරුවරියක්, නමුත් විශ්‍රාමයෙන් පස්සේ නැවත උසස් අධ්‍යාපනය හදාරාල මීට වසර කිහිපයක පෙර Art therapistවරියක් ලෙස පුද්ගලික ආයතනයක් ආරම්භ කරනවා. නමුත් ඇය අපේ වැඩසටහන වෙත එන්නේ ස්වෙච්ඡාවෙන් තම සේවය දෙන්නට.

‍එදත්, වෙනද වගේම අපේ සියළුම සේවාලාභීන් එකතු කරගෙන ඇය ඇගේ අපූරු ඇබ්ස්ට්‍රෑක්ට් ආර්ට් වැඩසටහන කළා. විශේෂිත තීන්ත, උපක්‍රම එක්ව, හරිම සරල පියවර කිහිපයක් ඔස්සේ ඇය, මේ නිර්මාණය කරන්නේ ඩිමෙන්ෂියා සමඟ ජීවත්වන අපේ සේවාලාභීන්ගේ හිත් සතුටින් උණුසුම් කරමින්. (මට මතක විදියට ඒ චිත්‍ර කිහිපයක් මෙහි පළ කළා)

චිත්‍ර නිර්මාණය බොහොම සරළ පියවර කිහිපයක් වුනාට එහි පසු සැකසුම් තරමක සංකීර්ණ කටයුත්තක් වුනා. අදාල නිර්මාණ නියමිත ප්‍රමාණයට කපලා, ඒ වර්ණ වලට ගැලපෙන කාඩ්පත් වල අලවන්න ‍ලොකු මහන්සියක් වෙන්නට ඕන. වෙනද නම් ඒ වැඩේට උදව් වෙන්නේ අපේ ස්වෙච්ඡා මිතුරිය. නමුත් අද ඒ වෙනුවෙන් කවුරුවත් නෑ, අනෙක් රාජකාරි කටයුතු නිසා මට හෝ මගේ වෘත්තිය මිතුරියට ඊට උදව් වෙන්න විදියකුත් නෑ. දැන් මොකද කරන්නේ.

"මේරි , අද චිත්‍ර ටික නම් වෙනද වගේම හරිම අපූරුයි නේද? මොකද හිතන්නේ අපි හැමෝම අපූරු නිර්මාණකාරයෝ නොවෙද? " මේරි, අපේ චිත්‍ර තෙරපිස්ට්ව අගයන ගමන් , කණ්ඩායමේ පිරිසගෙන් ඇහැව්වා.

"ඔව්, මං හරි ආසයි ඒ තීන්ත වල සුවඳට, ඒක මට සුන්දර මතකයක් නැවත ගේනවා. හැබැයි මං චිත්‍රකාරයෙක් නොවුනත්, හරියට සතුටුවුනා මේ නිර්මාණයේදි" ඩිමෙන්ෂියා‍වේ මධ්‍යස්ථ මට්ට‍මේ ඉන්න, නිතරම තමන්ගේ නම අමතක වන ලෝරි පැන්න ගමන් කීවා.

"මම නම් ආසම, මේ තීන්ත පේපර් එකට දාල, ඒක විහිදෙන දිහා බලාන ඉන්න, ඒ නිදහස හරිම අපූරුයි" විශ්‍රාමික විදුහල්පතිවරයෙක් වන, අද වෙත්දි ඩිමෙන්ෂියාමේ මධ්‍යස්ථ මට්ටමේ ගැටළු සමඟ ජීවත්වන "ජේ" කිව්වා.

"‍කොහොමද ඩග් , අද චිත්‍ර ටික" කණ්ඩායම තුල නිශ්ෂබ්ද චර්යාවක් දක්වන ඩග්ට ප්‍රශ්නයක් දැම්මේ , එකක් ඔහුගේ ප්‍රතිචාරය ලබා ගන්න, අනෙක ඔහුත් කතාබහට එක් කරගනිමින් කණ්ඩායම් හැඟීම තුලට එකතු කරගන්න.

"ඥැහ්...ම: ‍මොන චිත්‍රද ඈහ් , මේහ් " ඔහු තමන්ගේ අඟිලි වල ගෑවිල තිබුණු තීන්ත මා වෙත පෙන්නමින් ඉස්සරහ දත් දෙක විතරක් පෙන්නමින් හිනා වුනා. (මට ඒ ඇති )

"මේරි, දැන් මේකේ ඊළඟ පියවර කරන්න ඔයාට උදව් වෙන්න අද කවුරුවත් නෑනේ, මොකද කරන්නේ"

"කමක් නෑ මහේෂ්, මම කාමරේට වෙලා මේටික හදල යන්නම්." අපේ ස්වෙච්ඡා චිත්‍ර ගුරුතුමී කැමැත්තෙන්ම තමන්ගේ චිත්‍ර වැඩසටහනේ ඉතිරි වැඩකටයුතු කරන්න බාර ගත්තා.

ඒත් ඒක මගේ හිතට හරි නෑ, ඒ, නගරයේ සිට තමන්ගේ කාළය, ඉන්ධන වැය කරගෙන ඇවිත්, අපට උදව් කරලා, ඉතිරි වැඩවලටවත් උදව්වක් වෙන්න අපට ‍බැරි වීම ගැන.

මොකක්ද කරන්න පුළුවන් ?... මොහොතක් කළ්පනා කළා.

ඊළඟට තියෙන්නේ ව්‍යායාම වැඩසටහන.ඒක නවත්තලත් බෑ.

හරි, උපක්‍රමයක් මතක් වුනා.

"ජේ! මට උදව්වක් කරන්න පුළුවන්ද?" අපේ කණ්ඩායම තුල ඉන්න විශ්‍රාමික විදුහල්පතිතුමාගෙන් විමසීමක් කළා. කැනඩාව තුල පළාත් කිහිපයක ගුරු වෘත්තියේ ඉඳලා, විදුහල්පතිවරයෙක් ලෙස විශ්‍රාම යන ජේ, ජීවත්වන්නේ අපේ නගරයේමයි. දරුවන් දෙදෙනෙකුගේ පියෙකුවන ‍ඔහු අද ජීවත්වන්නේ ඉතාමත් සුපිරි පහසුකම් සහිත ජීවිතයක්. ගුවන්නියමුවරයෙක් සහ ඉන්ධණ කැණීම් ඉංජිනේරුවන් වන පුතුන් දෙදෙනා සහ ඔවුන්ගේ පවුල් සියළු දෙනාම එකම ආසන්න නිවාස වල ඉන්න නිසා ජේට කිසිම තනියක් නැතිවා විතරක් නොවේ. ජේ සහ හාමිනේ ඉන්න නිවසේ ඉතාමත් සුව පහසුකම් වගේම, ඔවුන් වෙනුවෙන් පැය විසි හතට පුරාම සාත්තුව , රැකවරණය ලබා දීමට පුද්ගලික සාත්තු සේවකයන් පවා යොදවා තිබෙන්නේ.

"කියන්න මහේෂ්, ඕන දෙයක්!" ‍ජේ ‍ගේ ඇස් වල අමුතු සතුටක් මට දැනුනා. ජේ හරිම කැමතියි කණ්ඩායම තුලදි වුනත් ඔහුගේ දැනුම ගැන බෙදා ගන්න, ඔහුගෙන් යමක් අහනවාට . මට දැනුනේ ඒ වගේ සතුටක් ඔහුගේ ඇස් වලින්.

"ජේ, අද මොආනා (අපේ ස්වෙච්ඡා මිතුරිය) නැති නිසා, ඔයාට පුළුවන්ද මේරිට උදව් වෙන්න මේ චිත්‍රටික එකලස් කරගන්න. මං දන්නවා ජේ හරිම පිළිවෙලට වැඩ කරන හොඳ නිර්මාණශීලී ඇහැක් තියෙන කෙනෙක් කියලා. හැබැයි ඔයාට අද ව්‍යායාම වැඩසටහන මිස් වෙනවා, ඒකට කමක් නැත්ද" මගේ හිතට ආ , අදහස ඔහුට ඇතුළු කළා.

"මහේෂ්, මම එක පයින්! මම හැමදාම ගෙදරදි ව්‍යායාම කරනවා, අපි දෙන්නට වෙනම කාමරයක් තියෙනවා ඔක්කෝම ව්‍යායාව උපකරණ එක්ක. ‍අද සෙෂන් එක මගහැරුනා කියල කිසිම පාඩුවක් නෑ. මම එන්නම් මේරි ට උදව් වෙන්න. මොකද වෙන්න ඕන."

"බොහොම ස්තුතියි ජේ ඒ උදව්ව වෙනුවෙන්. වෙනද වගේ අර චිත්‍රටික කාඩ්ස් වලට අලවල, සූදානම් කරන්න තමයි තියෙන්නේ, මේරි ඉන්නවා එතැන. ඔයාට ඔයාගේ අළුත් අදහස් එකතු කරල හොඳම විදියට වැඩේ කරල දෙන්නකෝ" කියල ඉවර වෙන්නත් ඉස්සර වෙලා, රෝද පුටුව පස්සට ගත්ත ජේ, චිත්‍රකාමරය වෙත ගියා නොවෙයි, පියෑඹුවා.

මගේ මිතුරිය , ව්‍යායාම වැඩසටහන ආරම්භ කළා, මම අළුත් සේවාලාභීන් බඳවා ගැනීමට අදාල තෝරා ගැනීම් සඳහා කාමරයට ගියා.

කාළය ගියා, චිත්‍රකාමර පෙන්වන තිරයෙන් මට පේනවා මේරි සහ ජේ හරිම කඩිසර විදියට චිත්‍ර වල පසු සැකසීම් කරනවා. මගේ වැඩේ කරන අතරේ වරින්වර තිරයට ඇහැ යොමු කළේ, ඒ සතුට විඳින්න.

දෙන්න හිනාවෙනවා , ජේ කාමරට පුරාම යමින්, අවශ්‍ය උපකරණ එකතු කරනවා, අලවනවා, තව මොනවාදෝ කඩදාසි වගයක් පෙන්නමින් දෙන්න එක්ක හිනා වෙනවා. හඩ නොඇහුනත් තිරය තුල දකින චර්යාව ඔස්සේ ජේ , වෙනදාට වඩා සක්‍රිය විදියට වැඩේට උදව්වන බව දැනුනා.

දවස ගෙවුනා, හවස තුනයි. මේ අපේ කණ්ඩාය‍මේ සේවාලාභීන් ගෙවල්වල යන වෙලාව. වෙනද වගේම බිරින්දෑවරු ඇවිත් තමන්ගේ සැමියාව බබෙක් එක්ක යනවා වගේ බොහොම පරිස්සමට එක්කරගෙන ගියා වාහනේට, සමහරෙක්, තමන්ගේම වාහනෙන් ගෙදර ගියා. හැමදාමත් ජේ ටිකක් පමාවෙලා යන්නේ. මොකද, එයාව ගෙනියන්න එන සාත්තු සේවිකාවගේ සේවා මුරය මාරු වෙන්නේ හරියටම තුනට. ඉතින් එයා ‍ජේ වෙනුවෙන් එත්දි විනාඩි දහයක් පහලොවක් ප්‍රමාද වෙනවා.

ඒ ප්‍රමාදය , ජේ එක්ක කතා කරන්න හිතුවා.

"ඉතින්, මම හිතනවා අද හොඳ දවසක් වින්දා කියල ‍ජේ?" මගේ මුල්ම ප්‍රශ්නය යොමු කළා.

"අද නම් නියමයි මහේෂ්, අද උදේ අර චිත්‍ර වැඩසටහන හරිම අපූරුයි, හරිම ලස්සන චිත්‍ර ගොඩක් තිබුණා. ඒ සේරටම වඩා මට හරිම සතුටුයි, අද කාළෙකට පස්සේ , මට මගේ ජිවිතය ආයෙත් දැනුනා මහේෂ්!" , ජේ මගේ අත අල්ලගත්තේ පුදුමාකාර ආදරණීය සතුටකින්.

"ඒ කීවේ?"

"අද මේරියි මමය අර චිත්‍ර ඔක්කෝම ලස්සනට ෆ්‍රේම් කළා, මට මතකයි මම උගන්වන කාළේ මගේ දරුවන්ට (ශිෂ්‍යයන්ට) මම උනන්දු කළා Scrapbooks හදන්න. පුංචි පන්ති වල විද්‍යාව පාඩම් වලට එයාට ආස කරන්න පටන්ගත්තේ ඒ ‍ස්කැප්බුක්ස් වලින්. මම හරිම ආසයි, ඒ පොත් හදන්න" ජේ මගේ අත ලිහිල් කළා, ලොකු හුස්මක් ගත්තා.

"කියන්න ජේ,"

"හ්ම්. වෙනද මේරි කරන්නේ චිත්‍ර ටික කාඩ්බෝඩ් වල අලවන එක වුනාට අද මම යෝජනා කළා ඒ ටික ‍ෆ්‍රේම් කරලා,Scrapbook එකකට ගමු කියලා. ඒ පිංතූර වල දාර කතුරෙන් කැපෙත්දි මම හිටියේ මෙතැන නෙවි මහේෂ්, මම හිටියේ මගේ ඉස්කෝලේ, මගේ ගාව හිටියේ මේරි නොවෙයි , හිනා කටවල් පුරෝගත්ත, එක තැනක එක විදියට ඉන්න බැරි පැටවු ‍මගේ වටේ කරකැවුනා දැනුනා මට. මට මාව ආයේ දැනුන මහේෂ්, මට මගේ ජීවිතය ආයේ දැනුනා I felt like myself again" , ජේ අන්තිම වාක්‍යය කීප වතාවක්ම කියත්දි , ඇහ කෙළවර මතුවුනු කඳුලක් මා දැක්ක.

"ඉතින්, ජේට සතුටුයිද ඒ වැඩේට උදව්වුනු එක ගැන"

"ආයෙත් කියලා මහේෂ්, මට ගෙදර හැම සැපම තියෙනවා. ඒත් මාව පරිස්සම් කරනවා වැඩියිනේ. කතුරක්, ග්ලූ ස්ටික් එකක් අල්ලපු කාළයක් මතක් නෑ ගෙදරදි. ඒකවගේම, අර අළුත් කොළ වලින් එන සුවඳ , ඒකට ග්ලූ ස්ටික් එක ගෑවෙත්දි ඒ දැනෙන හැඟීම මගේ ජීවිතේ කෙ‍ාටසක්. ඒත් මට ඒ දේවල් කරන්න ගෙදරදි අවස්ථාවක් නෑ. හැමදේම ඩිජිටල්, මම දන්නවා මගේ දරුව‍ො මං ගැන පරිස්සමට එහෙම කරන්නේ කියලා. ඒත් මම ආසයි, මට දැනෙන, මට හුරු හැඟීම් විදින්න. ඒක නොවැ මගේ ජීවිතේ"

තවත් දිග වෙලාවක් කතා කරන්න පුළුවන් හයියක් ජේ තුලින් මතුවුනත්, ඔහුගේ සාත්තු සේවිකාව , ජේගේ අධි සුඛෝපභෝගී වාහනයෙන් එනවා දැක්ක නිසා අපේ කතාව නිමා කරල, ජේට සමුදුන්නා. ඒ හිත ඇතුලට අපූරු අදහසක් එකතු කරගෙන "මම ආසයි, මට දැනෙන, මට හුරු හැඟීම් විදින්න. ඒක නොවැ මගේ ජීවිතේ"

ඒ "ජීවිතය" දැනෙත්දි ඔහුට දැනුනු සතුට , කියවුනු වචන වලට වඩා ඇස්, කම්මුල්, අත්ලේ උණූසුම ඔස්සේ ඔහු මාත් එක්ක බෙදා ගත් බව කියන්නේ, ඒ හැඟීම් අකුරු කරන්නට තරම් මා සමතෙකු නොවන නිසාවෙනි.

No comments: