අද කතාව නම් ඇත්තටම කෙටියි, මොකද මේ ඩිමෙන්ෂියා තත්ත්වයේදීත් පෙර කී සාධක බොහොමයක් පොදුයි. කෙසේ වෙතත්, අද මේ කතාවට මාතෘකා කරගන්න මගේ සේවාලාභියා තුල VaD සඳහා පොදු ලක්ෂණ කිහිපයක් තිබුණා.
ඇය අනීටා, අනෙක් සේවාලාභීන් සමඟ සැසඳුවාම වයසින් තරමක් අඩු වියැති කෙනෙක්.
"අපි මෙහෙම තත්ත්වයක් මෙයාට තියෙනව කියල දැන ගන්නේ අවුරුදු හැටේ බර්ත්ඩේ එකට තිබුණූ උත්සවේට ආපු අපේ ලොකු පුතා නිසා. එදා උපන්දිනේ උත්සවේ දවසේ මෙයාගේ කතාව හරි අමුතුයි කියල, චෙකප් එකක් කරමු කියල ලොකු පුතා යෝජනා කළා, එතැනදි තමයි මුල්ම සැකේ ආවේ" දවසක්, අනීටගේ මහත්තයා, Life story පෝරමය පුරවන අතරේ කීවා.
පසුව කළ විමසීම් වලදි දැන ගන්නට ලැබුණා, ඇයට අවස්ථා කිහිපයක TIA එහෙම නැත්නම් Transient Ischemic Attack කියන පැය කිහිපයක් පවතින පොඩි ස්ට්‍රෝක් එකක් වගේ තත්වයන් අවස්ථා දෙක තුනකදි ඇති වෙලා තිබුණා.
"අපි ඒවට බෙහෙත් ගන්න ගමන් හිටියේ, ඔය කෝවිඩ් ආපු අවුරුද්දේ මෙයාට මෙක්සිකෝ යන්න ඕන කියලා, ගිය ගමනෙදි තමයි මේ ස්ට්‍රෝක් එක ආවේ" අනීටගේ මහත්තයා ඇගේ අත අල්ලගෙනම කියවගෙන ගියා. අනීටා කට පැත්තකට ඇද වෙන්න පුංචි හිනාවක් දැම්ම.
"මට වෙන අමාරුවක් නෑ , හරියට නින්ද යන්නේ නෑ, ඒ නිසා ටිකක් ඔළුවේ කැක්කුම තියෙනවා, ඒකට මෙයයි අපේ ....අපේ ..අපේ .... කවුද අනේ මට ක්ලිනික් යන්න කීවේ" අනීටා මහත්තයගේ ඇස් දිහා බලාගෙන ඇහැව්වා.
"ලොකු පුතානේ, ලොකු පුතා තමයි කීවේ ඔයාට ක්ලිනික් එකට ගිහින් පෙන්වන්න කියල"
වැස්කියුලර් ඩිමෙන්ෂීයාව ඇති වෙන්නේ, මොළයට , මොළයේ සෛල වලට ලැබිය යුතු ප්‍රමාණවත් පෝෂණය, ඔක්සිජන් සහිත රුධීරය නොලැබී යාම නිසා සිදුවන "අහේනිය" නිසා මොළයේ සෛල බිඳවැටීමෙන්. හුඟක් අවස්ථාවල මෙය සිදුවන්නේ, මොළයේ රුධීරවාහිනී වලට ගැටළු, පාලනය නොකළ අධීරුධීර පීඩනය, උපතින්ම මොළයේ ලේ නාල වල තිබුණු ගැටළු වියපත්වීම සමඟ තවත් දුර්වල වීම වගේ සාධක නිසා. නමුත්, අපේ එක් "තරුණ පහේ" සාමාජිකයෙක් , වැස්ක්‍යුලර් ඩිමෙන්ෂියාව සමඟ ජීවත් වුනා, එතැනදී නම් අවස්ථා දෙකකදි සිදුවුනු දරුණු රිය අනතුරු වලදී, මොළයට වුනු අනතුරු සහ අදාල ශල්‍යකර්ම වලට පසු ඇති වූ සංකූල වල බලපෑම හේතු වුනු බව හඳුනාගත්තා.
මේ තත්ත්වය සමඟ ජීවත්වන අයගෙත් අමතක වීම ( හැබැයි මෙතැන අමතක වීමේ රටා හරිම වෙනස්, මොකද පොදුවේ ඩිමෙන්ෂීයා වලදි කෙටි කාළීන මතකය, නැත්නම් මේ දැන් කරපු දේවල් අමතක වෙනවා කිව්වට මෙතැනදි අමතක වීම් වෙන්නේ මොළයේ හානිවන ප්‍රදේශය අනුව. සමහරුන්ට හොඳට මතකයි, හැබැයි කතා කරන්න ගියාම අතර මැද කෑලි මතක නෑ, හරියට දිගටම බලාගෙන යන ටෙලි නාට්‍යයක අතරමැද කොටස් දෙක තුනක් බැලුවේ නැතිවුනාම එන හැඟීම තමයි මතුවෙන්නේ) , සමබරතාවය බිඳ වැටීම, මුත්‍රා ආසාදන වරින්වර ඇතිවීම, රස වගේම ගත් ආහාර ප්‍රමාණය ගැන හැඟීමක් නැතිවන අවස්ථාත් තියෙනවා. ඊට අමතර කෙටි කාළයක් තුල පෙනීම දුර්වල වීම, සමහරුන්ට කථන, ඒ කිව්වේ දන්න වචනය "නිවැරදිව" පිට කිරීමේ අපහසුතා ( ලියන්න පුළුවන්, වචන එළියට දාගන්න බැරි) වගේ ලක්ෂණත් දකින්න පුළුවන්.
ඒවගේම තවත් අපූුරු සම්බන්ධතාවක් වැස්ක්‍යූලර් ඩිමෙන්ෂියාව සහ මික්ස්ඩ් ඩිමෙන්ෂීයාව අතර තිබෙනවා. ඒ, බොහෝ වැස්ක්‍යූලර් ඩිමෙන්ෂීයා සහිත පුද්ගලයන් , තවත් ඩිමන්ෂියා වර්ගයක් සමඟත් එක්ව ජීවත් වෙනවා. උදාහරණයක්, වැස්ක්‍යූලර් ඩිමෙන්ෂීයා+Posterior Cortical Atrophy වගේ තවත් වර්ගයක් එක්ක Mixed Dementia ලෙස ලක්ෂණ මතුවන අවස්ථා තිබෙනවා.
ඔන්න ඔහොමයිලු, වැස්ක්‍යූලර් ඩිමෙන්ෂීයාව ගැන කෙටි කතාව ඉවර වුනේ.
No comments:
Post a Comment