මහාභාරතය, ග්‍රීක , ස්කැන්ඩිනේවියානු පුරාවෘත්ත වල සිට, කෘතිම බුද්ධිය සමඟ තරඟ කරන අද දවසට දක්වාම මිනිස් සමාජය තුල පවතින බව පොදුවේ හඳුනාගන්නා විරසකයක් තමයි නැන්දම්මා-ලේලි ගැටුම. විටක එය පවුල් විරසක වන පුපුරා යන ගැටුමක් වෙත්දි , තවත් තැනකදි හීන් සැරයෙන් විදෙව්වත්, ලොකු ගැටුම් ඇති නොවන ලෙස පවත්වා ගන්නටත් පුළුවන් වෙනවා. තවත් අවස්ථාවක, ගැටුම් නැති නැන්දම්ම-ලේලි බැඳීම්තුත් නැතිවා නොවේ. කොහොම වුනත්, මේ නැන්දම්ම-ලේලි ගැටුම ගැන කතා කරන්න සමාජ, මනෝවිද්‍යාත්මක වගේ පැති ගණනාවක් තිබෙන නිසා සංකීර්ණව ඒ තුලට නොගියත්, පොදුවේ හේතුවිය හැකි කරුණූ කිහිපයක් ගැන කතා කරල, එතැනින් පස්සේ, අප හුඟ දෙනෙක් නොහිතන, එහෙම නැත්නම් හිතන්නට , අවධානය යොමු කරන්නට අවශ්‍ය දැනුම අඩු, තවත් සංකීර්ණ ගැටළුවක් ගැන විස්තරාත්මකව කතා කරන්නත් උත්සාහ කරනවා මේ ලිපිය තුල.
විරසකේ ඇරඹුම
මුලින්ම අපි දන්න තැනින් පටන් ගනිමු.සමාජය තුල දකින්න ලැබෙන පොදු , නැන්දම්ම-ලේලි ගැටුම් සඳහා හේතුවන සාධක අතරේ, දෙපාර්ශවය අතරේ ඇති අපේක්ෂාවන්/ඒකාකෘතියන්, සීමාවන් බිඳීම් හෝ සීමාවට ඇතුළු වීම්, අවධානය පවත්වා ගැනීම හෝ හිමිකරගැනීම වෙනුවෙන් , තවත් අවස්ථාවකදි වගකීම් , පාලන සීමාවන් අවහිර වීම, එකිනෙකාගේ පෞරුෂමය ගැටීම්, වගේම ආර්ථිකමය හේතු, අනාගතය ගැන ඇතිවන අවිනිශ්චිත තත්ත්වයන්, සහ පරණ කුණූ නැවත ඇද ගැනීම වගේ අවස්ථා බහුලව දකින්නට පුළුවන් වේවි.
නමුත්, මේ ලිපිය තුල අප උත්සාහ කරන්නේ මේ බහුලව දකින්නට ලැබෙන, පහසුවෙන් හඳුනාගත හැකි සහ වටහා ගත හැකි , නැන්දම්ම-ලේලි ගැටුමේ සාධක ගැන කතා කරන්න නොවේ. මේ ලිපිය තුල කතා කරන්නේ මෙවන් ගැටුම් සඳහා හේතු විය හැකි කායිකව සිදුවන සෞඛ්‍යය ගැටළුවක් ගැනයි. ඉතා විමසීමෙන් නොසිටියහොත් සහ උදව් ලබා නොගතහොත් හඳුනාගැනීමට අපහසු , විශේෂයෙන්ම වයස, එයාගේ හැටි, නැන්දම්මනේ වගේ ලේබල් වලින් වැසී යාහැකි මෙම තත්ත්වය වෛද්‍ය විද්‍යාත්මකව හඳුන්වන්නේ ඩිමෙන්ෂියාව කියල.
ඩිමෙන්ෂියාව සමඟ නැන්දම්මා
දැන් මේ ඩිමෙන්ෂියා කියන සෞඛ්‍යය ගැටළුව ඇති වෙන්නේ නැන්දම්ම-ලේලි ගැටුමෙදිද , මෙහෙම වෙන්න පුළුවන් නැන්දම්මට විතරද ? ඔය වගේ නානාප්‍රකාර ප්‍රශ්න එන්න පුළුවන් නේ. ඒ නිසා මෙන්න මෙහෙම අපි කතාවට ඇතුළු වෙමු.
"ඩිමෙන්ෂියාව" යනු!
ඩිමෙන්ෂියාව කියල කියන්නේ, මොළයේ සෛල වල, මොළයේ සෛල අතර ඇති සන්නිවේදන පථ වලට සිදුවන , නැවත නිවැරදි කළ නොහැකි හානියක් නිසා සිදුවන අමතක වීම සහ තවත් ගැටළු ගණනාවක් ඇති කරන , සුව කළ නොහැකි, නමුත් ප්‍රතිකාර මත පාළනය සහ තත්ත්වය අවදානම් තැනට පත්වීමේ වේගය පාලනය කළ හැකි , වයස දොළහේ දරුවාට වගේම අසූනමනයේ නැන්දම්මාත් ඇතිවියි හැකි තවත් , අපේ සමාජය තුල එතරම් කතා බහට ලක්නොවන, නමුත් සමාජය තුල ඇති සහ වැඩිවන තවත් සෞඛ්‍යය ගැටළුවක්. මෙය "මානසික රෝගයක්" නොව, තවත් කායික රෝගයක් බව විශේෂයෙන්ම මතක් කරන්නේ, මානසික රෝගය යනු "පිස්සුවක්" ලෙස සමාජගත වී ඇති තත්ත්වයකදී විය හැකි අවාසිය අඩුකරගන්නටමයි.
ලේලිට වඩා ලොකු නැන්දම්මා
ඩිමෙන්ෂියා තත්ත්වය ඕනෑම වයසක අයෙකුට ඇතිවිය හැකි වුනත්, වියපත් වීම සමඟ මෙම තත්ත්වය සමඟ ජීවත්වන්නට වන අවස්ථාව ක්‍රමයෙන් වැඩිවන බව හඳුනාගෙන තිබෙනවා. ඒ කියන්නේ , වයස අවුරුදු දොළහේ ඩිමෙන්ෂියා දරුවන්ට වඩා, අවුරුදු හැටේ නැන්දම්මලාට ඩිමෙන්ෂියාව තත්ත්වය තිබෙන්නට වැඩි ඉඩක් තිබෙනවා.
දැන් නැන්දම්මට විතරද මේක හැදෙන්නේ? නෑ, මුලින් කීව වගේ ඕනම කෙනෙක්ට මෙම තත්ත්වය ඇති වන්නට පුළුවන්. නමුත් මේ කතාබහ නැන්දම්ම-ලේලි නිසා, මේ දෙන්න අතරින් වයස වැඩි කවුද කියල හඳුනගත්තොත් ඩිමෙන්ෂීයාව සමඟ ජීවත්වන නැන්දම්මලා , ලේලිලාට වඩා ඇති කියල උපකල්පනයක් කරන්න පුළුවන් නේ.
සැමට විය හැක
අනෙක, මේ ප්‍රශ්නය නැන්දම්මටමට දාන්න එපා, මේ ගැටළුව ඔබේ අම්මට, තාත්තට සමහර විට වැඩිමහල් සහෝදරයට , සමහර විට ඔබේ සැමියා, බිරිඳට වුනත් තිබෙන්න පුළුවන්. ඒ නිසා, අපි නැන්දම්ම-ලේලි කතාවෙන් මේ ලිපියේ ඉදිරියට යන අතරේ, මෙම සෞඛ්‍යය තත්ත්වය පොදු දෙයක් බව මතකයේ රඳවා ගැනීම වටී.
ඩිමෙන්ෂියාව සහ පවුලේ විරසකය
ඩිමෙන්ෂියා තත්ත්වයේ මෙන්න මේ ලක්ෂණ, නැන්දම්ම-ලේලි ගැටුම ඇති කරවන්න හේතු වේවි කියල පුද්ගලිකව මා විශ්වාස කරනවා. මේ ගැන සිදුවුනු , පුළුවන් පර්යේෂණ වාර්තාවක් හෙව්වත්, අපේ රටේ සංස්කෘතියට අදාලව එවැන්නක් සොයා ගන්නට බැරි වුනා. මේ කියවන ඔබ , ඔබේ අධ්‍යාපන කටයුතු තුල සමාජ පර්යේෂණ කරනවා නම් ටිකක් හිතල බලන්න.
මොනවද මේ ,
හේතු විය හැකි ලක්ෂණ,
1) මතකයේ ගැටළු - ඩිමෙන්ෂියා තත්ත්වයේදි සිදුවන ප්‍රධාන ගැටළුවක් වන්නේ මෙය. විශේෂයෙන්ම කෙටි කාළීන මතකය ඉක්මණීන් අඩුවන මේ අයට පරණ මතකයන් හොඳින් එළියට ගන්නට පුළුවන්. මේ නිසා, ලේලි අද දවල් කන්න දුන්නනත්, හවස් යාමේ වෙත්දි "අපේ ලේලි මට කන්න දෙන්නේ නෑ" කියමින්, අල්ලපු ගෙදරට යන නැන්දම්මා කෙනෙක් , මෙම හේතුව නිසා ඇති වෙන්න පුළුවන්. අනෙක් දේ, ලේලි කොයිතරම් හොඳින් සාත්තු සප්පායන් දැන් කළත්, ඊට වඩා අතීතයේ "මගේ පුතාව අල්ල ගන්න දඟලපු කාළේ" වුනු දේවල් හොඳින් මතක තිබීම නිසා, දැන් කරන හොඳ අමතක වී, පරණ කුණූ නැවත ගෙනැවිත් මුළු පවුලටම ගැටළු ඇති කරන්නත් බැරි නැහැ. ඒවගේම තමන්ට සිදුවන අමතක වීම තුල ඇති වන අපහසුව, සමහර විට ලැජ්ජාව , විශේෂයෙන්ම පවුල ඇතුලේ ඉන්නා අළුත් සාමාජිකාව ඉදිරියේ සිදුවන අපහසුතාවය , වෙනත් ආකාරයකින් පිට කරන්නට මේ අම්මාට හිතෙන්නත් ඉඩක් තිබෙනවා. මේ විදියට, මතකය අඩුවීම කියන ගැටළුව, සෘජුව පවුලේ අනෙක් අයට හඳුනාගන්නට බැරි වුනත්, සමහර විය ඒ ගැන අවධානයක් නැති වුනත්, මෙම තත්ත්වය සමඟ ජීවත්වන කෙනා තුල ඇතිවන බිඳ වැටීම්, වේදනාවන්, අපහසුතාවයන් පෙර කී ලෙස නැන්දම්ම-ලේලි ගැටුම් සඳහා හේතු වේවි.
2) චිත්තවේග පාලනය කරගැනීමේ අපහසුව සහ ආවේගශීලි වීම - "මාත් එක්ක හොඳට කතා කරන අම්ම, අපේ හාමිනේ එක්ක කතා කරන්නේ හරිම තරහෙන් වගේ" කියන පුතාට මේ හේතුව තේරුම් ගන්න පුළුවන් නම් එතැනම ගැටුමේ හේතුව හොයා ගන්න පුළුවන් වේවි. ඩිමෙන්ෂියා තත්ත්වය සමඟ සිටින අයෙක්ගේ චිත්තවේග, මූඩ් එක විවිධ හේතු නිසා ක්ෂණිකව වෙනස් වෙන්න පුළුවන්. දවසේ වෙලාව, බඩගින්න, ශාරීරික වේදනාවන්, අධික ශබ්දය, නුහුරු පරිසරය, ඔය වගේ හේතු ගණනාවක් නිසා අදාල පුද්ගලයාගේ මූඩ් එක වෙනස් වෙන්නට පුළුවන්. අළුත ගෙනා මනමාලි, පුතාට ලොකු වටිනාකමක් ගෙනාවත්, ඩිමෙන්ෂියාව සමඟ ජීවත්වන අම්මාට ලොකු පීඩනයක් ඇති කරනවා වෙන්න පුළුවන්. නෑ, ඇති කරනවා නොවේ, ඇති වෙනවා වෙන්න පුළුවන්. ඇගේ කටහඬ, ඇය නිවසේ කටයුතු කරන ආකාරය, මෙතෙක් නිවසේ තිබුණු පිළිවෙල (ඩිමෙන්ෂියා තත්ත්වය සමඟ ජීවත්වන අය වඩාත් කැමති යම් හුරුපුරුදු රටාව) දැන් අළුත් මනමාලි සමඟ වෙනස්වීම ඔය වගේ විවිධාකාර හේතු නිසා , නැන්දම්මාගේ මූඩ් එක වෙනස්වීමත්, සමහර විට හඳුනාගත හේතුවක් නැතිව ආවේගශීලී වීම හෝ, ආවේගශීලී වූ ආකාරයේ කතාබහක් ඇතිවන්නට පුළුවන්.
3) හැඟීම් හඳුනාගැනීම අපහසුවීම - "මම කොයිතරම් ආදරරෙන් කතා කළත් ඔයාලගේ අම්ම හරිම අකමැතියි අනේ මට" කියන අළුත ගෙනා මනමාලී, මේ සාධකය තේරුම් ගත්තා නම් රිදවා ගැනීමක් නොකරන්නට ඉඩ තිබෙනවා. ඩිමෙන්ෂියාවේ එක් අවස්ථාවකදි , අනෙක් පුද්ගලයාගේ හැඟීම් නිවැරදි ලෙස හඳුනාගන්නට සහ තීරණය කරගන්නට නොහැකිව යනවා. එතැනදි, තමන් සමඟ හිනාවෙමින් ආදරයෙන් කතා කරන පුතා, "තමන්ට බැනවදිනවා" ලෙස විශ්වාස කරමින් හඬා වැටෙන අම්මා, සියළු ප්‍රශ්න මැද දුකින් වේදනාවෙන් කාළය ගත කරන අළුත ගෙනා ලේලි වෙත අපහාසයක් කර, තම හැඟීම් පිට කරන්නට.
4) තීරණ ගැනීමේ අපහසුව - මෙතෙක් නිවසේ පාලනය කරමින් , තීරණ ගත් අම්මාට දැන් වෙනදා නිවසේ කළ කටයුත්තක් ගැන තීරණයක් ගන්නට නොහැකිවීම නිසා, ඇතිවන පීඩනයත් විවිධ ආකාරයෙන් පිටවන්නට පුළුවන්. එය හැඩීමක්, නිවෙස් තනිවීමට දරන උත්සාහයක්, මහ රෑ මැද අවදි වී නිවස අස්පරස් කරන්නට ගැනීමක්, නිවසෙන් පිටත ඇවිදිමින්, අවට නිවැසියන් සමඟ ලේලිගේ අතීත වැරදි කියා පෑමක් වගේ විවිධ ප්‍රතිචාර දක්වන්නට පුළුවන්.
5) මායාවන් තුල රැදීම - ඩිමෙන්ෂියාවේ තවත් පොදු ලක්ෂණයක් වන, විවිධ රූප, ශබ්ද දැනීම් වගේම අවට තිබෙන දෑ පිළිබඳ "වැරදි" සංකල්පයන් මතුවීම නැන්දම්ම-ලේලි ගැටුමට සාධක ඇති කරන්නට පුළුවන්. "උඹ ගෙදර නැති වෙලේ අරකි, අල්ලපු ගෙදර සෝමේ එක්ක ජනේලෙන් කුටු කුටු ගෑව" කියන අම්මා, අළුත් ලේලි නිවසේ අලංකාරය ගෙනා බිම් සැරසිල්ල "අරකි වට්ටල , එකතැන් කරන්න ගේ මැද උගුලකුත් අටවල තිබුණ" කියල කියන්නත් බැරි නෑ.මේ මායාවන් තුල ඇයට ඇසෙන, දකින දේ , ඇත්තටම පරිසරය තුල සිදුනොවනත්, එය "සම්පුර්ණ ඇත්තක්" ලෙසයි, ඩිමෙන්ෂීයාව සහිත පුද්ගලයාට දැනෙන්නේ. එවැනි තත්ත්වයක් තුල, එවැන්නක් සිදුනොවූ බව "තහවුරු කරන්නට" නැන්දම්මා හෝ අම්මා සමඟ වාද කිරීම නැන්දම්ම-ලේලි ගැටුව ගිණී අවුලවන්නට ලොකු හේතුවක්වේවි.
6) ව්‍යාකූල වීම - මෙම තත්ත්වය සමඟ ජීවත්වන අයෙක්ට වෙලාව, දවස, ඉන්න තැන, වගේ දේ ගැන අපහැදිලි බවක් ඇති වෙනවා. "අද අදේ මට කන්න දුන්නේ නෑ " කියමින්, උදේ කෑම පිගාන අල්ලාගෙන ඉන්න , නැන්දම්මා කෙනෙක්ට ඊට හේතුවෙන්නේ උදය, දවාල වගේ කාළ සීමාවන් හඳුනාගැනීමට ඇතිවන අපහසුතාවය. කුස්‍සියේ තිබෙන්නට ඕන, තේ කෝප්පය, වැසිකිළියේ බිත්තියක් මත තිබීම , සාලයේ පුටුවක් මත තිබුණූ දුරස්ථ පාලකය නැන්දම්මාගේ ඇඳ අස්සේ තිබීම සහ එවැන්නක් නොකළ බව "සනාථ කිරීමට උත්සාහ" කිරීම තුල පෙන්වන්නේ මෙම ගැටළුකාරී අවස්ථාව අත්විදින බවයි. "මොකද අම්මේ, මේ සීනි බෝතලේ මගෙ ඇඳගාව, කූඹිත් වහල" කියල කියත්දි "ඔය මම නෙවි , උබේ බාරියාවගේ වැඩ තමා" කියන අම්මා ගැන ආවේගශීලි වෙන්න එපා කියල දැන් ඔබට කියන්නටම ඕන.
7) වෙනස්වන අම්මා - වෙනද නිවසේ වැඩකටයුතු හොඳින් කරගෙන, ගෙවල් දොරවල් අස්පස් කරගෙන , පුතාගේ වැඩටත් උදව් වෙමින් හිටි අම්මා, දැන් ඒ කිසිවක් නොකර, නිවසේ පැත්තකට වී, කාමරයකට වී තනිව අලසව සිටිනවා නම් තවත් හේතු ඒ සඳහා විය හැකි අතරේ, ඩිමෙන්ෂියාවත් එක් හේතුවක් වන්නට ඉඩ තිබෙනවා. මේ වෙනස දකින ලේලි "හොඳට ගෙදර වැඩ කළ නැන්දම්ම, දැන් මට කියල ඔක්කොම වැඩ කරගන්න" දරන උත්සාහයක් ලෙස මේ වෙනස හැඳිනගන්නට ඉඩ තිබෙනවා. උදේ හදල දුන්නු තේ එකවත් නොබී , මග බලාගෙන සිටින අම්මා දකින පුතාට තම අළුත ගෙනා මනමාලිය "අඩුම තරමේ තේ එකවත් අම්මට දීල නෑ" කියල හිතුනොත් ඒක මේ තත්ත්වය ගැන නොදැනුවත්කම නිසා වූවක්.
8 ) පවිත්‍රතාව අඩුවීම - මෙතෙක් හැඩට ඇඳ පැලද ගෞරවනීය ලෙස නිවසේ ලොකු වගකීමක් ගෙන සිටි අම්මා, දැන් දැන්, තමන්ගේ පවිත්‍රතාව ගැන නොසැලකිලිමත් වෙමින්, වෙනදා පිරිසිදු ඇඳුම් වෙනුවට කිළිටි ඇඳුම් වලින්ම දවස ගත කරන, කන බොන දේ වත් පිරිසිදු නොකර එතැනම තබා එන තත්ත්වයක් , ලේලියට වගේම පුතාටත් කරදරයක් ඇති කරන්නට පුළුවන් වුනත්, සමහර විය එය ඩිමෙන්ෂියාවේ ලක්ෂණයක් නිසාවන්නට පුළුවන්.
9) කතාබහේ වෙනස - "යාළු වෙලා ඉන්න කාළේ ගෙදර ආවම, මාත් එක්ක හොඳට කතා කළ නැන්දම්මා, දැන් දැන් මාත් එක්ක කතා කරන්නෙ නෑ වගේ , සමහර විය එයා මට අකමැති ඇති" කියල හිතන ලේලිය වටහා ගන්නවා නම්, ඩිමේන්ෂියාවේ මතුවන එක් ලක්ෂණයක් ලෙස මෙම සන්නිවේදන හැකියාව බිඳ වැටීම "විය හැකි"බව , එයම ගැටළු ඇති නොවීමටත්, උදව්වක් ලබා දීමටත් හේතු වේවි.
10) සැකය සහ විශ්වාසය බිඳ වැටීම - "මේ තේ එකට ඒකි වහ දාලද දන්නෑ, කෝමත් ඉන්නේ මං මැරෙකං බලාගෙනනේ" හිතන ඩිමෙන්ෂියාව සමඟ ජීවත්වන අම්මා, ලේලිට වඩා විශ්වාස , අල්ලපු ගෙදර මැගි අක්කාගෙන් තේ එකක් ඉල්ලාගෙන බීවොත් එය අරුමක් නොවේ. මෙම, සැකය සහ විශ්වාසය බිඳිම තත්ත්වය මීට වඩා අවදානම් තත්ත්වයන්ට යමින්, අළුත් පවුල බිඳ වට්ටන්නට තරම් දේ කියන්නට, කරන්නට හේතු වෙන්න පුළුවන්. "උඹ ගන්න පඩිය එහෙම්පිටින්ම අරකිගේ අම්මට දෙනවා නේද, මම දැක්ක එදා කුටු කුටු ගාල අතගුලි කරල සල්ල පොකට් එකම දුන්න හැටි" , මෙහෙම අහන, ඇහෙන පුතෙක් ඉන්නවා නම් "ඔප්පු කරන්න" කෑගහන්න යන්න එපා, ටිකක් හොයල බලන්න මේ තත්ත්වයදැයි.
11) වෙන්වීම සහ එපා වීම- පෙර කී සාධක බොහොමයක් නිසා, මෙතෙක් එක්ව සිටි පවුලෙන් ඈත් වෙන, වෙන්වන අම්මා, නැන්දම්මා , තම පුතා, එහෙම නැත්නම් අළුත පවුලට ගෙනා "අමුත්තී" , තමන්ට අවදානමක් ඇති කරන අයෙක් ලෙස හඳුනාගන්නට ඉඩ තිබෙනවා. එතැනදි, ලේලි කොයිතරම් හොඳ වුවත්, නැන්දම්මාට එය පිළිගැනීමට නොහැකිවීම සහ ඒ නිසාම ලේලිගෙන් ලැබෙන සාත්තු සප්පායන් නැන්දම්මාට බියකරු අත්දැකීමක් වීමත්, ඒ හේතු නිසාම ලේලිය සහ ඇගේ සියළු කටයුතු , ඇය උයන පිහන දේ තිබෙන රස ,නීරස ලෙස දැනීම, ඇය අඳින පළදින ආකාරය "යක්ෂණියක්" ලෙස හඳුනාගැනීම වගේ දේ වුනොත් සමහර විට හේතුව මෙය වන්නට පුළුවන්.
දැන් මේ කියාගෙන ගියේ ඩිමෙන්ෂියා සහිත පුද්ගලයෙක්, (මෙතැනදි නම් උදාහරණය ගත්තේ නැන්දම්මා) තුල මතුවිය හැකි ඩිමෙන්ෂියාවේ ලක්ෂණ කිහිපයක් ගැන. තවත් ලක්ෂණ බොහෝයි, වඩාත් සංවේදීකාරණය වන්නේ, මෙම රෝග තත්ත්වය ගැන නිවැරදි අවබෝධයක් නොතිබීම තුල, "වයසට ගියාම එන කරදර" , "නැන්දම්මනේ" , "වයසට ගියාම වද දෙන්න හදන" ලෙස ලේබල් කරමින් මෙම ලක්ෂණ හඳුනානොගෙන, එම නිසාම විඳමින්, විඳවමින් ජීවිතයේ ඉතිරි කාළය ගත කරන්නට වන අම්මලා, නැන්දම්මලා මෙන්ම, මෙම පීඩනය නිසා මානසිකව පීඩාවට ලක්වන පුතාලා, ලේලිලා සහ මේ නිසාම බිඳ වැටෙන අළුත් පවුල් , අපේ සමාජය තුල මතුවීමයි.
දැන් මේක නැන්දම්ම-ලේලිට විතරද අදාල? නැහැ, පෙර කීව වගේ මෙම තත්ත්වය ඕනෑම වයසක අයෙක්ට ඇති වන්නට පුළුවන්. ඒ විතරක් නොවේ, මේ ලක්ෂණ ඩිමෙන්ෂියා නොවන වෙනස් කායික, මානසික රෝග වලදීත් මතුවන්නට පුළුවන්. එම නිසා, වඩාත් වැදගත් වන්නේ, තම ආදරණීයයන් ගැන වඩාත් හොඳ අවධානයකින් සිටීමත්, සිදුවන වෙනසක් "ගණන් නොගෙන" ඉන්නවාට වඩා, විමසිලිමත්ව යම් කායික හෝ මානසික ගැටළුවක්, රෝගයක් නිසා මතුවනවාදැයි නිසි ලෙස තහවුරු කරගැනීමයි. ඒ සඳහා තමන්ට මෙම තත්ත්වයන් පිළිබඳ යම් දැනුමත් තිබීම, "විමසිලිමත් සැකයක්" ඇති කරගන්නට හේතු වෙන අතරේ, වඩාත් නිවැරදි තහවුරු කරගැනීමක් කරමින්, තම පවුලේ ආදරණියයාට විය හැකි ආපදා, අපහසුතා සීමා කරගන්නට , අද දවස තුල ලබා ගත හැකි උපකාර, ප්‍රතිකාර , දැනුම ලබා ගැනීමයි, අද දියුණූ ලෝකයේ ජීවත්වන ඔබේ "පවුලේ වගකීම"
අද දවස වෙත්දි ශ්‍රි ලංකික සමාජය තුල හඳුනානොගත් ඩිමෙන්ෂියා තත්ත්වය සමඟ ජීවත්වන සෑහෙන පිරිසක්, විශේෂයෙන්ම "වයස නිසා" කියන ලේබලයට යටත්වන, මෙම තත්ත්වය සමඟ ජීවත්වන , විඳවන වියපත් අම්මලා, තාත්තලා, සීයලා, ආච්චිලා වගේ නැන්දම්මා, මාමණ්ඩිලාත් ඕනෑතරම් සිටින බව ඔබ දැන ගන්නවා නම්, පෙර කී ලෙස ඔබේ "පවුලේ වගකීම" ඉටු කරනවා නම්, නැන්දම්මා-ලේලි ගැටුම් සහ ඒ සමඟ ඇතිවන පවුල් ආරවුල් සෑහෙන ප්‍රමාණයක් අඩු කරගන්නට පුළුවන් වේවි. ඒත් ස්කැන්ඩිනේවියන් පුරාවෘත්ත තුල දෙව් ලොක්කා වූ ඕඩින්ටත් නිමා කරගන්නට බැරි වූ, නැන්දම්ම ලේලි විරසකයන්, තවත් අතීත පුරාවෘත්තයක් කරමින් නිමාකරන්නට හැකිවෙන එකක් නම් නැහැ. එය මානව ශිෂ්ඨාචාරය පවතින තුරු තිබේවි, නමුත්, යම් රෝග තත්ත්වයක ලක්ෂණ , නැන්දම්මා-ලේලි විරසකට හේතුවන බව දන්නා යම් පිරිසක්වත්, ඊට උත්තර හොයා ගනීවි, එය උපකාරයක් වේවි.
No comments:
Post a Comment