("නොබැඳුනු මනසක විත්ති" විශේෂාංගය , එහෙම නැත්නම් ලිපි පෙළ තුලින් මම උත්සාහ කරනවා මගේ වෘත්තීය පරිසරය තුල දිනපතා මම අත්විඳින, සමහර විට ඔබ බොහෝ දෙනෙක් නොදකින, නොවිඳින වෙනස් සිදුවීම් මාලාවක් ඔබත් එක්ක බෙදා ගන්නට.)
"ටික් ටික් ටික්" මගේ සේවායතනයේ ජංගම දුරකථනයට පණිවිඩයක් එනවා. අද ආයතනික වශයෙන් නිවාඩු වුනත්, හදිසි අවශ්‍යතාවයකදි ුපිළිතුරු දීමට අප සූදානම්ව සිටිය යුතු නිසා දුරකථනයට නින්දක් ලැබෙන්නේ නැති තරම්.
බලමු මොකක්ද ප්‍රශ්නේ කියලා.
"සුබ සන්ධ්‍යාවක් වේවා, මට පොඩි දෙයක් කියන්න තියෙනවා, දැන් හදිසියේ උත්තරයක් ඕන නැහැ" හුරු පුරුදු අංකයකින් පණිවිඩයක්. එකක් නොවේ, තව මොනවා හරි එකතු කරන බව දැනෙනවා.
"දවස් කීපයක් තිස්සේ නැන්සිගේ වෙනසක් දකිනවා. මට මේක ඩොක්ටර්ට කියන්න ඕන දෙයක්ද නැත්ද කියල හිතා ගන්න බැරිව ඉන්නේ" දන්නා අංකයෙන් පණිවිඩය යොමු කරන මගේ සේවාලාභියාගේ සැමියා අකුරු කරනවා.
තවත් මොනවදෝ ටයිප් කරනවා වගේ.... මට වෙන්නේ දවසම බලාගෙන ඉන්න.
යැව්වා පණිවිඩයක්.
"කීත්, මම දැන් විවේකයෙන්, ඕන නම් කතා කරන්න, අපි බලමු මොකක්ද ප්‍රශ්නේ කියලා"
තත්පර කිහිපයකදි ඇමතුම එනවා.
"මයික්, දැන් සති දෙකක විතර ඉඳන් නැන්සි මහ අමුතු විදියට හිනා වෙනවා, හරි වෙනස්"
"මොකක්ද කීත් අමුතු විදියට කිව්වේ?"
"නෑ, එයා කිසිම හේතුවක් නැතිව මහ හයියෙන් හිනා වෙනවා, මතකනේ ඉස්සර හිමින්නේ කතා කරන්නෙත්. ගිය සතියේ අපි ෂොපිං ගියා, මේ සාප්පු වල තියෙන ඇඳුම් වලටත් හිනා වෙනවා. හැමෝම බලනවා අපි දිහා. ටීවී එකේ නිව්ස් වලට යන හිනා වෙන්න තරම් දෙයක් නැති දෙයක් වුනත් මෙයා හිනාවෙනවා මට තේරෙන්නේ නෑ ඇයි කියල. මට වැඩියෙන්ම බය හිතුනේ අද, අද පුතාල ආව තෑන්ක්ස්ගිවින් එකට එන්න වෙන්නේ නැති නිසා. ලේලිගේ තාත්ත නැති වුනා ගිය මාසේ, ඔය ගැන කියත්දි පවා හිනා වෙන්න පටන්ගත්තා , මට ඒ වෙලාවෙ නම් ආවේ තරහක්......" කීත් කියාගෙන යනවා.
"කීත්, නැන්සිගේ බෙහෙත් වල වෙනසක් කළාද ළඟදි? "
"නෑනේ, ඔය අන්තිමට කළේ අර මොකක්ද ඇවිදින ටෙස්ට් එක විතරයි" කීත් උත්තර දුන්නා.
"CBD එහෙම එකතු කළාද" කංසා මිශ්‍ර ආහාර යම් ප්‍රතිකාරමය සහනයන් අපේක්ෂාවෙන්, වෛද්‍ය ප්‍රතිකාරයට අමතරව ලබා දෙන්නට සමහරු උත්සාහ කරන නිසා ඒක තහවුරු කරගන්න ඇහැව්වා.
"අනේ නෑ මයික්, ටීම් එකෙන් දෙන දේවිතරයි, වෙන කිසිම වෙනසක් කරන්නේ නෑ" මට කීත්ව විශ්වාසයි, ඔහු බොහොම අවංකවම නැන්සිව ආදරෙන් බලා ගන්න සැමියෙක්. විශ්‍රාමික ගුරුවරයක් වුනු ඔහුගේ "ගුරු බව" තවමත් තියෙනවා කියල මට දැනෙන්නේ. නැන්සිත් ගුරුවරියක් ලෙස සේවය කරල දරුවන් නිසා වේලාසන විශ්‍රාමහ ගත වයස හැට පහක් විතරක වෙන, "මව්වත් ගුණ" තියෙන බොහොම හෙමින් කතා කරන, ටිකක් ලැජ්ජාශීලී කාන්තාවක්. අද ඇය ඇල්සයිමර් ඩිමෙන්ෂියාව සමඟින් ජීවත් වෙනවා.
අපි තව ටිකක් කතාබහ කළා.
"මෙහෙමයි, කීත්. නැන්සිගේ තත්ත්වයත් එක්ක මේ අසාමාන්‍යතා මතු වෙන්න පුළුවන්. විනිශ්චයක් ලබා දීමට තවත් පරික්ෂණ කෙරෙන්න ඕන වගේම ඒ වගකීම අදාල වෛද්‍යවරයා ගේ . නමුත් මේ තත්ත්වයට සමාන PBA එහෙම නැත්නම් Pseudobulbar Affect කියන අවස්ථාවෙදි මේ වගේ "අසාමාන්‍ය හිනාවන්, හැඩීම් සාධාරණ හේතුවක් නැතිව" සිදු වෙන්න පුළුවන්. ඊට , මොළයේ සිදුවන රසායනික වෙනස්කම් ගණනාවක් බලපානවා. ආයෙත් , මම විනිශ්චනයක් දුන්න නොවෙයි, ඔබට දැනුවත් වෙන්න අවශ්‍ය දෙයක් කීවේ. කෙසේ වෙතත්, ඒ අනුව ඔබට වැටහෙනවා ඇති මේ ගැන අපි , නැන්සිගේ ප්‍රතිකාර කණ්ඩායම දැනුවත් කළ යුතු බව. මම මේක කේස් නෝට් කරන්නම්, කෝකටත් අඟහරුවාදා අපි හමුවෙලා කතා කරමු, මම ටීම් එකට දැනුම් දීමක් කරන්නම්"
කතාව නිමා වුනා.
-----------------------------
හරි, අද මේ අනපේක්ෂිත අත්දැකීම තුල කතා වුනු තත්ත්වය, Pseudobulbar Affect එහෙම නැත්නම් PBA කියල කෙටියෙන් හඳුන්වන තත්ත්වය වෙන්නට ඇති කියන එක මගේ විශ්වාසය. ඒ , නැන්සිගේ රෝග තත්ත්වය සහ අවදානම් ගැන මතකයේ තිබෙන නිසා.
කෙසේ වෙතත් මෙම තත්ත්වය, ඩිමෙන්ෂියා තත්ත්වය සමඟ ජීවත්වන අයට පමණක් නොවේ වෙනත් ස්නායුගත රෝග සමඟ ජීවත්වන අයටත් මතුවන්නට පුළුවන් චර්යාමය ගැටළුවක්. නමුත් ඩිමෙන්ෂියා, සහ මොළයට වූ අනතුරු සමඟ ජීවත් වන පුද්ගලයන් තුල බහුලව දකින්නට පුළුවන්.
මොකක්ද මෙතැනදි වෙන්නේ, ඒ අයට දුක , සතුට වගේ හැඟීම් වල සීමාව පාළනය කරගන්න බැරිව යනවා. වෙන කිසි කෙනෙකුට හිනා නොයන පුංචි දෙයක් ඇති මේ අයට කොක් හඩලා හිනාවෙන්න. කිසි කෙනෙකුට දුකක් නොහිතෙන සුළු දෙයක් ඇති මේ අයට පොළොවේ හැප්පිලා අඩන්න. අවට සමාජය ගැන කිසිම හැඟීමක් නෑ, ලැජ්ජාවක් නෑ වගේ. දැන් මේක උපතේ ඉඳලම තියෙන කෙනෙක් ගැන නෙවි මේ කියන්නේ. (සමාජෙට බම්බු ගහගන්න කියලා, බක බක ගාල ලෝකෙ පෙරලන්න හිනා වෙන අයත් මේක කියවනව ඇති නේ 😉) මේ අය සාමාන්‍ය ජීවන රටාවක, චර්යාවක ඇවිත්, මොළයට සිදුවන යම් හානියක් සමඟ මෙම "අළුත් චර්යාව" පටන් ගන්නේ. මුලින්ම ලොකු කරදරයක් නොවුනත්, ක්‍රමයෙන් මෙම තත්ත්වය වර්ධණයත් එක්ක සමාජය තුලදී විවිධ අපහසුතාවලට ලක්වෙන්නට සිදුවෙනවා, ඇත්තටම අදාල රෝගියාට නොවේ, ඒ පවුලේ අයට.
දැන් මේ තත්ත්වයේදී කළ යුතු වන්නේ අදාල ප්‍රතිකාර කළමණාකරණය කරන සෞඛ්‍යය කණ්ඩායම වෙත මෙම වෙනස ගැන පමා නොකර දැනුම් දීම. එතැනදී, අදාල දැනුම් දීමට පෙර පොඩි ජර්නලයක් පවත්වා ගන්නවා නම් වඩා වටිනවා. ඒ කියන්නේ, මේ අසාමාන්‍ය හිනා, නැත්නම් හැඩීම් ඇති වුනු වෙලාවන්, ඊට බලපෑ හේතු, කොයිතරම් කාළයක් ගත වුනාද සාමාන්‍ය තත්ත්වයට එන්න, වෙනත් බලපෑ හේතු තිබේද වගේ ිවස්තරයක් පොතක හරි, වඩාත් පහසුයි , ජංගම දුරකථනයේ නෝට්පෑඩ් එකක වගේ තියා ගන්න පුළුවන් නම්.
මේ සියළු තොරතුරු සෞඛ්‍ය කණ්ඩායමට දැනුම් දුන්නම, අවශ්‍යතාවය අනුව, තව දුරටත් පරික්ෂා කරල, ඖෂධමය සහ චර්යාමය ප්‍රතිකාර සැලසුම් කිහිපයක් ඉදිරිපත් කරාවි. විශේෂයෙන්ම අදාල චර්යාමය සැලසුමත් සමඟ ඖෂධ ප්‍රතිකාරය නිසා ලෙස ලබා දීමේදී මෙම "වෙනස් චර්යාව" සෑහෙන දුරකට පාලනය කරගන්නට පුළුවන්. නමුත් එය සම්පුර්ණයෙන්ම සුව කිරීමක් ඩිමෙන්ෂියා වගේ රෝග තත්ත්වයක් සමඟ ජීවත් වෙත්දි අපේක්ෂා කළ නොහැකි නිසා, තමන්ගේ රැකවරණය මත සිටින, ඩිමෙන්ෂියාව සමඟින් ජීවත් වන මව පියා, සීයා අත්තම්මා හෝ ඥාතියා, එහෙමත් නැත්නම් තමන්ගේ සේවාලාභියාගේ මේ අළුත් චර්යාවට පිළිබඳ දැනුවත්ව, ඊට අනුගත සැලසුම් මත සාත්තුව ලබා දීමයි වැදගත්ම වන්නේ.
No comments:
Post a Comment