("නොබැඳුනු මනසක විත්ති" විශේෂාංගය , එහෙම නැත්නම් ලිපි පෙළ තුලින් මම උත්සාහ කරනවා මගේ වෘත්තීය පරිසරය තුල දිනපතා මම අත්විඳින, සමහර විට ඔබ බොහෝ දෙනෙක් නොදකින, නොවිඳින වෙනස් සිදුවීම් මාලාවක් ඔබත් එක්ක බෙදා ගන්නට.)
දවස සිකුරාදාව. අද දවසේ අපේ වැඩසටහනට අළුත් සේවාලාභියෙක්ගේ පැමිණීම අපේක්ෂාවෙන්, අදාල තොරතුරු සියල්ල පිළිබඳව දැනුවත් වෙලා හිටියා.
වෙනද වගේම උදේ අට වෙත්දි හැමෝම වගේ ඇවිත්. තාමත් අපේ අළුත් සාමාජිකාව ආවෙ නෑ. සාමාන්‍යයෙන් මුල්ම දවසේ ටිකක් පමාවෙන එක පොදු දෙයක්නේ. හරියටම තවත් විනාඩි දහයක් යත්දි තරුණ යුවලක් එනවා.
ලැබී තිබුණු තොරතුරු සහ සෞඛ්‍යය සටහන් අනුව මේ එන්නේ ඒ දෙන්න වෙන්න ඕන.
ගියා ඔවුන්ව පිළිගන්න, මොකද මුල්ම හමුවීම තුල ඇතිවන බැඳිම සහ සේවාලාභීන් ලබා ගන්නා සේවය අතරේ ලොකු සම්බන්ධයක් තිබෙන බව අප දන්නා නිසා.
"සුබ උදෑසනක් වේවා, මේ ...xxxx වෙන්න ඕන."
"ඔව්, මම තමයි xxxx , මේ මගේ හස්බන්ඩ් yyyyy"
සුහද පිළිගැනීමකින් පස්සේ ඇයට හිමි ස්ථානයට යොමු කරලා සැමියා එක්ක පුංචි කතාබහක යෙදුනා.
"සමාවෙන්න, අපි ටිකක් ප්‍රමාද වුනා, දන්නැත්ද උදේ ටිකක් යුද්දයක් වගේ මෙයා ලේස්ති කරගන්න එක. අපි කතා කරගත්ත විදියට සියල්ලම සූදානම්, වෙන මොනව හරි මගෙන් කෙරෙන්න දෙයක් තියේද?
අපේ සේවාලාභියාගේ සැමියා , බොහොම තරුණපහේ මහත්මයා විමසුව.
"මම හිතනවා අවශ්‍ය සියල්ල සූදානම් , වෙනසක් වේ නම් මම ඔබට කතා කරන්නම්, එහෙම නම් තුනට කිට්ටු කරලා එන්න"
ඔහු ගියාට පස්සේ, අපි , අපේ වැඩසටහන පටන්ගත්තා. මුල්ම කටයුත්ත වුනේ දවස සහ දවසේ වැඩසටහන ගැන හඳුන්වාදීල, අපි එකිනෙකා හඳුනාගන්න එක. හේතු කිහිපයක් නිසා ඒක වැදගත්. එකක්, මේ "ස්ථානික වැඩසටහන" කරන්නේ අවුරුදු තුනකට පස්සේ, කොවිඩ් නිසා වර්චුඅල් වුනු අපේ සායනය, මුහුණට මුහුණලා කරන එකක් වුනේ මීට මාසයකට පෙර. ඉතින් වැඩේ තාමත් අළුත් වගේ දැනෙන නිසා වගේම, අපේ සේවාලාභීන් විවිධ මට්ටම් වල ඩිමෙන්ෂියා තත්ත්වයන් සමඟ ජීවත්වන අය නිසා, නැවත හඳුනාගැනීම වැදගත් වෙනවා. ඒ වගේම අද අළුත් සාමාජිකාවක් ඉන්න නිසා, ඇයව හඳුන්වාදීම ඊටත් වඩා වැදගත්.
මුලින්ම මම, මගේ නම,තනතුර වගේම මම ඉපදී හැදුනු වැඩුනු රට වගේම, ඒ රටේ අළුත් අවුරුද්ද අදට යෙදී තියෙන බවත් හඳුන්වා දුන්නේ, එවන් "අළුත් අත්දැකීම්" සමඟ එකතු වන්නට ඔවුන් දක්වන කැමැත්ත නිසාමයි.
ඊළඟට අපේ අළුත් සාමාජිකාව, අපි කියමු ඇයට ක්‍රිස් කියලා.
"එහෙම නම් ක්‍රිස් අපට ඔයාව හඳුන්වල දෙන්න, ඔයා කැමති ඕන විදියකට"
ක්‍රිස් නැගිට්ටා, වයස තිස් නමයක ඇය, කණ්ඩායමේ බාලම සාමාජිකාව බව වටහා ගන්න අපහසුවක් වුනේ නෑ.
"මම ක්‍රිස්, මට වයස තිස් අටයි, නෑ නෑ අනේ තිස් නමයක් වෙනවා ලබන මාසේට. මමයි මහත්තයයි මගේ කළු බලු පැටියයි තමයි ඉන්නේ. මං ආසයි සිංදු ලියන්න, සිංදු කියන්න, ඒ වගේම සිංදු අහන්නත්. හැබැයි අපි දෙන්නම නටන්න නම් හරිම ආසයි. මේ කෝවිඩ් කාලේ එනකංම සිකුරාදාට අපි දෙන්න නටන එක පුරුද්දක් කරගෙන තිබුණා. ඒත්....
ඒත් කෝවිඩ් කාලේ ඇතුලේ හැමදේම වෙනස්වුනා. ..."
ඇය දිගු සුසුමක් හෙළමින් මගේ දිහා බැලුවේ මගේ මුළු කතාවම කියන්නද කියල අහන්න වගේ.
"ඔව් ක්‍රිස්, මේ ඔයාගේ වෙලාව, මේ ඔයාගේ අළුත්ම යාළුවෝ කණ්ඩායම. ඔයා කැමති දෙයක් කියන්න අපි හැමෝම ඔයාට ඇහුම්කං දෙනවා."
"ඔව්, කෝවිඩ් ආව, මහත්තයා ගෙදර ඉඳන් වැඩ කරන්න පටන්ගත්තා. ඒ අතරේ තමයි එයාට මගේ වෙනසක් දැනුනේ. මට අමතක වෙන්න පටන්ගත්තලු, නටත්දි වැටෙන්න යනවලු, මට දැනුනේ නම් නෑ. ඊට පස්සේ අපි ගියා ඩොක් ගාවට , එයා මාව නියුරොලොජිස්ට් යොමු කළා. එතැනදි කළ බ්‍රේන් ස්කෑන් එකෙන් හඳුනගත්තා මගේ cerebrum atrophy එකක් තියෙනවා කියලා. ඒක වේගයෙන් වැඩිවන බවත් දෙවෙනි පරික්ෂණ වලදි හඳුනගත්තා. දැන් මට ඒ නිසා ඇතිවන ඩිමෙන්ෂියා තත්ත්වයත් එක්ක ජීවත් වෙන්න වෙලා තියෙන්නේ."
හැමෝම ඒ කතාව අහගෙන ඉඳලා තමන්ගේ කණගාටුව මුහුණීන් ප්‍රකාශ කළා වගේ දැනුනා.
"නෑ, මට දුකක් නෑ. මමත් මගේ මහත්තයත් සතුටින් ඉන්නවා. මට ඇවිදිත්දි ටිකක් බැලන්ස් නෑ, හැබැයි මයික් මට දුරකථනයෙන් කතා කරත්දි කීවා ආවෙත් නටන්න අවස්ථාවක් දෙන්න බලනවා කියලා. මම ආසාවෙන් ඉන්නවා ආවෙත් මේ පාද රිද්මයකට තබන්නට. ඒ නිසා මම අද ජීවත් වෙනවා, හෙටක් නෑ. මොකද හෙට වෙත්දි ඒ හෙට මට තවත් අළුත් අත්දැකීමක් එක්වන "අද දවසක්" විතරයි." බොහොම සැහැල්ලුවෙන් කතා කරගෙන ගිය ඇය, අපූරු අදහසකින් කතාව නිමා කළා.
තත්ත්වය උග්‍රවන සීග්‍රතාවය අනුව තවත් මාස කිහිපයකදි මේ කළ කතාව , මේ ආකාරයෙන් කරන්නට ඇයට ඇති අවස්ථාව ඉතාමත් සීමිත බව ඇය මෙන්ම අපද දැන සිටියත්, මේ මොහොත සතුටින් ගෙවන්නට ඇය කැපවෙත්දි, ඇයට මේ මොහොත සතුට වගේම හෙට දවස වෙනුවෙන් සූදානමත් ලබා දෙන්නට අප කටයතු ආරම්භ කළා.
දවස ගෙවුනා, අපි හැමෝම විවිධ චිකිත්සීය කටයුතු රැසක් කළා, නමුත් ඒ සියල්ලම විනෝදය සතුට පිරුනු නිසා කිසිවක් ප්‍රතිකාර ලෙස හඳුනාගත්තේ නැහැ. දවස නිමා වුනා.
ක්‍රිස්ගේ සැමියා වෙලාවටම ඇවිත් තිබුණා.
"ඉතින්, කොහොමද ක්‍රිස් අද දවස. අපි හැම ක්ලයන්ට් කෙනෙක් ගැනම දවසේ කෙටි විස්තරයක් ලියන්නට ඕන. ඉතින් ඔබේ මුල්ම දවස ගැන මොනවද හිතෙන්නේ? "
"මේක හරිම අපූරු අත්දැකීමක්, හරිම සතුටුයි මට. හැබැයි මට හරිම මහන්සියි. ගෙදර ගිය ගමන්ම හොඳට නාල නිදාගන්න ඕන. "
සැමියා දිහා ඇහින් ඉඟියක් කරන ගමන්ම උත්තර දුන්නා.
----------------
YOD එහෙම නැත්නම් Young Onset Dementia තත්ත්වය ගැන මීට පෙර අපි කතා කළා. මේ එම තත්ත්වය සමඟ ජීවත්වන තවත් අළුත් සාමාජිකාවක්. මේ වෙත්දි සමබරතාවය, කෙටි කාළීන මතකය , හඩ පාලනය වගේ තැන්වල ගැටළු තිබුණත් හොඳ සක්‍රිය, සමාජශිලී තරුණීයක් ලෙස එක්වන්නට ඇයට හැකියාව තිබෙනවා. මතක් කිරීම්, ගත හැකි ආහාර ප්‍රමාණය ගැන පෙන්වා දීම වගේ තැන්වලදි හැර වෙන ලොකු උදව්වක් අවශ්‍ය වුනේ නැහැ. කෙසේ වෙතත්, YOD තත්ත්වය මත අප වෙත එන සේවාලාභින්ගේ වයස ගැන විමසත්දි යම් අළුත් රටාවක් ඇත්දැයි "සැකයක්" මතුවන තරමට යම් හඳුනාගැනීමක් කරන්නට පුළුවන් වෙලා තිබෙනවා. මක්නිසාද මීට අවුරුදු හත අටකට ඉස්සර වෙලා YOD කියත්දි ඒ අයගේ වයස අවුරුදු 50, 55 වගේ වුනා. නමුත් අද වෙත්දි අවුරුදු 37, 38 වන තරමට පහතට ඇවිත් , එහෙම නැත්නම් ඒ අඩු වයසින් ඩිමෙන්ෂියාව හඳුනාගන්නා අය, යොමුවීම් වැඩි වෙලා තිබෙනවා.
අපි මේ ගැන ඉදිරියේදි තවත් කතා කරමු.
No comments:
Post a Comment