ඩිමෙන්ෂියාව හෝ ඇල්සයිමර් වැනි තත්ත්වයක් සමඟ ජීවත්වන අයෙක්ට සාත්තු කිරීමේදී යොදා ගත හැකි චිකිත්සීය උපක්‍රමයක් ගැනයි මේ කතාව. ඔව් බොරු කීමක් තමයි, හැබැයි චිකිත්සීය විදියට බොරු කීම ගැන.
ඇයි එහෙම බොරු කියන්නේ?
මෙහෙමයි, ඩිමෙන්ෂියාවේ සමහර අවස්ථා වලදි එම පුද්ගලයන්ට තමන් කවුද කියන එක, තමන්ගේ වයස, එන්නෙ කොතැනද , වුනේ මොනවාද කියන දේ "අමතක වෙන්න" හෝ , මතකයට ආවත්, "එය ගලපාගන්නට" බැරි වෙන අවස්ථා තිබෙනවා. ඒ තුල , තම සැමියා සමඟ අපේ සායනයට එන අම්ම කෙනෙක් "මේ මගේ මල්ලි" කියල තම සැමියා හදුන්වා දෙන අවස්ථා ඕන තරම්. තවත් අවස්ථාවක, එකම ඇදේ නිදාගන්නා තම බිරිඳ "සතුරෙක්" ලෙස හදුනාගෙන පහර දෙන්නට හදන අවස්ථාත් ඒ වගේමයි. තවත් අවස්ථාවක තම අවුරුදු දහ නමයක කෙල්ලක් ලෙස හැසිරෙන, අත්තම්මා කෙනෙක්, තමන්ගේ අම්මා කොහේදැයි අසමින් අඬන අවස්ථා වගේම, ඩිමෙන්ෂියාව නිසා, රියදුරු බලපත්‍රය ඉවත් කළ පියෙක්, තමන්ට වැඩට යන්නට ඕනෑ නිසා වාහනය පණ ගන්වන්නට හදන අවස්ථාද තිබෙනවා.
මේ අවස්ථා තුල අපට අවධානය යොමු කළ යුතු ප්‍රධාන අවස්ථා දෙකක් තිබෙනවා. ඒ, ඉහත කී වැනි අවස්ථා වලදී "ඇත්ත තත්ත්වය" පැහැදිලි කරදීමට ගියොත් සිදුවන්නේ , අදාල පුද්ගලයා තවත් අපහසුතාවයට පත්වීම, නොවැටහීම, පිළිනොගැනීම නිසා මත ගැටුම්, කාංසාව වැඩිවීම, සමහර විය ආවේගකාරී වීම වගේම මානසිකව බිඳ වැටීම වෙන්නත් පුළුවන්. ඒ නිසා, මෙවන් අවස්ථාවකදී, "යථාර්ථය" හෝ "ඇත්ත තත්ත්වය" පැහැදිලි කරනවා වෙනුවට, ඒ අවස්ථානුකූලව "බොරුවක්" , ඇත්ත මෙන් ඉදිරිපත් කර, අවස්ථානුකූලව පුද්ගලයාගේ හැසිරීම හෝ මානසික තත්ත්වය කළමණාකරණය කරගන්නට උදව් වෙනවා.
"මට පරක්කු වෙලා ළමයි, ඉක්මණට ඔය වාහනේ යතුර ගෙන්ත් දෙන්න" කියල කෑගහන , තාත්තාට ඩිමෙන්ෂියා තත්ත්වය නිසා රිය පැදවීමට නොහැකි බව සහ ඒ නිසාම රියදුරු බලපත්‍රය අවලංගු කර ඇතිබව "පැහැදිලි" කරනවාට වඩා "තාත්තේ කාර් එක කැඩිලා,ඒක හදන්න දවස් දෙකක්යනවා කිව්වා, අපි ටැක්සියකට කතාකරමු" කියල අවස්ථානූකූලව මගහරවා ගැනීමක් කිරීමයි වැදගත්. ඒ වගේම, වයස අවුරුදු අනූවක් වන අම්මා, "මට අපේ අම්මා ඕන, එයා නැතිව ඔයාලත් එක්ක එන්න බෑ " කියල කියත්දි, "එහෙම බෑ අම්මේ , ඔයා දැන් මාත් එක්ක මේ බෙහෙත ගන්න එන්නම ඕන" කියල ඇත්ත කියනවාට වඩා, "ඔව්, ඒකනේ මම ආවේ, ඔයාගේ අම්ම අර අපේ කාමරේ තව නැන්ද කෙනෙක් එක්ක කතා කරකර ඉන්නේ. අපි යමු එයාව බලන්න, පොඩ්ඩක් ඉන්න, මම කෝපි එකකුත් හදං එන්නං අපි යමු " කියත්දි, ඒ වෙනුවෙන් කාළය ගත වෙත්දි "අම්ම හෙවීම" අමතක වෙලා තිබෙන්න වැඩි ඉඩක් තිබෙනවා. එහෙම නැත්නම් වෙනතකට යොමු වෙන්න ඉඩක් තිබෙනවා.
මේ Therapeutic Fibbing එහෙම නැත්නම් චිකිත්සීයව බොරු කීම යොදා ගන්නේ ප්‍රධාන අවස්ථා දෙකක් වෙනුවෙන්.
1) Mitigating grief - ඩිමෙන්ෂියා තත්ත්වය සමඟ ජීවත්වන පුද්ගලයා තව දුරටත් ශෝකයට, වේදනාවට පත්වීම මගහරවා ගන්නට
2) Ensuring safety- එම පුද්ගලයා ආරක්ෂා කරගැනීම වෙනුවෙන්. ඒ තුල භෞතික ආපදා වලින් වගේම මානසික, චිත්තවේගීය ආපදා වලින් රැක ගැනීමටත් මේ "බොරුව" කියන්නට වේවි.
දැන් මේ චිකිත්සීය බොරු කීම හැම තිස්සේම කරන්න බැහැ සහ කරන්නේ නැහැ. මොකද ඒක "චිකිත්සීයයි" අවශ්‍ය අවස්ථාවේ , අවශ්‍ය ආකාරයට පමණයි කරන්නේ. ඒ තුලත්, යම් "සෞඛ්‍යය ආචාරධර්ම" රැකිය යුතු වෙනවා. ඒ නිසා මෙම "චිකිත්සීය බොරුව" භාවිත කරන්නේ, ඉතාමත් කල්පනාවෙන්, වෘත්තීය වගකීම් සහිතව, එහෙම නැතිව හැම තිස්සේම අදාල පුද්ගලයා "බොරුවෙන්" රැවටීම Therapeutic Fibbing නොවේ.
මේ බොරු කීමටත් යම් ක්‍රමවේදයක් තිබෙනවා. ඒ තුල,
1) අවස්ථානුකූල බව සොයා බැලීම -. ඒ කියන්නේ එම අවස්ථාවේ "ඇත්ත කීම" තුල පුද්ගලයා තවත් අපහසුතාවයට, පීඩාවට, ශෝකයකට හෝ අපහසුකාරී තත්ත්වයකට පත්වේද, එසේම, පුද්ගලයා ගැන කාරුණිකව, ගැලපෙන "බොරුවක්" කීම තුල එම පුද්ගලයාට යම් වාසියක් වේද? කියන කරුණූ හිතාබලන්නට වෙනවා. උදාහරණයක්, "අම්ම කෝ අම්ම කෝ" කියමින් කෑ ගහන අවුරුදු අසූවක විතර තාත්ත, කෝපි බොන්න කෑදර බව දන්නවා නම්, මේ බොරු කියනවාට වඩා ලේසිවෙන්න පුළුවන් "අපි කෝපි එකක් හදමුද" කියන වචන කිහිපයම. සමහර විට ඇත්තටම කෝපි බොන්න ඕන වෙන එකකුත් නෑ හොඳ කතාබහකට අල්ලගත්තාම ප්‍රශ්න ඕක්කොම ඉවර වෙන්න වැඩි ඉඩක් තිබෙනවා.
2) හැමෝම "සමාන බොරුව" දැන ගැනීම - මේක හරිම වැදගත්, යම් අවස්ථාවක චිකිත්සීය බොරුවක් කියනවා නම් , අදාල පුද්ගලයාට සාත්තු කරන, උපකාර කරන හෝ එම නිවසේ ඉන්න අයෙක් අයත් දැනගන්න ඕන කියූ "බොරුව" කුමක් දැයි. මක්නිසාද, එක් එක් අය වෙන වෙන බොරු කියන්න ගියොත් වෙන්නේ අදාල පුද්ගලයා තවත් අපහසුතාවයට පත්වෙන එක.
3) බොරුවේ ප්‍රතිපලය - මේක හරිම වැදගත්, හිතමු අපි අවස්ථානුකූලව හොයා බලල, බොරුවක් කීව කියල. දැන් හදුනගන්න ඕන, ඒ "බොරුව" නිසා, ඩිමෙන්ෂියාව සමඟ ජීවත්වන මේ පුද්ගලයාට යම් යහපතක් වුනාද නැත්ද, කොයිවගේ ප්‍රතිපලයක්ද ලැබුණේ කියන එක. ඒ තොරතුර , පවුලේ අය සමඟ, උපකාර කරන අනෙක් අය සමඟ බෙදාගන්නත් ඕන. මේ සියළු කරුණූ මත තමයි , "චිකිත්සීය බොරුව" කොයිතරම් සාර්ථකව අදාල පුද්ගලයාට යොදා ගන්නට පුළුවන්ද කියන එක තීරණය වෙන්නේ
නමුත්, ඩිමෙන්ෂියාව කියන්නේ අපූරු ලක්ෂණ ගණනාවක එකතුවක්. ඒ නිසා, මේ "චිකිත්සීය බොරුව" කෝකටත් තෛලයක් නොවෙන්න ඉඩ තිබෙනවා. ඒනිසා, අවදානම් හෝ අපහසුකාරී විය හැකි ( අදාල පුද්ගලයාට) අවස්ථාවකදී යොදා ගත හැකි අනෙක් ක්‍රම ගැන අවධානය සහ ක්‍රියාත්මක කිරීමේ කුසලතාවය , සාත්තු කරන්නාට තිබිය යුතුම වෙනවා.
ඒ අනෙක් හැකියාවන් තමයි, FiNReDiCo කියල කෙටියෙන් හදුන්වන්නේ.
1) Fibs එහෙම නැත්නම් පොඩි බොරුවක්( White lie)
2) No response,ප්‍රතිචාර දීම මග හැර, සවන්දීම, හෝ නිර්වාචික ප්‍රතිචාරයක් දැක්වීම.
3) Reality-orientation,පුද්ගලයාගේ වටහා ගැනීමේ හැකියාව මත, ඇත්ත තත්ත්වය කෙටියෙන් හඳුන්වාදීම
4) Distraction හිතුවිලි වෙනතකට යොමු කිරීම
5) Combination ( මේ කිහිපයක එකතුව)
එහෙම නම් ඩිමෙන්ෂියා සාත්තුව තුල කෙරෙන දිගු සාකච්ඡාවක් ,කෙටි ලිපියක් ලෙසට අකුරු කළා පමණයි. ඇත්තටම, සෞඛ්‍යය සේවය තුල ඩිමෙන්ෂියා සාත්තුව, ප්‍රතිකාර කරන සෞඛ්‍යය කණ්ඩායම හෝ එම උපකාර සාර්ථකව කරන පවුලේ සාමාජිකයෙක් කියන්නේ, හැකියාවන් ගණනාවක් එකතු කරගත්ත කෙනෙක්. ඒ හැකියාවන් තුල, "චිකිත්සීය බොරුකීමත්" ලොකු වටිනාකමක් දෙන හැකියාවක්.
කතාව ඉවරයි.
No comments:
Post a Comment