Sunday, September 28, 2025

40. ඩිමෙන්ෂියා දැනුම ගනිමු, බෙදාගනිමු

අද අප කතා කරන්නට උත්සාහ කරන්නේ, පාසල් සිසුවෙක් විදියට , එහෙම නැත්නම් පාසල් ගුරුවරයෙක් විදියට (සමහර විට ටියුෂන් ගුරුවරයෙක් වුනත්) , ඩිමෙන්ෂීයාව සහ ඒ ආශ්‍රිත තත්ත්ව ගැන පාසල්/ හෝ අධ්‍යාපන පරිසරය ආශ්‍රිත සමාජය දැනුවත් කරන්නේ කොහොමද කියන එක. වැදගත්ම දේ, මේ ලිපිය යම් අදහස් ලබාදීමක් විතරයි, මෙය එකම උත්තරය නොවන්න පුළුවන්. ඔබේ අවබෝධය, ඔබ හදුනාගන්නා ‍අවශ්‍යතාවය සහ ඔබේම පෙළඹවීම මත තවත් නිර්මාණශීලී ක්‍රම ඔස්සේ, අපේ සමාජය දැනුවත් කිරීමට ඔබට දායක වන්නට පුළුවන්.

1) සාකච්ඡාවක්/ඉදිරිපත් කිරීමක්- මේක බොහොම මූලික මට්ටමේ උත්සාහයක් විදියට ඔබට කරන්න පුළුවන් වේවි. ඔබ, මේ පිළිබඳව දැනගන්නට කැමති, ඒ වගේම මේ දැනුම බෙදා දෙන්නට කැමති ශිෂ්‍යයෙක් නම් මුලින්ම ඔබේ මිතුරන් කණ්ඩායම අතරේ මෙම තත්ත්වය ගැන අදහස් බෙදා ගන්න පුළුවන්. අන්තර්ජාලයේ පිළිගත් වෙබ් අඩවි ඔස්සේ ලබා ගත් දැනුම, මුද්‍රණය කරගත් තොරතුරු පොතපත උදව්වෙන් ලබා ගත් දැනුම , විවේක වෙලාවෙදි කරන කතාබහක් තුල "පුංචි දෙබසක්" විදියට හුවමාරු කරගන්න පුළුවන් නම්, සමහර විට ඒ ඔස්සේ ඔබ වගේම මෙම සෞඛ්‍යයම ගැටළුව ගැන කතා කරන්න, තවත් විමසන්න කැමති මිතුරන් පිරිසක් හදුනාගන්න පුළුවන් නම් ඉදිරියේදි තවත් ලොකු දෙයක් ඔබට කරන්න පුළුවන් වෙනවා.

ගුරුවරයෙක් නම් ඔබට පුළුවන් වේවි ඔබේ විෂය තුල එහෙම නැත්නම් විෂය උගන්වා නිමාවූ පසු ලැබෙන විවේක කාළය තුල දරුවන් එක්ක රැදෙනවා නම් ඔවුන් සමඟ, මෙම තත්ත්වය පිළිබඳ මූලික තොරතුරු ටිකක් බෙදා ගන්න. සමහර විට ඔබේ පවුලේ අයෙක්ගේ අත්දැකීමක්, එහෙම නැත්නම් සිසුවෙක්ගේ පවුලේ අයෙක් මෙම තත්ත්වයේ යැයි සැක කරන හෝ තහවුරු කළ අයෙක් ලෙස ඇත්නම් එම අත්දැකීම් සහ ඒ තුල ඇති සෞඛ්‍යයම කරුණූ බෙදා හදා ගන්නට පුළුවන් වේවි. තවත් ඔබ මේ ගැන ඉදිරියට ගෙනියන්න කැමති නම් සමහර විට පාසලේ සමිතියකදි, විද්‍යා හෝ සෞඛ්‍යය පාඩමකදි ‍ඩිමෙන්ෂියා තත්ත්වය ගැන කරුණූ ටිකක් බෙදාගන්නත් පුළුවන් වේවි.

2) සැලසුම් කළ දේශනයක් සූදානම් කරන්න- ඔබේ ප්‍රදේශයේ වෛද්‍යවරයෙක්, සෞඛ්‍යය වෘත්තිකයෙක් ලබා පාසලේ දරුවන්ට, ගුරුවරුන්ට මෙම තත්ත්වය ගැන දේශණයක් ලබා ගන්නට උත්සාහ කරන්න. රෝග තත්ත්වය වගේම, අද දවස වෙත්දි මෙම තත්ත්වය නොහදුනාගැනීම නිසා, අපහසුතා වලට, පීඩා වලට පත්වන ඔබේම, ඔවුන්ගේම පවුලේ සාමාජිකයන් වෙනුවෙන් කළ යුතු දේ ගැන ඒ ඔස්සේ කතා කරන්නට , සාකච්ඡා කරන්නට අවස්ථාවක් ලබා ගන්න.

3) බිත්ති පුවත්පතට ලියන්න- ඇත්තටම මා දන්නේ නැහැ, දැන් පාසල් වල "බිත්ති පුවත්පත්" තිබෙනවාද කියල. එහෙම තිබේනම් මේ කතාව ඊට අදාල කරගන්න, එසේ නැත්නම් යම් දැනුවත් කිරීම් කරන්නට දැන්වීම් පුවරුවක් හෝ ඇති ‍නේ. අන්න ඒ පොදු දැනුම් දීම් කරන යම් ක්‍රමයක් උදව් කරගෙන, ඩිමෙන්ෂියාව, ඒ ආශ්‍රිත තත්ත්ව ගැන මූලික දැනුවත් කිරීමක්, ඒ ගැන සොයා බැලීමට පෙළඹවීමක් ඇති කරන තොරතුරු, ලිපි, පෝස්ටර් ‍ප්‍රදර්ශණය කරන්නට පුළුවන් වේවි. සමහර විට පාසලේ විද්‍යා සතිය, මානසික සෞඛ්‍යය සතිය වගේ විශේෂ වැඩසටහනක් පාදක කරගෙන මේ උත්සාහය දරන්නටත් පුළුවන් නේද?

4) Cognitive Compassion Club /සමිතියක්- විෂයබාහිර ක්‍රියාකාරකම් කෙරෙන ශිෂ්‍ය එකතුවක් එහෙම නැත්නම් ක්ලබ් එකක් විදියට CCC (Cognitive Compassion Club) එකක්, එහෙම නැත්නම් ඊට සමාන එකතුවක් හදන්න පුළුවන් නම්, ඒ ඔස්සේ දරුවන් අතර, ඩිමෙන්ෂියාව පිළිබඳ දැනුම ඇතුළුව, මානසික සෞඛ්‍යමය වැදගත් කරුණු, පාඩම් කිරීමේ ක්‍රම සහ බුද්ධිමය සංවර්ධණය පවත්වාගත හැකි උපක්‍රම, ක්‍රීඩා , දැනුවත් වීම් සහ ඒ ආශ්‍රිත ශිෂ්‍ය ක්‍රියාකාරකම් කරන "සමිතියක්" පවත්වාගෙන යන්නට පුළුවන් වේවි. මේ ඔස්සේ දරුවන්ට අමතර දැනුමක් වගේම, ඔවුන්ටම සොයා , විමසා උගනින්නට, දැනුම බෙදා ගන්නට සහ ඒ ඔස්සේ , ඔවුන්ට වගේම පොදුවේ සමාජයට වැදගත් දැනුම වැඩි කරගන්නවා වගේම නායකත්ව කුසලතා දියුණූ කරගන්නත් උදව් වෙන්නට පුළුවන් වේවි. ඒ ඔස්සේ එම දරුවන්ට ඔවුන්ගේ සමාජය තුල "පිළිගැනීමක්" ලැබීමත් ඔස්සේ සමහර විට අනාගතයේ මෙම තත්ත්ව ගැන පර්යේෂණ කරන, විමර්ශණය කරන වෘත්තිකයන් බවට පත්වීමේ කැමැත්තක් ඔවුන් තුලින්ම ඇති වෙන්නත් බැ‍රි නෑ.

මේ කියාගෙන ගියේ, පාසල් ශිෂ්‍යයෙක් හෝ ගුරුවරයෙක් විදියට කළ හැකි යම් උත්සාහයන් කිහිපයක්. මීට වඩා නිර්මාණශීලී සහ ඔබේ ප්‍රදේශයට , පරිසරයට ගැලපෙන තවත් දේ ඔබට හදුනාගන්නට පුළුවන් වේවි.

එවැනි උත්සාහයක් ආරම්භ කළොත් ඒ ගැන මේ ගෲප් එක තුලත් බෙදා ගන්නට ආරාධනා කරන අතරේ, මෙවැනි උත්සාහයකදී යම් උදව්වක් අවශ්‍ය වේනම් එතැනදි අවශ්‍ය සහයෝගය ලබා දෙන්නටත් අපට එකතු වෙන්නට පුළුවන් වේවි.

එහෙම නම් අදට මේ කතාව ‍නිමා කරමු, ඊළඟ ලිපියෙන් අප කතා කරන්න උත්සාහ කරන්නේ, ඔබ , යම් ආයතනයක සේවකයෙක්, වෘත්තිකයෙක් , රැකියාවක් කරන්නෙක් විදියට එම පරිසරය තුලදී , ඩිමෙන්ෂියාව සහ ඒ ආශ්‍රිත තත්ත්ව ගැන දැනුවත් කිරීමක් හෝ ඒ වෙනුවෙන් පෙළඹවීමක් කරන්නේ කෙසේදැයි කියා.

වැදගත්ම දේ , මේ උත්සාහයන් සඳහා ඉහළ පෙළේ යැයි කියා ගන්නා පාසල් වෙන්නම ඕන නෑ, ඕනම ගමක ප්‍රමාණයෙන් පුංචි ඉස්කෝලෙක වුනත් මේ උත්සාහයන් ආරම්භ කරන්න පුළුවන්. ඒවගේම, උසස් පෙළ, සාමාන්‍ය පෙළ, උසස් අධ්‍යාපන ආයතන වෙන්නම ඕනත් නෑ, ප්‍රාථමික පාසලේ පුංචි දරුවන්ගේ සිට අධ්‍යාපන ලබන වයසේ ඕනෑම දරුවෙක් සඳහා ගැලපෙන විදියට මේ උත්සාහයන් නිර්මාණශීලී කරගන්න ඔබට , අපට පුළුවන් . ඒ සඳහා ලෝකයේ වෙනත් රටවල පාසල් පද්ධති තුල ක්‍රියාත්මක වැඩසටහන් වලින් යම් අදහස් ලබා ගැනීමකටත් ඔබට අවස්ථාව තිබෙනවා. ඒ වගේම, මෙම උත්සාහයන් තුල ඔබට යම් අදහස් අවශ්‍ය නම්, ඔබේ සැලසුම ගැන කතා බහ කරගන්නට අවශ්‍ය නම් ඒ සඳහා උදව් වෙන්නට, මැදිහත් වෙන්නට සහ අපේ වෘත්තීය අත්දැකීම් ඔස්සේ අදහස් බෙදා දෙන්නටත් හැකියාවක් වගේම කැමැත්තක් තිබෙනවා. ඒ නිසා, මේ ගමන තුල ඔබ තනි නැහැ, අපි හැමෝම එකතු වෙලා, "අපේම මිනිස්සු" මේ සෞඛ්‍යයම ගැටළුව ගැන දැනුවත් කරන්නට උත්සාහ කරමු.

No comments: