("නොබැඳුනු මනසක විත්ති" විශේෂාංගය , එහෙම නැත්නම් ලිපි පෙළ තුලින් මම උත්සාහ කරනවා මගේ වෘත්තීය පරිසරය තුල දිනපතා මම අත්විඳින, සමහර විට ඔබ බොහෝ දෙනෙක් නොදකින, නොවිඳින වෙනස් සිදුවීම් මාලාවක් ඔබත් එක්ක බෙදා ගන්නට.)
අද උදේ සිදුවීමක්.
සඳුදා දවස අපේ වඩාත්ම වර්ණවත් දවස. ඒ අද දවසේ වැඩසටහන තුල ඩිමෙන්ෂියා තත්ත්වය සමඟ ජීවත්වන අය මෙන්ම, එහි මූලික අවස්ථාවේ සිටින අයත්, වෙනත් ස්නායුක රෝග තත්ත්ව සමඟ ජීවත්වන අයත් කියන මිශ්‍ර ප්‍රජාවක් අප සමඟ එකතු වෙන නිසා.
සියළු විස්තර, යාවත්කාලීන සෞඛ්‍ය සහ හැසිරීම් පිළිබඳ තොරතුරු කියවල සූදානම් වෙලා, ටිකක් එළියට වෙලා හිටියේ අද හරිම ලස්සන දවසක් වුනු නිසා. පහුගිය කාලේ තිබුණු සීතල නැති වෙලා , හිම දියවෙලා අපූරු ලස්සන උදෑසනක් , කුරුළු කිචිබිචියත් එක්කම ඇවිත් තිබුණා.
ලොකු කළබලයකුත් නැති එකේ සිංදුවක් එහෙම අහගෙන ඉන්න අතරේ අපේ එක් සේවාලාභිනියක් ආයතනයට ගොඩවැදුනා. ඒ ආවේ, එයාගේ සැමියා එක්ක, ( මතක විදියට අවුරුදු පනස් ගණනක විවාහ සංවත්සරයත් ළඟදි සැමරුවා). එළියේ වාඩිවෙලා ඉන්න මා දැක්ක ඇය, ගොඩනැගිල්ල ඇතුලට යනවා වෙනුවට මා වෙතට ආව.
"එහෙම නම් ඔක්කොම හරිනේ, මම එන්නම් තුනට ..." ඇයගේ සැමියා හිනාවක් දාල , ඇයට පරිස්සමෙන් බලාගන්න කියන ඉඟිය දීලා වාහනයෙන්ම නැවත පිට වෙලා ගියා.
"අද හරිම ලස්සන දවසක් නේද ? " මගේ ඉදිරියේම තිබුණු සුව පහසු පුටුවේ ඇය දිගෑදුනා.
"හ්ම්... අද දවසම හොඳ උණුසුම් දවසක් වේවි වගේ , අහස නිල් පාටයි අර.." තවම කොළ මතු නොවූ ගස් අතරින් තනි නිල් පාට අහසට ඇහැ යොමු කළා.
"හ්ම් ... හරිම ලස්සනයි. ඒක නෙවි, අර මාව මෙතැනට ගෙනත් ඇරලපු ටැක්සි ඩ්‍රයිවර් කවුද? මට අනේ හරියට එයාව මතකයි, ඒත් කවුද කියල හරියටම නිච්චියක් නෑ" ඇය ටිකක් හිමීට කාටවත් නොඇහෙන්න වගේ මා වෙතට හැරිල ඇහැව්වා.
"ආ ..ඒ රැල්ෆ් මහත්තයා, හරිම හොඳ කෙනෙක් නේද?"
"හ්ම්, ඔව් එයා අනෙක් ටැක්සි ඩ්‍රයිවර්ල වගේ නෙවි, හරිම කරුණාවන්තයි. මගේ දිහා කණ්නාඩියෙන් හොරෙන් බලනවත් දැක්ක" ඇය පුංචි මනමාල හිනාවක් දාගෙනම කියනවා.
"නෑ අනේ, මට එයාව දැනෙනවා, මගේ මට එයාගේ සුවඳ පවා හුරුයි වගේ. මට කාර් එකේ දොර අරිත්දි මොකක්ද වෙනව වගේ අනේ" ආදරය මුසු හිනාවක් එක්ක ඇය කියනවා.
"කමක් නෑ, කවුරු වුනත්, හොඳ කෙනෙක් වගේ. ඒ ඇතිනේ නේද? ඇය කියනවා
"ඇත්ත, එයා හරිම හොඳ කෙනෙක්, ගෙදර යත්දි වුනත් බය නැතිව යන්න පුළුවන් තමන්‍ගේම කෙනෙක් වගේ" මට වෙන කියන්න දෙයක් තිබුණේ නෑ උත්තරයක් විදියට දෙන්නට.
No comments:
Post a Comment