Sunday, September 28, 2025

43. ඩිමෙන්ෂියා අවදානමේ හැඩ

ඔබේ ගැටළුව -

1.ඩිමෙන්ශියාවලට ජානමය බලපෑමක් තියෙන්ඩ පුලුවන්ද? (පවුලේ කෙනෙක්ගෙන් තව කෙනෙක්ට එන්ඩ )

2. මේ තත්වය කලින්ම අඳුරගන්න තියෙන එකම විදිහ හැසිරීම් ස්වභාවය තුලින්ම පමණද? ( වයස 40 ට අඩු කෙනෙක්ට )

3. මේ වගේ රෝගි තත්වයන් මානසික පීඩනය වැඩි අයට හැදෙන්ඩ වැඩි අවදානමක් තියෙනවද (සැහැල්ලුවෙන් විවේකීව ඉන්න අයට වඩා )

මගේ පිළිතුර -

මුලින්ම ස්තුතියි මේ ගැටළුව යොමු කළාට. ඇත්තටම මේ ගෲප් එක තුල මේවගේ , සාත්තුව තුලදි මතුවන ප්‍රායෝගික ගැටළු කතාබහට එකතු වෙනවා නම් එය වඩා හොඳ දැනුම බෙදා ගැනීමක් සඳහා වගේම, ඒ ඔස්සේ යම් උදව්බෙදා ගැනීමට අවස්ථාවකුත් වේවි.

1.ඩිමෙන්ශියාවලට ජානමය බලපෑමක් තියෙන්ඩ පුලුවන්ද? (පවුලේ කෙනෙක්ගෙන් තව කෙනෙක්ට එන්ඩ )

1) ඔව්, ඩිමෙන්ෂියාව ඇති වීම සඳහා සාධක අතර, ජානමය බලපෑමත් තිබෙනවා. එයින් කියවෙන්නේ නැහැ, පවුලේ අයෙක්ට ඩිමෙන්ෂියා ඇති වූ පමණින්, එම පුද්ගලයා සමඟ ජානමය සම්බන්ධය ඇති අනෙක් පුද්ගලයාට හැම විටම "අනිවාර්යයනේම" ඩිමෙන්ෂියාව ඇතිවන බවක්.

ඒ වගේම ජානමය සම්බන්ධතාවයේ අවස්ථා කිහිපයක් තිබෙනවා. ඒ,

A) පරම්පරානුගත සම්බන්ධය (inheritance) - මේ කියන අවස්ථාව තුලදී, උරුමය තුල ජානමය බැඳීම ඔස්සේ ලැබෙන ජාන සහ ඩිමෙන්ෂියාව ඇති කිරීමට සාධක වන අනෙක් සාධක සමඟ එක්වීම තුල රෝග තත්ත්වය මතු කිරීමට ඇති අවදානම. ඒ තුල නැවතත් කියන්නේ, inheritance වු පමණින් ඩිමෙන්ෂියාව මතුවේ යැයි කියන්නට බැහැ, නමුත් එම පුද්ගලයාට ඩිමෙන්ෂියාව මතු කිරීමට හේතු වන අනෙක් සාධක වල දැඩි බලපෑමකට ලක්වෙලා තිබෙනවා නම් අන්න එතැනදි, එම සාධක වල එකතුවට inheritance ඔස්සේ ලැබුණූ ජාන වල බලපෑමත් එකතු වෙලා ඩිමෙන්ෂියා අවදානමක් ඇති කරනවා. නමුත් එහිම තවත් පැත්තක්, inheritance ජානමය සාධක ලැබී තිබුණත්, ඩිමෙන්ෂියාව සඳහා හේතු වන අනෙක් පාරිසරික, චර්යාමය වැනි සාධක හොඳින් පාළනය කරගන්නවා නම් "අවදානම" පමා කිරීමට, අඩු කිරීමට වැඩි අවස්ථාවක් තිබෙනවා.

B) ජාන විකෘති වීම් නිසා- මෙතැනදි, පුද්ගලයා තුල තිබෙන වෙනත් කාර්යයක් ප්‍රධාන වගකීම වන ජානයක හෝ ජාන වල සිදුවන හදිසි විකෘති වීමක් තුල, ඩිමෙන්ෂියාව ඇති කිරීම ‍හෝ වේගවත් කිරීම වෙනුවෙන් "වෙනස් ක්‍රියාවකට" හැරෙන්නට පුළුවන්. උදාහරණයක් ලෙස මොළය තුල අවශ්‍ය ප්‍රෝටීන නිශ්පාදනය වෙනුවෙන් වගකීම දරන PSEN1, PSEN2, and APP වගේ ජාන වල සිදුවන විකෘතිතාවයක් තුල, සිදුවන අහිතකර බලපෑම නිසා ඩිමෙන්ෂියාව ඇති වන්නට ඉඩ තිබෙන බව හඳුනාගන්නවා.

C) අවදානම් ජාන ලැබීම - උරුමය ඔස්සේ , ඩිමෙන්ෂියාව ඇති කිරීමට දායක වන, හෝ වැඩි බලපෑමක් කරන ජාන ලැබී ඇතිනම්, ඒ තත්ත්වය තුල ඩිමෙන්ෂීයාව ඇති වීමේ අවදානම වැඩි වෙනවා. සරළ සහ බහුලවම දැකිය හැකි අවස්ථාව/ ජානය APOE. කෙසේ වෙතත්, මෙතැනදීද APOE තිබීම 100%ක්ම ඩිමෙන්ෂියාව ඇති කිරීම ‍කරන බවට සාධක නැහැ, නමුත් මෙම ජාන ඇති බව හදුනාගත්තොත් , අනෙක් අවදානම් සාධක පාළනය කරගැනීමට කටයුතු කිරීම වාසියක් වෙන්නට පුළුවන්.

2. මේ තත්වය කලින්ම අඳුරගන්න තියෙන එකම විදිහ හැසිරීම් ස්වභාවය තුලින්ම පමණද? ( වයස 40 ට අඩු කෙනෙක්ට )

මේකට දෙන්න වෙන උත්තරේත් ටිකක් සංකීර්ණයි. හේතු දෙකක්, වයස 40ට අඩු ප්‍රජාව අතරේ, ඩිමෙන්ෂියාව හදුනාගන්නා අවස්ථාව ඊට වියපත් ජනගහණයට සාපේක්ෂව අඩුයි. නමුත්, මේ වයස් සීමාව තුල ඩිමෙන්ෂියාව මතුවූ අය සිටිනවා. වියපත් වීමේදී ඩිමෙන්ෂියා ලක්ෂණ මතුවුනත්, මෙම වයස් සීමාව තුලදී පවා මොළය තුල ඩිමෙන්ෂියාව අනාගතයේ මතුවීමට බලපාන සිදුවීම් පසුබිමේ සිදුවෙන්නට ඉඩ තිබෙන බව හදුනාගෙන තිබෙනවා. ඒ වගේම, මෙම වයස් සීමාව තුලදී , ආර්ථික, සමාජීය වගේම කායික වෙනස්වීම තුලත් විවිධ බලපෑම් සිදුවන නිසා, "ඩිමෙන්ෂියාවේ පෙර ලක්ෂණ" ලෙස පැහැදිලි , වෙන්කර හදුනාගැනීම හුඟක් අපහසුයි. නමුත් අවදානමක් ඇති අයෙක්ට , ඒ අවදානම් පරිසරය තුල මෙම ලක්ෂණ මතු වේනම් ඒවා පාළනය කරගැනීමට, අතිරේක අවදානම් එකතු වීම අඩු කරගැනීමට උදව් විය හැකි නිසා, විය හැකි පූර්ව ලක්ෂණ ලෙස මෙන්න මේ ලක්ෂණ කිහිපය එකතු කරනවා. කෙසේ වෙතත්, මේ ලක්ෂණ, ඩිමෙන්ෂීයාව නිසා පමණක් නොව සාමාන්‍ය තරඟකාරී ජීවන රටාව, පීඩනයන්, ආර්ථික, සමාජීය බාධක, වගේම කායික මෙන්ම මානසික රෝග හෝ ගැටළු නිසාත් ඇතිවන්නට පුළුවන් බව, "අනවශ්‍ය බියවීමක්" ඇති වීම වලක්වා ගැනීමට පිණිස මුල්ම සඳහන් කරනවා.

විය හැකි පුර්ව ලක්ෂණ ලෙස,

1) මතකය පිළිබඳ ගැටළු - මේ කියන්නේ, මෙම වයස් සීමාව තුල තවත් පිරිසකගේ මතකය පිළිබඳ හැකියාවට සාපේක්ෂව මෙම පුද්ගලයාගේ අමතක වීම් රටාව, මතකයට ගැනීමේ හැකියාව , මතකයට ගත් දේ සහ මතකයට ගැනීමට අවශ්‍ය දේ අතර නොගැලපීම් වැනි මතකය ආශ්‍රිත "අසාමාන්‍යතා" මතු වන්නට පුළුවන්. කෙසේ වෙතත්, මෙම ලක්ෂණ මානසික පීඩනය, ආතතිය වැනි මානසික ගැටළු සිට , මානසික රෝග දක්වා තත්ත්ව වලදීත් දැක ගන්නට පුළුවන්.

2) කල්පනාව වෙනස්වීම- තමන්ට හුරු පුරුදු පරිසරයක් තුල පවා "අතරමං වූ" හැඟීමක් දැනෙන අවස්ථා වලට මුහුණ දීම, තමන් දන්නා හුරුපුරුදු පුද්ගලයන්, ස්ථාන තමන් "නොහදුනන හෝ අළුත්ම" ලෙස දැනීම වගේ අවස්ථාවන්.

3) භාෂාමය ගැටළු - සාමාන්‍ය කතාබහකදී පවා අවශ්‍ය කරන බහුලව භාවිත වන වචන පවා අමතක වන තත්ත්වයන් ඇතිවීම, හුරුපුරුදු අයෙක් සමඟ වුවත් සාමාන්‍ය දෙබසක් පවත්වා ගැනීමට නොහැකි තරමට වචන අමතක වීම, නියමිත වචන වෙනුවට වෙනත් "වචන හෝ වචන පිරවුම්" යොදා ගැනීමට පෙළඹවීම, මේ හේතුව නිසාම කතාබහ කිරීම, දෙබස් පවත්වා ගැනීමට අකමැත්තක් මතුවීම වගේ , වචන වල ගැටළු දැකගන්නට පුළුවන්. (මතක තබා ගත යුතුම දේ, "වචන අමතකවීම" ඕනෑම අයෙක්ට ඕනෑම වෙලාවක වෙන්න පුළුවන් දෙයක්, නමුත් මේ අමතක වීම, තමන්ගේ දවසේ වැඩකටයුතු , වෙනදා මෙන් කරමින් තිබුණූ කටයුතු කරගැනීමට බාධාවන තරමට සහ "දැනෙන තරමට" මතු වේ නම් එයයි අවදානමක ලක්ෂණ විය හැක්කේ)

4) තීරණ ගැනීමේ ගැටළු - වෙනදා සාමාන්‍ය ලෙස ගත් තීරණ ගැනීමට අපහසුවීම, එහෙම නැත්නම් තීරණ ගැනීමේදී වෙනදාට වඩා "බරක්" දැනෙන්නට වීම (මේ තත්ත්වය ආතතිය සහ කාංසාව තුලද විය හැක) , දුරකථනය, පරිගණකය භාවිත කිරීමේ හැකියාව, පෙර පැවති රිය පැදවීමේ හැකියාව දුර්වල වීම වගේ අවස්ථාත් උදාහරණ.

5) වැරදි හදුනාගැනීම වැඩිවීම - වේගය, දුර, ගැඹුර වැනි දේ පිළිබඳ වෙනදා තිබුණූ හදුනාගැනීම් වෙනස්වන බව දැනීම තවත් අවස්ථාවක්. උදාහරණයක් , පුටුවක වාඩි වීමේදී වෙනදාට වඩා අපහසුතා, බියක් මතුවීම, පාර පැනීමේදී, තමා වෙතට එන වාහනයේ වේගය සහ තමන්ට පාර මාරු වීමට ඇති හැකියාව ගැන තිබුණු විශ්වාසය බිඳවැටෙන බව දැනීම, ඇවිදින විට වෙනදාට වඩා හැප්පීම්, ගැටීම් වලට ලක්වීමද මේ තුල විය හැක.

6) මනෝභාවයන් වෙනස්වීම- තමාට "අවශ්‍ය‍ නොවන අවස්ථාවල" , තමන් අපේක්ෂා නොකරන ලෙස මූඩ් වෙනස්වීම තවත් විය හැකි පුර්ව ලක්ෂණයක්. තරහක් මතුවීමට කිසිදු සාධකයක් නොවූ , සාමාන්‍ය සුහද කතාබහක් තුල, ක්ෂණීකව කෝපවී දැඩි ප්‍රකාශයක් කිරීමේ සිට, අහේතුකව හඩා වැටීමක් වැනි චර්යාත්මක වෙනස්වීම්ද විය හැකියි.

7) උනන්දුව බිඳීම - වෙනදා සතුටින් කළ, කැමැත්තෙන් සිදුකළ කටයුතු සඳහා ඇති උනන්දුව බිඳ වැටීම, කළකිරීම, එපා වූ හැඟීමක් මතුවීමත් තවත් "විය හැකි පූර්ව ලක්ෂණයක්".

කෙසේ වෙතත්, පෙර කී ලෙසම මේ "විය හැකි පූර්ව ලක්ෂණ" ලෙස සඳහන් කළ සියළුම අවස්ථාවන් වෙනත් මානසික ගැටළු , උදාහරණ ලෙස මානසික පීඩනය, ආතතිය, කාංසාව, විශාධය තවත් තවත් මානසික ගැටළු සහ රෝග වලදීද ඇති වන්නට පුළුවන් නිසා, මේ ලක්ෂණ මත පමණක් "තීරණය" ගැනීම නොකර, සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් සමඟ තමන්ට මතුවී ඇති "විය හැකි අවදානම් ලක්ෂණ" පිළීබඳව සාකච්ඡා කරමින්, ඒ සඳහා විය හැකි වෙනත් කායික , මානසික ගැටළු/ රෝග පිළිබදවද අවදානය යොමු කරවා ගනිමින් , වෘත්තීය විනිශ්චයකට පැමිණීමයි කළ යුතු වන්නේ.

3. මේ වගේ රෝගි තත්වයන් මානසික පීඩනය වැඩි අයට හැදෙන්ඩ වැඩි අවදානමක් තියෙනවද (සැහැල්ලුවෙන් විවේකීව ඉන්න අයට වඩා )

මෙම ගැටළුව තුල කරන විමසීමට පිළිතුර ලෙස "ඔව්" කියන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ, දැඩි සහ කාළීන මානසික පීඩනය , මානසික සෞඛ්‍යය මත වගේම, කායික සෞඛ්‍යය මතත් අහිතකර බලපෑම් ඇති කරනවා. ඒ බලපෑම් තුල ඇති වන මානසික රෝග , කායික රෝග කාළීනව පැවතීම වගේම , සමහර අවස්ථා වල ඒ සඳහා අවශ්‍ය ඖෂධ කාළීනව ලබා ගැනීම තුල මතුවන අතුරු ප්‍රතිපල වල බලපෑම නිසාත් , ඩිමෙන්ෂියාව මතුවීමේ , ඉක්මණ් වීමේ හෝ ලක්ෂණ ‍මතුවීම වේගවත් වීමේ අවදානමක් ඇති කරනවා. එම නිසා, සැහැල්ලු, සමහර මානසික තත්ත්වයක් පවත්වා ගැනීමට හැකි උත්සාහක් දැරීම හැම අතින්ම වාසියක්. එම උත්සාහයට අමතරව, පුරුද්දක් ලෙස, කායික ව්‍යායාම හෝ කායික ව්‍යායාමයන් ලැබෙන ක්‍රියාකාරකම් වල යෙදීම, සෞඛ්‍යානුකූල ආහාර රටාවක් හැකි වැඩි අවස්ථාවක පවත්වා ගැනීම, වයසට ගැලපෙන ප්‍රමාණවත් නින්දක් දිනපතා ලබා ගැනීම, සක්‍රිය සහ ප්‍රියමනාප සමාජ සම්බන්ධතා පවත්වා ගැනීම , මෙන්ම මානසික සහ බුද්ධිමය උත්දීපණයක් ඇති වන ක්‍රියාකාරකම් වල යෙදීමත් මේ අවදානම් සීමා කරගැනීමට හරිම වැදගත්.

ඔබේ ගැටළු වලට යම් තරමක හෝ ප්‍රමාණවත් පිළිතුරු ලැබෙන්නට ඇතැයි හිතනවා. වෙනත් ගැටළු ඇතොත් විමසන්න, දැනුමේ සහ අත්දැකීම් වල සීමාව තුල අද දවසට වඩාත් නිවැරදි දේ පිළිතුරු ලෙස ලබා දෙන්නම්.

No comments: