Sunday, September 28, 2025

7. Young Onset Dementia

ඩිමෙන්ෂියා තත්ත්වයන්, ඕනෑම වයසක අයෙක් ඇති වන්නට පුළුවන්. අපි බහුලව මේ තත්ත්වය දකින්නේ වියපත් අය තුල වුවත්, කුඩා දරුවන් අතරේ මෙන්ම, තරුණ, මැදිවියේ සිටින ඕනෑම අයෙක්ට මේ "විය හැකි" තත්ත්වයක්. වයස අනුව ඩිමෙන්ෂියා වර්ගීකරණයක් කරත්දි, වයස අවුරුදු 65ට පෙර මතුවන ඩිමෙන්ෂියා තත්ත්වයන් Young Onset Dementia ලෙස හඳුන්වනවා. වයස අවුරුදු 18ත්, 64ත් අතර ඕනෑම වයස් සීමාවක මෙම තත්ත්වය මතුවිම විය හැකි වුවත්, ප්‍රායෝගිකව වයස 40න් පසුව මෙම අවස්ථාවන් හඳුනාගැනීම වැඩි බව( ඊට පෙර වයස් කාණ්ඩවලට සාපේක්ෂව) අප දකිනවා.

YOD ඇතිවීම කෙරේ බලපාන , රෝග තත්ත්ව පනහක පමණ පරාසයක් දැනට හඳුනාගෙන ඇති අතර, ඒ අතර Frontotemporal Dementia (FTD) ,Alzheimer’s disease, Lewy Body Dementia තත්ත්ව මෙන්ම, ඒ තරම්ම ප්‍රසිද්ධ නැති Posterior cortical atrophyල Progressive supranuclear palsy මොළය සහ ස්නායු පද්ධතිය ආශ්‍රිත රෝග තත්ත්වයන්ද හේතු වෙන්නට පුළුවන්.

YOD මතුවීම තුල ඒ සියල්ලන්ටම එකම ආකාරයේ රෝග ලක්ෂණ, රෝග තත්ත්ව වැඩිවීම දකින්නට ලැබෙන්නේ නැහැ. පිරිසක්, YOD තුල වසර දහය, විස්සක කාළයක් ක්‍රමයෙන් වර්ධනය වෙන තත්ත්යන් මත සිට, පසුව සාමාන්‍ය ඩිමෙන්ෂියා තත්ත්වය සමඟ ජීවත්වන අවස්ථා තිබෙනවා. ඒ වගේම තවත් පිරිසක්, වසර තුනක් පහක් අතර කාළයක් තුල ඩිමෙන්ෂියාවේ උග්‍ර අවස්ථාවට පත් වීමටත් ඉඩ තිබෙනවා.

එම නිසා, වඩා වැදගත් වන්නේ, මේ තත්ත්වයන් පිළිබඳ දැන සිටීම, මුල් අවස්ථාවලදීම නිසා ප්‍රතිකාර , උපකාර සඳහා ‍යොමු වීමයි. මේ අවස්ථා සම්පුර්ණයෙන් සුව කිරීමට ප්‍රතිකාර නැතත්, බොහෝ රෝග ලක්ෂණ සීමා කරමින්, බොහෝ දුරට සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට YOD තත්ත්වයට පත් වූවන්ටත් හැකි වෙනවා.

කෙසේ වෙතත්, පහත ප්‍රශ්න ටික කියවල, තේරුම් අරගෙන බලන්න ඔබට අදාලවත් මේ යම් ගැටළුවකට පිළිතුර "ඔව්" ද කියල. දැන් මේ එකක් දෙකක් "ඔව්" වුනු ගමන් කළබල වෙන්න එපා. මේක රෝග විනිශ්චය කරන ක්‍රමයක් නොවේ. නමුත් ඔබටම විමසා බැලීමට පෙළඹවීමක් පමණයි. ඒ නිසා, මේ ප්‍රශ්න කිහිපයකටම පිළිතුර "ඔව්" නම් ඔබට, ඔබ ගැනම ටිකක් හොයා බලන්න වේවි. ඔබ යම් මානසික පීඩනයකින්ද? ආතතියකින්ද, ඔබ යම් මානසික ගැටළුවක් සහිතව ජීවත් වෙනවාද? ඔබ යම් මානසික රෝගයකට ප්‍රතිකාර ගන්නවාද? මේ වගේ "තමන් ගැනම" සොයා බැලීමක් කරලා, යම් සාධකයක් හඳුනාගන්නවා නම් ඊට පිළියම් යොදා ගන්නට කටයුතු කරන්න. එහෙම නැත්නම් "යම් සැකයක්" මතු වෙනවා නම් පවුලේ වෛද්‍යවරයා හමුවී උපදෙස් ලබා ගන්න. මෙන්න ප්‍රශ්න පත්තරේ, ඔන්න ආයෙත් කිව්වා මේ ඩිමෙන්ෂියා හඳුනාගන්න ක්‍රමයක් නොවේ.

දැන් මේක කියවල, "මේ නිකං බය කරන්නෙපා, ලංකා‍වෙ ඩිමෙන්ෂියාවක් නෑ" කියල කියන, හිතන අයට මතක් කරන්නේ, ලංක‍ාවේ තිබෙන "ඇත්තම තත්ත්වය තාම අපි දන්නේ නෑ,"

මේ යන ප්‍රවණාතවය, උනන්දුව එක්ක, ඇත්තටම ලංකාවේ ඩිමෙන්ෂියා තත්ත්වය ගැන නිවැරදි අදහසක් ගන්න අඩුම තරමෙ තවත් අවුරුදු දහයක්වත් යාවි. කෝකටත් ඊට ඉස්සර වෙලා දැනුවත්ව ඉන්න එක වැදගත්නේ.

  1. ඔබ වයස අවුරුදු 40–65 අතරේද?
  2. ඔබේ මතකය, තීරණ ගැනීමේ හැකියාව වෙනදාට වඩා අඩු ලෙස ඔබට දැනෙනවාද?
  3. ඔබේ "යම් වෙනසක් (මානසික/චර්යාත්මක) ඇති බව සහ ඒ පිළිබඳව ඔබේ මිතුරන්, පවුලේ අය වරින්වර ඔබේ අවධානය යොමු කරවනවාද?
  4. ඔබේ යම් වෙනසක් (මානසිකව/තීරණ ගැනීම/දරාගැනීමේ හැකියාව වැනි/චර්යාව)සිදුවෙමින් පවතින බවක් ඔබට දැනෙනවාද?
  5. සාමාන්‍ය කතාබහක යෙදෙත්දි "අවශ්‍ය වචනය" සොයා ගැනීමේ අපහසුතාවයක් (නිතර වචන අමතක වීමක්) මතු වෙමින් පවතිනවාද?
  6. ඔබේ කථාව වඩා කිවයුතු අදහස නැති, නොපැහැදිලි හෝ වැඩි විස්තර සහිතද?
  7. යමක් පැහැදිලි කිරීමේදී හෝ කතා කිරීමේදී "ඔබට කිවයුතු, පැහැදිලි කළ යුතු" තැනට අවශ්‍ය කරුණූ එකතු කරගැනීමේ අපහසුතාවයක් ඇත්ද?
  8. ඔබට, පොතක් පත්තරයක් කියවීමේ අපහසුතා, කියවා අදහසක් ගැනීමේ අපහසුතා මතුවෙමින් පවතිනවාද? (පෙර නොතිබුණු)
  9. වෙනදා කළ දෛනික කටයුතු, රාජකාරි කටයුතු , පෙර ලෙසම කිරීමේ නොහැකියාවක් ඔබට දැනෙනවාද?
  10. ඔබ ඇවිදින, වාඩි වෙන විය, වෙනදාට වඩා අසමතුලිත බවක්, අස්ථාවර බවක්, බියක් දැනෙනවාද?
  11. ඔබේ පෙනීමේ යම් අපහසුතාවයක් ඇති බව දැනෙමින් නිතර වෛද්‍යවරයා හෝ අක්ෂි වෛද්‍යවරයා හමුවීමට සිදුවේද?
  12. ඔබ ඉදිරියේ ඇති දේ හඳුනාගැනීමට හෝ එය ගැනීමට ළඟා වීමේදී , එය නිසි ලෙස අල්ලා ගැනීමට, හඳුනාගැනීමට අපහසුතා මතු වෙමින් තිබෙනවාද?
  13. වෙනදාට වඩා දැන්, ඔබට ගැඹුර, දිග පළල දර, වේගය වැනි මානයන් ගැන අපහැදිලි බවක් දැනෙනවාද?
  14. ආසන්න කාළයක සිට, ඔබ පොතක් පතක් කියවත්දි වචන "පාවෙන" ස්වරූපයක් අත්දකිමින් තිබෙනවාද?
  15. යමක් කියවීමේදි, බොඳවී නොපෙනී යාම, එකම දේ දෙතැනක පෙනීම වැනි අපහසුතා වැඩි වෙමින් පවතිනවාද?
  16. ඔබේ සාමාන්‍ය හැසිරීමේ රටාවේ , පෞරුෂයේ වෙනසක් වන බව ඔබට දැනෙනවාද?
  17. ඔබ කළ සාකච්ඡා කතා බහ, සහ ඒ ඔස්සේ කළ ඉදිරි සැලසුම් වෙනදාට වඩා වැඩි ලෙස අමතක වීම් වන බව ඔබට දැනෙනවාද?
  18. ඔබ කතා කරත්දි, නොදැනුවත්ව එකම දේ නැවත නැවත කියන බව ඔබේ මිතුරන්, පවුලේ අය කියනවාද?
  19. ඔබට හුරු ප්‍රදේශයක, ගොඩනැගිල්ලක, නිවස පවා, ඔබ අතරමං වන, ඉන්නා තැන හඳුනාගත නොහැකි අවස්ථාවන් මතු වෙමින් තිබෙනවාද?
  20. අද දවස, වෙලාව ගැන දැනුවත් බව නැතිවෙන අවස්ථා වැඩි වෙමින් තිබෙනවාද?
  21. ඔබ හොඳින් දැන සිටි අයගේ නම් , මුහුණුවර අමතකවීමක් අතදකිනවාද?

දැන් මේ ප්‍රශ්න වැඩි ප්‍රමාණයකට (හෝ සමහර අවස්ථා වල කිහිපයකට වුනත්) උත්තරය ඔව් නම්, ඒ කියන්නේ ?

.ඩිමෙන්ෂියාද ? නෑ නෑ නෑ නෑ නෑ ....ඩිමෙන්ෂීයා කියන්නේ මෙහෙම ප්‍රශ්න උත්තර දීල විතරක් තීරණය කරන්න පුළුවන් තත්ත්වයක් නොවෙයි.

නමුත්, ටිකක් හොයල බලන්න පෙර කී හේතු ඔබ තුල තිබෙනවාද කියල මෙම "ඔව්" ඇති වීමට. සහ පවුලේ ආසන්න සාමාජිකයෙක් ඩිමෙන්ෂිවට අදාල තත්ත්වයක් සමඟ ජීවත්වනවා නම්, එහෙම නැත්නම් ඔබට වෙනත් ස්නායුක රෝග තත්ත්වයක් , මොළයේ රෝග තත්වයක් , මානසික රෝගී තත්ත්වයක් තිබෙනවා නම් ඊට ප්‍රතිකාර ගන්නවා නම් , මෙම ප්‍රශ්න උත්තර ලැයිස්තුව සමඟ ඔබේ වෛද්‍යවරයා හමුවී කතා බහ කරන එක වැදගත් වේවි. සමහර විට ඔබේ මානසික පීඩනය වැඩි වීම වෙන්න පුළුවන්, ආතතිය වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් පවතින රෝග තත්ත්වයකට දෙන ඖෂධ නිසා වෙන්නත් පුළුවන්. කෙසේ වුනත් මෙය Young Onset Dementia අවදානම් පෙර හඳුනාගැනීමට භාවිත කළ හැකි රෝග විනිශ්චක නොවන, සරළ ක්‍රමයක් ලෙස The Alzheimer Society එක මඟින් ලොවට හඳුන්වා දෙනවා.

දැන් පෞද්ගලික අත්දැකීම, අඩුම වයසින් YOD තත්ත්වයක් සහිත අයෙක් මගේ වෘත්තීය පරිසරය තුල හමුවෙලා තිබෙන්නේ, වයස අවුරුදු 39ක තරුණයෙක්. ඒ මීට අවුරුදු පහකට පෙර. නමුත් ඔහුගේ ඩිමෙන්ෂියා තත්ත්වය (සහ ආශ්‍රිත තත්ත්ව) ඉතාමත් කෙටි කාළයක් තුල උග්‍ර අතට පත් වුනු නිසා, කැනඩාවේ

එක්තරා වාර්තාවක් තබමින් සැහැල්ලු ගුවන්යානා පැදවීමේ බලපත්‍රයක් ගත් තරුණයා, වයස අවුරුදු 43ක් වෙත්දි ජීවිතයට සමුදුන්නා.ඒ, තමන් මුලින්ම පැදවීම් කළ ගුවන් යානයේ ආකෘතියක් තම ඇඳ ඉදිරියේ තබා ගනිමින්. මුලින් ජීවිතය සේ ආදරය එක එම ගුවන් යානා ආකෘතිය කුමක් දැයි හඳුනාගන්නට ඔහුට වාසනාව තිබුණේ YOD හඳුනාගෙන වසර දෙකක පමණයි.

No comments: