Sunday, September 28, 2025

39. ET සහ ඩිමෙන්ෂියා



ET කිව්ව ගමන්ම හිතුනේ, Elliott බබා හිටපු ET චිත්‍රපටය වෙන්න පුළුවන්. නමුත් මේ කතාව, ඊට වඩා ටිකක් වෙනස්. මේ කියන ET නමින් කෙටියෙන් හදුන්වන්නේ, Essential tremor ලෙස දිගු නමකින් හදුන්වන තවත් ස්නායුමය ගැටළුකාරී තත්ත්වයක්.

පාලනයකින් තොරව සිදුවන රිද්මයානුකූල සහ අසාමාන්‍ය පැද්දීම් , එහෙම නැත්නම් ගැස්සීම් වගේ තත්ත්වයන් මතුවන මෙම ET වල වැඩිපුරම "දැනෙන" අවස්ථාවක් වෙන්නේ අත්වල මෙම අසාමාන්‍ය , රිද්මික ගැස්සීම් සිදුවන්නට ගත්තාම. කෝප්පයක් පිඟානක් අල්ලගන්න අමාරු, යමක් ලියා ගන්න අමාරු තැනකට පත්වන මේ අවස්ථාව හැර, අනෙක් චලන වලදී වැඩි අවධානයක් නොවන තරම්නේ.

සමහර විට, ආවේග, පරිසරයේ උණූසුම, මහන්සිය වගේ තත්ත්වයන් එක්ක උග්‍ර අතට පත්වන මෙම හිතාමතා නොකරන , ගැස්සීම්, පැද්දීම් තත්ත්වය වයස අවුරුදු හතලිහට වැඩි වන අවස්ථාවලදි හදුනාගන්නා අවස්ථා වැඩියි.

මෙම ET සහ ඩිමෙන්ෂියා තත්ත්වය යම් සබඳතාවයක් ගැන "සැක" , "විය හැකියාව" ගැන කාළයක් තිස්සේ අදහස් පළ කෙරෙමින් තිබුණු අතර, මේ පිළිබඳව මහාචාර්ය Stephanie Cosentino සහ මහාචාර්ය, වෛද්‍ය Elan Louis, ඇතුළු කණ්ඩායමක් කළ පර්යේෂණ ඔස්සේ තහවුරු කරගැනීමක් කරනවා, මෙවැනි පාලනය කළ නොහැකි, අස්වාභාවික, රිද්මයානුකූල ගැස්සීම්, වෙව්ලීම් හෝ චලනයන් සමඟ ජීවත්වන අයෙක්ට, ඩිමෙන්ෂියා තත්ත්වය ඇතිවීම් අවදානම, තුන් ගුණයකින් වැඩිවිය හැකි බව. 

මෙම හදුනාගැනීම අපට වැදගත් වන්නේ, මෙම ET තත්ත්වය සහිත අයෙක් තම පවුල් තුල සිටිනවා නම්, එම පුද්ගලයන් තුල පැවතිය හැකි , ඩිමෙන්ෂියාව සඳහා දායක වන පාලනය කළ හැකි වෙනත් සාධක, ( එනම් දියවැඩියාව, අධි රුධිර පීඩනය, වැනි තත්ත්වයන්) යහපත් මට්ටමක පාලනය කරගෙන තබා ගැනීමත්, විය හැකි අවදානම් තත්ත්ව ගැන දැනුවත්ව සහ අවධානයෙන් සිටිමින්, තත්ත්වයන් ඉතා අපහසුකාරි මට්ටමට පත්වන්නට පෙර, වෘත්තීය සෞඛ්‍යය උපදෙස් සහ ප්‍රතිකාර වෙත යොමුවීමට කටයුතු කිරීමටත් සැලසුම් කළ හැකි නිසා.

මෙම හදුනාගැනීම් ඔස්සේ, යම් දිනයක ඩිමෙන්ෂියා වලක්වා ගැනීම හෝ ඒ සඳහා ප්‍රතිකාර කිරීම් ගැන සාර්ථකත්වයන් අසන්නට ලැබේවි කියන "අපේක්ෂාව" තබා ගෙන දැනට මේ දැනුවත්වීම් , විමසිලිමත්වීම් පමණක් වුවත් කරන්නට ඔබ පෙළඹෙනවා නම් එයම ජයක්!

No comments: