Sunday, September 28, 2025

54. වචන පරක්කුව

"පුතේ මට ඉක්මණට අරගෙන එන්න , අර , අර ..අර මේ .. ඔය අපි එලෝලු කපන්න ගන්න ...දිග ..අර...... "

"දුවේ මට හැන්ද ගෙනත් දියං මේ පාන් පෙත්ත කපා ගන්ට"

"අපට ඉක්මන් කරල ගියොත් කස් එක අල්ල ගන්න පුළුවන් වෙයි"

"දවසක් අපි යන කොට අර මේ ...මේ මොකක් අර මේ ඔයා දන්නවනේ අර අර "

ගැලපෙන වචනය කියන්නට, සුදුසු වචනය ප්‍රකාශ කරන්නට, එහෙම නැත්නම් අවශ්‍ය වචනය වෙනුවට ඒ සමාන හඩ ඇති වෙනත් වචන අමුණන්නට හෝ තවත් අවස්ථාවක අවශ්‍ය වචනය වෙනුවට ඊට ආසන්න අදහස් ඇති වෙනත් වචන වලින් කතා බහ පුරවන්නට දරන උත්සාහය තුල MCI (Mild Cognitive Impairment ) හෝ ඩිමෙන්ෂියාවේ පෙර අවස්ථාවක් විය හැක.

විශේෂයෙන්ම මෙම ලක්ෂණ ක්‍රමයෙන් වැඩිවන බවක්, නිවැරදි වචනය එකතු කරගන්නට ගත වන කාළයේ වැඩිවීමක් , මෙම "හිරවීම්" නිසාවෙන් එම පුද්ගලයා පීඩාවන පත්වන , දවසේ කටයුතු කරගන්නට නොහැකි හෝ අපහසු වන තත්ත්වයකට පත්වන බවක් හදුනාගන්නේ නම් සෞඛ්‍යය වෘත්තිකයෙක් හමුවී එම අවස්ථාවන් ගැන සාකච්ඡා කිරීම විය හැකි අපහසුතා අවම කරගැනීමට සහ ඒ සඳහා අවශ්‍ය උපක්‍රම හදුනාගැනීමට උදව්වක් විය හැක.

මෙහි පොදු අවස්ථාවක් ලෙස දකින Tip-of-the-Tongue (TOT) එහෙම නැත්නම් "දිව අග තිබෙන" උත්තරය එම අවස්ථාවේ ගත නොහැකි අවස්ථා, ඕනෑම අයෙක් මුහුණදිය හැකි අවස්ථාවක් වුවත්, එයද මතුවන අවස්ථා වාර ගණන වැඩිවේ නම්, ඒ තුල අසාමාන්‍යතා හදුනාගත හැකි නම් "දිව අග තිබුණ" නිසා නොසලකා නොහැර විමසිලිමත් වීම වටී.

මේ අවස්ථා ඩිමෙන්ෂීයාව හෝ MCI තුල පමණක් නොව තවත් මොළය ආශ්‍රිත ගැටළු මෙන්ම සමහර මානසික ගැටළු හෝ රෝග, හෝ‍මොනමය බලපැම් නිසා ඇතිවන තත්ත්ව මෙන්ම, සමහර ඖෂධ වල බලපෑම වැනි අවස්ථා තුලද මතුවිය හැක. එම නිසා වඩාත් වැදගත් වන්නේ ස්වයං රෝග විනිශ්චය නොව, මෙම අවස්ථාවන් හදුනාගැනීම, විමසිලිමත්වීම සහ අවස්ථාව අනුව නිසි වෘත්තික උපදෙස් වෙත යොමු වීමයි.

(අනවශ්‍ය කළබල වීමට නොව දැනුවත් වීම සහ විමසිලිමත්වීම පිණිසයි බෙදා ගත්තේ)

No comments: