Sunday, September 28, 2025

13. පීලි පනින කතාබහක් Speech derailment

ඩිමෙන්ෂියාවේදී ඇතිවන සමහර ලක්ෂණ, මානසික රෝග ලෙස වෙන්කර හඳුනාගන්නා රෝග තත්ත්ව වලදිත් දකින්නට පුළුවන්.ඒ අතරේ අප දැනටමත් දන්න delusions( යථාර්ථය තුල හඳුනානොගන්නා හෝ අසත්‍ය වන නමුත් පුද්ගලයා පවත්වා ගන්නා, ප්‍රතික්ෂේප කිරීමට හෝ විමර්ශණයට අකමැති විශ්වාස - උදාහරණයක්, සමහර අයෙක් හිතං ඉන්න පුළුවන්, තමන්ට නාග ලෝකෙන් කතා කරනවා කියලා, අසාමාන්‍ය සද්ද එහෙමත් ඇහෙන්න පුළුවන්) , hallucinations (මේ තත්ත්වයේදී, ඇත්තටම ඒ කෙනාට , වෙනත් අයට නෙ‍ාපෙනන, නොදැනෙන අසාමන්‍ය දේ පෙන්නට, ඇහෙන්නට , දැනෙන්නට පටන් ගන්නවා. උදාහරණයක් - අදාල පුද්ගලය , තමන්ගේ ඇ‍දේ වාඩිවෙලා ඉන්න , එයාගේ පුතා එක්ක කතා කරන්න පුළුවන්, හැබැයි වෙන කාටවත් පෙන්නේ නැහැ එහෙම තවත් කෙනෙක් ඇ‍දේ වාඩි වෙලා ඉන්නවා කියලා) කියන තත්ත්ව වලට අමතරව , තවත් හඳුනාගත හැකි ලක්ෂණයක් මේ අවස්ථා දෙකටම , ඒ කිව්වේ මානසික රෝග සහ සමහර ඩිමෙන්ෂියා වර්ග වලට පොදුවේ දකින්නට පුළුවන්. ඒ තමයි Speech derailment.

Speech derailment කියන්නේ, අදාල පුද්ගලයා එක්ක වාචිකව කතාබහ කරගෙන යත්දි (එහෙම කිව්වේ නිර්වාචික කතාබහත් තිබෙන නිසා) , කතා කරන මාතෘකාවෙන් පිට පැනල , කිසිම සම්බන්ධයක් නැති කතාවලින් අතරමැද පුරවන එක. දැන් මේ පීළි පනින කතාවේ ආකාර දෙකක් පහසුවෙන් වෙන් කර හඳුන ගන්න පුළුවන්. එකකදි, අදාල පුද්ගලයා, කතාබහ සිදුවන මාතෘකාවෙන් පිට පනිනවා, හැබැයි පිට පැනල වැඩිපුර විස්තර කරගෙන, ඈතට යන්නේ , මාතෘකාවට යම් සම්බන්ධයක් තියෙන කතා දිගේ. උදාහරණයක්, හිතන්න ඔබ , ඩිමෙන්ෂියාව සහිත පුද්ගලයත් එක්ක කතා කරමින් ඉන්නවා ඉදි ආප්ප සහ පොල් සම්බල් එකතු වුනාම එන රස ගැන. ඔය කෑම කතාව අතරේ අර ඩිමෙන්ෂියාව සහිත පුද්ගලයා කෑම කතාවේ රසෙන් පිට පැනල, හැබැයි ඒ කතාවේ කොටසක් වන "පොල්" ගැන කතා කරන්න ගන්නවා. පොල්, කලටි ‍පොල්, පොල් වලින් තෙල් හිඳින හැටි, ඒ තෙල් ඔළුවේ ගෑවම එන සුවඳ ...අර ඇම්ඩන්ගේ මැක්කගේ කතාව වගේ ඈතට යනවා. හැබැයි හුඟක් වෙලාවට ආයෙත් ඉදිඅප්ප සහ පොල්සම්බල්වලට එනවා, නැන්තම් ඇදල ගන්න පුළුවන් වෙනවා. ‍මේ තත්ත්වය Circumstantiality ලෙසයි හඳුන්වන්නේ.

පීලි පනින කතාවේ අනෙක් අවස්ථාව තමයි Tangential speech අවස්ථාව. මෙතැනදි, ඔබත් , ඩිමෙන්ෂියාව සහිත පුද්ගලයාත් අතර කතාව යත්දි , කතාවට කිසිම ගැලපීමක් නැති මාතෘකාවකට එම පුද්ගලයා පණිනවා, ඊළඟට එතැනින් තවත් කිසිම සම්බන්ධයක් නැති තැනකට . ඔය විදියට , කතාවෙන් පැන පැන යනවා. උදාහරණයක් , අපි මුල් , ඉදිආප්ප, පොල්සම්බල් කතාව කරාගෙන යත්දි, රාවණා පියාඹගෙන යත්දි එයාට හමුවුනු කතාවක් පටන් ගනීවී, දැන් ඒක ගැන කියාගෙන යන ගමන්, දවසක් පාරෙ යත්දි දැක්ක ලස්සන නෝන කෙනෙක් ගැන කතා කරාවි. එකිනෙකට සම්බන්ධයක් නෑ, හැබැයි කතා කරනවා. දුර ඉඳන් බලන් ඉන්න කෙනෙක් හිතන්නේ, ඔය දෙන්න හරි හරියට කතාව කියලා.

දැන්, මේ කී, circumstantiality and tangential speech ලක්ෂණ ඩිමෙන්ෂියාවේ ප්‍රධාන වශයෙන් FTD වලදිත්, Alcohol-Related Dementia and Wernicke-Korsakoff Syndrome අවස්ථාවේදීත් "හඳුනාගන්නට" පුළුවන් තරමට දකින්න පුළුවන්. සමහර විට, මෙම ලක්ෂණයම,අදාල පුද්ගලයා යම් "වෛද්‍ය විමසීමකට ලක්විය යුතු" , එහෙම නැත්නම් ලෙඩක් ඇත්දැයි සොයා බැලිය යුතු අවස්ථාවක් හඳුනාගැනීමටත් උදව් වෙන්නට පුළුවන්.

එහෙම නම්, අද කතා කළ පීලි පනින කතා ගැන දැනුවත් වෙලා, එහෙම නැත්නම් දැනුම අළුත් කරගෙන, ඒ වගේම තව දුරටත් සොයා බලලා , අවධානයෙන් ඉන්න. ඒ දැනුම සමහර විට කෙනෙක්ගේ ජීවිතය තවත අවදානමකට යාම වලක්වා ගන්නට ඔබෙන් ලැබෙන "මිල කරන්න බැරි" උදව්වක් වෙන්නත් පුළුවන්.

No comments: