Sunday, September 28, 2025

41. නොබැඳුනු මනසක විත්ති - පාතරසය

 ("නොබැඳුනු මනසක විත්ති" විශේෂාංගය , එහෙම නැත්නම් ලිපි පෙළ තුලින් මම උත්සාහ කරනවා ම‍ගේ වෘත්තීය පරිසරය තුල දිනපතා මම අත්විඳින, සමහර විට ඔබ බොහෝ දෙනෙක් නොදකින, නොවිඳින වෙනස් සිදුවීම් මාලාවක් ඔබත් එක්ක බෙදා ගන්නට. ඒ තුලින් ඩිමෙන්ෂියාව සහ ආශ්‍රිත තත්ත්වය සමඟ ජීවන මගේ සේවාලාභීන්ගේ ඇත්ත අත්දැකීම්, ‍ඔබේ කරමින් ,මෙම තත්ත්වය ගැන යම් දැනුමක්, තොරතුරක් ලබා දෙන්නයි උත්සාහය.)

අද අඟහරුවාදා, අපේ සේවා පරිසරය තුල වඩාත්ම වර්ණවත් දවස. ඒ, අද සහ බ්‍රහස්පතින්දාව වෙන්වන්නේ, ඩිමෙන්ෂියාවේ මධ්‍යම හෝ උග්‍ර මට්ටමේ සේවාලාභීන් සඳහා වන නිසා. ඒ විශේෂත්වය නිසාම , අද දවස අනෙක් දිනවලට වඩා අපූරු වෙනස් බවක් ගෙන දෙනවා.

වෙනද වගේම උදේ නමය වෙත්දි තම පවුලේ සාමාජිකයා, බිරිඳ එහෙම නැත්නම් සැමියා අපට බාර දිලා, එම පුද්ගලයා වෙනුවෙන් වගකීම දරන කෙනා අපත් එක්ක කෙටි කතාබහක යෙදිලා තමයි ඔවුන්ගේ දවසේ කටයුතු වෙනුවෙන් ඉවත්ව යන්නේ. අදත්, ඒ විදියට ඩිමෙන්ෂියාව සමඟ ජිවත්වන සැමියාගේ වගකීම බාරගත්ත බිරින්දෑවරු , ඩිමෙන්ෂීයාව සමඟ ජීවත්වන බිරින්දෑවරුන්ගේ සියළු වගකීම් බාරගත් සැමියන් එක්ක කෙටි කතාබහක යෙදුනා. මේ, ඒ කතාබහ තුල මගේ හිතට දැනුනු ( අනෙක් කතා "නොදැනෙනවා" නොවෙයි, නමුත් හුඟක් දුරට එකම වගේ කතාව අහන්න වෙන නිසා ලියන්න තරම් හිතෙන්නේ නැහැ) කතාබහක් සහ ඒ පසුබිමේ හේතුවන සෞඛ්‍යය විද්‍යාත්මක පසුබිම් කතාවත් ලියන්නට හිතුනා.

ප්‍රසිද්ධ අමෙරිකානු ගායකයෙක්ගේ නමටම සමාන නමක් ඇති ඔහුට අපි කෙටි නමක් දෙමු "විලියම්" කියල. මේ කතාව විලියම් සහ ඔහුගේ ආදරණීය බිරිඳ "මිසිස් විලියම්" ගැන. (මේ ව්‍යාජ නම් වන අතර, එසේ භාවිත කිරීමට හේතුව ඒ මගේ සේවාලාභීන්ගේ පෞද්ගලිකත්වය සහ සෞඛ්‍යය තොරතුරු ආරක්ෂා කිරීමට මට ඇති වෘත්තීය වගකීම නිසාවෙනි)

"ඉතින් කොහාමද පහුගිය සතිය? මේ සතිය නම් අව්වයි වැස්සයි දෙකම ලැබෙයි ව‍ගේ" කතාවට ආරම් භයක් දෙන්නට විමසුවා.

"ඔව්, මං හිතන්නේ බදාදා ඉඳල වැස්ස පටන් ගනී වගේ, අපට වැස්ස නම් ඕන...ඒක නෙවි, මට ඔයාට කියන්න වෙනස්ම කතාවක් අද තියෙනවා. " විලියම් මහත්තයා, සූරපප්පා කාටූන්ගේ එකේ සූරපප්පගේ වගේ දිගට තියෙන රැවුල අතගාමින් ලොකු කතාවක් කියන්නට වගේ හදනවා.

"වෙනස් කතාවක්! මොකද වුනේ? "

"ගිය අඟහරුවාදා, අර හොඳටම රස්නේ වුන දවසේ. එදා මට හිතුනා, ඔක්කොම වැඩ තියලා, මිදුලේ තණකොළ කපල සුද්ද බුද්ද කරල දාන්න ඕන කියලා. මොකද මෙයත් එක්කම ඉන්න වෙන නිසා දැන් අස්පරස් කරන්න වෙන්නේම නැති තරම්." විලියම් මහත්තයා, කියාගෙන ගියා.

"ඉතින්"

"වෙනද නම් උදේ කෑම කාළ වැඩපටන් ගත්තත් , අවුවත් එක්ක වැස්සක ලකුණුත් තිබුණ නිසා, මට හිතුනා උදේම කණකොළ කපල සුද්ද පවිත්‍ර කරල ඇවිත් උදේ කෑම හදන්න. මොකද මෙයත් උදේට කන්නේ පරක්කු වෙලානේ. " තවත් අපේ සේවාලාභියෙක් සහ පවුලේ කෙනෙක් ආ නිසා කතාව ටිකකට නතර කරල, ඒ අයව පිළිගන්න කතාව ටිකකට වෙනස් වුනා.

"ඉතින්, විලියම් නෝනත් ආවද අස් කරන්න" කතාව අමුණගන්න ප්‍රශ්නයක් යොමු කළා.

"නෑ, මට හිතුනා එයාට කියන්න අද උදේ කෑම හදන්න කියලා. මොකද මේ ලෙඩත් එක්ක එයාට ඒ වැඩ කරන්න බෑ වගේ නිසා, මමම උයනවා වුනාට මට හිතුනා බලන්න එයා කොහොම ප්‍රතිචාර දක්වයිද කියලා. ඉතින් මම කිව්වා එයාට , මම යනවා මිදුල අස්කරල එන්න, ඔයාට පුළුවන්ද උදේට කෑම හදල තියන්න කියලා. එයා දන්නව මං ආසම බිත්තර ඔම්ලට් එක්ක බේකන් සහ ටෝස්ට් කන්න කියලා. ඒ එක්ක පළතුරු ටිකකුත් එකතු කරගන්න එක අපේ ඉස්සර පුරුද්දක් වෙලා තිබුණේ "

කතාව මෙහෙම දිගට යනවා. ඔහු කීයූ විදියට, පැය දෙකක් විතර මිදුලේ තණකොළ කපල, අස් කරල, කුස්සියට එත්දි ඔහුව පුදුමයට පත් වුනාලු.

"මං හිතුවේ නෑ ඒ තරම් දෙයක් කරන්න පුළුවන් වේවි කියලා එයාට. එයා, උදේ කෑම එකට ඔම්ලට් හදලා, බේකන් බැදලා, ටෝස්ට් හදලා, පළතුරු කපලා, ඒ විතරක් නොවෙයි කෑම මේසේ ලස්සනට හදල තිබුණා. මයික්, මට ඒ වෙලාවේ දැනුනු සතුටට ඇඩුණා, මට කතා කරගන්න බැරි වුනා. මගේ බිරිඳ මට ආයෙත් ලැබුණ කියල මම දෙවියන්ට ස්තුති කළා. මට තේරෙන්නේ නෑ මයික් ඒ දැනුනු හැඟීම කොයිතරම් බරද කියල විස්තර කරන්න" ගෝනුන් මුවන් දඩයම් කරන්නට වගේම, පාසල් දරුවන්ට පරිසර අධ්‍යාපනය වෙනුවෙන් මහ වනාන්තර වල ගෙනියන්න, තරුණ දරුවන් කණ්ඩායම් එක්ක හරි හරියට වැඩ කරමින් විශ්‍රාම ගන්නා තුරු කටයුතු කළ, ආරෝහපරිණාහ දේශධාරී, මේ සැමියා තමන්ගේ හිතට දැනෙන හැඟීම කඳුලු වෙන්නට ඉඩ හැරියා.

"මට ඒ දැනුනු සතුට කියා ගන්න බෑ. අපි දෙන්න හරිම සතුටින් උදේ කෑමවේල ගත්තා. මං එයා හදපු කෑම වල රස ගැන හුඟක් අගය කළා. ඇත්තටම මං හදනවාට වඩා හරිම රසට ඒ කෑම ‍වේල තිබුණා. ඊටත් වඩා, ඇගේ ආදරය ඒ කෑම වේල සරසා තිබුණූ විදියෙන් මට දැනුනා. මං හිතන්නේ, මේ ලෙඩේ හදුන ගත්තට පස්සේ , ඒ කියන්නේ අවුරුදු හතරකින් විතර මේ වගේ ආදරය සහ රස පිරුණූ උදේ කෑම වේලක් ගත්තේ එදා."

විලියම් මහත්තයත් , බිරිඳත් ඒ උදේ කෑම වේල අරගෙන ටිකක් කතාබහේ යෙදෙමින් ඉඳලා, විලියම් මහත්තයා නැවතත් මිදුලට( ඉඩමට) යන්නේ ඉතිරි වැඩටිකත් ඉවර කරලා එන්න වැස්සට ඉස්සර වෙලා. විලියම් නෝන, කුස්සිය අස් කරන්න කැමැත්තෙන්ම ඉදිරිපත් වුනා.

පැය දෙකකට පස්සේ, තණකොළ කපල, සුද්ද කරලා, අවශ්‍ය පොහොර බේත් හේත් එහෙම මල්ගස් වලට දාල විලියම් මහත්තයා ගෙට ගොඩ වෙන්නේ රෑ කෑමට මොනවහරි හදන්න හිතාගෙන. හැබැයි , කුස්සියට ඇතුළු වෙත්දිම දැක්ක දෙයින් ඔහු නැවතත් පුදුම වුනාලු.

"ගෙට ඇතුළු වුනා විතරයි මම දැක්කේ කෑම මෙසේ උඩ ආයෙත් ලස්සනට කෑම සූදානම් කරලා. මට හිතා ගන්න බැරි වුනා. මොකද මම කිව්වේ නෑනේ රෑ කෑම සූදානම් කරන්න කියලා. නිකටම බැලුව මොනවද හදල තියෙන්නේ කියලා. .... එතකොට තමයි මට දුකයි, හිනාවයි දෙකම එකට මතුවුනේ. ... එයා අර උදේ හදපු කෑම වේලම, ඒ විදියටම ආයෙත් හදලා මේසේට සූදානම් කරල තිබුණා"

දැන් සිද්ද වෙලා තියෙන්නේ මේක. විලියම් නෝන, තමන්ගේ ආදරණීය මහත්තය ඉල්ලපු විදියට, උදේ කෑමට බිත්තර ඔම්ලට්, බේකන්, ටෝස්ට් එක්ක පළතුරු සූදානම් කරල තිබුණනේ. දැන්, හවස කෑමටත් (රෑ කෑමට) අර උදේ කියපු පිළිවෙලටම කෑම සූදානම් කරලා.

"මං ඇහැව්ව, ඇයි මේ ආයෙත් කෑම හැදුවේ කියලා. එයා කියාපි, "ඔයා ආසයි කිව්වනේ මේ කෑම වේලට ඉතින් මට හිතුනා ඔයාට රසට කෑම වේල හදන දෙන්න" කියල" විලියම් මහත්තයා කඳුළු අස්සෙන් හිනාවුනා.

"එයාට කිසිම මතකයක් නෑ, උදේටත් මේ කෑම වේලම හැදුව කියලා. ඉතින් අපි එදා උදේටත් බේකන්, ඔම්ලට් කාල රෑ කෑමටත් ඒවම කෑව කියමුකෝ. හැබැයි එයා හරිම සතුටුවුනා කෑමවේල ගැන. හැබැයි කිසිම මතකයක් තිබුණේ නෑ උදේටත් එයා මේ කෑම වේලම හැදුව කියලා. මං බයේ හිටියේ ඊට පස්සෙන්දත් මට බිත්තරයි බේකනුයිම කන්න වේද කියලා" දැන්නම් විලියම් මහත්තයා ඇත්තටම හිනා වුනා.

දැන් මේ සිදුවීමේ ,

සෞඛ්‍යය විද්‍යාත්මක පැත්තේ කතාවට.

දැන්, විලියම් මහත්තයා උදේ කියල යනවානේ, "අද උදේ කෑම වේල ඔයා සූදානම් කරන්න" කියල. මේ පණිවිඩය , විලියම් නෝනගේ මතකය තුල රැදෙනවා. ඩිමෙන්ෂියාවේ මධ්‍යම මට්ටමේ හිටියත්, ඇයට මේ උපදෙස ක්‍රියාත්මක කරන්න පුළුවන්. "උදේ කෑම වේල හදන්න" මේක තමයි ලැබුණූ උපදෙස. සරළයි, තනි උපදෙසක් විතරයි. එතැනදි ඇයට ලැබුණූ "උපදෙස" ඔස්සේ පැරණි මතකයන් සම්බන්ධ වෙනවා. එයින් ඇය වඩාත්ම ආදරය කළ, චිත්තවේගීය ලෙස බැඳී තිබුණූ "සැමියා සමඟ ගන්නා ඔවුන්ගේ ප්‍රියතම උදේ කෑම වේල" ගැන මතකයන් මතුපිටට එනවා. දැන්, සැමියා ලබා දුන් උපදෙසත් එක්ක, එකතු වුනු පරණ සුන්දර මතකයන්ද එකතු කරගෙන, ඇය "උදේ කෑමවේල" හරි අපූරුවට සූදානම් කරනවා. සැමියා එක්ක සතුටින් ආහාරය ගන්නවා, ඒ අතරේ , තමන්‍ හදා දුන් කෑම වේලේ රස ගුණ ගැන කතාවත් එක්ක ලැබෙන සැමියාගේ අගය කිරීම්, ආදරය ඇයට දැනෙනවා. දැන් මේ අත්දැකීම පුංචි මතක ගොන්නක් විදියට ඇයට සතුටක් ගේනවා.

උදේ කෑමෙන් පස්සේ සැමියා ආයෙත් ඉඩමට යනවා, විලියම් නෝන ඇගේ කාමරයේ විවේක ගන්නවා. සිංදුවක් අහගෙන නිදහසේ ඉන්න අතරේ ඇයගේ මතකයට එනවා "මගේ මහත්තයා කීවනේද උදේ කෑම හදන්න කියලා" . දැන්, ඇය උදේ කෑම වේල හදන්න ආයෙත් කුස්සියට එනවා. පවතින තත්ත්වය එක්ක, උදේ , දිවා කාළය වගේ "කාළය ගැන" වෙනස පැහැදිලි හදුනාගැනීමක් නොවුනත්, ඇයට දැන් අරමු?නක් එනවා. ඒ "මහත්තයා ආසම කරන උදේ කෑම වේලක් හදන්න ඕන" . ඇයට අමතකයි, මීට පැය කිහිපයකට ඉස්සර වෙලා ඇය උදේ කෑම වේල හැදූ බව සහ සැමියා සමඟ එය රස විඳි බව. දැන්, ආයෙත් බිත්තර ඔම්ලට් හදලා, බේකන් එක්ක ටෝස්ට් වලට ගැලපෙන්න පළතුරුත් කපලා, ලස්සනට කෑම මේසය හදලා බලාගෙන ඉන්නේ විලියම් මහත්තයා එනකම් එයා ආසාවෙන් හදපු "උදේ කෑමවේල" එකතු වෙලා රස බලන්න. විලියම් නෝනගේ හිත පැත්තට ගියොත්, මේ එයා උදේ කෑම වේල හදපු මුල්ම වතාව. හැබැයි, විලියම් මහත්තය දන්නවා, අද උදේ කෑම වේල ගත්තබව සහ මේ ඒ උදේ කෑම වේලම නැවත වතාවක් හදපු බව.

මේ තත්ත්වට Dementia Repetition කියන පොදු හදුන්වාදීම කරනවා. එකම දේ නැවත නැවත විමසීම, සමහර විට එකම දේ නැවත නැවත කරන එකත් මේ තුලට ඇතුළු වෙනවා. දැන් "එකම දේ නැවත නැවත" කීව ගමන් සමහර අයෙක්ට හිතට එන්න පුළුවන් මේ කියන්නේ OCD (Obsessive-Compulsive Disorder) ලක්ෂණයක්ම‍ නේද කියල.

උත්තරේ තරමක් දුරට ඔව්, නමුත් එසේ නොවේ කියලා. හැබැයි OCD සහ Dementia අතර සම්බන්ධතාවයක් නම් හදුනාගන්නට පුළුවන් වෙනවා. ඒක ගැන පස්සේ කතා කරමුකෝ දැන් මේ "නැවත නැවත" කරන එක ගැන Repetition කතා කරමු.

මේ අවස්ථා දෙකේදීම Repetition එහෙම නැත්නම් එකම දේ නැවත නැවත ඇසීම හෝ කිරීම සිදුවෙනවා. හැබැයි ඒ අවස්ථා දෙක, ඒ කියන්නේ Dementia repetition සහ OCD repetition තුලදි එම "නැවත සිදුවීම්/සිදු කිරීම්" වන්නේ වෙනස් ආකාරයකින්.

Dementia repetition වන්නේ, අමතක වීම, බුද්ධිමය හැකියාවේ බිඳවැටීම් හෝ චිත්තවේගීය ලෙස ඇතිවන ආතතික තත්ත්වය නිසා. මේ හේතු නිසා තමයි එකම දේ නැවත නැවත අහන්නේ, එහෙම නැත්නම් කරන්නේ. ඒ කියන්නේ, මෙම Dementia repetition තුලදි මෙම "නැවත සිදුවීම" වන්නේ නොදැනුවත්ව (Unintentional).

නමුත්, OCD repetition සිදුවන්නේ නම්, හිතේ පවතින කාංසා සහගත තත්ත්වයේ බලපෑම නිසා, ඒ වගේම එම "නැවත සිදුවීම" එම පුද්ගලයා "දැනුවත්වයි" සිදුවන්නේ හෝ කරන්නේ. ඒ කියන්නේ එයාට මතකයි එමදේම මීට පෙර කළ බව. ඒත් පෙර කී හේතු නිසා එන හැඟීමත් එක්ක, නැවතත්, එයම කරන්නට හිතෙනවා.

දැන් මුලින්ම කී, Dementia repetition අවස්ථාවට නම් කරන්න තිබෙන්නේ , අවස්ථානුුකූලව එම පුද්ගලයාට අවශ්‍ය සහයෝගය හෝ වෙනතකට යොමු කිරීම වගේ උත්සාහයක් කිරීමත්, පවතින මානසික පීඩාකාරී හෝ චිත්තවේගීය කාංසා තත්ත්වයක් නම් එය මග හරවා ගැනීමට උදව් කිරීමයි. ඒ සඳහා පෙර ලිපියක සඳහන් කළ FiNReDiCo ක්‍රම තුල එම අවස්ථාවට වඩාත් ගැලපෙන ක්‍රමයක් හෝ කිහිපයක එකතුවක් යොදා ගන්නට පුළුවන්.

OCD repetition තත්ත්වය සඳහා නම්, Cognitive-behavioral therapy (CBT) සහ යම් මෘදු සමනක ඖෂධ උදව් කරගෙන ප්‍රතිකාර කරන්නට හැකියාව තිබෙනවා.

"ඉතින් කොහොමද අද උදේ කෑම වේල" කතාව නිමා කරන්නත් එක්ක මා විමසුවා.

"ආ.. අද උදේ ලොකු කෑමක් නෑනේ. කෝපි එකක් හදාගෙන අපි දෙන්නම බිව්වා. මොකද එයාට උදේ කෑම ඔයාලගේ වැඩසටහනෙන් ලැබෙනවා නේ. මම ඔය යන ගමන් ටිම් එකකට ගොඩවැදිල ‍ඩෝනට් එකක් කාල ගෙදර යනවා." විලියම් මහත්තයා බොහොම සැහැල්ලුවෙන් කියාගෙන, එයාගේ පරණ ෆෝඩ් ට්‍රක් එකට ‍ගොඩවුනා.

ඔන්න ඔහොමයි අද කතාවේ නිමාවට අප ළඟා වුනේ. ආයෙත් දවසක හිතට දැනුනු සහ ඒ වගේම වැදගත් විය හැකි ඇත්ත කතාවක් රැගෙන එන්නම්. එතෙක්, ඩිමෙන්ෂියාව ගැන එහි බලපෑම් ගැන ටිකක් හිතන්නට, ඒ වගේම මෙම තත්ත්වය ගැන දැනුවත් වීමේ වැදගත්කම ගැන හිතට ගන්නටත් ඔබට ආරාධනා කරනවා.

No comments: