Sunday, September 28, 2025

42. ආදරේ රැකගන්න, නිදහසට මොහොතක්

 ("නොබැඳුනු මනසක විත්ති" විශේෂාංගය , එහෙම නැත්නම් ලිපි පෙළ තුලින් මම උත්සාහ කරනවා ම‍ගේ වෘත්තීය පරිසරය තුල දිනපතා මම අත්විඳින, සමහර විට ඔබ බොහෝ දෙනෙක් නොදකින, නොවිඳින වෙනස් සිදුවීම් මාලාවක් ඔබත් එක්ක බෙදා ගන්නට. ඒ තුලින් ඩිමෙන්ෂියාව සහ ආශ්‍රිත තත්ත්වය සමඟ ජීවන මගේ සේවාලාභීන්ගේ ඇත්ත අත්දැකීම්, ‍ඔබේ කරමින් ,මෙම තත්ත්වය ගැන යම් දැනුමක්, තොරතුරක් ලබා දෙන්නයි උත්සාහය.)

එදා බ්‍රහස්පතින්දා. වෙලාව හවස දෙකයි පණහට විතර. හැමදාම වගේම, වැඩසටහන නිමා කරන්න ඉස්සර වෙලා, මගේ සේවාලාභීන්ගේ බාරකරුවන් ඇවිත්ද කියල බලල, පුංචි කතාබහක් කරල එන්න, අමුත්තන්ගේ විවේක කාමරයට ගියා.

ජීවිතේ මා දකින සංවේදීම වගේම උණුසුම්ම ආදර බැඳීම් සහ තවත් අපූරු බැඳීම් , කතා නැවත මතක් කරවන මගේ සේවාලාභීන්ගේ බිරින්දෑවරු, ඔවුන්ගේ දරුවන් කෝපි රස විඳිම්න් සුහද කතාබහක. රඟපාන, කාමරය හොල්ලන්න පුළුවන් තරමේ හිනාවක් දාන ලෝරා නෝනාගේ රසකතා වටේ එකතු වුනු හැමෝගේම මුහුණුවල හිනාවක්. ඒක දැක්කම හිතට දැනුනේ අපූරු සතුටක්.

"ආ..කෝමද අපේ කට්ටිය? ඔය තව ටිකක් තියා ගන්න. අපි එයාලව තියාගත්තනේ දශක දෙක තුනක්ම. ‍" ලෝරා නෝනගේ බ්‍රේක් නැති කට, මගේ පැත්තට.

"ඔව් ඔව්, කතාව ඉවර කරගන්න. එයාල එන්නේ තව විනාඩි දහයකින් විතර." වෙන කියන්න දෙයක් ආවත්, කට පරිස්සම් කරගෙන උත්තර දීල, ඉක්මණට මගේ වැඩසටහන පැවැත්වෙන කොටසට ආවේ, පෙර පාසල ඉවර වුනාම, "අපේ අම්ම ඇවිත් නේද?' කියල අහන පුංචි පැටවු වගේම, "අපේ හාමිනේ ඇවිත්නේ?" කියල ආදරය, අවිනිශ්චිතබව මුසුව අහන ජීවිතේ දශක හයකටත් වඩා පහුකළ, "යකඩයෝ" වගේ කියල හි‍තෙන පිරිමි සේවාලාභීන් පිරිසක් , නැවත මා එනතුරු බලා සිටින නිසාවෙන්.

ජීවිතේ බැඳීම් ගැන, ජීවිතේ වෙනස්වීම් ගැන අපූරුම දැනීමක් ඇතිවන මොහාතක් මේ. අද දවසේ මගේ සේවාලාභීන් පිරිස වෙන්නේ, ඩිමෙන්ෂියාවේ විවිධ මට්ටම් සමඟ ජීවත්වන මහත්වරු කණ්ඩායමක්. මෙක්සිකානු සම්භවයක් ඇති දකුණූ අමෙරිකාව තුල කාළයකදී ජනප්‍රිය ඩීජේ‍ කෙනෙක් වුනු අයෙක්, කැනඩානු රෝහල් පද්ධතියක කළමණාකාරීත්වය දැරූ මහත්මයෙක්, රැජිණගෙන් පවා පදක්කම් ලැබී තිබු, "පොඩි ඉඩමක්" තියෙන බව කියන මහාපරිමාණ ගොවි මහත්මයෙක් ඇතුළු විවිධ අත්දැකීම් , දනුම, වගේම විවිධ සම්භවයන් ඇති අපූරු , සුන්දර "මහත්වරුන්ගේ කණ්ඩායමක්" අපට බ්‍රහස්පතින්දාවේ හමුවෙන්නේ. වයස පණස් ගණන් වල සිට, ලබන සතියේ තම අනූවන උපන් දිනය සමරණ පකිස්තානයේ පෙෂාවර් නගරයේ උපතලබා , ලෝකයේ රටවල් ගණනාවක අත්දැකීම් ලැබූ ඛාන් මහත්තයා දක්වා පිරිසක් මේ තුල ඉන්නවා.

එක්තරා කාළයක, පවුලේ වැඩි බරක් ගත්, එහෙම නැත්නම් තම බිරින්දෑ සමඟ සම සමව එය බෙදාගත් අය ව‍ගේම, බිරින්දෑ, දරුවන්ට විවිධාකාර අපහසුතා, වේදනාවන් ඇති කිරීමම "පිරිමිකම" ලෙස එකල හිතූ මහත්වරුත් මේ අතර ඉන්නවා. ගමේ නැටුම්කාමරය තුල ඇතුවූ හාදකම , ආදරයකට පෙරලී විවාහය, දරුවන් ඔස්සේ ඇවිත්, අද වෙත්දී පවා තම දරුවන්ට , බිරින්දෑට ආදරෙන් හාදුවක් දෙන මහත්වරු වගේම, ගණනක් මතක නැති පෙම්වතියන් ඇසුරු කරමින්, විවාහය කියන බැඳීමට වඩා "සැහැල්ලුවෙන් ජීවත්වීම" ජීවිතේ රිද්මය කරගත්ත, අදටත්, තවත් පෙමිවතියක සමඟ ආදර බැඳීමකින් විවාහයකින් තොරව කාලේ ගත කරන මහත්වරුත් මේ අතර ඉන්නවා. හැබැයි මේ හැමෝම, අද දවසේ තම "බිරින්දෑ, හෝ ආදරවන්තිය" ගේ රැකවරණය තුල ජීවිතය ගෙවන්නන්. පෙර පාසලක දරුවන්, තම අම්මලා ඒ දැයි බලා සිටිනවා වගේම, තම බිරින්දෑවරුන්, ආදරවන්තියන් ඒ දැයි පෙර මග බලා සිටින ලොකු මහත්තරුන්.

හවස තුන වෙත්දි, වැඩසටහන නිමාකරල, අපේ සේවාලාභීන්ට තමන්ගේ ආදරවන්තියන් ඉන්න විවේක කාමරය යන්න අවස්ථාව දෙන්නේ, ඒ මොහොතින් පසුව ආයතනි වගකීම් තුල අපට යම් සීමා මතුවන නිසා. සද්දන්ත, ලොකු ,ඉහළ වගකීම් දැරූ මේ තාත්තලා, මහත්වරු පෙරටු කරගෙන මාත් නැවතත් විවේක කාමරය වෙත එන්නේ, දවසේ යම් "දැනුම් දිය යුතු" තොරතුරු ඇත්නම් පුද්ගලිකව ඒ නෝනලාට දැනුම් දීමටත් එක්ක. සැලසුම් කළ විදියටම හැම, නෝනා කෙනෙක්ටම තමන්ගේ මහත්තයා සහ දරුවෙක්ටම තමන්ගේ තාත්තව බාර දීලා, නැවත එන්න හැරෙත්දි , නොදන්නා නෝන කෙනෙක් කාමරයේ කෙළවර පුටුවක වාඩිවෙලා මේ හැමෝම දිහා බලාගෙන ඉන්නවා.

පොදු විවේක කාමරයක් නිසා සමහර විට "වෙන කාගෙ හරි පවුලේ කෙනෙක් වෙන්න ඇති" කියල හිත හදාගෙන කාමරයෙන් එළියට එන්න ආවත් ,

"මේ ම-- වෙන්න ඕන?"

"ඔව්?"

නන්නාදුනන නෝනා කුමක්හෝ අහන්නට සුදානම්.

"මගේ මහත්තයා , ඩිමෙන්ෂීයා රෝගියෙක්. අපි ගෙදර තමයි ඉන්නේ, ඒත් මට එයාගෙන ගැලවිලා ටිකක් ඉන්න ඕන. මට උදව් කරන්න පුළුවන්ද?"

හැමදාමත් ඇහෙන කතාව, වෙනස් විදියේ ප්‍රශ්නයක් විදියට යොමු වුනා.

"ඒ කිව්වේ, එයා අපේ ප්‍රජා සෞඛ්‍යය ඒකකයෙ ලියාපදිංචිද?, නම මොකක්ද?" ප්‍රශ්නෙට උත්තර දෙන්න නම් දැනගත යුතුම තවත් ප්‍රශ්න කිහිපයක් අහන්න වෙනවා.

"ඔව් , ඔව්, පීටර් එයා ලියාපදිංචි වුනු කෙනෙක්. ඒත් අපි ගෙදර වැඩ කටයුතු කරගෙන ඉන්න නිසා, ‍සෞඛ්‍යය සේවයෙන් විශේෂ උදව්වක් ලබා ගන්නේ නැහැ. ඒත් දැං මට එයාගෙන් ටික වෙලාවකට හරි ගැලවිලා ඉන්න ඕන. පැය විසි හතර පුරාම එයා මගේ පස්සෙන්මයි. ‍මට ටිකක් නිදහසේ ඉන්නවත් වෙලාවක් නෑ. මට දැන් ජීවිතේ එපා වෙලා තියෙන්නේ. එකම දේ අහනවා, පස්සෙන්ම වලිගේ වගේ එල්ලිලා ඉන්නේ. අනේ වරදවා හිතන්න එපා, අපි දෙන්න ආදරය කරල , විවාහ වෙලා පහුගිය දවසේ අපේ හතලිස් දෙවන විවාහ සංවත්සරෙත් සැමරුවා, එයා මගේ පණ, මට ඒ ආදරේ ඕන, එයාටත් මගේ ආදරේ ඕන. ඒත් , මේ ලෙඩේ මතුවුනාට පස්සේ එයාල හැම තිස්සේම මගේ පස්සෙමයි. මුලින්ම නම් එහෙම වුනු එක හොඳයි කියල හිතුනා. මොකද මගේ ඇහැ එයා වෙනුවෙන් තියා ගන්න පුළුවන්නේ. ඒත් ඒක දැන් කරදරයක් වෙන තරමට. පුළුවන්ද මට උදව්වක් වෙන්න. මං අහන්න ලැබුණා, ඔයාලගේ වැඩසටහන මගින් සතියකට දවසක් අපි වගේ අයට නිදහසක් ගන්න පුළුවන් බව." හිතේ තියෙන පීඩාව, ආදරය, වගේම වගකීමේ බර වගේ හැඟීම් ‍ගොන්නක් හිර කරගත්ත හිතේ , කතාව ‍මුවින් ‍පිටවෙත්දි ඇගේ ඇස් ඒ හැම හැඟීමකම ඇත්ත "ජීවිත තත්ත්වය" සැඟවීමක් නැතිවම කියාදුන්නා.

දැනෙන විදියට "ඉක්මණින්" උදව් අවශ්‍ය කෙනෙක් වගේ. මෙවැනි අපහසුකාරී තත්ත්ව තව දුරටත් පැවතීමේ ප්‍රතිපලය නිවසේ අනෙක් අයටත් මානසික පීඩාවන් වගේම සමහර විට මානසික රෝගී තත්ත්ව පවා මතු කළ හැකි බව අත්දැකීමෙන්ම දනිතත්, වැඩසටහන වෙත එක්වන්නට ඉන්නා අයගේ පොරොත්තු ලේඛණයේ දිග පළල ගැන බර දැනෙන නිසා යම් පැහැදිලි කිරීමක් කරන්නට හිතුනා.

"මෙහෙමයි, මට හරියටම මතක නෑ ඔහු ගැන. මොකද, අපට දිගු පොරොත්තු ලේඛණයක් තියෙන්නේ, මට ටිකක් හොයල බලන්නම් මේ ගැන." සාක්කුවෙන් ගත්ත සටහන් පොතේ ඔහුගේ නම සහ තත්ත්වය ලියා ගත්තේ මේ ගැන හොයල පිළිතුරක් දෙන අපේක්ෂාවෙන්.

"අනේ පරක්කු කරන්න එපා, මට දැන් මේක දරාගන්න පුළුවන් සීමාවේ උපරිමේ ඉන්නේ, මට මගේ ආදරය වෙනුවෙන් , එයාව පැය කීපෙකට හරි මගෙන් වෙන් කර දෙන්න උදව් වෙන්න. මං එයාට හරි ආදරෙයි, මට එයාව පරිස්සම් කරගන්න ඕන, මට ඒ වෙනුවෙන් උදව්වක් වෙන්න" මොහොතක් නිහඬව හිටි ඇය නැවත නැවත කියාගෙන යත්දි , හැඟීම් පොදියක් පුපුරා ගියා වගේ දැනුන.

"අනිවාර්යයෙන්ම, අපි කණ්ඩායමක් විදියටනේ මේ වැඩසටහන කරන්නේ. ඉතින්, ඒ තුල ඔබ වෙනුවෙන් සහ ඔබේ මහත්තයා වෙනුවෙන් කළ හැකි ඉක්මණ් උදව්ව කරන්න පොරොන්දු වෙන්නම්. ඒත්, පොරොන්දුව ඉටු කරන්න ගතවන කාළය ගැන මට මේ මොහොතේ කියන්න නම් අමාරුයි. නමුත් අදහසක් දෙන්න පුළුවන් වේවි හෙට උදේ වෙත්දි.

ඇගේ ගැටළුව සහ ඇය විඳින පීඩාව ගැන දැනටමත් ප්‍රජා සෞඛ්‍යය කණ්ඩායම ලබා ගෙන ඇති තොරතුරු , ඒ අනුව ලබා ඇති "අවශ්‍යතා ලකුණූ මට්ටම" විමසා බලල, ඇයගේ මේ අළුත් කතාබහ ඒ තුල නැත්නම් ඒ තොරුතුරුත් යාවත්කාලීන කරල, ප්‍රජා සෞඛ්‍යය හෙද කණ්ඩායම වගේම, අවශ්‍ය මුල්‍යමය සහයෝගයන් අතිරේක සහයෝගයන් ලබා දීමට මැදිහත් වන ප්‍රජා සෞඛ්‍යය සමාජ සේවා වෘත්තිකයන් එක්කත් කතා කරල ඇයට දිය හැකි සාධාරණ උත්තරයක් දෙන බලාපොරොත්තුවෙන් ඇයට ස්තුති කරල , සමුදීලා විවේක කාමරයෙන් එළියට ආව.

"අනේ මට කොහාම හරි මේ උදව්ව කරන්න, අපේ ආදරේ වෙනුවෙන්, මට මගේ රත්තරං ටිකකට මගෙන් වෙන් කරල දෙන්න." (I love him dearly. He's been my sweetheart since I was sixteen, and he still is, but now I need a break for myself.) ඇය නැවත කීවේ විවේක කාමරයෙන් එළියට එන ගමන්.

"ස්ථිරවම" ඇයගේ ප්‍රකාශය තුල, උදව්ව ඉක්මණ් කළ හැකි සාධකයක් තිබුණූ බව මතකයේ තිබුණූ නිසා වගේම , මේ අවස්ථාවේ ඇයට යම් ධෛර්යයක් ලැබිය යුතු මට්ටමක හිටි නිසා එහෙම කියා ගෙන , රතුපාට මල් පොකුරු වලින් සැරසුණූ කොරිඩෝව දිගේ නැවතත් මගේ වැඩසටහන් ඒකකයට ආවේ, හිතේ රැඳුනු වාක්‍යයක් අරගෙන "මගේ ආදරේ වෙනුවෙන් මට ඔහුගෙන් ටිකකට වෙන්ව ඉන්නට ඉඩ දෙන්න"

"ආදරේ වෙනුවෙන් නිදහසක් ගන්න"

"ආදරේ වෙනුවෙන් මොහොතකට වෙන්වන්න"

"ආදරේ රැකගන්න නිදහසක් දෙන්න"...

...ඇගේ ඒ වාක්‍යය විවිධ හැඩ රටා ඔස්සේ මගේ හිත තුල දෝංකාර දුන්නා.

(ඩිමෙන්ෂියාව කියන්නේ, වියපත්වූ අය තුලින් මතුවන රෝගයක් ලෙස පොදු හදුනාගැනීමක් වුවත්, එය සියයට සියයක්ම නිවැරදි නොවෙයි. ඒ වගේම වියපත් මට්ටමේදී මතුවුවත් , ඒ තත්ත්වයේ ඇති කරන ජීව ක්‍රියාවලියේ ආරම්භය මතුවන්නේ, මේ ලිපිය කියවන ඔබේ වයස් මට්ටමේදී වන්නට පුළුවන්. ඒ නිසා, මේ කතා කියවීම පමණක් නොවෙයි, ඩිමෙන්ෂියාව ගැන දැන ගැනීමත්, එය වලක්වා ගැනීමට හෝ පමා කරගැනීමට කළ හැකි දේ වෙනුවෙන් කළ හැකි ක්‍රියාත්මක වීමත් කිරීමත් ඔබ වෙනුවෙන්, ඔබේ ආදරවන්තයින් වෙනුවෙන් වටී.)

No comments: