("නොබැඳුනු මනසක විත්ති" විශේෂාංගය , එහෙම නැත්නම් ලිපි පෙළ තුලින් මම උත්සාහ කරනවා මගේ වෘත්තීය පරිසරය තුල දිනපතා මම අත්විඳින, සමහර විට ඔබ බොහෝ දෙනෙක් නොදකින, නොවිඳින වෙනස් සිදුවීම් මාලාවක් ඔබත් එක්ක බෙදා ගන්නට.)
හවස කෝපි කෝප්පය උගුරු දෙක තුනකින් ඉවර කළ ඩොනල්ඩ් කියාගෙන ආ කතාව පටන් ගත්තා.
"අපි කොතැනද නැවැත්තුවේ.."
"ඩොන් කියමින් හිටියේ, අර ගෙවල් දෙකේ ළමයි දාසයක් හිටි කතාවනේ"
"ආ.. ඔවුනේ.. අපි දෙගොල්ලම කැතලික්, අපේ පවුලේ නමයයි, අල්ලපු ගෙදර හතයි. අපි දෙගොල්ල සෙල්ලමට බැස්සම ඕන ගේමක් අපේ තමයි" ඩොන් ඇස් කරකවමින්, කම්මුලු රිදෙන සතුටකින් කියවගෙන යනවා.
"මයික් දන්නවද? ඔය අල්ලපු ගෙදර හිටිය කෙල්ලට තමයි මම මුලින්ම කිස් එක දුන්නේ. මට හතයි, කෙල්ලට පහයි. අපේ ගෙදර පඩිපෙල යට ඉඳන් තමයි කිස් එක දුන්නේ, තාම මතකයි ඒ හැඟීම..."
"ඒ කියන්නේ ඩොන්ගේ පළමු පෙම්වතී ඒ..."
"ඔව් , ඔව්... කැත්ලීන්. කොන්ඩේ බොකුටු , ජින්ජර් හෙයාර් එකක් තිබුණේ. මං ආසම කළේ, එයාගේ කොන්ඩෙට ගාන ඔයිල් එකේ සුවඳට...මං තදින් හාදුවක් දීලා ,ඊළඟට කළේ ඒ රත්තරං පාට කොන්ඩේ ඉම්බා ඇති වෙන්න."
"එතකොට කැත්ලීන් ....?"
"එයා බැන්ද වෙන කෙනෙක්, මම ආවනේ සස්කචවාන්. ඒ අතරේ ...ඒක නෙවේ මයික්, මට දැන් මේ ඉස්සර කතා සේරම නූලට මතක් වෙනවානේ. මටම පුදුමයි, සමහර දේවල් මුළු කතාවම , ඒ විතරක් නොවේ, මට මතකයි ඒ සුවඳ, ඒ ස්ඵර්ශයන් හැමදේම අද ඊයේ වුනා වගේ මතක් වෙනවා නේ, ඇයි ඒ...?"
මම, ඔහුට වැටහෙන මට්ටමින් පිළිතුරක් ලබා දුන්නා. තවත් කෝපි කෝප්පයක් එක්ක කුකී එකක් රස විඳි ඩොන්, අපේ හවස් වරු වැඩසටහන වෙනුවෙන් යොමු කරගෙන , මගේ ඒකකයට යන ගමන් මගේ හිතේ රැදුනු වචන කිහිපයක් තිබුණා "ඒ විතරක් නොවේ, මට මතකයි ඒ සුවඳ, ඒ ස්ඵර්ශයන් හැමදේම අද ඊයේ වුනා වගේ මතක් වෙනවා"
ඩිමෙන්ෂියාව කියන්නේ හැම මොහොතකම අළුත්වන ජීවන අත්දැකීමක්!
No comments:
Post a Comment