Sunday, September 28, 2025

16. නොබැඳුනු_මනසක_විත්ති - අසාමාන්‍යය, සාමාන්‍ය වීම

("නොබැඳුනු මනසක විත්ති" විශේෂාංගය , එහෙම නැත්නම් ලිපි පෙළ තුලින් මම උත්සාහ කරනවා ම‍ගේ වෘත්තීය පරිසරය තුල දිනපතා මම අත්විඳින, සමහර විට ඔබ බොහෝ දෙනෙක් නොදකින, නොවිඳින වෙනස් සිදුවීම් මාලාවක් ඔබත් එක්ක බෙදා ගන්නට.)

අද සඳුදා, අවුරුදු තුනකට පස්සේ නැවතත් in-person ක්‍රමයේ වැඩසටහන් පටන් අරගෙන දෙවෙනි දවස. අද කණ්ඩායම අතර, මීට පෙර අපත් එක්ක හිටි සේවාලාභීන් මෙන්ම, අළුතින්ම එකතු වූ සේවාලාභීන් පිරිසක්ද හිටියා.

සැලසුම් කළ විදියටම දවස "වර්ණවත් දවසක්" ලෙස ගෙවුනා. හැමෝම කතාබහ කළා, හිනා වුනා, අකමැතිම ව්‍යායාම වැඩසටහන හිනාවෙවීම සම්පුර්ණ කළා, හවස් වරුව සෙල්ලම් කළා, සැලසුම් කළ ක්‍රියාකාරකම් අවසන් කරලා, පිරිසක්, ගමේ ප්‍රවාහන සේවය මගින් (ඒ කිව්වේ සීටිබී බස් එකෙන් කියමු) තම තමන්ගේ ගෙවල් වලට ගියා.

හවස තුන හමාරත් වෙලා තවමත් හැරියට් නෝන තවමත් මග බලාගෙන ඉන්නවා. හැරියට් ‍අවුරුදු හැත්තෑවක විතර, ඩිමෙන්ෂියා තත්ත්වය සමඟ ජීවත්වන බ්‍රිතාන්‍ය-කැනඩානු කාන්තාවක්. හරි අපූරු රස කතා උල්පතක් වන ඇය, අපත් එක්ක මීට වසර තුනකට පෙර කෝවිඩ් වසංගතේ එන්න ඉස්සර වෙලා මේ විදියටම වැඩසටහන් වලට එක් වුනා. නමුත් ,කෝවිඩ් තත්ත්වයත් එක්ක අනෙක් එය වර්චුවල් ආවත්, හැරියට් නෝනා අන්තර්ජාලේ ඒතරම් විශ්වාස නොකරන නිසා සම්බන්ධ වුනේ නෑ. හැමෝම ගෙවල් වල ගිහිල්ල තියෙත්දි, තාමත් මග බලාගෙන ඉන්න හැරි‍යට් නෝන ළඟ ලංවුනා.

"තාම දුව ආවේ නැත්ද හැරියට්?"

"දුව එනව මග , අද එයාට පුතාව ඉස්කෝලෙන් ගන්න වෙලා. ඔයාට කියන්න කාලෙකින් ,

"ආ...එහෙම නං අපට තව ටිකක් කතා කරතෑකි, ඉන්න මම ඔයාට බීම එකක් අරගෙනම එන්න" , ඇය කැමතිම බීම පැකට්ටුවක් අරගෙනම ඇවිත් ඇගේ මේසයට එකතු වුනා මම.

"කෝමද හැරියට් අද දවස? " වාඩි වුනු තැනට හරි කෙළින්ම ඉස්සර තියෙන පාසලේ පිට්ටනිය පුරා දුවන පැටව් දිහා බලාගෙන හිටිය හැරියට්ගෙන් ඇහැව්වා.

"ඔයාට කියන්න, මට පණ තියෙනව කියල දැනුනේ අද. මගේ කම්මුල් රිදෙනවා අද හිනාවටයි , කතාවටයි"

"ඇත්තද, අපටත් හරිම සතුටුයි හැරියට් ඒ තරම්ම සතුටුවුනා නම්. ඔයා ඉස්සරත් ආවම දවසම හැමෝම හිනස්සනවා, ඒකනේ ඒ දවස්වල ඔයා පරක්කු වෙත්දි යාළුවෝ හොයන්නේ"

"මට දැන් මතක නෑ ඒ දවස්වල හිටපු යාළුවෝ, කීප දෙනෙක්ගේ මුණුවර යංතං මතකයක් තිබුණා. ඔයා දන්නවනේ මම දැන් සාමාන්‍ය නෑ, අසාමාන්‍යයයි. හැබැයි ඒ ආසාමාන්‍යය බවට මම කැමතියි"

කතාබහ අතරේම, හැරියට්ගේ දුවගේ වාහනේ නැවැත්තුවා.

"එහෙම නං මම යනවා, ආයෙත් එනව.. කවදද මතක නෑ, දුව මතක් කරාවි නේ" අළුත වැටුනු හිම තට්ටුව උඩින් පරිස්සමට අඩිය තියල වාහනේට ‍ගොඩවෙන ගමන්ට ඇය කීවා.

"මම සාමාන්‍ය නෑ අසාමාන්‍යයයි. හැබැයි ඒ අසාමාන්‍යකමට මම ආසයි"
හැරියට් රැගත් වාහනේ නොපෙනීයන තුරුම බලාගෙන ඉන්න අතරේ මගේ හිතේ දෝංකාර දුන්නා ඒ වචන කිහිපය.

No comments: