Sunday, September 28, 2025

4. Dementia 101- ඩිමෙන්ෂියා හඳුන්වාදීම-3 (පිච්චමල)

අපි දන්නවා, සංකීර්ණ ජීවියෙක් ලෙස, මිනිසා ගේ "මිනිස් ක්‍රියාකාරකම්" පවත්වා ගන්නට "මොළයේ" මැදිහත්වීම කොයිතරම්ද කියලා. ඒක, ඔබ විෂයයක් විදියට ඉගෙන ගෙන තිබෙන්නත් පුළුවන්, එහෙම නැතත් සාමාන්‍ය දැනුම තුල එම අවබෝධය යම් තරමකට ‍හෝ අප සතු වෙනවා.

"මොළේ පාවිච්චි කරල වැඩ කරන්න"

"මේක මොළෙන් ගහන්න ඕන ගේමක්"

එහෙමත් නැත්නම් වැඩේ වැරදුන තැන "මොළයක් නැත්ද ළමයෝ?" කියල අහන, සාමාන්‍ය ව්‍යවහාරය තුලම "මොළයේ" වැදගත්කම මතුවෙනවා. ඒ නිසා, මම ‍මොළයේ ජීව විද්‍යාත්මක ක්‍රියාවලිය ගැන සංකීර්ණ, විද්‍යාත්මක විස්තර කිරීමකින් මේ මාතෘකාව ආරම්භ කරන්නේ නැහැ. ඒ වෙනු‍වට, අප දැනට දන්නා තැනින් කතාව ආරම්භ කරමු.

බාහිරින් ලැබෙන, විවිධ සංඥා, හැඟීම් දැනීම් ස්නායුක රසායනික ඔස්සේ , නැවත ගැනීම පිණිස සහ නැවත,  ගැනීම සඳහා පිළිතුරු දීම සඳහා තැන්පත් කර තිබෙන, භාණ්ඩාගාරය "මොළය". එහෙම නැත්නම් මොළයේ තිබෙන ස්නායු සෛල. එන පණිවිඩ බාර ගෙන සැකසීම, තෝරා බේරා ගැනීම, පෙර දත්ත සමඟ සැසඳීම, අවශ්‍ය තොරතුරු ලේබල් කර ගබඩා කිරීම වගේ සංකීර්ණ ක්‍රියාකාරකම් රැසක් මේ ඔළු ගෙඩිය ඇතුලේ තියෙන මොළ‍ය තුල සිදුවෙනවා. අපි ඒ සිදුවීම් කිහිපයක් ගැන කතා ටිකක් කතා කරමු.

උදාහරණයක්, ඔබට පිච්ච මලක් දකිත්දි, ඇහට වැටෙන ඒ ආලෝක කිරණ, ඇහේ තිබෙන සංවේදක‍ සෛල විසින් "පණිවිඩයක්" විදියට හඳුනගෙන, එය ස්නායු රසායනික උදව් කරගෙන, මොළයේ "සැසඳීම් කර පිළිතුරු දෙන පුස්තකාල අංශයට " ගෙන ගියාම, එය, එහි ගබඩා වී ඇති, මීට පෙර "මල්" පිළිබඳව ඇති අත්දැකීම් පණිවිඩ/ලේබල සමඟ සැසඳීමක් කර ගැලපීම එන අවස්ථාවේ ලේබලයේ ඇති "පිච්චමල්" නම අනුව "හඳුනාගැනීම" කරනවා, එම පණිවිඩය ඔබට දෙනවා "මේ ඔබ දකින්නේ පිච්චමලක්" ලෙස. මේ තමයි නිරෝගී තත්ත්වය.

දැන් අපි ‍මේ පිච්චමලේ කතා කීපයක් බලමු,

පිච්ච මලේ කතාව 1

අපි හිතමු, ඔබ කවදාවත්ම පිච්චමලක් දැකල නෑ කියලා .එතැනදි , පෙර විදියටම ගිහින්, පෙර දත්ත ගලපාගෙන ගියත්, හරියටම පිච්චමලේ තොරතුරු වලට සැසඳනෙ එකක් නැති නිසා ඔබට දැනෙනව "අමුතු මලක්" විදියට. එහෙම නැත්නම් "අමුතු දෙයක්" විදියට. දැන් ඔබ ළඟ ඉන්න වැඩිහියෙක් කියනවා ,"මේ පිච්ච මල" කියලා. දැන් ‍‍මොකද වෙන්නේ, අර "අමුතු මලේ සංඥාව"ට, "පිච්ච මල" කියල හොඳට කල් තියෙන විදියට ලේබල් එකක් ගහල මොළයේ සෛල තුල තැන්පත් කරගන්නවා. මේ අළුත් අත්දැකීම් එකතු කරගැනීමේ අවස්ථාවක්. මෙය සාමාන්‍ය නිරෝගී තත්ත්වයක්.

පිච්ච මලේ කතාව 2

තව විදියකට හිතමු , ඔබේ මොළයේ සෛල තුල අතීතයේ දුටු "පිච්චමලක" තොරතුරු ගබඩාවී තිබෙනවා. දැන් ඔබේ ඇස,තවත් පිච්චමලක් දකිනවා, ඒ කියන්නේ, ඒ මලේ සිට එන ආලෝක කිරණ ඇසේ සංවේදී සෛල මත වැටෙනවා. ඊළඟට මොකද වෙන්නේ, මේ ලැබුණූ පණීවිඩය ඉක්මණට , මොළයේ තොරතුරු ගබඩා වී ඇති තැනට අරගෙන යනවා, මේ දකින දේ ‍කුමක්දැයි හදුනාගන්නට. අපි හිතමු මේ පණිවිඩය මොළයේ දත්ත ගබඩාවට යන පාරේ පොඩි අකරතැබ්බයක් වෙලා. ඒ පාර මැදට, පස් කන්දක් කඩං වැටිලා, පාර වහලා. දැන් ‍මොකද වෙන්නේ, අර , ඇහට ලැබුණූ "මලක් දැක්ක පණිවිඩේ" අරගෙන එන කෙනාට, මොළයේ දත්ත ගබඩාවට යන්න වෙන්නේ නැහැ.ඒ කියන්නේ, මම යමක් දැක්කත්, මේ දකින දේ කුමක්දැයි පැහැදිලි කරගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ එක්තරා රෝගී අවස්ථාවක සිදුවන ක්‍රියාකාරීත්වයක්.

පිච්ච මලේ කතාව 3

තව කෙනෙක්ගේ මෙහෙම දෙයක් වෙනවා, "පිච්ච මල්" ඇතුළු මල් වර්ග ගැන, තොරතුරු තිබෙන, දත්ත ඇති පොත් රාක්කය, පෙරලිලා, දැන් ඔක්කොම කවලං වෙලා, හැම මල් ජාතිම. ඇහ දකිනවා "පිච්ච මලේ" සංඥාව, පණිවිඩය එනවා, මොළයේ තෝරා දෙන තැනට, දැන් තමයි හිර වෙන්නේ. මල් ජාති හැම එකම කවලං වෙලා. එන පණිවිඩේ හරියට සසඳගන්න බෑ, එක්කෝ සෑහෙන කාළයක් යනවා වැඩේ කරගන්න. එහෙම නැත්නම් මැච් කරගන්නම බැරි වනවා. සමහර විට, "පිච්ච මල" වගේ වෙන එකක් එක්ක සසඳලා කියන්න පුළුවන්, මේ "පිච්ච මල" කියලා. මේ නිරෝගී සාමාන්‍ය අවස්ථාවක් වෙන්නත් පුළුවන් නමුත් හැම තිස්සේම මෙහෙම මල් විස්තර තියෙන පොත් රාක්ක පෙරලිලා කවලං වෙනවා නම්, සමහර විට රෝගී අවස්ථාවක් වෙන්නත් පුළුවන්.

පිච්ච මලේ කතාව 4

ඔන්න තවත් තැනක මෙහෙම දෙයක් වෙලා. එයාගේ , මල් විස්තර තියෙන සෛල කොටස දුර්වල වෙලා, පණ නෑ. දැන්, ඇහේ පණීවිඩෙත් ආව, මල් ගැන පෙර අත්දැකීම් ටික සෛල තුල තිබෙනවා, නමුත් මේ දෙක සැසඳීම කරලා තීරණය දෙන්නට හැකියාවක් නැහැ, මොකද අර, "මල් ගැන තොරතුරු" තිබෙන සෛල කොටස දුර්වල වෙලා, තෝරා බේරා සසදා දීමක් කරන්න තරම් ශක්තියක් නැහැ, ශක්තිමත් කරන්නත් හැකියාවක් නෑ වගේ. ඒ කියන්නේ, දැන් "පිච්ච මල" දැක්කත්, පෙර දැනුමක් තිබුණත්, "හඳුනාගැනීමක්" වෙන්නේ නැහැ. මේ තවත් මතකය පිළිබඳ ගැටළුකාරී අවස්ථාවක්.

පිච්ච මලේ කතාව 5

අපි, ආයෙත් අංක එකේ කතාවට යමුකෝ.ඒ කතාවේ ලේබල් ගහන මැෂිම හොඳට ප්‍රින්ට් කරන, කාළයක් ඒ ලේබල් වල අකුරු ‍නොමැකෙන හොඳ වර්ගයේ ඒව වුනාට, මේ පුද්ගලයාගේ මොළයේ සෛල වල තියෙන ලේබල් ගහන මැෂිම බාල එකක්. දැන් මොකද වෙන්නේ, ඔබ දකිනවා "පිච්චමල", මොළය දන්නේ නෑ ඒ මොකක්ද කියලා, හේතුව පෙර අත්දැකීමක් ලේබල් සහිතව මොළයේ සෛල වල නෑ. දැන්, ළඟ ඉන්න කෙනා කියනවා, "ආ මේ පිච්චමලක්" කියලා. වෙනද වගේම මොළය මොකද කරන්නේ, අර "පිච්ච මලේ" සංඥාවට ගහනව ලේබල් එකක් "මේ පිච්ච මලකි" කියලා. ඒත් ලේබල් ගහන මැෂිම බාල , දුර්වල එකක් නිසා, ප්‍රින්ට් එක හොඳට හිටින්නේ නෑ, ඔන්න විනාඩි කිහිපයක් ගිය ගමන් මොකද වුනේ, "පිච්චමලේ" සංඥාව තියෙනවා, හැබැයි ඒකට ගහපු ලේබලේ නිකංම සුදු කොළයක් විතරය, අර "මේ පිච්චමලකි" කියල ප්‍රින්ට් කළ ටික මැකිල ගිහින්.එහෙම වුනාම මොකද වෙන්නේ, ඊළඟට එන සමාන අත්දැකීම වුනත් , සැසඳීම කරන්නට බැරිව යනවා, මොකද ලේබලේ නම නෑනේ, නිකංම සුදු කොළයක් විතරයි. මේක සාමාන්‍ය තත්ත්වය තුලදීත් වෙන්න පුළුවන් වුනත්, මොළයේ දත්ත ගබඩා කරන හැම තැනම තියෙන්න් මේ "බාල ප්‍රින්ටිං මැෂින්" නම්, ඒක සාමාන්‍ය තත්වයක් වෙන්නේ නැහැ. ‍

මේ කියාගෙන ගි‍යේ "දැකීම" සහ "හඳුනාගැනීම" සිදුවන සාමාන්‍ය ක්‍රියාවලිය සහ එහි සමහර ගැටළු මතුවන අවස්ථා ගැන. ඇසීම, දැකීම , රස වගේ සියළු සංවේදනයන්ටත්, තීරණ ගැනීම, ගැටළු විසඳීම වැනි සංකීර්ණ මානසික ක්‍රියාවලින් තුලත්, සිදුවන්නේ, පෙර කී අවස්ථා සහ ඊට සමාන සිදුවීම්.

ඩිමෙන්ෂියා තත්ත්වයේදී සිදුවෙන්නෙ, මෙම කතා කළ අවස්ථාවන් වල "ගැටළු මතුවුනු" 2, 4 සහ 5 වගේ සිදුවීම් වලට සමාන තත්ත්වයන්, අංක තුනේ අවස්ථාව, ඩිමෙන්ෂියාවට පෙර එන තත්ත්වයක් වෙන්නත් පුළුවන්. තවත් අවස්ථා ගණනාවක් තිබෙනවා. පණිවිඩ මාරු කර සැසදීම, පණිවිඩයේ තොරතුරු මග හලා ඒම නිසා, හරියට තීරණයක් දෙන්න බැරිවීම වගේ තවත් කතා බොහොමයක් ලියන්න පුළුවන්. අපි ඒ ගැන ටිකෙන් ටික සාකච්ඡා කරමින් ඉදිරියට යමු.

අද අපි පිච්චමලෙන්, මොළය බලල නවත්තමු, මොකද, මේ ඔක්කෝම එකපාර මොළේට හලන්න ගියොත්, කාගේ කාගේ ප්‍රින්ටිං මැෂින් නරක් වේද දන්නේ නැති නිසා.

(දැන් පිච්චමලක්ම මතක් වුනේ ඇයි කියල අහන අයට, ලංකාවේ ඉන්න කාළේ කියවපු හිතේ රැඳුනු නවකතා මාලාවක් තමයි ජයසේන ජයකොඩි මහත්මයගේ පිච්චමල. ඉතින්,මේ කතාව ලියාගෙන යත්දි පරණ මතකයක් එළියට ආව.  )

No comments: