Sunday, September 28, 2025

33. මතක අමතක කරන බෙරි බෙරි වෙරි මත

("නොබැඳුනු මනසක විත්ති" විශේෂාංගය , එහෙම නැත්නම් ලිපි පෙළ තුලින් මම උත්සාහ කරනවා ම‍ගේ වෘත්තීය පරිසරය තුල දිනපතා මම අත්විඳින, සමහර විට ඔබ බොහෝ දෙනෙක් නොදකින, නොවිඳින වෙනස් සිදුවීම් මාලාවක් ඔබත් එක්ක බෙදා ගන්නට. ඒ තුලින් ඩිමෙන්ෂියාව සහ ආශ්‍රිත තත්ත්වය සමඟ ජීවන මගේ සේවාලාභීන්ගේ ඇත්ත අත්දැකීම්, ‍ඔබේ කරමින් ,මෙම තත්ත්වය ගැන යම් දැනුමක්, තොරතුරක් ලබා දෙන්නයි උත්සාහය.)

පහුගිය මාසය සහ පෙබරවාරි මාසය කියන්නේ, අපට යුද්දයක්. මොකද, මාර්තු වලින් ආරම්භ වන ආයතින ගිණුම් වර්ෂයට අදාලව , අපේ වැඩසටහන තුල රඳවා ගත යුතු සාමාජිකයන් තෝරා ගැනීමත්, හිස් තැන් පිරවීමට සම්මුඛ පරික්ෂණ දාමයක් පැවැත්වීමටත් වෙනවා. මේ සම්මුඛ පරික්ෂණ මාලාව තුල සිදුවෙන්නේ, අදාල සේවාලාභියා කුමන ඩිමෙන්ෂියා තත්ත්වයේද? කුමන මට්ටමේද? මොන වගේ චර්යාවන් දක්වනවාද? අපේ චිකිත්සීය වැඩසටහන තුලින් ප්‍රයෝජනයක් ගත හැකි අයෙක්ද වගේ තෝරා බෙරා ගැනීමක් කරන්න. මේ හමුවීම් මාලාවේ කොටස් දෙකක් තියෙනවා. පළමු වැන්න, සේවාලාභියා, ඒ කියන්නේ ඩිමෙන්ෂියාව හෝ ආසන්න තත්ත්වය සමඟ ජීවත්වන පුද්ගලයා සහ පවුලේ සාමාජිකයා අපේ ආයතනය වෙත පැමිණ සිදුවන සාකච්ඡා, හමුවීම, ඩිමෙන්ෂියා මට්ටම ගැන විමසීම් සහ නීතිමය ලියකියවිලි සම්පුර්ණ කිරීම්. එයින් සතියක් ඇතුල, දෙවැනි හමුවීම අපට කරන්නට වෙනවා, එය සිදුවන්නේ අදාල සේවාලාභියා ජීවත් වන එම පුද්ගලයාට පුරුදු පරිසරයේදි. බොහෝවිට ඒ පුද්ගලයාගේ නිවසේදී හෝ කාළීනව ප්‍රතිකාර ලබා දෙන සෞඛ්‍යය ආයතනයේදී.

මේ කියාගෙන ගියේ, ඩිමෙන්ෂියාව හෝ ආසන්න තත්ත්වයන් සමඟ ජීවත්වන පුද්ගලයන්ට මෙම රටවලදී ලබා දෙන එක්තරා සෞඛ්‍යයමය සේවාවක ක්‍රියාකාරීත්වයේ කොටසක්.

දැන් අද කතාවේ ප්‍රධාන චරිතය (අපි කියමු ඔහුට ලොකු මහත්තයා කියල) සහ ඔහුගේ මිතුරියත් මේ සම්මුඛ පරික්ෂණ මාල‍ාවේ පළමු පියවර සඳහා සිකුරාදා උදේම අපේ ආයතනය වෙත එනවා. අදාල හමුවීම් සම්බන්ධීකරණය කිරීමේදී සිදුවූ දුරකථන සංවාද වලදී තරමක් කළබලකාර, ඉක්මණින් තරහ යන වගේ චරිතයක් ලෙස දැනී තිබුණත්, ඒ ගුඹුරු පිරිමි හඩ සහිත මගේ අනාගත සේවාලාභියා දැක්කම නම් එහෙම කළබලකාර ගතියක් තිබුණේම නැහැ. ටිකක් පැත්තට ඇදවෙමින් ආ, හරිම ප්‍රියමනාප බොහෝ දුරට දකුණූ අමෙරිකානු සම්භවයක් ඇත හොඳ උස මහත තරුණයැයි කියන්නට පුළුවන් මට්ටමේ මහත්මයෙක් එක්ක, කට පුරා හිනාවක් ඇඳගත්ත තරමක මැදිවියේ පුංචි කේ‍ඩෑරි සිරුරක් තිබුණු සුදු නෝන කෙනෙකුත් එනවා.

"අපි පොඩිත්තක් පමා වුනා, හිතාගන්න පුළුවන්නේ මේ ලොකු මහත්තයා නැගිට්ටවල සූදානම් කරගන්න තියෙන අමාරුව" කියාගෙනම, අර ලොකු මහත්තයගේ අතින් අල්ලගෙන දෙන්නම ශාලාවට ඇතුළු වුනා.

"ඊයේ බෙහෙත් අළුත් කළා, ඒකට ටිකක් සැරට නින්ද ගියා මෙයාට, නැත්තං මම නං පරක්කු වෙන්න කැමතිම නැති කෙනෙක්" සුදු පුංචි නෝනා තවත් කියවනවා.

සැලසුම්ගත කතාබහ තුල තවත් අපූරු රස කතාද හුවමාරු වෙමින්, අපේ හමුවීම පැයකටත් වඩා ගත වුනා. ඒ හමුවීම තුල අපට ඔහු හදුනගන්නට ලැබෙනවා වයස හතලිස් හතක් වන, Korsakoff psychosis තත්ත්වයත් සමඟ ජීවත්වන, මෙක්සිකානු සම්භවයක් තිබෙන කැනඩානු ජාතිකයෙක්, . මේ ලොකු මහත්තයා මෑතක් වෙනකං තනිකඩයා වගේ තමයි ඉඳලා තියෙන්නේ, කෑම බීම විතරක් නොවෙයි අනෙක් සැපසාත්තුත් මදි නොකියන්න අරගෙන තියන බව ‍සුදු පුංචි නෝන කිව්වේ. ලොකු මහත්තයට ,මේ සුදු පුංචි නෝන මුණගැහෙන්නේ ළඟදි, දැනට එකගෙයි වාසය කරනව විතරයි. "අපි හිතාගෙන ඉන්නේ ලබන අවුරුද්දේ බදින්න" මේ කතාව යත්දි පුංචි සුදු නෝන හිනාවේවීම කිව්වා.

"මෙයා හොඳ සංගීතකාරයා, මට මෙයා හම්බුනේ පරක්කු වෙලා, එහෙම නැත්නම් මෙයාට මෙහෙම වෙන්න මම ඉඩ තියන්නේ නෑ. " පුංචි සුදු නෝනා , මේ ලොකු මහත්තයාගේ අත මිරිකමින් ආදරෙන් කියනවා.

මහත්තයා නෑ කතාවක්, හැබැයි හිනාවෙනවා. හරිම ලැජ්ජකාරය වගේ බිම බලාගෙනම ඉන්නවා. ඉඳලා හිටලා වචනයක් දෙකක් කියනවා හැබැයි යන්නෙ කොහෙද මල්ලේ පොල් වගේ තමා. අහන දේ සහ කියන දේ අතර ටිකක් නොගැලපීමක් තියෙනවා.

"මං ගිටාර් කාරයනේ" ලොකු මහත්තයා කතාව මැද්දේන් පැන්නා. අපි ඇහව්වෙත් නෑ.

" මම කියෙව්ව ඔයා හොඳ ගායකයෙක් කියල නම්, දැනගෙන හිටියේ නෑනේ ගිටාර් ගහන්නත් පුළුවන් කියලා" ලොකු මහත්තය එක්ක කතාවක් ගෙනියන්න පුළුවන්ද බලන්නත් එක්ක මාත් වචනයක් දැම්මා. ම්හ්... ඒකට උත්තරයක් නෑ, හැබැයි කටපුරා හිනාවක් දාල, ගිටාරය අල්ලන හැටි අභිනයෙන් පෙන්නනවා.

"මේ, මං ඔයාට ගිටාර් එකක් දෙන්නම්, මට ගහල පෙන්වන්න පුළුවන්ද " මං ඇහැව්වා.

ලොකු මහත්තයා කැමැත්ත පළකලා. "ඔය කීවට දැන් මෙයාට බෑ ගිටාර් ගහන්න, ඉඳල හිටලා සැක්සෆෝන් එකනං අරං එහෙට මෙහෙට පිඹිනවා" පුංචි සුදු නෝනා අමුතු හිනා‍වක් දාන ගමන්ම කීවා.

කමක් නෑ අපි බලමු, අපේ සංගීත චිකිත්සා කාමරේ තියෙන පරණ හැඩවැඩ දාපු ගිටාරය උස්සගෙන් ඇවිත් දුන්න බලන්න ලොකු මහත්තයට. පළපුරුදු සංගීතකාරයෙක්ගේ අභිනයන් දාල ගිටාරිය අතට ගත්ත ලොකු මහත්තයා. තත් එකින් එක පිරිමදින්නට ගත්තා, ටික වෙලාවක් යත්දි ඔහුගේ ඇඟිලි විතරක් නොවේ, මුළු අතම ගැහෙන්න පටන් ගන්නේ ගිටාරය අල්ලාගන්නටත් බැරි තරමට.

"ඕකනේ මං කිව්වේ, මෙයාට දැන් බෑ , කොච්චර කිව්වත් අහන්නේ නෑ ගෙදරදිත්" පුංචි ‍සුදු නෝනා තමන්ගේ ප්‍රකාශය ඇස් පනාපිටම තහවුරු වීමේ ආඩම්බරයෙන් වගේ කීවා.

හමුව නිමා වුනා.

අපේ තරුණ වැඩිහිටි කණ්ඩායම (Young Adult Group) සඳහා තවත් අඩුවිය සාමාජිකයෙක් ලෙස Wernicke-Korsakoff Syndrome සමඟ ජීවත්වන මේ ලොකු මහත්තයා බඳවා ගන්නට තෝරා ගත්තා.

දැන් , මේ ගෲප් එක ගැන සහ ඒ තුල මා ලියූ කතා ඔස්සේ මගේ වෘත්තීය පරිසරය ගැන දන්න කෙනෙක් අහන්න පුළුවන් ,

"ඉතින් ඔයාල උදව් කරන්නේ ඩිමෙන්ෂියා අයටනේ, ඇයි මේ Wernicke-Korsakoff Syndrome කෙනාට ?" කියලා . අන්න ඒක තමයි කතාව.

Wernicke-Korsakoff Syndrome එහෙම නැත්නම් Korsakoff psychosis තත්ත්වයේදි මතුවන ලක්ෂණ බොහොමයක් ඩිමෙන්ෂියාවේ ලක්ෂණමයි. ඒ නිසාම මෙම තත්ත්වයන් Alcohol Related Dementia ලෙස කාණ්ඩගත කරල ඩිමෙන්ෂාව සඳහා කරන ප්‍රතිකාර සහ චිකිත්සාවන්ම ලබා දෙමින් උදව් කරන්නට සෞඛ්‍යය සේවාව කටයුතු කරනවා.

මෙම තත්ත්වයට බහුලවම පත්වෙන්නේ, අධික ලෙස මත්පැන් පානයට ඇබ්බැහි වූවන් කියන්න පුළුවන්. ඊට අමතර තවත් ඉතා සුළු හේතු කිහිපයක් තිබෙනවා, නමුත් බහුතරේ මේ මත්පැනට ඇබ්බැහිවූ, මත්පැන් අධීක ලෙස භාවිත කළ අය. දැන් මේ තත්ත්වයට එන්නට හේතුව මොකක්ද කියල කෙටියෙන් පැහැදිලි කිරීමක් කරන්නම්.

ඔබට මතක ඇති පාසලේ පහේ හයේ පන්ති වලදි විටමින් ඌනතා සහ ආශ්‍රිත රෝග ගැන කියත්දි විටමින් A-ඇස් , B- බැරිබැරි C- ස්කර්වි D-රිකට්ස් වගේ පේලියට මතක තියා ගත්තා. මෙතැනින් අපේ කතාවට අදාල විටමින් බී, හරියටම කිව්වොත් විටමින් B1 නමින්ම කිව්වොත් තයමින්. මේ තයමින්, මොළයේ සහ ස්නායු සෛල වල සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට හරිම වැදගත්, අත්‍යවශ්‍යම විටමිනයක්. දැන් සිරුරට ප්‍රමාණවත් තයමින් නොලැබෙත්දි තමයි අර "බැරි බැරියාව" එහෙම නැත්නම් Beriberi වගේ තත්ත්ව මතුවෙමින් අළස ගතිය, අප්‍රාණික බව සහිත තත්ත්ව මතුවෙන්නේ. අන්න එයාගේ ඊට වඩා දරුණූ අවස්ථාවක් තමයි අද කතාවේ ප්‍රධාන චරිතය සමඟ රැදෙන්නේ.

දැන් අපේ කතාවට. මත්පැන් නිසා ආහාර මාර්ගය තුල ඇති වන ප්‍රදාහික තත්ත්වයන් නිසා , ආහාර මාර්ගය තුලදි තයමින් අවශෝෂණය වන ක්‍රියාවලිය දුර්වල වෙනවා. මේ නිසා , ලේ වලට එකතු වන තයමින් ප්‍රමාණයත් ඒ ඔස්සේ මොළයේ සහ ස්නායු සෛල වල ක්‍රියාකාරීත්වයට අවශ්‍ය තයමින් ප්‍රමාණයත් හිඟවෙනවා. දැන් මේ හිඟය කාළයක් තිස්සේ වෙත්දි, මොළයට මේ "අඩුපාඩුව" දරා ගන්නට බැරි තැනකට එනවා. එතැනදි මොළයේ ක්‍රියාකාරීත්වය දුර්වල වෙමින්, මොළය එක්තරා විදියක ඉදිමීමක් සමඟ දුර්වල වීමකට ලක්වෙනවා.Wernicke’s encephalopathy (WE) ලෙස වෛද්‍ය විද්‍යාත්මකව නම් කරන මේ ඉදිමීම, ක්‍රියාකාරීත්වය අඩුවීම සහ සෛල මියයාම නිසා, එම පුද්ගලයාගේ කල්පනාව අඩුවීම, සමහර විට අසිහි තත්ත්වයටම පත්වීම, ඇවිදීමට , සමබරතාව පවත්වා ගැනීමට නොහැකිවීම, ඇස්වල ක්‍රියාකාරීත්වය පෙනීම වෙනස්වීම ඇතුළු තවත් ලක්ෂණ ගණනාවක් මතුවෙනවා. මේ තත්ත්වය තුල මොළයට, මොළයේ සෛල වලට සිදුවන හානිය නිසා, නිසි අවස්ථාවේ ප්‍රතිකාර නොකළොත් ජීවිතය අවදානමට පත්වන්නට පවා පුළුවන්. නමුත් ජීවිත අවදානමකට පත් නොවී, මෙම Wernicke’s encephalopathy (WE) තත්ත්වය තව දුරටත් පැවතියොත්, වරින්වර මතු වුනොත්, අන්න එතැනදී තත්ත්වය තවත් අවදානම්, සහ නැවත යථා තත්ත්වයට හෝ ආසන්න මට්ටමක ගන්නට අපහසු තත්ත්වයක් වන Wernicke-Korsakoff Syndrome එහෙම නැත්නම් Korsakoff psychosis බවට පත්වෙනවා. මෙතැනට එත්දි මොළයේ සෛල වලට දරුණූ හානියක් වෙලා සහ තව දුරටත් වෙමින් තිබෙනවා. ඒ නිසා, පුද්ගලයාගේ කල්පනාව වෙනස්වන වගේම අර බෙරිබෙරියාව ගැන කියත්දි කීව අසල, අප්‍රාණික , කිසිම දෙයක් කරන්නට උනන්දුවක් නැති බව වගේ ලක්ෂණත් එක්ක පැවති පෞරුෂය, චර්යාව වෙනස්වීම, ඇවිදීම, සමබරතාව පවත්වා ගැනීමට අපහසුතා ඇතිවීම, කතාබහ වෙනස් වීම, අනෙක් අයට නොපෙනෙන විවිධ "හොල්මන්" පෙනීම, ඔවුන් සමඟ කතා කිරීම, බිය වීම , කතාබහ තුල සම්බන්ධතාවයන් බිඳීයාම වගේ තවත් ලක්ෂණ ගණනාවක් මතු වෙනවා. මේ පරණ මතකයන් නැවත ගැනීම වගේම අළුත් අත්දැකීම් මතකයේ රඳවා ගැනීමේ හැකියාව බිඳවැටීම නිසා, මේ අය කතා කරත්දි "බොරු කතා" ඇත්ත වගේ කියන්න රුසියෝ. නෑ ,ඒ අය කතා කරගෙන යනවා , නමුත් ගැලපෙන කොටස් මතකයේ නැති නිසා අපට බොරුකතාවක් වගේ දැනෙන කියවීමක් විතරයි කරන්නේ. මේ සියළු අපහසුතා නිසාම මේ අය හරි ඉක්මණින් කළබල වෙන ගතියක්, සමහර වෙලාවට "ඉවසීම" නැති බවක් දැනෙන්නත් පුළුවන්. ඇවිදිත්දි වගේම කෝප්පයක් පිඟානක් අල්ලත්දි පවා සමබරතාවය බිඳ වැටෙන නිසා තවත් අපහසුතා වලට පත් වෙනවා.

සාමාන්‍ය පරිසරය තුල මේ අය "ඩිමෙන්ෂියාව සමඟ ජීවත්වන්නෙකුගේ" හැසිරීමයි දක්වන්නේ. ඒ නිසාම මේ තත්ත්වය සමඟ ජීවත්වන්නෙක්ට කරන ප්‍රතිකාර මාලාව තුල ඩිමෙන්ෂියාව සඳහා ලබා දෙන ප්‍රතිකාර , චිකිත්සාවන් තිබෙනවා. ඊට අමතරව , තයමින් එන්නත් ආකාරයෙන් හෝ සේලයින් ආකාරයෙන් දේහ ගත කරමින් , සිදුවූ හානිය කෙසේ වෙතත්, තයමින් හිඟය නිසා දැනටත් සිදුවෙමින් තිබෙන හානිය අවම කරගැනීමට උත්සාහ කරනවා. හැබැයි ඒ සියල්ලට පෙර , මත්පැන් භාවිතය සීමා කිරීමට අවශ්‍ය ප්‍රතිකාර සහ චිකිත්සාවන් ලබා දෙනවා.

මේ සියළු ප්‍රතිකාර නිසි අවස්ථාවේ , ඉක්මණින් ලැබුණොත් මේ ලක්ෂණ සමහරක් අඩු කරගන්නට හෝ ආසන්නම සාමාන්‍ය තත්ත්වයට ගන්නටත් පුළුවන් වෙන්න ඉඩ තිබෙනවා. නමුත්, අවාසනාවට , සෞඛ්‍යය සේවාව වෙත යොමු වෙන්නේ, Wernicke’s encephalopathy (WE) තත්ත්වය කාළයක් තිස්සේ පැවතිලා, මොළයේ සෛල සෑහෙන විනාශවෙලා, ආපදාවට පත් වෙලා Korsakoff psychosis වුනාට පස්සේ. එවැනි තත්ත්වයකදි , ඉහත ප්‍රතිකාර ඔස්සේ නැවත සාමාන්‍ය තත්ත්වයට පත් වීමට උදව් කරනවාට වඩා, පවතින ලක්ෂණ අඩු කරමින් හැකිතරම් සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට උදව් කිරීමයි කෙරෙන්නේ.

දැන් අපේ මේ Korsakoff psychosis සමඟ ජීවත්වන අළුත් ලොකු මහත්තයාගේ බඳවා ගැනීමේ ක්‍රියාවලියේ මුල් පියවර අවසානයි. ඒ කතාබහ තුල ඔහුගේ තත්ත්වය Korsakoff psychosis හි මූලික මට්ටමේ බව හදුනාගන්න පුළුවන් වෙනවා. නමුත්, ඒ වෙත්දි ඔහුගේ මොළයේ සෛල විනාශවීම වැඩි නිසා, නැවත සාමාන්‍ය ලොකු මහත්තයාගේ තත්ත්වයට ගන්න පුළුවන් වන එකක් නැහැ, ඒත් අඩුම තරමේ ගිටාර් එක ගහන සතුටක් විඳින්න පුළුවන් මට්ටමට ගන්න පුළුවන් වුනොත් ඒකත් මදෑ ලොකු මහත්තයට සතුටක් විඳින්නට.

මේ කියාගෙන ගියේ, ඩිමෙන්ෂියා කාණ්ඩය තුල රෝගයක් ලෙස නම් කරන Korsakoff psychosis තත්ත්වය පිළිබඳ ප්‍රායෝගික අත්දැකීමක බෙදා ගත හැකි කතාබහක් පමණයි. ඔබ කැමති නම් මේ තත්ත්වය ගැන විමසා බලන්නට, Alzheimer’s Society වැනි වෙබ් අඩවියක් ඔස්සේ මීටත් වඩා තොරතුරු දැන ගන්නට පුළුවන් වේවි. ඒ වගේම, ඔබට මේ තත්ත්වය සමඟ ජීවත්වන්නන්ට ප්‍රතිකාර කරලා, සාත්තු කරලා, හෝ රැකබලාගෙන අත්දැකීම් ඇත්නම් ඒ අත්දැකීම් , දැනුම අපත් එක්කත් බෙදා ගන්න.

කතාව ඉවරයි.

No comments: