Mixed Dementia ලෙස හඳුන්වන්නේ ඩිමෙන්ෂියා වර්ග එකකට වඩා එක්වී, ලක්ෂණ මතුකරන තත්ත්වයක්. බොහෝ අවස්ථා වල ඇල්සයිමර් ඩිමෙන්ෂීයාව සහ පෙර කතා කළ වැස්ක්‍යුලර් ඩිමෙන්ෂියාව එකට හමුවන අවස්ථා තිබුණත්, වෙනත් වර්ග එක්ව හමුවන අවස්ථාත් තිබෙනවා .ඒ නිසා, මෙම තත්ත්වයට "පොදු ලක්ෂණයක්" පැහැදිලි කරන්නට අමාරුයි. එතැනදී එකතු වන ඩිමෙන්ෂීයා තත්ත්ව වල ලක්ෂණ මිශ්‍රණයක් දකින්නට පුළුවන්.
මෙම තත්ත්වය ගැන පහත කතාව තුල , මෙම තත්ත්වය සමඟ ජීවත්වන ඇගේ කතාව ඔබට අසන්නට පුළුවන් -------------------------------------
දවස- බ්‍රහස්පතින්දා,
වෙලාවට -උදේ නමයට විතර
"ට්‍රීං ට්‍රීං..." ඇමතුමක්! මේ වෙලාව අපේ කණ්ඩායම් රැස්වීම් තියෙන වෙලාව නිසා සාමාන්‍යයෙන් වෘත්තීය සගයන් නම් ඇමතුම් දෙන්නේ නැහැ.
කවුද මේ? බලමු!
හ්ම් විල්සන් මහත්තයා.
"සුබ උදෑසනක්, විල්සන් මහත්තයා, කොහොමද තොරතුරු?"
"සුබ උදෑසනක් මයික්! ඒත් මට නම් ඊයේ ඉඳල කිසිම සුබ දෙයක් නෑ" විල්සන් මහත්තයගේ හඩේ තිබුණෙ, දුකක්, වෙහෙසක් එක්කම අමුතු කළබලයක්.
"ඇයි? කියන්න මොකක්ද හේතුව"
"නෝනා ඊයේ රෑ පටන් ගත්ත I love you එක නවත්වන්නෙම නෑ, ඊයේ රෑ හරියට නින්දක් නෑ. සැරින් සැරේ ඇහැරවල ඕකම කියනව, මට දැන් ඇති වෙලා තියෙන්නේ. මටත් කියල නිදහසක් ඕන නේ"
වයස අවුරුදු හැට පහක් විතර වෙන , විශ්‍රාමික හමුදා නිලධාරියෙක් සහ ආයතන ප්‍රධානියෙක් වුනු විල්සන් මහත්තය මේ කියන්නේ ඔහුගේ බිරිඳ ගැන. අප කියමු විල්සන් නෝන කියල.
විල්සන් නෝනා, කැනඩාවේ විශ්ව විද්‍යාල කිහිපයක ජේෂඨ කථිකාචාර්යවරියක් විදියට සේවය කළ, ග්‍රීක රෝම සංස්කෘතිය, ලෝක දේශපාලනය, විවිධ රටවල භාෂා සහ ඒවායේ ආරම්භය ගැන දැනුම තිබෙන, එම මාතෘකා පිළිබඳව විශ්ව විද්‍යාල වල දැනුවත් කිරීම් කරන, ජාත්‍යන්තර කීර්තියක් දිනා ගත්ත වයස අවුරුදු හැටකට ආසන්න , කාන්තාවක්. හොඳට රැකියාව කරගෙන බොහොම සතුටින්, රට පුරා වගේම විවිධ දේශණ සහ සමාජ පෙරළි වෙනුවෙන් විවිධ රටවලත් සංචාරය කරමින් සිටි ඇයට වසර දෙකකට විතර පෙරදි සාමාන්‍ය දෛනික කටයුතු කරගන්නට බැරි තත්ත්වයකට පත් වෙනවා. ඇගේ මතකය ක්‍රමයෙන් ගිලිහී යනවා. මුලින් මුලින් තම දේශන කාළ සටහන පටලවා ගත්ත ඇය, ආයතනයේ ප්‍රධානීන් සමඟ වාචික ගැටුම් ඇති කරගන්නවා. ඒ ප්‍රතිපලයක් විදියට මෙම ගැටළුව ආරම්භ වී මාස කිහිපයකදි ඇගේ කැමැත්තෙන්ම විශ්‍රාම අරගෙන නිවසට වෙලා අන්තර්ජාලය හරහා ප්‍රජාව දැනුවත් කරමින් සිටිනවා. තවත් මාස කිහිපයක් යත්දි ඇයට, අන්තර්ජාලයට පිවිසෙන්න,තබා යතුරු පුවරුව තුල අකුරු හඳුනා ගන්නට පවා නොහැකි වෙනවා. එහෙම නැත්නම් වචන වලට අකුරු අමතක වෙලා යනවා. දැන් මුල් සිදුවීමෙන් වසර දෙක හමාරකට පස්සේ, අද ඇයගේ ශබ්දකෝෂයේ ඇත්තේ වචන දහයකට වඩා අඩු ගණනක්, ඒ අතරින් "I love you" ප්‍රධානම වාක්‍යයට බවට පත් වෙලා. ඒක කොයිතරම් අපහසුකාරී තරමට පත් වෙලාද කිව්වොත්, ඇගේ ආරක්ෂාව වෙනුවෙන් නිවසේම රැදිල ඉන්න විල්සන් මහත්තයට ඔළුවෙ කැක්කුමක් වන තරමට I love you ඇහෙනවා.
"මට දැනෙනවා ඔබේ තත්ත්වය විල්සන් මහත්මයා, මම කොහොමද ඔබට අද උදව් වෙන්න ඕන?"
විමසීමක් කළා. අද කොහොමත් මට විල්සන් මහත්මිය සමඟ වැඩසහටහනක් තිබෙනවා උදේ දහයට. ඒ ඇගේ මතකය "නැවත මතු කරගැනීම සහ අළුත් මතක මංමාවත් නිර්මාණය කිරීම Neuroplasticity " සඳහා කරන චිකිත්සීය හමුවීමක් ලෙස. නමුත් දැන් පෙනෙන විදියට ඊට වඩා උදව්වක් ඕන වගේ.
"මයික් ඔයාට පුළුවන්ද පැය බාගෙකට ඉස්සර වෙලා ඉන්න, මට ඔයාට කියන්න විශේෂ කරුණූ ටිකක් තියෙනවා. අපි ටිකක් කතා කරමුද සෙෂන් එක පටන් ගන්න ඉස්සර වෙලා?"
වෙනත් දවසේ වෘත්තීය කණ්ඩායම් එක්ක සාමූහික රැස්වීම් තිබෙන වෙලාව වුනත් මේ අවස්ථාවේද "සේවාලාභියා අංක එකට" ගන්නම ඕන. හේතුව මෙවැනි පීඩකාරී අවස්ථාවක, සුළු පමාවක් සමහර විට ජීවිත අවදානමක් ඇති කරන්න පුළුවන් නිසා.
"මම විල්සන් පවුලේ වැඩසටහන සඳහා උදේ නමයට යන නිසා, අද දවසේ සාකච්ඡාව මට ඊමේලයක් ලෙස යොමු කරන්න" අපේ කණ්ඩායමේ අනෙක් සාමාජිකාවට පණිවිඩයක් යවල, මම ගියා විල්සන් නිවස වෙත.
බීප් බීප් ... විල්සන් මහත්මියගේ ආරක්ෂාව වෙනුවෙන්ම, ආරක්ෂක නිරීක්ෂණ පද්ධතියකට සම්බන්ධ කරන තිබෙන නිවසේ සීනුව නාද කළා.
"හේයි... මයික්! I love you"
විල්සන් මහත්මිය දොර විවෘත කළා.
"සුබ දවසක් වේවා විල්සන් මහත්මිය, අද ටිකක් වේලාසනම ආව ඔයාලව හමුවෙන්න, කමක් නෑ නේද?"
දොරටුව අසල වැටිල තිබුණු දවසේ පත්තරය අහුලල, විල්සන් මහත්මිය අතට දෙන ගමන් ඇහැව්වා.
"වාව් ...නියමයිනේ .. .I love you මයික්"
පිළිතුරු දීගෙනම ඇය සාලයේ අසුන්ගත්තේ වෙනද අප කතා බහ කරන තැනමයි.
"හේයි මයික්, එන්න එන්න, මොනව හරි බිබීම කතා කරමුද? ආදරී, එයට ටිකක් ඉන්න පුළුවන් නේද ටීවි එක බලමින්, මම මයික් එක්ක ටිකක් කතා කරන එනකං, පොඩි බෝයිස් ටෝක් එකක් තියෙනවා"
විල්සන් මහත්මයා මටත් , විල්සන් නෝනටත් දෙන්නට එකම වෙලාවේ ඇමතුව.
ඔහුත් , මමත් කතා කළා. පැය බාගයක් කිව්වට ඊට වඩා වෙලා කතා කළා. යුද හමුදා පෞඩ ගාම්භීර බව තියෙන, ගැඹූරු බර හඬක් තියෙන මේ සද්දන්ත පුරුෂයා කතාව අවසන් වෙත්දි කීවතාවක් හඩා වැටුනද මට මතක නැහැ. බිරිඳ ගැන ඇති වේදනාව, ආදරණීය බව, නමුත් දැන් දැන් බිරිඳගේ මතකයෙන් හැමදේම අඩු වෙත්දි එන "හිස් බව" තුල, නිවස තුල ඔහු දන්නා-නමුත් නොදනින ඇය ගැන ඇති දුක වේදනාව වගේම, කිසිදු විවේකයක් නැතිව සිදුවන ඇගේ "කියවිල්ලේ" පීඩනය ගැන ඔහු කියන්නට පටන් ගත්තා.
"මයික් , පුළුවන් නම් මට සතියට තව පැය දෙකක් තුනක් හදල දෙන්න නිදහසක් ගන්න. මෙහෙම ගියොත් මට මගේ ජීවිතේ එපා වෙනවා. මටත් මේ නිසාමද මන්ද දැන් දැන් නින්ද යනවා අඩුයි, ටිකක් තරහත් යනවා එයත් එක්ක, ඒ එක්කමට මට දුකයි මේ වෙන දේට"
විල්සන් මහත්තයා තව බොහෝ දේ කියාගෙන ගියා.
ඒ කතාව අවසාන කරල, විල්සන් නෝන ඒකක පැයක චිකිත්සීය වැඩසටහනක් නිමා කරල මම නැවත නිවසට ආව. ඒ එන මගේ, මගේ හිතට දැනුනු දේ , අපි කොයිතරම් ආසද "ඔබට ආදරෙයි" කියල අහගන්න. බරක් පතලක් නොමැති පාසල් ප්‍රේමයේ සිට, වගකීමක් බරක් ඇති තරුණ ප්‍රේමය, විවාහය කියන තැන් වල විතරක්ම නොවෙයි, පුංචි දුව හෝ පුතා , බෙල්ල බදාගෙන හාදුවක් දීලා I love you කියත්දි හිතට දැනෙන්නේ කොයිතරම් සතුටක්ද? ඒත් ඒ වචන තුනම පීඩනයක් වෙන දවසක, ඒ ආදරය තුල ජීවත් වන අයෙක් මොන තරම් වේදනාවක් විදිනවා ඇත්ද ?
නිවසට පැමිණ මගේ මුල්ම රාජකාරිය වුනේ අපේ ස්වෙච්ඡා සම්බන්ධීකරණ නිලධාරිනිය ඇමතීම.
"ඔයාට පුළුවන්ද ඩිමෙන්ෂියා ගැන අත්දැකීමක් තියෙන ස්වෙච්ඡා සේවකයෙක් මට දෙන්න? හැබැයි සතියකට පැය දෙකක්වත් සේවය ලබා දෙන්නට ඕන. මම මගේ පැත්තෙන් අවශ්‍ය කටයුතු කරන්නම්, අවශ්‍ය සේවා දායකයාගේ විස්තර මේ දැන්ම එවන්නම්"
සම්බන්ධීකරණ නිලධාරිනියගේ "උත්තරයක්" ගලවා ගන්න විදියටම කතාව පටන් ගත්තා. දැන් ඉතින් ලැබෙන උත්තරය මම දන්නවා.
"හරි, මට පේන විදියට වැඩේ හුඟක් සංකීර්ණයි වගේ නේ? මෙහෙමයි, මට පුළුවන් බදාද උදේ පැය තුනකට වොලුන්ටියර් කෙනෙක් යොදවන්න. එයාට පුළුවන් ඉදිරි මාස හයටම එම සේවාව දෙන්න. එයා විදේශීය සෞඛ්‍ය වෘත්තිකයෙක්, අත්දැකීම් තියෙනවා, හැබැයි එයා පලස්තීන් ජාතික කාන්තාවක්, ළඟදි තමයි සංක්‍රමණය වෙලා තියෙන්නේ ,කමක් නැත්ද"
"මම හිතන්නේ ඔයා මට ඕන කරන විදියෙම කෙනෙක් ලබා දුන්නේ." වෙනත් භාෂාවක් දන්න කෙනෙක් ඇයට එකතු වෙනවා කියල කියන්නේ මගේ ප්‍රතිකාර අරමුණූ වලටත් එය උදව්වක් වේවි.
දැන් කතාව ඉවරයි, මේ දැනගත යුතු දේ.
කකාවේ නායිකාව, විල්සන් නෝනා දැනට ජීවත් වන්නේ Mixed Dementia කියන සංකීර්ණ තත්ත්වයත් එක්ක. ඇගේ රෝග තත්ත්වය සඳහා මොළයේ කුඩා රුධිරවාහිනී පුපුරා යාම (VaD) සහ , මොළයේ සෛල අතර සම්බන්ධතාව බිදෙන තවත් හේතු කිහිපයක් නිසා (FTD) ඇති වන හානිය නිසා මතුවූ සහ ක්‍රමයෙන් වැඩිවෙමින් යන ඩිමෙන්ෂියා තත්තවයක්. ඒ තත්ත්වය තුලදී කථන,භාෂා, තීරණ ගැනීම, හොඳ නරක වෙන් කර හඳුනාගැනීම වැනි "සංකීර්ණ" මානසික ක්‍රියා වල හැකියාවන් ක්‍රමයෙන් බිඳ වැටෙනවා. මෙම තත්තව ඇති වීමට හේතු ගණනාවක් තිබෙන අතරේ වියපත් වීම තුල "විය හැකියාව" වගේම , අධිරුධීර පීඩනය , දියවැඩියාව, අධි කොලෙස්ටරෝල් සහිත බව, Sleep apnoea (නින්දේදී හුස්ම හිර වන තරමට සිදුවන ගෙරවීම) තත්ත්වය පාළනය නොවී තිබීම, වගේ පාළනය කර ගත හැකි තත්ත්වයනුත් හේතු වෙන්නට පුළුවන්. වැදගත්ම දේ මෙම "පාලනය කර ගත හැකි අවදානම්" මුල් අවස්ථාවේම පාලනය කර පවත්වා ගැනීම. මොකද, කී නොකී හේතු නිසා ඩිමෙන්ෂියා තත්ත්වය ඇතිවීම ආරම්භ වුනාට පස්සේ "සුව කිරීමක්" කරන්නට අවස්ථාවක් තවමත් සාර්ථකව දකින්නට ලැබෙන්නේ නැහැ.
විවිධ පර්යේෂණාත්මක ඖෂධ භාවිත කරමින් ඩිමෙන්ෂියා තත්ත්වය නරක අතට පත්වන කාළ සීමාව පමා කරගන්නට උත්සාහ කරනවා පමණයි. (සාර්ථක යැයි හඳුනාගත් ඖෂධයක ආරංචි තිබුණත් තවමත් එය වෙළඳ පලට එන මට්ටමට පත්වී නැහැ. සමහර විට ඉදිරි දශකය තුල යම් සාර්ථකත්වයක් දකින්නට පුළුවන් වේවි, නමුත් එය ඩිමෙන්ෂියා තත්ත්වය සම්පුර්ණයෙන් සුව කිරීමට යොමු වේද කියන එක තවම ගැටළුවක්)
දැන් අපේ චිකිත්සීය ප්‍රතිකාර තුල මොකක්ද වෙන්නේ? ඒ තුල ප්‍රධානව සිදුවන්නේ අදාල තත්ත්වය සමඟ ජීවත් වන පුද්ගලයාට "ජීවිතයේ සාමාන්‍ය සතුට" ලබන්නට සහ එය "විඳින්නට" අවස්ථාවන් මතු කර දීම, එහෙම නැත්නමු පුහුණූ කිරීම, ඒ අතරේ, මොළය තුල වෙන් වෙලා එකිනෙකට සම්බන්ධ වෙන්න නොහැකිව පවතින කුසලතා, දැනුම, අත්දැකීම්, මතක සහිත සෛල අතර, අළුත් සම්බන්ධතා ඇති කරමින් , යම් තරමකට පෙර කී "ජීවිත වටිනාකම්" වල රස නැවත ලබන්නට උදව් කිරීමයි.
මෙය කියවන ලාංකික ඔබට කරන මතක් කිරිම, ලංකාව තුල ඩිමෙන්ෂියා තත්ත්වය වැඩි වීමේ සීග්‍රතාවයක් හඳුනාගෙන තිබෙනව. ඒ කියන්නේ අනාගතයේ ඩිමෙන්ෂියා තත්ත්වය වැඩිවීමක්( හෝ හඳුනාගැනීම වැඩිවීමක්) වීමට වැඩි ඉඩක් තිබෙනවා. ඒ නිසා ඔබේ වැඩිහිටියන් , වගේම ඔබ ගැනත් අවධානය පවත්වා ගැනීම වැදගත් වේවි. අපි ඉදිරියේදී වරින්වර සාකච්ඡා කරමු, මේ විදියට විමසිලිමත් විය යුතු , අවදානම් මොනවාදැයි.
එහෙම නම්, "මගේ කතාව අවසානයි, අසා සිටි ඔබට සැමට ස්තුතියි."
No comments:
Post a Comment