Sunday, September 28, 2025

34. නොබැඳුනු මනසක විත්ති - ඇනීගේ සතුට

 ("නොබැඳුනු මනසක විත්ති" විශේෂාංගය , එහෙම නැත්නම් ලිපි පෙළ තුලින් මම උත්සාහ කරනවා ම‍ගේ වෘත්තීය පරිසරය තුල දිනපතා මම අත්විඳින, සමහර විට ඔබ බොහෝ දෙනෙක් නොදකින, නොවිඳින වෙනස් සිදුවීම් මාලාවක් ඔබත් එක්ක බෙදා ගන්නට. ඒ තුලින් ඩිමෙන්ෂියාව සහ ආශ්‍රිත තත්ත්වය සමඟ ජීවන මගේ සේවාලාභීන්ගේ ඇත්ත අත්දැකීම්, ‍ඔබේ කරමින් ,මෙම තත්ත්වය ගැන යම් දැනුමක්, තොරතුරක් ලබා දෙන්නයි උත්සාහය.)

මේ කතාව, තවත් ජීවිත කතාවක දෙවන කොටස කියලම කතාව පටන් ගන්නේ, එහි පළමු කොටස, #නොබැඳුනු_මනසක_විත්ති -ඇගේ දිරි‍යේ කතාව. ලෙසින් ඇති ලිපිය ඔස්සේ කියවා බලන්නට ආරාධනා කරමින්.

මේ කතාව සිදුවෙන්නේ සිකුරාදා, ඒ සතුට ඔබත් එක්ක එදාම බෙදා ගන්න හිතුවත්, වේලාවේ සීමාව නිසා, "ඈනීගේ තත්ත්වය ගැන සුබ පණිවිඩයක් ලැබුණා! ‍‍මොකක් වෙන්න පුළුවන්ද ඒ?" ලෙසින් පෝස්ට් එකක් දාල නින්දට ගියා හිත සතුටින්. අද ඉරිදා, දැන් මැදියමට කිට්‍ටු වෙත්දි තමයි ඇනීගේ කතාව ලියන්න හදන්නේ.

මේං කතාව,

සිකුරාදා, ඒ අපේ තරුණ-වැඩිහිටි කණ්ඩායම් චිකිත්සාවට සම්බන්ධ වන සේවාලාභීන්ගේ දිනය. වැඩසටහන පටන් ගන්නේ උදේ නමයට වුනත්, අර ඉස්කෝලේ කාලේ "මම එක!" කියාගෙන පන්තියට එන්න වගේම , මේ වැඩිහිටි මිතුරන් අතරේත් පුංචි තරඟයක් ‍වගේ. උදේ අට හමාර වෙත්දි මූණූ වල හිනා පුරෝගෙන ආයතනයට කඩා වදින්නේ, "මමයි අද එක" වෙන්න බලාගෙන.

වෙනද, එක වුනේ ඉලෙක්ට්‍රික් ඉස්කූටරේ පැදගෙන එන වොලී වුනත් අද නම් ඇනී, උදේ ඇමතුම් ටික දීලා, වැඩසටහන් කාමරයට ආවා විතරයි,

"අද නම් මමයි එක!" කටපුරෝගත්ත හිනාවත් එක්ක කෑගහගෙනම ඇය ගොඩවැදුනා. හැබැයි අද ටික වෙනස්, ඒ වෙනද වගේම කට කණගාවට යන හිනාව විතරක් නොවේ, අද ඇගේ ඇවිදීමට උදව් දෙන වෝකර් එක මත , ලස්සන මල් පොකුරකුත්.

"ආ, ඊයේ වැලන්ටයින් දිනේනේ, ඒක වෙන්න ඇති" මට හිතුනා.

"ඇනී තාම වැලන්ටයින් සමරණනවා වගේනේ" කියාගෙනම, දවස‍ේ වැඩසටහන් විස්තරය දර්ශණය වන තිරය සකසන්නට පටන්ගත්තා.

"නෑ, මේ ඒකට නොවෙයි, මේක ඔයාට මහේෂ්!, මට ලොකු කතාවක් කියන්න තියෙනවා , ඒකයි උදේන්ම ආවෙත්.." ඇනී මේ කියන්න හදන්නේ කුමක්දැයි හිතා ගන්න බැරි නිසා, සහ ඇගේ කතාවට සවන්දීම මේ වෙලාවේ ප්‍රමුඛම කාර්යය ලෙස දැනෙන නිසා, වැඩසටහන් විස්තරේ ‍තියෙන්න ඇරලා, මාත් වාඩි වුනා.

"බෝම ස්තුතියි මහේෂ්, මෙන්න " ඇය අපූරු හැඩයකට සරසාගෙන ඇවිත් තිබුණූ මල්කළඹ මගේ අත තැබුවා.

"ස්තුතියි ඇනී, ඉතින් කියන්න මොකක්ද අද මේ විශේෂත්වය" මට ඇගේ කතාව අහන්න තිබුණේ කුතුහලයක්, ඒ ඇය අපූරු ධෛර්යවන්ත කාන්තාවක් බව මා දැන සිටි නිසා.

"මට ඊයේ යන්න වුනා මගේ පැනල් කොන්ෆර්න්ස් එකට" ඇය දිග කතාවක් කියන්න වගේ හදන්නේ. (මේ පැනල් කොන්ෆරන්ස් කියන්නේ, තමන්ගේ පවුලේ වෛද්‍යවරයා , ස්නායු විශේෂඥ වෛද්‍යවරයා, විශේෂඥ විකිරණ‍වේදී වෛද්‍යවරයා, විශේෂඥ මනෝවෛද්‍යවරයා, විශේෂඥ සෞඛ්‍යය වෘත්තිකයින් කණ්ඩායමක් එක් වෙලා, ඩිමෙන්ෂියාව හෝ ආශ්‍රිත තත්ත්වය ඇති පුද්ගලයා සමඟ මුහුණට මුහුණලා කරන සාකච්ඡාව සහ පරික්ෂණ සහිත හමුවීම.)

"ඒකට වෙනදට වඩා හුඟක් වෙනස්වුනා , වෙනද හිටියේ ස්පෙෂලිස්ට්ලා පස් දෙනයි, මේපාර තවත් නියුරොසයන්ටිස්ට්ලා තුන් දෙනෙකුත් ඇවිත්. වෙනද පැය යයි, මේ වතාවේ පැය දෙකක් මාව බැලුවා. " ඇය ආපු මහන්සියට සහ මේ කියවාගෙන යන වේගයටද මන්දා, වතුර බෝතලෙන් උගුරු තුන හතරක් උරා බීව.

"එයාල වෙනද වගේම චෙක් කරන්නට පටන් අරගෙන, අළුත් ටෙස්ට් කීපයක් කළා, අර නියුරොසයන්ටිස්ට්ලා තව මූව්මන්ට්ස් වගයක් කරන්න කිව්වා, ප්‍රශ්න ඇහැව්වා, මම හිතුවා ම‍ගේ තත්ත්වය නරක අතට හැරිලාද කියලත්. ඒත් දන්නවද මහේෂ් ...." ඇය කටපුරා හිනාවක් රඳවගෙන ලොකු හුස්මක් ගත්තේ, දිග කතාවක් කියන්න බව මට දැනුනා.

"මම ඒ කිව්ව හැම ටෙස්ට් එකම හරියටම කළා, මගෙන් අහපු ප්‍රශ්න ඔක්කොම මතකෙන් කියන්න පුළුවන් වුනා , ගණන් වගයකුත් දුන්නා, ඒවත් හැදුවා. ඒ පාර ඒ කට්ටිය හුඟක් වෙලා වෙනම ලොකු ඩිස්කෂන් එකකට ගියා , මට විවේක ගන්න කියලා. " ඇය තවත් ලොකු හුස්මක් ගත්තේ, ඇගේ සෞඛ්‍යය තත්ත්වය එක්ක දිගු වෙලාවක් කතා කරගෙන යන එක ලොකු මහන්සියක් නිසා.

"එයාල පැය බාගෙකට විතර පස්සේ ආවා, ගත්ත ඔක්කොම ස්කෑනුයි, රිපෝට්තුයි අරගෙන. ඇවිත් මං ළඟින් වාඩි වුනා. හැමෝම පුදුමෙන් හරි බයෙන් හරි මා දිහා බලාගෙන හිටියා. ඉඳලා කතාව පටන් ගත්තා"

ඇය සම්පුර්ණ කතාව කිය‍ාගෙන ගියා. ඒ කතාවේ හැටියට, අදාල විශේෂඥ කණ්ඩායම සහ ස්නායු විද්‍යාඥයින් කණ්ඩායම පුදුමයට පත්වෙලා තිබෙනවා ඇගේ බුද්ධිමය , කථන සහ චාලක හැකියාවන් පිළිබඳව.

"මේ MRI , PET scans මත පමණක් ඔබේ පැවතිය හැකි තත්ත්වය විනිශ්චය කරත්දි , ඔබ මේ ඉන්න තත්ත්වයේ සිටිනවා කියන එක පුදුමයක්. ඔබේ කතාව, බුද්ධිමය හැකියාව, වගේම චාලක හැකියාවන් පහුගිය වසර තුල දියුණූ වෙලා තිබෙන්නේ, මේ පර්යේෂණ කණ්ඩායම නොහිතපු ආකාරයට" ඔවුන් පවසා තිබුණා.

ඇය අපේ වැඩසටහනට එත්දි, හැංගුණු , කතා නොකරන, බියෙන් හැකිළුනු, බොහොම විඩාබර මුහුණක් තිබුණු කාන්තාවක් වුනා. පාසල් ගුරුවරියක් ලෙස සේවය කරන අතරේ, මොළයේ කොටසක සිදුවුනු මියයෑමක් නිසාවෙන් මෙම ඩිමෙන්ෂියා තත්ත්වයට පත් වුනු බව වාර්තා වල සටහන්ව තිබුණා.

කෙසේ වෙතත්, එතැන් සිට, ඇය , ඇයටම අභියෝගයක් වෙමින්, එකතු සතියක්වත් අතනොහැර, සෙල්සියල් සෘණ හතලිස් පහක් වූ දිනයේ පවා අපේ වැඩසටහන වෙත ආවා. ආවා පමණක් නොවේ සියළු චිකිත්සීය ක්‍රියාකාරකම් සතුටින්, උවමනාවෙන් සම්පුර්ණ කළා. අනෙක් අයටත් උපකාර කරමින්, සිකුරාදා කණ්ඩායම තුල ඇය , අත්‍යාවශ්‍ය චරිතයක් බවට පත් වුනා.

මුලින් කතා නොකළ ඇය, නත්තල් ගී ගායනා කළා, ව්‍යායාම කළා, වැඩසටහන පැවැත්වන ගොඩනැගිල්ල වගේ ඇවිදල සතුටු වුනා, සති කිහිපයක සිට, තනියම පොදු ප්‍රවාහණ සේවා බස් එකකින් වැඩසටහනට එන්නට තරම් ශක්තිමත් වුනා.

අද මේ මල් පොකුර දෙමින් ඇය පළ කරන්නේ ඒ සතුට. රෝග විනිශ්චය කුමක් වුවත්, (ඩිමෙන්ෂියා වුවත්) , ඇගේ දිරියවන්ත කැපවීම නිසාවෙන්, බොහෝ දුරට සාමාන්‍ය තත්ත්වයේ ජීවිතයක් විඳින්නට තවමත් ඇයට හැකි වෙලා තිබෙනවා.

දැන් මෙය කියවන කෙනෙක් වරදවා වටහා ගන්න එපා, ඇගේ ඩිමෙන්ෂියා තත්ත්ව සුව වෙලා කියල . නැහැ, අදාල මොළයේ මිය ගිය පටක නැවත පණ එන්නේ නැහැ. එම හානිය එසේමයි. එම නැති වූ මතකය, නැතිවූ ක්‍රියාකාරකම් නැවත ගන්නට බැහැ, නමුත් නිසි චිකිත්සීය ක්‍රියාකාරකම් තුලින්, සිදුවූ හානිය ආවරණය වන තරමට කායිකව වගේම මානසික ශක්තියක් බවක් ලබා ගන්නට පුළුවන්. අදත් ඇය වෝකරය භාවිත කරමින් ඇවිද්දත්, ඒ වෙනදා වගේ බියකින් නොවේ. දැන් ඇයට හුරුයි, විය හැකි අවදානමකදි පාද තබන ආකාරය, දේහය හරවා ගත යුතු ආකාරය වැනි දේ. ඇගේ කෙටි කාළීන මතකය අඩුයි, එය රෝග තත්ත්වයේ ලක්ෂණයක් නමුත්, "මතකය" රඳවා ගැනීමට කළ යුතු උපක්‍රම, ක්‍රියාකාරකම් ගැන ඇයට දැන් හුරුයි. ඒ තුල, සමහර විට අපට අමතක වන දේ පවා මතක් කර දෙන්නට ඇනීට අද පුළුවන්.

විශේෂඥ සහ විද්‍යාඥ කණ්ඩායම පුදුමය පළ කරන්නේ, ඇගේ මොළයේ මිය ගිය පටක ප්‍රමාණය සහ රෝග තත්ත්වය නිසා දැනටත් මිය යමින් තිබෙන පටක, කළාප විද්‍යාත්මකව සලකා බැලුවාම, ඇනී දැනට පෙන්වන සක්‍රියබව, බුද්ධිමත් බව සහ තීරණ ගැනීමේ හැකියාව වගේම චාලක හැකියාවට වඩා අඩු තත්ත්වයක් පෙන්විය යුතු වුවත්, ඇ‍ගේ කැපවීම තුල, ඒ සීමාවන්ට වඩා ඉහළින් ඇයට ඉන්නට පුළුවන් වීමයි.

ඇගේ පැය බාගයක් යත්දි ඇනිගේ කතාව කියවීම ඉවර වුනේ , තවත් සාමාජිකයෙක් ආයතනයට ඇතුළු වුනු නිසා.

"මං මේ කතාව ඔය හැමෝටම මුල ඉඳන් කියන්නම, මට මේක මහේෂ්ට මුලින්ම කියා ගන්න ඕන වෙලා හිටියේ" ඇය සතුටින්, අපේ අනෙක් සාමාජිකයා එක්ක දවසේ කතාබහ අරඹත්දි, මා මගේ රාජකාරි කටයුතු වල ඊළඟ පියවර වලට ගියේ, ඇනී දුන්නු මල් පොකුර වැඩසටහන් කාමරයේ ලස්සනට කාටත් පේන්නට රඳවා තබමින්.

ඇනී , අද තවත් මිතුරන් ගණනාවක් දිරිමත් කරන බව මට හොඳටම විශ්වාසයි.

(කතාව සත්‍ය වුවත්, වෘත්තීය ආචාර ධර්ම සහ මගේ වෘත්තීය වගකීම් මත, ඇයගේ නියම නම මෙහි සටහන් නොවූ බව නිමාවට පෙර මතක් කරනවා)

No comments: