රටක කළා නිර්මාණ තුල ප්‍රජාව තුල තවමත් "නිවැරදි හදුනාගැනීමක්" ප්‍රමාණවත් ලෙස නොමැති ඩිමෙන්ෂියාව හෝ ආශ්‍රිත තත්ත්ව ගැන නිර්මාණාත්මක ලෙස ඉදිරිපත් කිරීම තුල වාසි වගේම යම් අවාසිත් ඇති වන්නට පුළුවන්. විශේෂයෙන්ම එතැනදි, අදාල කළා නිර්මාණය තුලට දායක වන කළා ශිල්පීන්, නිර්මාණශීල්පීන් , සම්පත්දායකයන් , අදාල තත්ත්වය ගැන ලබා ගන්නා, බෙදා ගන්නා දැනුම, අත්දැකීම් වගේම තාක්ෂණික කාර්යාවලිය තුලත් මෙම වාසි , අවාසි අඩු වැඩි වෙන්නට පුළුවන්.
ලංකාවේ කළා නිර්මාණ තුල පමණක් නොව, විදේශීය මාධ්‍ය වල සෞඛ්‍යය සේවාව පදනම් කරගත් කතාමාලා වල පවා මෙම වාසි මෙන්ම, යම් අඩුපාඩු නිසා සිදුවිය හැකි අවාසි එහෙම නැත්නම්, අදාල රෝගය හෝ සෞඛ්‍යය ගැටළුව තුල සිදු නොවනදේ දැකිය හැකිවේවි.
ඩිමෙන්ෂියාව සහ ආශ්‍රිත තත්ත්ව ගැන සාකච්ඡා වන චරිත, කතාංග සහිත නිර්මාණ අතරේ ප්‍රධාන වශයෙන් කතාබහට ලක්වන විදේශීය නිර්මාණ කිහිපයක් මේ.
චිත්‍රපට ලෙස,
- Away From Her (2007)
- Still Alice (2015)
- The Savages (2007)
- The Notebook (2004)
- The Leisure Seeker (2017)
- The Father (2020)
- What They Had (2018)
- Remember (2015)
- Iris: A Memoir of Iris Murdoch (2001)
- Elizabeth is Missing (2019)
- Aurora Borealis (2005)
- The Notebook (2004)
- A Song For Martin (2001)
- Firefly Dreams (2001)
- Age Old Friends (1989)
රෑපවාහිනී කතාංග මාලා නාට්‍ය ලෙස,
- The Andy Griffith Show (1960-1968)
- Bonanza (1959-1973)
- American Idol
- American Pickers
- Dancing With the Stars
මෙම විදේශීය නිර්මාණ වලට අමතරව, අපේ රටේ නිර්මාණ ශිල්පීන්ද මෙම තත්ත්වයන් පිළිබඳ කතාබහට ලක්වන චරිත තම නිර්මාණ තුලට ඇතුළු කරගන්නට උත්සාහ කිරීම ප්‍රශංසාවට ලක්විය යුත්තක්. මෙම තත්ත්වය දැක ගත හැකි වූ ආසන්නතම ටෙලි නාට්‍යයන් ලෙස,
දැනට ප්‍රචාරය වන "කොඩි ගහ යට" ටෙලි නාටකයේ "කළු" ගේ අම්මාගේ චරිතයත්, "සහෝදරයා" ටෙලි නාට්‍යය තුල "රජීව්" ගේ මවගේ චරිතය තුලත් මෙම තත්ත්වය හෝ ආසන්න තත්ත්වයන් ගැන යම් සාධාරණ හඳුන්වාදීමක් සමාජය වෙත කෙරෙනවා. (කෙසේ වෙතත්, රෑපරාමුවක දර්ශණයකින් පමණක් ඩිමෙන්ෂියාව විනිශ්චය කළ නොහැකි නිසා, මෙම අවස්ථා දෙකම ඩිමෙන්ෂියාව ලෙස නොහදුන්වා, "ඩිමෙන්ෂියාව හෝ ආසන්න තත්ත්වයන්" ලෙස හැඳින්වූයේ) . එම උත්සාහයන් වෙනුවෙන් අදාල කළා නිර්මාණකරුවන් වෙත ගෞරවය පුද කරන අතරේම දැන් අපි ටිකක් හොයා බලමු, මේ විදියට කළානිර්මාණ තුල මෙවැනි තත්ත්ව ගැන ඉදිරිපත් වීමේ වාසි සහ විය හැකි අවාසි මොනවාදැයි.
මොනවද වාසි,
දැන ගැනීම සහ දැනුවත් වීමට පෙළඹවීම - විශේෂයෙන්ම ඩිමෙන්ෂියාව, සමහර මානසික රෝග , වැනි තත්ත්ව ගැන නිවැරදි ප්‍රජා දැනුමක් ප්‍රමාණවත් තරමට නොමැති අවස්ථාවක, චිත්‍රපට හෝ රෑපවාහිනි නාට්‍ය, එසේත් නැත්නම් නවකතා වැනි ක්‍රම ඔස්සේ සමාජය වෙත යොමු කිරීම තුල එම තත්ත්වය ගැන අදාල නිර්මාණය ඔස්සේ යම් දැනුවත්වීමක් වීමත්( මෙහි වාසි මෙන්ම අවදානම්ද විය හැක. මක්නිසාද කළා නිර්මාණයක් යනු සෞඛ්‍යය අධ්‍යාපන වැඩසටහනක් නොවන නිසා . ) සමහර විටක ඒ දැනුවත් වීම ඔස්සේ තව දුරටත් මෙම තත්ත්වය ගැන විමසා සොයා බලන්නට සිදුවන පෙළඹවීමත්, ඒ ඔස්සේ ප්‍රජාව තුල අදාල තත්ත්වයන් ගැන යම් අදහසක් රැදීමත් වාසියක් වන්නට පුළුවන්. මගේ මතකය නිවැරදි නම් ගරිල්ලා මාකටිං චිත්‍රපටය තුල භින්නෝනමාදය Schizophrenia හෝ ආසන්න තත්ත්වයක් ගැන නිරූපණයක් සිදුවෙනවා.
කැළැල් අඩු කිරීම - නොදැනුවත්කම නිසාම සමාජය තුල මතුවන රෝග මත පදනම් වූ කැළැල් Stigmatized disease & disorders සමාජය තුල පවතින අවස්ථාවක මෙවැනි නිර්මාණ තුල එම රෝග තත්ත්ව හෝ සෞඛ්‍යය ගැටළු පිළිබඳ ඉදිරිපත් වීම තුල (නිවැරදි ලෙස) සමාජය තුල ඇති වැරදි මත අඩුවීමක් වන්නට ඉඩක් තිබෙනවා. නමුත් මෙය රඳා පවතින්නේ අදාල නිර්මාණකරුවන් සහ සම්පත්දායකයින් , එම රෝගය හෝ සෞඛ්‍යය ගැටළුව ගැන ලබා ගන්නා දැනුවත් බව සහ එය ඉදිරිපත් කරන ආකාරයයි.
හඳුනාගැනීමට සංවේදී වීම - පෙර කී දැනුවත්වීම් ඔස්සේ හෝ දැනුවත් වීමට කරන විමසීම් ඔස්සේ සමාජය තුල එම, සෞඛ්‍යය ගැටළුව ගැන මතුවන දැනුවත්බව තුලින්, මෙතෙක් පැවති අදහස්, මත වෙනස්වෙමින් , අදාල තත්ත්වය වෙනුවෙන් සංවේදී බවක්, සහකම්පණයක් සහිත පරිසරයක් නිර්මාණය වන්නට පුළුවන්.
රාජ්‍ය ප්‍රතිපත්ති - සමාජය තුල සිදුවන දැනුවත්වීම් සහ විමසීම් නිසාවෙන්ම , අදාල රෝග තත්ත්වය ගැන රාජ්‍ය ප්‍රතිපත්තිමය වාසිදායක ප්‍රවණතා ඇති වන්නටත් අවස්ථාවක් තිබෙනවා.
මොනවාද මේ ඔස්සේ විය හැකි අවාසි.
වැරදි ඉදිරිපත් කිරීම් - විශේෂයෙන්ම මෙම නිර්මාණයන් තුල අදාල රෝග හෝ සෞඛ්‍යය තත්ත්වය ගැන කරන නිර්මාණාත්මක ඉදිරිපත් කිරීමට අදාලව, සෞඛ්‍යය වෘත්තීක අනුග්‍රහයක්, දායකත්වයක් නොලැබෙන අවස්ථාවක , නිර්මාණකරු දන්නා හෝ විශ්වාස කරන අදහස , නිර්මාණය තුලින් සමාජගත විය හැකි අවස්ථා තිබෙනවා. මෙය , ලාංකික නිර්මාණ වල විය හැකි මෙන්ම, සමහර බොලිවුඩ් චිත්‍රපට වලත්, බටහිර රූපවාහිනි නාට්‍ය වලත් දැකිය හැකි වෙනවා. එම නිසා , මෙවැනි, සමාජය තුල ප්‍රමාණාත්මක ප්‍රජා දැනුවත්වීමක් නොමැති තත්ත්වයක් ගැන තම නිර්මාණ තුලට එක් කිරීමක් කිරීමේදී, නිසි සෞඛ්‍යය වෘත්තිකයෙක්ගේ අදහස්, අත්දැකීම් එක් කරගැනීමට කටයුතු කිරීම හරිම වටිනවා. ඒ අතින් බලත්දි "සහෝදරයා" තුල නාමල් ජයසිංහ අධ්‍යක්ෂකවරයාත්, "කොඩි ගහ යට" දී ජගත් මනුවර්ණ අධ්‍යක්ෂකවරයාත් සාධාරණ උත්සාහයක් දරා තිබීම අගය කළ යුතුවෙනවා.
මවා පෑම - පෙර කී නිවැරදි පසුබිම නොමැතිව කරන නිර්මාණයක් තුලදි, අදාල සෞඛ්‍යය ගැටළුව ඉතා සුළු දෙයක් ලෙස හෝ අතිශ්‍යය සංකිර්ණ අවස්ථාවක් ලෙස "සාමාන්‍ය තත්ත්වයෙන්" එහා මෙහා යන්නට ඉඩක් තිබෙනවා. ඒ තුල තත්ත්වය "සාමාන්‍යකරණයක්" වීම තුල, සමාජය තුල පැවතිය යුතු අවධානය, සංවේදී බව බිඳීයාමකටත් අවස්ථා මතුවන්නට පුළුවන්. (මේ සඳහා උදාහරණ සමහර බොලිවුඩ් චිත්‍රපට තුලින් ලබා ගත හැකි වේවි)
අතිසංවේදීකරණය වීම - තවත් අවස්ථාවක රෝගී තත්ත්වය ගැන ඉතා කණගාටුදායක, වේදනාකාරී ලෙස බහුලව දැකිය අවස්ථාවන්ට වඩා "අති" ලෙස ප්‍රේක්ෂකයා හෝ පාඨකයා ඉදිරියේ තැබීම තුල සිදුවන "අතිසංවේදී වීමේ" අවදානම , තවත් අවදානම් මතු කරන්නට පුළුවන්.
මේ කියා ගෙන ගියේ, ඩිමෙන්ෂියාව සහ එවැනි සමාජය තුල ප්‍රමාණවත් "ප්‍රජා දැනුවත්බවක්" නොමැති සෞඛ්‍යය ගැටළු ගැන , කළා නිර්මාණ ඔස්සේ අප වෙත යොමුවීම තුල විය හැකි වාසි සහ අවාසි කිහිපයක් ගැන.
No comments:
Post a Comment