Sunday, September 28, 2025

23. ඩිමෙන්ෂියා සහ art therapy

ඩිමෙන්ෂීයාව සමඟ ජීවත්වන පුද්ගලයින් සඳහා ක්‍රියාකාරකමක් වගේම ඒ අයගේ හැඟීම් නිදහස් කරගැනීමට හොඳ මාධ්‍යයක් තමයි චිත්‍ර. වර්ණ, තීන්ත වල ස්වභාවය, පින්සල කැන්වසය මත ගමන් කරවීම තුල මෙම තත්ත්වය සමඟ ජීවත් වන අයෙක්ට ලබා ගත හැකි වාසි ගණනාවක් තිබෙනවා. ඒ අතර,

  • Emotional expression - විශේෂයෙන්ම වචනයෙන්, එහෙම නැත්නම් සමාජය "බාර ගන්නා" ආකාරයට තම හැඟිම් එළියට දාගන්නට අපහසු, එහෙමත් නැත්නම් තමන්ට දැනෙන හැඟීම් වචන කරන්නට හැකියාවක් නැති තත්ත්වය සිටින අයෙක්ට මෙම ක්‍රියාකාරකම් තුලින් තමන්ට දැනෙන දේ වර්ණ සහ රේඛා තුලින් ඉදිරිපත් කරන්නට පුළුවන්. දුක, සතුට, වේදනාව වගේම අතීත අත්දැකීම් පවා මේ ක්‍රමයට එළියට ගෙන එන්නටත් , ඒ ඔස්සේ සතුටක් වගේම නිදහසක් ලබා දෙන්නටත් හැකියාව ලැබෙනවා. (කෙසේ වෙතත්, ක්‍රියාකාරකම් තෝරා ගැනීමේදි පුද්ගලයාට අනුව සැලකිලිමත් විය යුතු වෙනවා. )
  • Cognitive stimulation - චිත්‍ර, වර්ණ, හැඩතල "තෝරා ගැනීමට" දරන උත්සාහය, ගැලපීමට ගන්නා උත්සාහය තුල අදාල පුද්ගලයන්ගේ බුද්ධිමය හැකියාවන් වලට යහපත් බලපෑමක් කළ හැකි බව හඳුනාගන්නවා. අමතක වූ මතකයන්, වචන, අත්දැකීම් නැවත මතකයට ගැනීමටත් මේ ඔස්සේම අවස්ථාවක් ලබා ගන්නට පුළුවන්.
  • Sensory stimulation - චිත්‍ර ක්‍රියාකාරකම් තුල , "චිත්‍ර" කියන සංකල්පයට අමතරව, වර්ණ , තීන්ත වල ස්වභාවය, ආලෝකය සමඟ වර්ණ වල සිදුවන වෙනස , කැන්වසය තුල තීන්ත ගලා යාම වැනි සාධක මත , අදාල පුද්ගලයන්ගේ සංවේදන උත්තේජනය වීමක් සිදුවෙනවා. එම, උත්තේජනය වීම, පාර්ශවික බලපෑම් ලෙස පුද්ගලයාගේ දවසේ ක්‍රියාකාරීත්වය, කෑම රුචිය , සවස්වරුවේ ඇතිවන අපහසුතා සීමා කරන්නත් උදව් වන බව හඳුනාගන්නනවා.
  • Reduction of agitation and anxiety - විවේකී, අදාල පුද්ගලයා ප්‍රියකරන, වෙනත් බාහිර අධි සංවේදන, අඩු පරිසරයක් තුල අදාල පුද්ගලයාගේ කැමැත්ත මත සිදුවන චිත්‍ර ක්‍රියාකාරකම් තුලින් , ඩිමෙන්ෂියා සමඟ ජීවත්වන්නෙක්ට ඇති විය හැකි , කළබලවීමේ , කාංසාසහගත බව, වගේම ආවේගශීලී වීමේ අවස්ථාවනුත් අඩු කරගන්නට පුළුවන්. නමුත් වැදගත්ම දේ, මෙම ක්‍රියාකාරකම් අදාල පුද්ගලයාගේ "කැමැත්ත" සහ සීමාව තුල ලබා දීමයි.
  • Social interaction and engagement- කල්වේලා ගෙන නිර්මාණය කළ තම "චිත්‍රය" ගැන පවුලේ මිතුරන්, කණ්ඩායමේ මිතුරන් සමඟ සතුටබෙදා ගැනීම වගේම, ඒ නිර්මාණය ගැන ඔවුන්ගෙන් ලැබෙන ප්‍රතිචාර මතින් , මෙම පුද්ගලයන් සක්‍රියව සමාජය, පවුලේ සාමාජිකයන් සමඟ එක්කර ගැනීමට හැකිවෙනවා .මෙතැනදී අදාල පුද්ගලයාගේ නිර්මාණය අගය කිරීමේදි, එහි "ඇත්තටම ඔබ දකිනදේ " මිස , පුංචි දරුවෙක් රැවටීමට මෙන් "මේක හරි ලස්සනයි" කියන එක එතරම් සාර්ථක නෑ. අදාල නිර්මාණය අගය කරනවා නම් , අදාල පුද්ගලයාට හඳුනාගත හැකි, එමෙන්ම ඔබ දකින "අපූර්වත්වයක්" අගය කළ යුතු වෙනවා. "මේ නිල්පාට සුදුපාටත් එක්ක මැච් කරල තියෙන විදියට හරිම අපූරුයි" "මේ ගහ යට ඇඳල තියෙන මල්වල කහ පාටට මමත් හරිම කැමතියි" වගේ අදාල පුද්ගලයා කළ නිර්මාණයට "විශිෂ්ඨ වූ" අගය කිරීමක් ලැබීමයි වැදගත්.
  • Increased self-esteem and self-confidence -පෙර කී හේතුව නිසාම ඇතිවන සම්බන්ධතා, තමන් "වටිනා දෙයක් කළ හැකි අයෙක්" බව හැඟීම තුල, ඩිමෙන්ෂියාව සමඟ ජීවත්වන පුද්ගලයාගේ හිතට සතුටක් ලැබෙන අතරේ, තමන්‍ ගැන ආඩම්බරයක් මතු කරගන්නට උත්සාහ කරනවා. එය, අදාල පුද්ගලයාගේ කායික වගේම මානසික සෞඛ්‍යයටත් හරිම වැදගත්.
  • Improved quality of life -ඉහත හේතු සියල්ල මත, එම පුද්ගලයාගේ ජීවන තත්තවයේ යහපත් මට්ටමක් පවත්වා ගන්නට හැකියාව ලැබෙනවා.

මෙම ක්‍රියාකාරකම් සඳහා , විෂ නොවන (Non-toxic Artist Acrylic Paint) ඇක්‍රලික් වර්ගයේ තීන්ත, දියසායම් වැනි වර්ණ යොදා ගන්නට පුළුවන් අතර, පින්සල් තෝරා ගැනීමේදී අදාල පුද්ගලයාගේ හැකියාවන් අනුව පින්සලේ පළල, සුමට බව, පින්සලේ කඳ තෝරා ගැනීමට වැදගත්.

කඩදාසි මත මෙම නිර්මාණ කළ හැකි වුවත්, එය ගැටළුකාරී වන අවස්ථා මතුවිය හැක්කේ, පින්සල, තීන්ත අනුව කඩදාසිය ඉරියාම, වර්ණ බොඳ වීම වැනි තත්ත්ව වලදි , අපේක්ෂා කරන දේ නොලැබීම තුල මෙම පුද්ගලයන් ආවේගශීලී වීම හෝ ක්‍රියාකාරකමට එක් නොවීමට ඉඩ ඇති නිසාවෙන්. කැන්වසයක් භාවිත කළ හැකි නම් ,මෙම අපහසුතා සීමාවනවා වගේම කැන්වසයේ ස්වභාවය, මතුපිට සුමට , රළු බව වගේ සාධකත් වටිනාකමක් එකතු කරනවා.

මීට අමතව, අංක මත වර්ණ ගැන්වීම (Paint By Numbers) වැනි සරළ ක්‍රියාකාරකම් නිවසේදී උත්සාහකරන්නත් පුළුවන්.

පහත තිබෙන්නේ , ඊයේ දවසේ ම‍ගේ වැඩසටහන තුල කළ Art Therapy session එකක් තුලදී සිදුවු ක්‍රියාකාරකමක්. මෙම වැඩසටහනට සම්බන්ධ වන්නේ , මූලික මට්ටමේ සිට ,උග්‍ර මට්ටමේ ඩිමෙන්ෂියාව සමඟ ජීවත්වන පුද්ගලයන්. (වයස් සීමාව අවුරුදු 42 සිට, අසූ නමය දක්වා සේවාලාභීන්)

ඔවුන්ට ලබා දී තිබුණූ උපකරණ වුනේ, ඇක්‍රලික් වර්ණ කිහිපයක්, රාමුව සහිත කැන්වසයක්, පින්සල් දෙකක් සහ ටේප් කිහිපයක්. ඇබ්ස්ට්‍රෑක්ට් ක්‍රමයේ චිත්‍ර ක්‍රියාකාරකමක් වූ මෙයට ලබා දුන් ‍මාතෘකාව වුනේ "My Life" චිත්‍ර වැඩසටහනේ අවශ්‍යතාවය වුනේ ඔවුන්ට සතුටක් ලබා දීම , සක්‍රිය ක්‍රියාකාරකමක් ලබා දීම වගේම ඔවුන්ගේ ජීවිතය ගැන යම් හැඟීම් ප්‍රකාශණයක් ඔවුන්ගෙන් ලබා ගැනීමට.

වැඩසටහන පැයක කාළ සීමාවක් තුල සිදුවුනා. පසුබිමේ, ඔවුනගේ උපන් වයස් සීමාවන් අනුව, ඔවුන්ගේ ජීවිතේ යොවුන්, තරුණ සහ මැදිවිය සමඟ ගැලපෙන සංගීත කණ්ඩයන් පසුබිමේ වාදනය වුනා. පසු‍බිමේ ආලෝකය ලෙස, මුල් පැය බාගය 5000K සහිත Cool white ආලෝකයත්, අවසාන පැය බාගය 3000K warm white වූ ආලෝකයත් මෘදු ලෙස මාරු වන ලෙස සකසා තිබුණා.

මේ තිබෙන්නේ, එම ක්‍රියාකාරම තුල සැකසුනු චිත්‍ර අතරින් කිහිපයක්. බලන්න, එක් එක් සිතුවම තුල ඇති විශේෂ රටා, ලක්ෂණ හඳුනාගන්න . පුළුවන් නම් ඒ එක් එක් සිතුවම තුලින් ඔවුන් "ප්‍රකාශ කළ , ඔවුන්ගේ ජීවිත කතාව" ඔබට හඳුනාගන්න පුළුවන්ද බලන්න.


No comments: