ඩිමෙන්ෂියාව සමඟ ජීවත්වන තමන්ගේ අම්මා, තාත්ත එහෙම නැත්නම් තම පවුලේ, තම නිවස තුල ජීවත්වන පුද්ගලයා , නිවසේ වැඩකටයුතු වලට උදව් කරගැනීම හොඳද නරකද? මේ ප්‍රශ්නය රෝග තත්ත්වය විනිශ්චයෙන් මුල් මාස කිහිපය අප හමුවන බොහෝ පවුල්වල සාමාජිකයන් විමසන ගැටළුවක්.
දැන් එයාට විවේකයෙන් ඉන්න දෙන්න ඕන නේද?
එයාගේ කල්පනාව වෙනස් වන නිසා තවත් අවදානමක් වේවිද?
ගෙදර වැඩ තියා අපි නිකං කතා කළත් එයාට තරහ යනවානේ?
අනේ එයාට තවත් කරදර කරන්නට බෑ, එයා අපි නිසා මෙතෙක් දුක්වින්ද, දැන් එයාව හොඳින් පරිස්සමෙන් බලාගන්නවා , ඉන්න ටිකේ සැපට ජීවත්වෙන්න දෙන්නයි මම උත්සාහ කරන්නේ.
මේ වගේ උත්තර සමඟයි ඉහත ගැටළුවට කතාබහ ආරම්භ වෙන්නේ.
ඇත්තටම, මේ විදියට, ඩිමෙන්ෂියාව සමඟ ජීවත්වන පුද්ගලයා නිවසේ වැඩකටයුතු වලට එකතු කරගැනීම හොඳද?
මේ ප්‍රශ්නයට පොදු තනි උත්තරයක් දෙන්නට හැකියාවක් නැත්තේ, ඩිමෙන්ෂියා වර්ගය, මට්ටම , පුද්ගලයාගේ වයස, චර්යාවන් වගේ සාධක ගණනාවක් නිසා එක් අයෙකුගෙන් තවත් අයෙකුට මෙම තත්ත්වය වෙනස්වන්නට පුළුවන් නිසා.
කෙසේ වෙතත්, පහත සඳහන් සාධක ඔස්සේ කරන විමසීමක් මත පදනම්ව , නිවසේ වැඩකටයුතු වලට, යම් වැඩකටයුතු වලට උදව් කරගැනීම තුල වාසිදායක බලපෑම් ගණනාවක් ඩිමෙන්ෂියාව සමඟ ජීවත්වන එම පවුලේ සාමාජිකයාට ලබා දෙන්නට පුළුවන්.
ඒ වාසි ගැන පසුව කතා කරන්න තියල, අපි බලමු මේ තීරණය ගන්න ඉස්සර වෙලා හොයල බලන්න අවශ්‍ය කුමන කරුණුදැයි.
- හැකියාවේ තරම මනින්න - මෙම පුද්ගලයාගේ කායික හැකියාවන් මෙන්ම, මානසික හැකියාව, දරාගැනීිමේ මට්ටම වැනි දේ රෝග තත්ත්වය සමඟ වෙනස්වන්නට වැඩි ඉඩක් තිබෙනවා. ඒ නිසා, මීට පෙර නිවසේ වැඩ කළා මෙන් සක්‍රියව, වේගවත්ව, බොහොම සංකීර්ණ කටයුතු කිරිමේ ගැටළු පවතින්න පුළුවන්. එම නිසා, මුලින්ම කරන්න අවශ්‍ය දේ වන්නේ, මෙම පුද්ගලයාට කළ හැකි කායික, මානසික සීමාවන් ගැන විමසීමක් කරන එක. කොපමණ වෙලාවක් යම් වැඩක රැදිල ඉන්න පුළුවන්ද? උපදෙස් කිහිපයක් තේරුම් ගන්න පුළුවන්ද එහෙම නැත්නම් එක උපදෙසක් විතරද අනුගමනය කරන්න පුළුවන්? අවට සද්දබද්ද අනෙක් කටයුතු එක්ක යම් කටයුත්තක් දිගට කරගෙන යන්න පුළුවන්කමක් තිබෙනවාද? ක්ෂණිකව කෝපවන, ආවේගශීලීවන තත්ත්වයන් මතුවෙනවාද? මෙන්න මේ වගේ "අළුත් වෙනස්කම්" ගණනාවක් ගැන විමසිල්ලෙන් පසුව තීරණයක් ගැනීම හරිම වැදගත්. මේ යම් ගැටළුවකට හෝ සියළුම ගැටළු වලට උත්තරය විදියට "කළ නොහැක" කියන උත්තරේ ආවත්, අදාල පුද්ගලයා "කිසිවක් නොකර" එකම තැනක රඳවා "රැකබලා ගන්නවාට" වඩා, අදාල සීමා තුල කළ හැකි යම් ක්‍රියාකාරකම් වලට එකතු කරගැනීම හරිම වැදගත්.
- ඔබ ඉවසිලිවන්ත වන්න- මේ තත්ත්වය එක්ක ජීවත්වන ඔබේ පවුලේ සාමාජිකයා, වෙනදා වගේ නොවෙයි. ඔහුගේ, ඇයගේ මනස වගේ කායික හැකියාවන්ද වෙනස්. ඒවගේම හරිම ඉක්මණින් අමතක වීම, සුළු දේකින් පවා බිඳවැටීම, වේදනාවට පත්වීම වන්නට පුළුවන්. ඒ නිසා, පෙර කී "හැකියාවන්" හදුනාගෙන නිවසේ යම් කටයුත්තක් පවරනවා නම් , ඒ පැවරුම තුල අදාල පුද්ගලයාට කළ හැකි සීමාව කරන්නට දෙන අතරේ, උදව් අවශ්‍ය තැන්වලදී පමණක් උදව් වීමත්, කරන කටයුත්තේ සාර්ථකත්වය ගැන අගය කිරීමත් හරිම වටිනවා. සමහර විට, වෙනද පොල්ගාල, කිරි මිරිකලා , හොද්දත් හදන්න පොඩි වෙලාවක් ගන්න අම්මා, දැන් ඔබ ගාල දෙන පොල්ටික මිරිකන්න ඊටත් වඩා වෙලාවක් ගනීවි. වෙනද තරම්ම හොඳට ඒ වැඩේ වුනේ නැති වෙන්නත් පුළුවන්. ඒත්, අම්ම, ලබා දුන්න උදව්වට අගය කිරීමක් දෙන්න. ඒ උපකාරය ඔබට , "වැඩ පහසුකරගන්න" එකතුවක් බව දැනෙන්න හරින්න. හැබැයි මතක තියා ගන්න, අපි බොරු කිව්වොත්, ඒක වෙනදටත් වඩා හොඳට මේ අයට දැනෙන්න පුළුවන්. ඒනිසා, උපක්‍රමශිලී ලෙස උදව්ව වෙනුවෙන් ස්තුතියක් කරන අතරේ ඔබේ දවසේ වැඩකටයුතු වලට බාධාවක්ද නොවන සේ එම පුද්ගලයාට යම් "ඵලදායී යමක්" පවුල වෙනුවෙන් කළ සතුට දැනෙන්නට ඉඩ ලබා දෙන්න.
- කාරිය සරළ කරන්න - පියවර ගණනාවක වැඩකටයුත්තක් පවරනවාට වඩා, එක් පියවරක් ඇති කටයුත්තක් පැවරීම තුල වඩා සතුටක් සහ උදව්වකුත් ලබා ගන්නට පුළුවන් වේවි. උදාහරණයක්, හොදල වේලල තියෙන රෙදි වලින් ඔබ වෙන්කරල දෙන දරුවන්ගේ මේස් කූට්ටම් ටික වෙන්කරන එක, හොදල තියෙන බෝංචි ටික කඩල, වෙනත් භාජනයකට දාන එක, හොදල වෙන්කරල තියෙන පළා කොළ ටික කඩල, දඩු ටික අයින් කරන එක වගේ සරළ , එක් හෝ පියවර දෙකක් වගේ තියෙන වගකීමක් වඩා වැඩි වාසියක් දේවි. නමුත්, රෝග තත්ත්වය තිබුණද, කායික මානසික හැකියාවන් ඉහළ හෝ සාමාන්‍ය තත්ත්වයට ආසන්න නම් මීට වඩා තරමක සංකීර්ණ අවස්ථා වලට යන්න පුළුවන් වුනත්, අමතක වීමේ හැකියාව, වැරදීමේ ඉඩ ගැන ඉවසීමෙන් සැලකිලිමත්වන්නට වේවි. විශේෂයෙන්ම කැපීම්, සීරීම් හෝ ගිනි අනතුරු ගැන වැඩි අවධානයක් ඒවගේ අවස්ථාවක දෙන්නට වෙනවා.
- රටාවකට වැඩ - බාර දෙන්නට සූදානම් වන නිවසේ වගකීම දිනපතා වන දෙයක් නම්, ඒ සඳහා එකම රටාවක් තිබීම වඩා පහසුවක් වේවි. උදාහරණයක්, ඩිමෙන්ෂියාව සමඟ ජීවත්වන තාත්තගේ කැමැත්ත තියෙන්නේ ගෙදරදොර අතුගාන්න නම්, ඉඩ දෙන්න නමුත් දවස ගානේ තැන, කුණූ දාන තැන , කොස්ස තියෙන තැන වෙනස් කරන්නේ නැතිව ඒ සියල්ලම එක රටාවකට හුරු වෙන්න අවස්ථාව දෙන්න. රෙදි නමන්න උදව් වෙනවා නම් ඒ සඳහා එකම තැනක් පුරුදු කරගැනීම වැදගත්, මේ ලබා දෙන පැවරුම් වලදී යම් රටාවක් ඇති කර, ඒ තුලට හුරු වීමට ඉඩ දීම තුල අදාල කාර්යයේ ඵලදායීබව වැඩි වෙනවා මෙන්ම, ඩිමෙන්ෂියා සමඟ ජීවත්වන මේ පුද්ගලයාට කායිකව, සහ විශේෂයෙන්ම මානසිකව ඇතිවිය හැකි "බර" අඩු වෙනවා.
- අවදානම් ගැන පෙර සූදානම් - මේ ලබා දෙන පැවරුම් තුල "විය හැකි අවදානම්" ගැන පෙර විමසීමක් කර තිබීම හරිම වැදගත්. විශේෂයෙන්ම කැපීම් , සිරීම් විය හැකි උපකරණ, කුස්සියේ මෙවලම්, වගේම ලිප, ගිණිදැල් ඔස්සේ විය හැකි අවදානම් ගැනත් සැලකිලිමත් විය යුතුමයි. ඒ විතරක් නොවේ, කුස්සියේ, නිවසේ කාමර වල ඇති විෂවිය හැකි රසායනික, වෙනත් දෙයක් ලෙස වැරදි හදුනාගැනීමක් විය හැකි රසායනික (උදා- වර්ණ සහිත බීම වර්ග සහ සේදුම්කාරක දියර ඇති බෝතල) ඔස්සේ වන්නට ඉඩ තිබෙන අවදානම් ගැන පෙර හදුනාගෙන සැලසුම් කළ යුතු වෙනවා.
- තෝරා ගැනීම් දෙන්න - මේ තත්ත්වය සමඟ ජීවත්වන්නෙක් යම් කටයුත්තකට එකතු කරගන්නවා නම් ඒ අයට තෝරා ගැනීමට අවස්ථාව දෙන්න. "අම්මා , මට බෝංචි ටික කඩල දෙනවද එහෙම නැත්නම් පොල්ටික මිරිකල දෙනවද, මොකක්ද කැමති" එතැනදි, මේ තීරණ දෙ සසඳා බැලීමට තමන්ට ඇති හැකියාව සහ ඒ තුල ලබා දෙන පිළිතුර ඔබ පිළිගැනීම නිසා අම්මාට ඇතිවන සතුට, වගේම පෙළඹවීම ඇයගේ මානසික සෞඛ්‍යයට මෙන්ම පවතින රෝග තත්ත්වය තවත් දුර්වල වීම පාලනයටත් හරිම වැදගත්. නමුත් මෙතැනදි මතක තබා ගත යුතු වැදගත්ම දේ "තෝරා ගැනීම්" දෙනවා කියල තෝරා ගැනීම් ගොන්නක් දීල එකක් ගන්න කියන්න එපා. හොඳම සීමාව තෝරා ගැනීම් දෙකක්, එයින් එකක් බාරගැනීම වඩා පහසුයි මේ අවස්ථාවේදී. "තාත්ත සාලේ අතුගානවද, නැත්නම් කාමරේ අතුගාන්නද කැමති?" එහෙම අවස්ථාවක් දෙන එක, කොස්ස අතට දීලා "තාත්ත මේ සාලේ අතුගාල දෙන්න" කියනවාට වඩා මානසිකව පෙළඹවීමක් කරනවා.
- තැනේ හැටියට නැමෙන්න - තේරුම් ගත යුතු වැදගත්ම දේ, මෙම තත්ත්වය සමඟ ජීවත්වන්නෙකුගේ කායික, මානසික, චිත්තවේගීය හැකියාවන් මොහොතකින් , පැය කිහිපයකින්, දින කිහිපයකදී වෙනස්වන්නට පුළුවන්. අන්න , ඒ තත්ත්වය වටහා ගෙන නම්‍යශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම දෙපාර්ශවයට වාසියි. ඊයේ හොඳට එක හැඩේට පුංචියට බෝංචි කඩපු අම්මා, අද බෝංචි කරල දෙකට කඩල දාල වැඩේ ඉවරයි කියන්න බැරි නෑ. කමක් නෑ, කළ දේ වෙනුවෙන් අගය කිරීමක් කරල ඉතිරි ටික ඔබ කරන්න. වටිනකම මේකයි, සමහර විට මේ ලැබුණූ "උදව්ව" වැඩ වැඩිවීමක් වගේ දැනෙන්න පුළුවන් ඔබට. ඒත්, මේ පුංචි උදව්ව කරන්නට අවස්ථාව ලබා දීම තුල ඔබ කළේ අදාල පුද්ගලයාට චිකිත්සීය උපකාරයක්. ඒ වටිනාකම හිතට ගත්තාම සිදුවන පොඩි කරදරය ඒතරම්ම බරක් වෙන එකක් නෑ.
- ගැලපෙන පරිසරයක් දෙන්න- මේ කියන්න හදන්නේ, ඩිමෙන්ෂියා තත්ත්ව සහිත මේ පුද්ගලයාට අවශ්‍ය නිදහස්, පටලැවීම් අඩු පරිසරයක් හදල දෙන්න. උදාහරණයක් , තාත්ත සාලේ අතු ගාන්න නම් කැමැත්ත , මතක ඇතිව සාලේ පුරාම විසිරිලා තියෙන දරුවගේ සෙල්ලම් බඩු ටික , අදාල තැන්වලට දාන්න ඔබ කටයුතු කරන්න. එහෙම කරල ඊට පස්සේ තාත්තට දෙන්න අතුගාන්න. එහෙම නොවුනොත්, අතුගාන අතරේ තාත්තට මේ සෙල්ලම් බඩු එකතු කරන්න, ඒවා කොතැනටද දාන්නේ හිතන්න, සමහර විට සෙල්ලම් බඩුවක් අතට ගත්තම එයාගේ දරුවන් පුංචි කාලේ හිටපු හැටි මතක් වෙත්දි පටන් ගත්ත වැඩේ අමතක වෙලාම යන්නත් බැරි නෑ. ඒ නිසා , ඒ පුද්ගලයාගෙ කටයුත්තට බාධාවන දේවල ඉවත් කරන එක, අදාල කටයුත්ත සඳහා උපකරණ ගණනාවක් යොදා ගන්නවාට වඩා අවශ්‍ය උපකරණය පමණක් ලබා දෙන්නට කටයුතු කිරීම ( උදාහරණයක් , පාන් පෙත්තක ජෑම් ටික ගාල දෙන්න කියල ජෑම් බෝතලය සමඟ හැන්දක් දෙත්දි, ඒ ළඟට, තුනපහ බෝතල්, සියඹලා බෝතල් ඔක්කෝම වටේට තියන්න එපා. පාන් පෙති ටිකයි, ජෑම් බෝතලෙයි, හැන්දයි විතරක් ඒ මේසේ තියල වැඩේ පවරන්න. )
- විවේකය දෙන්න. - පෙර කීවාමෙන්, දැන් මේ තත්ත්ව සමඟ ජීවත්වන පුද්ගලයා වෙනදාට වඩා ඉක්මණින් මහන්සි වෙන්න ලොකු ඉඩක් තිබෙනවා. එය රෝග තත්ත්වයේ කායික බලපෑම් වගේම, රෝග තත්ත්වය නිසා සිදුවන මානසික ගැටළු, මතකයේ ගැටළු එක්ක ඒ අභියෝග මතින් කතා කරන එක, අහන දේට උත්තරයක් දෙන එක, සරළ වැඩක් කරන එක පවා හරිම "සංකීර්ණ, ලොකු වෙහෙසක් දැනෙන" දෙයක් වෙන්නට පුළුවන්. ඒ නිසා, බාර දුන්න වැඩේ ඉක්මණ් කිරීම නොවේයි, ඒ පුද්ගලයාට හැකි ආකාරයෙන් කරන්නට අවස්ථාව දීමත්, අවශ්‍ය අවස්ථාවේ , විශේෂයෙන්ම ඔබට වැටෙහෙන අවස්ථාවේදී විවේක ගන්නට උදව් කිරීමත් වැදගත් වෙනවා.
මේ සියළු කරුණූ තුලම, මේ ආකාරයට "නිවසේ වැඩකටයුතු වලට" ඩිමෙන්ෂීයාව සමඟ ජීවත්වන මෙම පුද්ගලයා එක් කරගැනීමේ මුල්ම පරමාර්ථය විය යුත්තේ, අදාල පුද්ගලයාට යම් සක්‍රිය ක්‍රියාකාරකමක් කිරීමට අවස්ථාවක් දීමත්, එය නිවසේ කටයුතු වලට අදාල, "යම් වැදගත් දෙයක්" කළ බව දැනීම තුල ලබා ගත හැකි සතුට විඳින්නට අවස්ථාව ලබා දීමත්, ඒ තුලින්ම මෙම පුද්ගලයාගේ කායික, මානසික සහ චිත්තවේගීය සෞඛ්‍යයට වාසිදායක වන උදව්වක් කිරීමත් බව වටහා ගැනීමයි වැදගත්ම.
දැන් මේ විදියට , ගෙදර වැඩට උදව් කරගැනීම තුල අදාල පුද්ගලයාට ලැබෙන වාසි මොනවාද බලමු.
- වටිනාකම දැනීම - මේ තමයි වැදගත්ම වාසිය. ඩිමෙන්ෂියාව නිසා තමන්ගේ කල්පනාව අඩුවන බව දැනෙත්දි, වෙනද කළ ගෙදර වැඩ වලින් තමන්ව ඉවත් කෙරෙන බව දැනෙත්දි, මේ සමඟම එන මානසික බිඳ වැටීම්, පීඩාවන් නිසා "තමන් කිසිම වැඩකට නැති පුද්ගලයෙක් වී ඇති" බව හැගෙන, දැනෙන, සමහර විට වැටහෙන අවස්ථාවක, මේවගේ "ගෙදර වැඩකට උදව් වෙලා" , දරුවගෙන්, පවුලේ සාමාජිකයාගෙන් අගයකිරීමක්, ස්තුතියක් , ආදරණීය හිනාවක් ලැබෙත්දි , "තමන්, තවමත් වැදගත් පුද්ගලයෙක්" කියන හැඟිම දැනෙත්දි ඩිමෙන්ෂියාව සමඟ ජීවත්වන මේ පුද්ගලයාට එය "ලොකු වාසියක්".
- හිත පිබිදීම - මෙම නිවසේ ක්‍රියාකාරම් කිරීම නිසා, මනසේ ක්‍රියාකාරීත්වය වැඩිවීම හෝ සක්‍රියවීම, කළ යුතු පියවරයන් මතක තබා ගැනීමත් සමඟ මතක හැකියාවේ , තීරණ ගැනීමේ හැකියාව පවත්වා ගැනීමට (දුර්වල වීම පාලනය කරගැනීම) හැකිවීම වගේ වාසි හදුනාගෙන තිබෙනවා. ඒ විතර නොවේ, මෙම ක්‍රියාකාරකම් සම්පුර්ණ කිරීම තුල දැනෙන ආත්ම තෘප්තිය, මානසික පිබිඳීමක් ඇති කරන්නේ , මේ අවස්ථාවේ අවශ්‍යම ප්‍රතිකාරාත්මක උපකාරයක් ලෙසින්.
- ඇඟ වෙහෙසීම - අදාල කටයුතු වල යෙදීම තුල කායිකව වෙහෙසීමක් වීම, එක්තරා ආකාරයක ව්‍යායාමයක් ලැබීම , කායිකව මෙන්ම මොළයේ ක්‍රියාකාරීත්වයන්ටද වැදගත් වෙනවා.
- සංවේදන සක්‍රියවිම- මෙම , මොළයේ පටක වලට වූ හානිය මෙන්ම ප්‍රතිකාර ලෙස ලබා දෙන ඖෂධ වලට බලපෑම නිසාවෙනුත් සමහර සංවේදන වල දුර්වල වීමක් වන තත්ත්වයක් මෙන්ම "රෝග තත්ත්වය නිසා" වැඩි පරිස්සමට වැඩකටයුතු වලින් ඉවත් කර තැබීම නිසාවෙන්, වෙනදා දැනුනු සංවේදන සීමාවන් අඩුවන තත්ත්වයක් තුල , මේ ආකාරයට නිවසේ වැඩකටයුතු වලට එක් කරගැනීම තුල නැවතත්, එම සංවේදන සක්‍රියව පවත්වා ගැනීමට යම් උපකාරයක් ලැබෙනවා. උදාහරණයක්, කුස්සියේ බෝංචි කඩල දෙන අම්මා, බොංචි කඩන වෙලාවේ, වතුරේ අත ගැටෙත්දි දැනෙන "සීතල" , බෝංචි කැඩෙත්දි දැනෙන "කම්පනය," ඒ එක්ක එන "හඬ" වගේම ඔබත් එක්ක උයන පියන වෙලාව තුල රැදෙත්දි, බෝංචි ව්‍යාංජනය හැදෙන හැටි "දකින" , ඒ තුනපහ , තැම්බෙන "සුවඳ" විඳිත්දි සිදුවන්නේ පෙර කී සංවේදන උත්තේජනය වීමක්.
- අමාරු අමතක වීම - මේ ආකාරයට නිවසේ වැඩකටයුතු වලට එක්වීම තුල , අදාල පුද්ගලයාට මතුවිය හැකි සමහර රෝග ලක්ෂණ "නොදැනීමට" හෝ උග්‍ර නොවීමට අවස්ථා තිබෙනවා. "ලෙඩා සේ" ඇදේම ඉඳිත්දි අතපය රිදෙන, කෙදිරි ගාන අම්මා, ඔබත් එක්ක කුස්සියේ ඔබට උදව් වෙත්දි "අතපය රිදෙන එක" ටික වෙලාවකට හරි අමතක කරන්න පුළුවන්. හවස් යාමේ ගෙදරින් එළියට බැහැල , තේරුමක් නැතිව ඇවිදින්න යන, ගිහින් අතරමං වෙන තාත්ත, හැමදාම හවසට ගෙදර අතුපතු ගාල පිරිසිදු කරන "ලොකු වගකිම්" කරන නිසා , අර හිස හැරුණූ අතේ ඇවිදින්න යන එක අමතක වෙන්න ලොකු ඉඩක් තිබෙනවා.
මෙන්න මේ වගේ වාසි තවත් ගණනාවක් අදාල පුද්ගලයාට ලබා දෙන්නට පුළුවන් මෙම උත්සාහය තුලින්.
(දැන් වැදගත්ම දේ, මුලින්ම කී ලෙස කළ හැකි සීමා හදුනාගැනීම හරිම වැදගත්, ඒ නිසා සමහර විට ඩිමෙන්ෂියාව සමඟ ජීවත්වන අම්මට කුස්සියට ඇවිත් බෝංචි කඩල දෙන්න පුළුවන් වුනාට, ඇදේම ඉන්න ඩිමෙන්ෂියාව සමඟ ජීවත්වන අත්තම්මාට ඒ වැඩේ කරන්න බැරි වෙන්න පුළුවන්. ඒත් ඇයට පුළුවන් වේවි, සෝදල දෙන හැන්දක් හොඳට වේලෙන්න පිහිදාල දෙන්න. ඊට එහා ඇදේ හැලහොල්මනක් නැතිවම ඉන්න ඩිමෙන්ෂියාවත් එක්ක ජීවත්වන කිරිඅත්තට මේ කිසිදෙයක් බැරිව ඇති, නමුත් ඔහු කැමති සිංදුවක් ඇහෙන්න සලස්වන්න පුළුවන් නම් ඒකත් එයාට උදව්වක්. මේ විදියට , තත්ත්වය, රෝගයේ මට්ටම, පුද්ගලයාගේ වයස ,චර්යාව, මානසික සහ මතක හැකියාව අනුව මේ "ගෙදර වැඩදීමේ" රටාව, සීමාව, ආකෘතිය වෙනස්වන්නට පුළුවන් බව අවසානයට පෙර කියන්නටම ඕන වුනා.)
ඒ නිසා, ඩිමෙන්ෂියාව සමඟ ජීවත්වන ඔබේ පවුලේ සාමාජිකයා, "ලෙඩෙක් ලෙස" ලේබල් කරමින් වැඩි සාත්තුවට යැයි සිතා එක තැනක සීමා කර බෙහෙත් පොවමින් තබනවාට වඩා, අදාල පුද්ගලයාට කළ හැකි , කරන්නට කැමති නිවෙස් වැඩකටයුත්තක් ඇත්නම් , එයට එක් කරගැනීම වාසි ගණනාවක් ලබා දෙනවා. නමුත්, කුමන වැඩකටයුතු පැවරිය හැකිද? යුතුද සහ එය කෙසේ ක්‍රියාත්මක විය යුතුද කියන පෙර ඇගැයීම හුඟක් වැදගත් නිසා, ඔබ, ඔබේ පවුලේ අනෙක් සාමාජිකයන් වගේම අදාල පුද්ගලයාට ප්‍රතිකාර කරන සෞඛ්‍යය වෘත්තීක කණ්ඩායමේ අදහස්ද එකතු කරගැනීම තුල අවදානම් අඩු, වාසිය වැඩි උදව්වක් කරන්නට ඔබට පුළුවන් වේවි.
No comments:
Post a Comment