Sunday, September 28, 2025

31. නොබැඳුනු මනසක විත්ති -ඇගේ දිරි‍යේ කතාව.

 ("නොබැඳුනු මනසක විත්ති" විශේෂාංගය , එහෙම නැත්නම් ලිපි පෙළ තුලින් මම උත්සාහ කරනවා ම‍ගේ වෘත්තීය පරිසරය තුල දිනපතා මම අත්විඳින, සමහර විට ඔබ බොහෝ දෙනෙක් නොදකින, නොවිඳින වෙනස් සිදුවීම් මාලාවක් ඔබත් එක්ක බෙදා ගන්නට. ඒ තුලින් ඩිමෙන්ෂියාව සහ ආශ්‍රිත තත්ත්වය සමඟ ජීවන මගේ සේවාලාභීන්ගේ ඇත්ත අත්දැකීම්, ‍ඔබේ කරමින් ,මෙම තත්ත්වය ගැන යම් දැනුමක්, තොරතුරක් ලබා දෙන්නයි උත්සාහය.)

ඇනී කියන්නේ අවුරුදු හතලිස් පහක විතර කාන්තාවක්. ප්‍රාථමික පාසල් ගුරුවරියක් ලෙස වසර ගණනාවක අත්දැකීම් තිබෙන ඇය ඩිමෙන්ෂියාව සහිතව ජීවත්වන බව හදුනාගන්නේ, ඇගේ හතලිස්වන උපන් දිනයේ සතුට මැකී යන්නටත් පෙර. ගුරුවරියක ලෙස, කවි ගී ගැයූ, දරුවන් හුරතල් කරමින් නැටූ ඇය, ඒ සියළු හැකියාවන් බිඳවැටෙත්දී ප්‍රතිකාර සමඟින් අපේ චිකිත්සීය වැඩසටහන් වෙත යොමු වෙනවා. අද වෙත්දි වසරක පමණ කාළයක් අපත් සමඟ ගත කරන ඇය, අද වෙත්දි කණ්ඩායම තුල ඉතාමත් ප්‍රියමනාප, අනෙක් අයට උදව් කරන, ධෛර්යයක් ලබා දෙන අපූරු චරිතයක් බවට පත්වී හමාරයි. මේ ඇය සහ මා අතර පසුගිය සිකුරාදා දිනයේ විවේකයක් තුල ඇතිවූ කතාබහේ බෙදාගත හැකි කතන්දරයයි.

"ඇනී, අපි යමු , ටිකක් අතීතයට. ඔයාට ‍සෞඛ්‍යය තත්ත්වයේ වෙනසක් ඇතිබව මුලින්ම දැනුනේ මොන කාළෙයේ වගේද? අපි ටිකක් ඒ ගැන කතා කරමු" කතාබහ ආරම්භ කරන්න මා ඇයි ආරාධනා කළා.

"මට ඒ අත්දැකීම් තාම මතකයි, මේ දැන් වගේ මතකයි. හ්ම්...මම ඒ වෙත්දි KG ක්ලාස් එකක් තමයි කළේ. ලස්සන හෝම්රූම් එකක් හදාගෙන, මට ඕන විදියට මුළු රෑම් එකම සරසල පුදුම ආසාවෙන් මම ඒ පන්තියේ හිටියේ. මගේ දරුවනුත් ඒ වගේමයි. ඇතුලට එන්නේ කෑගහගෙන මාව බදාගන්න බලාගෙන....මතක විදියට මගේ හතලිහේ බර්ත්ඩේ එකට පන්තියේදි කේක් එකක් කපලා මගේ අනේ ගුරුවරුන් එක්ක සහ දරුවන් එක්ක රස වින්ද දවසේ. මට මතකයි මම දැක්ක සමහර දරුවන් පන්තියට අළුත් දරුවන් වගේ. ඉතින් මම එයාලට මාව හදුන්වල දීලා, පන්තිය ඉස්සරහට ඇවිත් එයාලව හදුන්වල දෙන්න කිව්වා. එයාලත් ඒක කළා. හැබැයි ම‍ගේ මිතුරු ගුරුවරියන් මා දිහා අමුතු විදියට බැලුවා. පස්සේ විවේක ගන්න දවසේ එයාල කිව්ව, ඒ දරුවන් මාත් එක්ක අවුරුද්දක්ම හිටපු දරුවන්බව. එදා තමයි මට මා ගැන වෙනසක් දැනුනේ"

"පන්තියේ දරුවන් ‍කීයක් විතර ඔබෙන් ඉගෙන ගත්තද ඒ කාළේ"

"අපේ හැම KG එකකම හිටියේ දරුවන් දොළහයි. ඒ හැමෝම මට හරිම ආදරෙයි, අපි කෑම හැදුවා, බෙදා ගෙන කෑවා. මට දරුවො නැති වුනාට ඒ හැමෝම මගේ වුනා" ඇනී කීවා.

"ඊට පස්සේ, මට ඩ්‍රයිව් කරන්න අමාරු වුනා, ලෙෆ්ට් ටර්න් එහෙම ගන්න එක හරිම ස්ට්‍රෙස් එකක් වුනා. මං ස්ටීව්ට කිව්වා මාව ඉස්‍කෝලෙට ගෙනියන්න, ‍ගේන්න කියලා. මට මතකයි ඒ දවස් වල ස්ටීව් ටිකක් නොක්කාඩු කිව්වා ඒකට. කොහොම හරි එයා මාව ඉස්කෝලෙට ගෙනියනවා, හවස ගෙදර එක්කං එනවා. තවත් මාස දෙක තුනක් යත්දි ....පොඩ්ඩක් ඉන්න බලන්න ක‍ොයිකාලෙද කියලා " ඇය අතේ තියාගෙන ඉන්න දිනපොත දිගහැරියා, පිටු කිහිපයක් පෙරළුවා.

"හරි මේ තියෙන්නේ, ඔක්තොබර් අරක වුනා, දෙසැම්බර් වෙත්දි ස්ටීව් මාව ඉස්කෝලෙට ‍ගෙනියනවා , ගේනවා. හ්ම් හරි මේ තියෙන්නේ...." ඇනී තම දිනපොත මා අත තැබුවා.

"කියවන්න මහේෂ්, මං ආස නෑ මේ ටික කියවන්න, ඔයා කියවන්න මම අහගෙන ඉන්නම්"

මම පෙරළා දුන්න පිටුව හිමින් කියවන්නට පටන් ගත්තා. නිල් පැහැ අකුරින්, අපූරු හැඩ රටාවකට ලියා තිබුණා මෙහෙම "අදත් මම අළුත් දෙයක් දැක්කා, ඒත් ස්ටීව් කියනවා ඒක එතැන කාළයක් තිබුණාලු. මට මේ ‍මොකක්ද වෙන්නේ? ඇයි මට මේ සමහර දේ අදම දැක්ක වගේ දැනෙන්නේ. දෙවියනි මට උදව් කරන්න" හැඩකාර ‍බෝල අකුරු වලින් හරිම පැහැදිලිව ලියා තිබුණූ ඒ දින සටහන කියවා‍ අවසන් කරත්දි එතැනින් එහා අකුරු බොද වෙලා මට පෙනුනේ.

"හ්ම් , ඔය තමයි මට , මා ගැන බයක් දැනුනු දවස. මම හැමදාම අළුත් කියල හිතෙන දේවල් ලිස්ට් කළා, ස්ටීව් එක්ක කතා කළා. ඒත් ඒ හැමදේම මම දන්න, දැකල පුරුදු දේවල් බව ඔහු කියත්දි මගේ බය වැඩිවුනා. මුලින් හිතුවේ එයා මාව රවට්ටවනවා කියලා. ඒත් පස්සේ මට අපේ කාර් එක හදුනගන්න බැරිව , වෙනත් වාහන වලට නගින්න හැදුවලු. එතැනදි මේ වෙත්දි මම වෛද්‍ය නිවාඩු දාල හිටි‍යේ. මම හිතුවේ මට මානසික රෝගයක්වත් එනවද කියල. තව ටික දවසක් යත්දි .....ඇය තවත් පිටු කීපයක් පෙරලා මා අත තැබුවා.

"අද සෙනසුරාදා මගේ ආසම දවස. අද ස්ටීව් එක්ක මුළු දවසම ගත කරන්න ඕන." එදා දවසේ ආරම්භය ගැන ඇය වෙනත් වර්ණයක පෑනකින් සටහන් තබා තිබුණා.

"දැන් ඔය පහල තියෙන වහපු කොටස, ඒ කොලේ අයින් කරල කියවන්න මහේෂ්" ඇය ඉල්ලීමක් කළා.

දින සටහනේ පහල කොටස හැඩරටාවකට කැපූ මල් සටහන් සහිත කොළයකින් වසා තිබුණා. අර, පුංචි කාළෙ හදන ලියුම් කවර වගේ. මම හිමීට ඒ කවරය දිගැරල අදාල කොටස කියවන්න පටන් ගත්තා.

"අද දෙපාරක් වැටෙන්න ගියා, මං දන්නේ නෑ මට මොකක් වුනාද කියලා. මං පෑන් කේක් හදන්න මිශ්‍ර කරන්න හැදුවා විතරයි මතක. ස්ටීව් කියන විදියට මගේ ඇවිදීමත් වෙනස්ලු. අපි හෙට යනවා මගේ ඩොක්ටර් හමුවෙන්න, මට මේ මොකක්ද වෙන්නේ, මට උදව් කරන්න දෙවියනි!"

මට තවත් මේ දින සටහන් කියවන්න පුළුවන්ද කියල හිතුනා.

"ඉතින් මේවනකම් ඔබ වෛද්‍යවරයෙක් හමුවුනේ නැත්ද?" මට ආව කුතුහලය නිසා ඇහැව්වා.

"ගියා, දෙතුන්වතාවක් ගියා. එයාල කිව්වා ස්ට්‍රෙස් නිසා වෙන්න ඇති කියල. අපි ‍ඒ වෙත්දි දරුවෙක් හදා ගන්න සෑහෙන්න මහන්සිවෙමින් හිටියේ, හරියට ටෙස්ට් , එක එක දේවල් කළා දරුවෙක් වෙනුවෙන්. මට ඕන වුනේ හතලිහ වෙත්දි මෙන්න මේවගේ ලස්සන දරුවෙක් හදාගන්න." ඇය දිනපොතේ පිටුපස කවරයේ තිබුණු ලස්සන පැටියෙක්ගේ පිංතූරය පෙන්නුවා.

"මේ වෛද්‍ය හමුවෙදි හුඟක් සංකීර්ණ විදියට මේ ගැන‍ හොයා බැලුවා. මට තාම මතකයි ‍ඩොක්ටර් කීවා, මගේ හැම වෛද්‍ය පරික්ෂණයක්ම හොඳ තත්ත්වයේ තියෙනවා, නමුත් අපි අවදානමක් නොගන්න, බ්‍රේන් ස්කෑන් එකක් කරමු කියලා. මට එදා නම් හරියට බය හිතුනා. මම හිතුවේ මට මොළයෙ ගෙඩියක් හැදීගෙන එනවද කියල. මොකද ඒ වෙත්දි මගේ ක්ලාස්මේට් කෙනෙක් මොළයේ ගෙඩියකට ප්‍රතිකාර ලබමින් හිටියා. මට එයාව මතක් වුනා" ඇනී ඇගේ ලොකු වතුර බෝතලයෙන් උගුරු කීපයක් බීවා.

"බ්‍රේන් ස්කෑන් එක ආවට පස්සේ, අපේ ඩොක්ටර් කීවා වෙනසක් තියෙනවා, අපි ඒ ගැන ස්පෙෂලිස්ට් කෙනෙක්ට දානව කියල. තව සති දෙකක් යත්දි එක ස්පෙෂලිස්ට් කෙනෙක් නොවෙයි ,ස්පෙෂලිස්ට්ලා පැනල් එකක්ම මාව පරික්ෂා කළා, ඇවිද්දෙව්වා, කතා කරන්න කීවා, ඉස්කෝලෙ කරන දෙවල් කරන පෙන්වන්න කීවා, ඊට පස්සේ අර මහේෂ් අපට දවසක් කීවේ කොග්නිටිව් ටෙස්ට් ගැන, අන්න ඒවා කළා. ඒ වෙත්දි මම හරියට දැනගෙන හිටියෙ නෑ ඇයි මේව කරන්නේ කියලා. තවත් මාසයක් විතර යත්දි මට ලියුමක් එනවා, මගේ තත්ත්වය ඩිමෙන්ෂියා දැයි තහවුරු කරගැනීම සඳහා තවත් පරික්ෂණ කිහිපයක් තිබෙන බවත් ඒ සඳහා සූදානම් වන්නත් කියලා" මහේෂ්, මගේ ජීවිතේ මම ඕන තරම් හිත කළබල වන ආරංචි අහල තිබුණා , ඒත් මේක තමයි මම අහපු තිගැස්සුනම ආරංචිය. මට ‍කොයිතරම් තිගැස්මක ආවද කිව්වොත් ඒ ලියුම මම කියවලා, ආයෙත් හිතුවා වැරදීමකින් එවන්න ඇති කියල. ඒක මම ස්ටීව්ට දෙන්නේ නැතිව මගේ යාළුවෙක්ට යැව්වා කියවල මට කියන්න කියලා"

"ඒ ටෙස්ට් වලදි තහවුරු වෙනවා මගේ මොළයේ ඇට්‍රොෆි එකක් තියෙනවා, ඒක වැඩිවෙනවා සහ ඒ නිසා මට ඩිමෙන්ෂියා තත්ත්වයක් තිබෙනව බව. ඒ තීරණය අපේ ජීවිත සෑහෙන්න වෙනස් කළා මහේෂ්" ඇය ලොකු සුසුමක් පි‍ටකළේ ඈත අහසේ හැදෙමින් තිබුණූ හිම වළාකුළු දිහා බලාගෙන.

"හ්ම්, ඊට පස්සේ මම රස්සාවෙන් අයින් වුනා. ස්ටීව් බේබද්දෙක් ව‍ගේ බොන්න පටන් ගත්තා. මම තනිවුනා වගේ දැනුනා. මාසයක් දෙකක් අපි ජීවත් වුනාද කියල නොදන්න තරමට විදෙව්වා. ඇඩුවා, මට ඕන වුනේ ස්ටීව්ට මගේ ආදරය උපරිමයෙන් දීලා , එයා සතුටින් හිනාවෙලා ඉන්නවා දකින්න. ඒත් එදා ඉඳන් මට වුනේ බීලා , සෝෆා එක උඩ වැටිලා ඉන්න ස්ටීව් ළඟබිම වැටිලා නිදා ගන්න . අපි කෑවේ බිව්වේ නැති තරම්."

ඇය තරමක් විවේකයක් ගත්තා, නැවතත් කතාව පටන් ගත්තේ ගලාගෙන ආ ඒ හැඟීමෙන්මයි.

"දවසක්! මම මගේ පන්තියේ දරුවන් එවපු සුබ පැතුම් පතක් දැක්කා. ඒකේ කියල තිබුණේ එයාල මාව එනකං බලාගෙන ඉන්නවා, ඉක්මණට සනීප වෙලා එන්න කියලා. මට ඒක හුඟක් හිතට වැදුනා. කල්පනා කළා. මට මගේ දරුවන් මැවිල පෙනුනා. මම ඒ සුබ පැතුම ස්ටීව් අතර දුන්නම එයා ඒක විසි කරලා දැම්මා. හැබැයි මම, ඒ සුබ පැතුම් විසි කළේ නෑ. මේ තියෙන්නේ අන්න ඒ මට ලැබුණූ සුබ පැතුම."

ඇය, 2019 දවසක දින සටහනක් මත අමුණා තිබුණු ලියුම් කවරයක් පෙන්නුවා. ‍

"බලන්න මහේෂ් කමක් නෑ" ඒ ලියුම් කවරය විවෘත කර බලන්නට ඇය ආරාධනා කළා.

රතුපාට, නිල්පාට කවරෙක මං හිතන විදියට සුපර් වුමන් වගේ කෙනෙක් ඇඳලා, ඒ පිංතූරේ උඩ පාට පාටින් ලියල තිබුණා ඇයට සුබ පතලා.

"මම එදා මුළු රෑම කතා හිතුවා, කල්පනා කළා. රෑ මැදියමේ මම කෝපි එකක් හදාගෙන ස්ටීව් ගාවට ගියා. හිතේ හිරකරගෙන හිටිය දුක, තරහ හැම ආවේගයක්ම ඔහුට එල්ල කළා, ස්ටීව් ඉවසීමෙන් අහගෙන හිටියා. මම දන්නව , මට මේ තත්ත්වය සුව කරගන්න බෙහෙතක් නැහැ. මම තවත් දුර්වල වෙනවා විතරයි. ඒවගේම මම ඔයාට හුඟක් ආදරෙයි ,මට බලං ඉන්න බැහැ ඔයාගේ හොඳම කාළෙ මට සාත්තු කරන්න වැය වෙනවාට. අපි දික්කසාද වෙමු, මම කැමතියි ඒකට. මම අම්මල ගාවට යන්නම් , බෙහෙත් කරගන්නම්. ඔයා ඔයාගේ ජීවිතය විඳින්න ස්ටීව් කියල මම හඩාවැටිල ඉල්ලුවා. ඒත් , ස්ටීව් නොවෙයි ඒකට කැමති වුනේ. අපි එළිවෙනකම් කතා කළා. මට ඒ හැමදේම මතකයි. ...ඒත් ස්ටීව් නෙ‍ාවෙයි කැමති වුනේ මාව තනි කරන්න. ඒ විතරක් නොවෙයි, අපි දෙන්න කැමති වුනා ඒ සති අන්තයේ ෆැමිලි කවුන්සලිං එකකට යන්න."

මේ හැම දෙයක්ම සටහන් කරගෙන තවත් දිනපොතක් ඇය ලංකරගත්තා .

"ඒ කවුන්සලිං සෙෂන් එක අපේ ජීවිත වෙනස් කරන්න පටන් ගත්තා. මේ තියෙන්නේ එතැන් සිට වුන දේවල්, මං ඇත්තටම ආසයි මේ පොත නම් කියවන්න.

අපි තීරණය කළා, ‍මගේ ඩිමෙන්ෂියා තත්ත්වයට තිබෙන හොඳම ප්‍රතිකාර, චිකිත්සාවන් ගන්න. ඒ වෙත්දි මට ස්ටීව් එක්ක කතා කරන්න පුළුවන් වුනත් වෙන කවුරුවත් එක්ක කතා කරන්න පුළුවන්කමක් තිබුණේ නෑ, මම අහගෙන හිටියා විතරයි. ඒත් මම උත්සාහ කළා. බෙහෙත්, මහන්සිය වගේ හැමදේම එකතු වුනාම කතා කරන්න තරම් හයියක් මට තිබුණේ නෑ.

අපි ‍අළුත් බෙහෙත් පටන් ගත්තා, දිගටම කවුන්සලිං ගියා, මම මට දැනෙන දේවල් කොළයක ලියල දුන්නා. අහගෙන හිටියා. සති දෙක තුනක් යත්දි මට වෙනසක් දැනෙන්න පටන් ගත්තා. මට ඕන වුනා මගේ ඩිමෙන්ෂියා තත්ත්වය එක්ක හැප්පෙන්න. අර පැටවු එව්ව කාඩ් එකේ තිබුණූ සුපර් වුමන් වගේ වෙන්න. අපි දෙන්නම තීරණය කළා. ගේ නඩත්තු කරගන්න එක හරිම අමාරු දෙයක් වුනා, ඒ නිසා අපි මුලින්ම ගේවිකුණල, පොඩි අපාර්ට්මන්ට් එකකට ආව, ලැබුණූ අතිරේක මුදල් වලින්, ඒ වෙත්දි තිබුණූ ණය ගෙවල දැම්මා, තව මුදල් කොටසක් අපි දෙන්නගෙම අවමංගල්‍යය වියදම් වෙනුවෙන් අදාල සේවා ලබා දෙන ආයතනයකට ගෙවලා ගිවිසුම් ගත වුනා. දැන් මම දන්නවා, මම මැරුණම මාව වළලන තැන, මාව මතක් වෙන්න හදන කොත හැමදේම මම දන්නවා. ඊට පස්සේ ඉතිරි මුදල් බැංකුවේ දාල තියා ගත්තා මොකද වෙනද වගේ ස්ටීව්ට වැඩට යන්න බැරි නිසා අපට රජයෙන් ලැබෙන දීමනාවල්මත යැපෙන්න වෙන නිසා. ඔය අත‍රේ තමයි මගේ හොම්කෙයා නර්ස් මේ වැඩසටහන ගැන කිව්වේ. මුලින්ම මම කැමති වුනේ නෑ එන්න. මොකද මට ගෲප් එකක් ඉස්සරහ කතා කරන්න පුළුවන්කමක් තිබුණේ නැති නිසා. ඔයාට මතක ඇති මම මුලින්ම ආ දවස නේද?" ඇය මගෙන් විමසීමක් කළා.

"හ්ම්, මට මතකයි අද වගේ. අර මේසේ කෙළවරේ වාඩි වුනා. කිසි කතාබහක් නෑ, හිනා වුනා විතරයි"

"හ්ම්, මට ඡායාවක් ව‍ගේ මතකයි එදා. ඒත් ඔයාට දැනෙනවද මගේ වෙනසක් මේ අවුරුද්ද ඇතුලේ, දැන් මට නවත්තන්නේ නැතිව කියවගෙන යන්න පුළුවන්. ඕන කෙනෙක් එක්ක කතා කරන්න, වැඩ කරන්න පුළුවන්. එකම දේ මේ ‍වෝකර් එක නැතිව ඇවිද ගන්න බැරි එක විතරයි. මම දැන් ගෙදර උයනවත් එක්ක. ස්ටීව් උදව් කරනවා, ඒත් මට දැන් පුළුවන්" ඇයගේ ඇස්වල මතුවුනේ හිත පිනා යන සතුටක්.

"මම දන්නව , මගේ මොළයේ මැරුණූ කොටස් ආයේ පණ එන්නේ නෑ, ඒත් , මගේ මේ ක්‍රියාකාරකම්, කතාබහ, ඔයාලගේ චිකිත්සීය ක්‍රියාකාරකම් එක්ක මගේ හැකියාවන් තිබුණාට වඩා හොඳ මට්ටමකට ආව කියන එක මට දැනෙනවා. මම විශ්වාස කරනව නියුරෝප්ලාස්ටිසිටි කියන දේ මහේෂ්. මම දැන් වෙනදට වඩා සතුටින්, දවසකට වතාවක් මම කැමති දේ උයනවා, ටීවී එකම බලං ඉන්නේ නැතිව ගේම් ගහනවා, සිංදු අහනවා, එලියේ ඇවිදින්න යනවා ස්ටීව් ගෙදර ආවම. මතකයි නේ සමර් එකේ මම ඔයාල යන කන්දේ තිබුණූ තානායමෙත් සතියක් ගත කළා ඒ ලස්සන බලන්න. මම දැන් , මට ලැබිල තියෙන තත්ත්වය තුල සාමාන්‍යයි කියල දැනෙනවා. මට ඒක පුදුම සතුටක් මහේෂ්" ඇය කියාගන ගියා.

අද දවස වෙත්දි ඇය, අපේ වැඩසටහන තුල සේවාලාභිණියක් විදියට සතියකට වතාවක් කණ්ඩායම් චිකිත්සාවන් ලබමින්, මිතුරන් කණ්ඩායමක් එක්ක අපූරු දේ කරමින් ජීවිතය සතුටින් ගත කරනවා. ඔව්, අමතක වෙනවා, ඇගේ බෙහෙත් , ආහාර පාන ගන්න වෙලාවන් සියල්ල මතක් කරන්නට අප කටයුතු කරනවා. නමුත් කතාව, හිනාව, ඉදිරිපත් වීම වගේම අපේ වැඩසටහන වෙනුවෙන් දක්වන ලැදියාව තුල ඇය "නායිකාවක්" වී හමාරයි.

"මම දන්නව මහේෂ්, මට තව ලොකු කාළයක් නැති වෙන්න පුළුවන්, ඒත් ඒ ඉන්න කාළේ සතුටින් මේ අභියෝගයට මුහුණදෙන්න මම සූදානම්. එතැනදී ඔයාල මට දෙන හයිය කියන්න වචන නෑ" අපි කතාව නිමා කරල දවසේ ඉදිරි වැඩසටහන් සමඟ එකතු වුනා. නමුත්, මේ කතාව අහගෙන හිටි මට හිතුනේ, ‍මේ අත්දැකීම ඔබත් එක්ක බෙදා ගන්න. ඒ, යම් හේතුවක් නිසා මෙවැනි අත්දැකීමකට ඔබට, ඔබේ පවුලේ කෙනෙක්ට මුහුණදෙන්නට වුනොත් , අන්න ඒ අවස්ථාවෙදි සැලසුමක් හදා ගන්න, ධෛර්යක් ඇති කරගන්නට යමක් ලබා ගන්නට හැකිවේවි කියන අදහසින්.

වැඩසටහන නිමාවෙන්නට පෙර , මෙම කතාව ලිපියක් ලෙස ලියන්නට වටිනදෙයක් බව තීරණය කර තිබුණූ මා, ඇනී ට ඒ ගැන කීවා. "කිසිම ප්‍රශ්නයක් නෑ ම‍හේෂ්, ලියන්න, මගේ අත්දැකීමෙන් තවත් කවුරුහරි යහපතක් කරගන්නවා නම් මට ඒක සතුටක්" ඇය කීවා. 

No comments: