Sunday, September 28, 2025

22. ව්‍යාජ ඩිමෙන්ෂියාව" - Pseudo Dementia

"අර වෙදමාත්තයා ම‍ගේ අප්පොචිචිගේ ඩිමෙන්ෂියාව හොඳ කළා" කියල කියන අවස්ථා වලදි ඇත්තටම  සිදුවෙන්නේ  මේ කතා කරන්න හදන, Pseudo Dementia තත්තවයක සුව කිරීමක් . ඒ සුව කරල තියෙන්නේ "ඇත්තම ඩිමෙන්ෂියාව" නොවෙයි. ඩිමෙන්ෂියාව වගේ ලක්ෂණ ඇති කරන වෙනත් රෝග තත්ත්වයක්. මෙම අවස්ථාව තවත් රෝග ගණනාවක් එක්ක මතු වෙන්නට පුළුවන් වුනත් විශාදය, Depression සමඟ මතුවන අවස්ථා අපට බහුලව දකින්නට ලැබිලා තිබෙනවා. 

කෙටි කාළීන මතකය නැතිව යාම, (ඒ සමඟම දිගු කාළීන මතකයත් අඩුවීම මෙතැනදි ඇති වෙනසක්) , තීරණ ගැනීමට නොහැකි වීම, දවසේ වැඩකටයුතු කරගන්නට බැරිවීම, කතා කරන්නට වචන නැති වීම වගේ, ඩිමෙන්ෂීයාවේ දැකිය හැකි පොදු ලක්ෂණ සියල්ලක්ම වගේ මෙතැනදීත් ඇති වෙනවා. 

ටික කළක් මේ තත්ත්වයත් එක්ක ජීවත්වන එම පුද්ගලයා, කෑම බීම සඳහා ඇති කැමැත්ත අඩුවීම, පිරිසිදු කිරීම් වලට අකමැතිවීම, බිඳ වැටුනු පෞරුෂත්වය, ඉන්නා තැන, කළ යුතු‍දේ ගැන අදහසක් නොමැති නිසා අනතුරු වගේම වෙනත් ගැටළු වලට පත්වීම ...යනාදී වශයෙන් "නියම ඩිමෙන්ෂීයා තත්ත්වය සමඟ ජීවත්වන්නෙක්" ලෙසටම හඳුනාගැනීමට ඉඩ තිබෙනවා. නමුත්, මේ ලක්ෂණ ඇති වීමට ‍‍හේතුවන ඇත්තම තත්ත්වය ඩිමෙන්ෂියාව නොව, විශාදය, Depression වීමට වැඩි ඉඩක් තිබෙනවා. 

මේ ආකාරයට කාළයක් ගත වෙත්දී, අදාල මූලික රෝග තත්ත්වය වන විශාදය, Depression තත්ත්වයට නිසි ප්‍රතිකාර නොලැබුණොත්, මෙම ව්‍යාජ ඩිමෙන්ෂියා තත්ත්වය, ඩිප්‍රෙශන් සහ පසුව ඇතිවිය හැකි නියම ඩිමෙන්ෂියා තත්ත්වයත් සියල්ල එකතු වූ , ප්‍රතිකාර කිරීම මෙන්ම හඳුනාගැනීමට අපහසු තත්ත්වයන්ට පත්වෙන්නට පුළුවන්.

එම නිසා, ඔබේ මව, පියා ඥාතියා "ඩිමෙන්ෂියාවේ ලක්ෂණ" පෙන්වන්නට ගත්තොත්, කළබල වී "ඩිමෙන්ෂියාව හොඳ කරන දිවැසිවරු" හොයාගෙන යන්න ඉස්සර වෙලා, ඩිමෙන්ෂියාව පිළිබඳ විශේෂිත පුහුණූවක් , දැනුමක් ව‍ගේම අත්දැකීමක් ඇති ලියාපදිංචි සහ පිළිගත් වෛද්‍යවරයෙක් ඔස්සේ අදාල පුද්ගලය‍ාගේ "ඇත්තම තත්ත්වය" තහවුරු කරගැනීමත්, ඒ අනුව ප්‍රතිකාර ලබා ගැනීමත් වැදගත්.

අපි දැන් බලමු මෙම අවස්ථා දෙක අතර සමාන, අසමානකම් කිහිපයක්. ඒ ඔස්සේ මෙම වෙනකර හඳුනාගැනීම කොයිතරම් වැදගත්දැයි ඔබටම වැටහේවි.

සුව කිරීම. 

    • මොළයේ පටක මියයාම් ඇති කරන, එම පටක විනාශ වීම මත ඇතිවන "ඩිමෙන්ෂියාව" තත්ත්වයන් සුව කළ නොහැක. කළ හැක්කේ මතුවන ගැටළු, අපසුතා සීමා කරගැනීම සහ සමහර අවස්ථා වලදී මොළයට හානිවන වේගය අඩු කරගනිමින්, ඩිමෙන්ෂියාව සංකීර්ණ වීම යම් පාලයක් කරගැනීමට උත්සාහ කිරීම පමණි.
    • නමුත්, Pseudo Dementia ඇති කළ හේතුවට (උදා- මානසික අවපීඩනය, විශාදය) නිසි ප්‍රතිකාර, චිකිත්සාවන් ලබා දුන හොත් මතුවී ඇති "ඩිමෙන්ෂියා ලක්ෂණ" සම්පුර්ණයෙන්ම ඉවත්ව යනවා. සුව වෙනවා කියන්න පුළුවන්. නමුත් මේ "ඩි‍මෙන්ෂීයාව සුව වීමක්" නොව, ඩිමෙන්ෂියා ලක්ෂණ ඇති කළ වෙනත් තත්ත්වයක් සුව වීමක් බව දැන් ඔබට වැටහේවි.

හේතුව 

    • ඩිමෙන්ෂියාව තත්ත්වය සඳහා හේතුව, මොළයේ පටක වලට සිදුවන නැවත හැරවිය නොහැකි හානියක්( සෛල මිය යාමක්) හේතුවන අතර, ‍Pseudo Dementia තත්ත්වය සඳහා ප්‍රතිකාර ඔස්සේ හැරවිය හැකි මානසික/කායික රෝගයක් හෝ කිහිපයක් හේතු වෙනවා.

ආරම්භය 

    • Pseudo Dementia තත්ත්වය බොහෝ අවස්ථා වලදී ඉක්මණ් ආරම්භයක් දක්වන (ඒ කිව්වේ මානසික අවපීඩනය හෝ අධික මානසික ආතතික තත්ත්වයන් වැඩිවීමත් සමඟ කෙටි කාළ සීමාවක් තුල වැඩිවීමක්) අතර, නියම ඩිමෙන්ෂියා තත්ත්වය තරමක් සෙමින් සිදුවන ක්‍රමානුකූල ලෙස වැඩවන ලක්ෂණ පෙන්වීමක් කරනවා. (මෙය ඩිමෙන්ෂියා තත්ත්වය අනුව වෙනස්වන්නට පුළුවන්)

තවත් මේ ගැන කතා කරන්නට , ප්‍රතිකාර පරිසරය තුල ලැබූ අත්දැකීම් මෙන්ම අළුත් පර්යේෂණ පිළිබඳ ලැබෙන දැනුවත් කිරීම් ඔස්සේ බොහෝ දේ ඇතත්, මේ තරමටවත් දැනුවත් වෙන්නට පුළුවන් නම් එයම ජයක් කියලයි මට හිතෙන්නේ. ඒ නිසා, වැදගත්ම දේ "නිවැරදි දැනුවත්වීමයි". 

ඒ සඳහා මෙම තත්ත්වය ගැන දැනුමැති සුදුසුකම් සහිත සෞඛ්‍යය වෘත්තිකයන් ලබා දෙන "යාවත්කාළීන වූ දැනුම" ලබා ගන්න. (මෙය බටහිර, ආයුර්වේද හෝ සිංහල යැයි කියන වෙදකම වුවද ගැටළුවක් නැත. වැදගත් වන්නේ "නිවැරදි" සහ විද්‍යාත්මක ලෙස සනාථ කර ලබා ගත් දැනුම ඔස්සේ කටයුතු කිරීමයි. ඒ හැර "සාම්ප්‍රදායික හෝ පරම්පරාවෙන් එන" ලෙස කී පමණින්, සියළු රෝග සුව කළ හැකි අදිසිබලවන්තයන්ගේ වංචාවලට හසුනොවන්න. )

කෙසේ වෙතත්, Dementia ලෙස වෛද්‍ය නිර්දේශයක් (Medical diagnosis) ලැබුණත් Pseudo Dementia ලෙස වෛද්‍ය නිර්ශයක් ලැබෙන්නේ නැහැ. මක්නිසාද එතැනදී ඊට හේතුවන මානසික රෝගී තත්ත්වයටත් රෝග නිර්ණය ලැබෙන්නේ.

පාදක වන මානසික රෝගී තත්ත්වය අනුව, විවිධ චිකිත්සා ක්‍රම, උපදේශණයන් සහ ඖෂධීය ප්‍රතිකාර ඔස්සේ ප්‍රතිකාර කිරීමෙන් , මතුවූ Pseudo Dementia තත්ත්වය "සුවවී" සාමාන්‍ය තත්ත්වයට පත් කරගන්නට පුළුවන් බව නම් සායනික පරිසරය තුල ලැබෙන අත්දැකීම් මත කියන්නට පුළුවන්.

No comments: