"කෝ කොහෙද මගේ වාහනේ යතුර? මෙතනනේ මම තිබ්බේ? , මට හොඳට මතකයිනේ, අනේ මන්ද මට මක් වෙලාද කියලා"
"අර ඔයාට මතකද අපිත් එක්ක ඕ ලෙවල් කළේ, කළු උස කෙට්ටු කොල්ලා ..අ.ර අර කවුද .. ෂං මට නම මතක් වෙන්නෑනේ"
"කවුද අර සිංදුව කියන්නේ, අර අර...අනේ මන්ද මේ නම දිව අග තියෙනවා , එන්නෑනේ"
අපට ඔය වගේ අමතක වීම් කොයිතරම් වෙනවද නේද? සමහර වෙලාවට "මටත් ඩිමෙන්ෂියාද මන්ද" කියල හිතෙන්න පුළුවන්, මේ පිටුවට අළුත එකතු වුනු අපේ මිත්‍රයන්ට. කළබලවෙන්න එපා. අපි අද කතා කරල ,ඔන්න ඕක තේරුමක් බේරුමක් කරගමු.
අමතක වීමත් හොඳ දෙයක්. ඈ....
ඔව්, හිතන්න, මේ අපි අහන, දකින, විඳින හැමදේම කිසිම අමතක වීමක් නැතිව, ඒ සේරම මතකයේ රැදුනොත් ... මහ විනාසයක් නේ. ඒ නිසා, හොඳ වෙලාවට අපේ කෙටි කාළීන මතකයේ සහ දිගු කාළීන මතකයේ "මතකයන්" විදියට තැන්පත් වෙන්නේ අපේ අත්දැකීම් වලින් යම් ප්‍රමාණයක් පමණයි. ඒ කොයිතරම්ද කියල Edgar Dale ගේ සිට අද දක්වා විවිධ පර්යේෂ සිදුවෙමින් එකඟවෙමින්, වෙනස් මත එක් කරමින් විද්‍යාත්මක කතාබහක් පැවතුනත්, ප්‍රායෝගිකව අප ඒ අත්දැකීම ලබනවා.
ඉතින් මේ සාමාන්‍ය අමතක වීමට අමතරව, තවත් හේතු සාධක ගණනාවක් නිසා, අමතක වීම, අපහසුකාරී අමතක වීම සහ සාමාන්‍ය ජීවන රටාවට ගැටළු ඇති කරන මට්ටමේ අමතකවීම් සිදුවන්නට පුළුවන්. අපි අද ඒ අවස්ථා ගැන ටිකක් කතා කරමු.
- අවධානය යොමු නොවීම- අමතක වීමට ප්‍රායෝගිකව බහුලව දකින හේතුව මේ. අපි යතුර ගෙනත් තියනවා මේසේ උඩ , නමුත් තිබ්බේ කොතැනද කියන "අවධානය" යොමු කරන්නේ නැහැ. පැයකට පස්සේ යතුර තිබ්බ තැන මතක නෑ. ඔය විදියට "අවධානය' යොමු නොවීම නිසා, අමතක වීම් සිදුවන අවස්ථා කොයිතරම්ද ?
- වියපත්වීම- මේ ගැන විශේෂයෙන්ම විස්තර කරන්න දෙයක් නෑනේ. ටිකක් වයසට යත්දි අමතක වීම් ටිකක් වැඩි වෙන්න පුළුවන්. නමුත්, ඒ බොහෝ අමතක වීම් සාමාන්‍ය සහ නැවත මතක් කරගත හැකි තත්ත්වයේ. මොකක් හරි දේකට කියන නම, කාගේ හරි උපන් දිනයක්, වගේ අමතක වීම මීට උදාහරණ.
දැන් මේ කියූ, "සාමාන්‍ය අමතක වීම්" වලට වඩා ටිකක් වෙනස් හේතු සහිත අමතක වීම් , එහෙම නැත්නම් අමතක වීම් වැඩිවීම් දකින්නට පුළුවන් අවස්ථා තිබෙනවා. අපි ඒ ගැන දැන ගැනීම , අමතක වීමට වඩා, එම හේතු ගැන අපේ අවධානය වැඩි කිරීමට උදව්වක් වේවි කියල හිතාගෙන, ඒ ගැනත් දැන් කතා කරමු.
- ආතතිය සහ කාංසා තත්ත්වය - අද සමාජයේ විශේෂයෙන්ම තරුණ , සක්‍රිය ප්‍රජාව තුල දකින්නට ලැබෙන අමතක වීම් වලට මෙය ඉහළ සාධකයක්. අධ්‍යාපනය තුල, රැකියාව තුල, එහෙම නැත්නම් පවතින ආර්ථික දේශපාලනික රටාව තුල තම අනාගතය ගැන අවිවේකීව විඳින පීඩාවන් තුල හෝ වෙනත් හේතු නිසා ඇති වන Stress and anxiety නිසා, අමතක වීම් වැඩි වන්නට, අමතක වීම් දවසේ කටයුතු වලට අපහසුතා ඇති කරන තරමට "බාධකයක්" වන්නට ඉඩ තිබෙනවා. නමුත් ,මෙය නැවත නිවැරදි කරගත හැකි තත්ත්වයක්. එම තත්ත්වයන් හඳුනාගෙන ඒවායේ ඉවත්වී, නිදහස්වී, තම කාංසා සහ ආතතික තත්ත්වය අඩු කරගැනීමට තමන්ම දරන උත්සාහයේ සිට, සෞඛ්‍යය වෘත්තිකයෙක් මගින් ලබා ගන්න උපදේශනයක් හෝ ඖෂධයක් ඔස්සේ මෙම Stress and anxiety තත්ත්වය අඩු කරගෙන , නැවත සාමාන්‍ය තත්ත්වයට එන්නට හැකියාව තිබෙනවා.
- නින්ද අඩු වීම- මෙම තත්ත්වය බහුලව අත්විඳින්න පුළුවන් පැය 24 පුරා සේවා ලබාදෙන සේවාවන් හි සේවාමුර වල සේවය කරන්නන් අතරේ. දවසට ප්‍රමාණවත් නින්දක් නොලැබීම, නිදිමත, ශාරීරික අපහසුව විතරක් නොවේයි, මානසිකව පීඩාවක් ඇති කරනවා. මොළය ඇතුලේ එකතු වන "කුණූ" පිරිසිදු කරගන්නට මොළයට කාළයක් නැතිවීම නිසා සහ එම පීඩාව හේතුවෙන්, මතකයේ යම් අඩුපාඩු වෙන්නට පුළුවන් බව හඳුනාගෙන තිබෙනවා. බොහෝ අවස්ථාවල එය කෙටි කාළින සිදුවීමක් වුනත්, ඩිමෙන්ෂියා, ඇල්සයිමර් වැනි තත්ත්ව ඇති වීමේදීත් ප්‍රමාණවත් නින්ද නොලැබීම හේතුවක් බව හඳුනාගනිමින් තිබෙනවා.
- විෂාදය තත්ත්වය- මේකත් අපට සමහර විට නොදැනී තිබෙන තත්ත්වයක් වෙන්න පුළුවන්. මානසික අවපීඩනය එහෙම නැත්නම් Depression නමින් හඳුන්වන තත්ත්වය තුලදීත් අමතක වීම් වැඩි වන්නට අවස්ථාව තිබෙනවා.
- සමහර ඖෂධ වර්ග- උණ හෙම්බරිසාව, වගේ තත්ත්ව වල සිට, ආමාශ ගැටළු , මොළයේ ගැටළු , මානසික රෝග වැනි තත්ත්ව සඳහා ලබා දෙන ඖෂධ වල බලපෑමක් විදියට "අමතක වීම්" වැඩි වෙන්නට පුළුවන්. සමහර වෙලාවට ඔබ ඇලජියට බොන පොඩි පෙත්තක් වුනත් තාවකාලිකව අමතක වීම් වැඩි කරන්නට හේතුවේවි.
- වෙනත් ආබාධ නිසා- තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටළු, දියවැඩියාව, හෝමෝනමය ගැටළු වගේ වෙනත් හේතු නිසාත් අමතක වීම් සිදුවන්නට පුළුවන්. එහිම අවස්ථාවක් ලෙස, කාන්තාවන්ගේ ආර්ථවාභාවයේ දීත් අමතක වීම් වැඩි වන්නට ඉඩ තිබෙන බව හඳුනාගෙන තිබෙනව. නමුත් මේ අවස්ථාත්, ඖෂධ මගින් නිවැරදි කරන්නට පුළුවන්.
- හිසට වන අනතුරු- මේ ගැන විස්තර ලියන්න දෙයක් නෑනේ. හිසට අනතුරක් වුනාම යම් කාළයක හෝ කෙටි මොහොතකට අමතක වීමක් වෙන්න පුළුවන්. සමහර විට එය සුළු දින කිහිපයක අමතක වීමක් සිට, යම් මතක කොටසක් සම්පුර්ණයෙන්ම අමතක වීම දක්වා වෙනස් වෙන්නට පුළුවන්.
එහෙම නම්, අපි ඊළඟ ලිපියෙන් තව ටිකක් අමතක වීමේ ඊළඟ අවස්ථාව වන, MCI තත්ත්වය ගැන කෙටියෙන් සහ දැනගත යුතු මූලික කරුණූ (සාමාන්‍ය ප්‍රජාව විදියට දැනගත යුතු සහ වටහා ගත හැකි) ටිකක් කතා කරමු.
එතෙක් අමතක නොකර, ඔබේ මිතුරන්, මෙම දැනුවත් වීම අවශ්‍යතාවය ඇති අය, වියපත් අය වෙනුවෙන් සාත්තු කිරීම් කරන මිතුරන් මේ පිටුවට එකතු කරන්න.
"හුහ්... ගෲප් එක පටන් ගනිත්දි කිව්වේ ඩිමෙන්ෂියා ගැන කතා කරනවා කියල , දැන් මේ වෙන මොනවදනේ කියවන්නේ"
"නෑහ්, පොඩ්ඩක් ඉන්න, අමතක නෑ. අපි පියවරෙන් පියවර එතැනට යමු. මේ මාතෘකාවන් හුඟක් අයට ඒ තරම්ම "රස නැති නිසා" අපි හිමින් සිරුවේ දන්නා තැනින් නොදන්න තැනට යමු. අමතක නෑ හොදේ! "
No comments:
Post a Comment