නොබැඳුනු මනසක විත්ති - අගමැති නම් fxxxx
("නොබැඳුනු මනසක විත්ති" විශේෂාංගය , එහෙම නැත්නම් ලිපි පෙළ තුලින් මම උත්සාහ කරනවා මගේ වෘත්තීය පරිසරය තුල දිනපතා මම අත්විඳින, සමහර විට ඔබ බොහෝ දෙනෙක් නොදකින, නොවිඳින වෙනස් සිදුවීම් මාලාවක් ඔබත් එක්ක බෙදා ගන්නට.)
බ්‍රහස්පතින්දා දවස...හතයි පනස් පහයි. සායනයේ දොර අඟුළු හැරියේ තවත් අපූරු, අනපේක්ෂිත අත්දැකීම් වලින් රසවත් වුනු "වර්ණවත්" වෙනස්ම දවසක බාරගන්නත් හිතාගෙන.හරියටම අට වෙත්දි මගේ අනෙක් සහෝදර සේවිකාවත් දවසේ මුල් රාජකාරී වලට එකතු වුනා. පෙර දවසේ සිදුවීම් ගැන සොයා බැලීමකින් පස්සේ, අද දවසේ පැමිණීමට නියමිත සේවාලාභීන් ගැනත්, විශේෂයෙන්ම මේ සතිය තුල ඔවුන්ගේ සිදුවුනු වෙනස්වීම සහ වෛද්‍යවාර්තා ගැන විමසා බැලීමත් කළ යුතුම වෙනවා. ඒ, අද දවස තුල ඔවුන්ට විය හැකි ගැටළු අවම කරමින් , වඩාත් සාර්ථක සේවයක් ඔවුන්ට ලබා දිය යුතු නිසාවෙන්.
"මයික්! බ්‍රයන් පෙරේදා වයිෆ් එක්ක ආග්‍යුමන්ට් එකක් වෙලා වගේ, කෙයාවර්කර්ටත් physical aggression එකක් වෙලා වගේ කෙස්නෝට්ස් වල හැටියට නම් , ඔයත් ටිකක් බලන්න. අනෙක් අය නම් වෙනසක් නෑ, අද, මොබයිල් එක එනවා බෙටීගෙයි, මාර්තාගෙයි බ්ලඩ් ගන්න." හැනා අද දවසේ වාර්තාව කියවන ගමන් "විශේෂ" කරුණූ විදියට මතක් කළා.
"හරි, එහෙම නම් මම CC session එක රන් කරන්නම්, කෝකටත් අපි බලාපොරොත්තු වෙන් සූදානමින් ඉමු , මොකද බ්‍රයන්ගේ මිත්‍රයත් අද ඉන්නවනේ" රටේ දේශපාලන මත වාද ගැන කතාබහේදි, දරුණු ලෙස බ්‍රයන් එක්ක වාද කරන ජෝන් අද දවසේ සායනයේ ඉන්නවා. මේ දෙන්නම, වයස අවුරුදු පනස් පහක, හයක විතර හොඳ හැඩි දැඩි , කැනඩා තෙල් , පතල් ක්ෂේත්‍රයේ කාළයක් සේවය කළ බොහෝ ඇසූ පිරූ ඇති තැන් ඇති මහත්වරු දෙදෙනෙක්. නමුත්, දේශපාලනිකව සම්පුර්ණ ප්‍රතිවිරුද්ධ මත දරන දෙන්නා, සාකච්ඡාවක්, යුද්ධයක් කරගන්න යන්නේ මොහොතක්.
බ්‍රයන් Frontotemporal Dementia තත්ත්වය සමඟ ජීවත් වන අතරේ, ජොන් ඇල්සයිමර් තත්ත්වයේ මූලික අවස්ථාවේ සිටින්නේ. ඉතාමත් ප්‍රියමනාප මේ සේවාලාභීන් දෙදෙනො වගේම තවත් විවිධ ඩිමෙන්ෂියා තත්ත්ව සමඟ ජීවත්වන සාමාජිකයන් අට දෙනෙක් අද වැඩසටහන තුල අපත් එක්ක දවස ගත කරනවා.
උදේ නමයයි. අපි දවසේ වැඩ පටන් ගත්තා. මුල්ම පැය , අපි නම් කරන්නේ Coffee and Chat එකක් විදියට , ඒ කාළය තුල එදිනෙදා තොරතුරු, රටේ දේශපාලනය, අළුත් වෙනස්වීම් වගේ විවිධ පුළුල් මාතෘකා ගැන සුහදශීලී කතාබහකට සියළු සාමාජිකයන්ට අවස්ථාව දෙනවා .හරිම රසවත් අදහස් හුවමාරු වන මෙම සෙෂන් එක ඔස්සේ, විවිධ ඩිමෙන්ෂියා තත්ත්වයන් සහිතව ජීවත්වන මේ මිතුරන්ට , අද දවසේ අවට සිදුවන දේ ගැන අදහස් ලබා ගන්නටත්, තම අත්දැකීම් , දැනුම , කළ විමසීම බෙදා ගන්නටත්, ඒ ඔස්සේ අදාල පුද්ගලයාට "වටිනාකමක්" ලබා දෙන්නටත් කටයුතු කරනවා. ඒ ඔස්සේම, මොළයේ විවිධ කළාප වල සක්‍රිය බවට යහපත් බලපෑම් ඇතිවන ආකාරයට සාකච්ඡාව පවත්වා ගැනීම සහ ඒ තුලට ඔවුන් බඳවා තබා ගැනීමයි සෞඛ්‍යය වෘත්තිකයන් ලෙස අපේ වගකීම. ඒ අතරේම, කතාබහ තුලදී ඔවුන් දක්වන චර්යාවන්, වෙනස් වූ චර්යාවන් , වචන භාවිතය, ලබා දෙන ගැටළුවක් තේරුම් ගැනීමේ හැකියාව වෙනස්වන ආකාරය වගේ කරුණු රැසක් ගැන වෙන් වෙන්ම හැම සාමාජිකයෙක් වෙතම අපේ අවධානය පවත්වා ගන්නවා.
අද කතාවේ මාතෘකාවක් වුනේ, රටේ අද දවසේ පවතින උද්ධමනය සහ ඒ වෙනුවෙන් රජයේ ක්‍රියාකාරීත්වය. බොහොම සංකීර්ණ , සහ විවාද ඇතිවිය හැකි මාතෘකාවක්. ඉතා කාරුණික බාර්බ් නෝනා හැමදේ ගැනම සමබරව කරුණූ ඉදිරිපත් කරත්දි, හැමදේම දෙවියන්ගේ කැමැත්තට සිදුවන බව විශ්වාස කරන ලැරී උද්ධමනය වැඩිවීමට කරුණූ ඒ ආශ්‍රිතව ගේන්නේ තම ආගමික පොතක කරුණූත් එකතු කරමින්.
"ඔය එකක්වත් නොවෙයි ප්‍රශ්නේ , මේ අගමැති කියන්නේ fxxxxx කෙනෙක්. කිසිම මොළයක් නැති බබෙක් වගේ වැඩ කරන්නේ " හැමෝම කටවල් වගේම ඇසුත් වහගන්න පොළඹවන තරමේ දැඩි ලෙස අදහස් ගෙනාවේ ජෝන්.පවතින රජයට විරුද්ධ මතයක් දරන ජෝන් තවත් කරුණූ එක් කරත්දි, ඊට හරියටම ඉස්සරහ අසුනේ හිටිය , බ්‍රයන් හිමීට නැගිට්ටේ වැඩි පරිස්සමට අතේ තියාගෙන ඉන්න හැරමිටියත් හරහට අල්ලනෙම.
"හරි, අද නම් NCI වලින් වැඩක් ගන්න වෙයි වගේ" වචනයෙන් නොකියා, හැනා වෙත ඉඟියක් ලබා දෙ ගමන්ම මමත් අසුනින් නැගිට කණ්ඩායම තුල වටේ ඇවිදින්නට පටන් ගත්තේ, "විය හැකි ගැටුමක්" වලක්වා ගැනීමටත් එක්ක. ( NCI කියන්නේ, මෙම ක්ෂේත්‍රයේ සේවය කරන අප ලබා සිටිය යුතුම පුහුණුවක් වන Nonviolent Crisis Intervention කියන, එක්තරා විදියක, සටන් කළාවක්. නෑ නෑ සටහන් කළාවක්ම නොවෙයි, විය හැකි ශෘරීරික හිංසනයක් වලක්වා ගැනීමට ඇති පුහුණූවක්) .
බ්‍රයන් කෙළින්ම ආවේ මගේ ළඟට. අඩි හයකට වැඩිය උස සද්ධන්ත මිත්‍රයා නැවතුනා මගේ ළඟ.
"මයික් , පොඩ්ඩක් මෙහාට එන්න පුළුවන්ද?"
"කියන්න බ්‍රයන්, මොකද වෙන්න ඕන"
"මම තවත මෙතැන හිටියොත් ජොන් මගෙන් හොඳ පාඩමක් ඉගෙන ගන්නවා, මට දැනෙනවා මගේ ආවේග පාළනය කරගන්න බැරි වෙයි වගේ. ඒ නිසා, මම විනාඩි පහකට රෙස්ට් රූම් එකට ගිහින් ආවට කමක් නැත්ද?" ඇස් රතු වුනු, හුස්ම ගන්න වේගය වැඩි වුනු බ්‍රයන්, බොහොම පාළනය කළ හඩින් මගෙන් අහනවා.
"අනිවාර්යයායෙන්ම බ්‍රයන්. ඔබ ඒ තත්ත්වය හඳුනාගැනීමම ජයක්, යන්න ටික වෙලාවක් ඉඳලා එන්න, අපි ඊළඟ ටොපික් එක, ජොනී කෑෂ් ගැන. ඒකට එත්දි ලස්සන කතාවක් අපට ගෙනියන්න පුළුවන් වේවි."
විනාඩි දහයකට පස්සේ බ්‍රයන් ආයෙත් එත්දි අපි ජොනි කෑෂ් ගැන සංගීතමය කතාවක්, කට්ටියක් සිංදු කියනවා, ජෝන් වාඩි වෙලා තට්ටුවක් දදා සිංදු අහනවා, බ්‍රයන් ගෲප් එකට ආවෙම සිංදුවක් කියාගෙන.
දවස තවත් අළුත්ම දවසක් විදියට ගෙවුනා.
දැන් කතාව මේ කතාවේ බ්‍රයන්ගේ රෝග විනිශ්චය ලෙස ලබා දී ඇති Frontotemporal Dementia කියන තත්ත්වය ගැන.
ඩිමෙන්ෂියා තත්ත්ව අතරේ "කළබලකාරයා" FTD කියන එකයි ක්ෂේත්‍රය තුල පොදු මතය. ඒකට හේතු කිහිපයක් තිබෙනවා. ඒ , අදාල තත්ත්වය තුල ඇතිවන චර්යා ලක්ෂණ තුල "ක්ෂණික කළබලකාරී" වන , ආවේගශීලී වන වගේම, හඳුනාගත නොහැකි හේතුවක් නිසා චර්යාව ක්ෂණිකව වෙනස්ම තත්ත්වයකට පත්වන රටාව නිසා. ඊට අමතරම, FTD තත්ත්වය හුඟක් වියපත් අය අතරට වඩා, තරමක් අඩු විය මට්ටමේ වැඩිහිටියන් තුල දකින්නට ලැබීමත් හේතුවක්. මේ තත්ත්වය පොතේ හැටියට නම් අවුරුදු 20 සිට, අසූව දක්වා ඕනම තැනකදි ඇතිවන්නට පුළුවන් වුනත්, අපේ අත්දැකීම තුල අවුරුදු 45 සිට, 65 වැනි වයස් සීමාව තුල මෙම තත්ත්වය හඳුනාගත් අවස්ථා වැඩි වශයෙන් දකින්නට ලැබෙනවා.
දැන් මොනවද හේතු මේ තරම් අඩු වයසෙදි FTD ඇති වන්නට?
බොහෝ ඩිමෙන්ෂියා වර්ග වලදි වගේම මෙතැනදීත් "ටක්කෙටම" හරියට හේතු කියන්න බැරි වුනත්, ජානමය සම්බන්ධතාවයක් පවතින බව හඳුනාගෙන තිබෙනවා . මෙම තත්ත්වයට පත්වූ වැඩි පිරිසකගේ මොළයේ Frontal සහ Temporal කළාප වල ස්නායු සෛල අසාමාන්‍ය ලෙස බිඳ දැමීමට tau සහ TDP-43 කියන "හොඳ ප්‍රෝටීන්" නරක විදියට ක්‍රියාත්මක වීම හේතුවන නිසා , ඒ සඳහා හේතුවන වෙනස්වන ජාන කිහිපයක් මේ වෙත්දි වෙන්කර හඳුනාගන්නට පුළුවන් වෙනවා. මෙම නිසාම, FTD තත්ත්වයේ අයෙක් සිටින පවුලේ සාමාජිකයන් වෙත Genetic counseling ලබා දීමත් දැන් සිදුවෙනවා. නමුත් වැඩි අවස්ථා ගණනකට හරියටම මේකයි හේතුව කියන්න තවමත් පර්යේෂණ සිදුවෙමින් පවතිනවා.
කොහොමද FTD හඳුනගන්නේ?
මේක හරිම සංකීර්ණ අවස්ථාවක් වෙන්නේ, FTD වල ලක්ෂණ, තවත් රෝග ගණනාවකදි මතුවන්නට පුළුවන් නිසා. විශේෂයෙන්ම මානසික රෝග වල ලක්ෂණ ගණනාවකුත් එක්ක පටලැවෙන්නට ඇති ඉඩ වැඩියි. නමුත්, අපේ අත්දැකීම අනුව, FTD තත්ත්වය සහිත අවස්ථා බොහොමයක් ගැන "මුල්ම සැකය " ඇති කරගෙන තිබුණේ, අදාල පුද්ගලයාගේ විවාහක පාර්ශවය, එහෙම නැත්නම් දරුවෙක්.
"ඉස්සර තාත්තට තරහ යන්නේම නෑ, ඒත් ළඟක ඉඳන් පොඩි දේටත් කළබල වෙලා ට්‍රැක්ටරෙන් පැනලා කෑගහන්න පටන් ගත්තා, ඒකයි හොයන්න හේතු වුනේ"
"අපි බැඳලා අවුරුදු තිහක්, මෙයා කවදාවත් මට කෑගහල බැනල නෑ, ඒත් ළඟ ඉඳන් මෙයා මට හරියට බනින්න පටන්ගත්තා, මුලින්ම මෙයා ගැන වෙන සැකයක් ආවත් , ඊට පස්සේ මාත් එක්ක විතරක් නොවෙයි, අල්ලපු ගෙදර අයත් එක්කත් රංඩු වෙන්න පටන් ගත්ත නිසා ඒ වෙනස බලන්නයි ටිකක් හොයල බැලුවේ"
මේ සමාන කතා අපට අහන්න ලැබුණූ අවස්ථා බෝමයි.
නමුත්, වෙනත් රෝග තත්ත්වයක් සඳහා කරන පරික්ෂණ වලදී, රෝග තත්ත්වය FTD බව තහවුරු කරගත් අවස්ථාත් සමානව දකින්නට ලැබෙනවා. කෙසේ වෙතත්, මෙම තත්ත්වයේ මූලික අවස්ථාව "පහසුවෙන්" , විනිශ්චයක් කිරීම, වෙනත් ඩිමෙන්ෂියා තත්ත්ව තරම් පහසු නැති බවනම් කියන්නට පුළුවන්.
මේ සංකීර්ණත්වය නිසාම , FTD හි උප වර්ග කිහිපයක් වෙන් කර ගන්නට පුළුවන්. උදාහරණයක් අපේ කතාවේ බ්‍රයන්ට තිබුණු FTD තත්ත්වය නම් කරන්නේ Behavioral variant frontotemporal dementia (bvFTD) කියලා. එතැනදි, අදාල පුද්ගලයාගේ අමතක වීමේ ලක්ෂණ යම් තරමක තිබුණත්, තීරණ ගැනීමේ හැකියාව, බුද්ධිමත් බව, සැසඳීමේ හැකියාව ඉතා හොඳ මට්ටමක තිබෙනවා. ඒ නිසා, මේ අය සමාජය තුල සාමාන්‍ය, බුද්ධිමත්, සක්‍රිය අය විදියට හඳුනාගන්නට පුළුවන්. හඳුනගන්නට පුළුවන් වෙනස් වීම සිදුවන්නේ අදාල පුද්ගලයන්ගේ පෞරුෂයේ , ආවේග පාලනය කරගැනීමේ හැකියාව , තීරණ වල සමබරතාවය වගේ තැන්වල. මේ ලක්ෂණ හඳුනාගන්න නම් කාළයක අධ්‍යනය කරමින් තිබීම අවශ්‍යම තත්ත්වයක් නිසාත් අභියෝගකාරී බව තවත් වැඩි කරනවා.
මෙම ලක්ෂණ වලට අමතරව, මෙතෙක් පැවති සමාජ සම්බන්ධතා, පවුල් සම්බන්ධතා වලින් ක්‍රමයෙන් ඉවත්වීම , ප්‍රතික්ෂේප කිරීම , අවස්ථාවට අදාලව සමාජය පිළිනොගන්නා ප්‍රතිචාර ලබා දීම , දවසේ කටයුතු හෝ යම් කටයුත්තක්, ප්‍රමුඛත්වය අනුව පිළිවෙලකට කිරීමට නොහැකි වීම සහ එවැනි අවස්ථාවක ආවේගකාරී වීම වැනි ලක්ෂණ පොදුවේ දකින්නට පුළුවන්. ඊට අමතර, එකම වචනය නැවත නැවත කියන තත්ත්වය වගේම, කළ කටයුත්තක් නැවත නැවත කිරීමට උත්සාහ කිරීම වගේ චර්යාත්මක වෙනස්වීම් දකින්නට පුළුවන් ලක්ෂණ විදියට.
FTD ගේ ඊළඟඋප වර්ගය සන්නිවේදනය සහ කථනයට සම්බන්ධයි. ඔබට මතක නම් ඊයේ දවසේ බෲස් විලිස්ගේ කතාවට අදාලව අප කළ සටහන තුල පැහැදිලි කළ, අෆේෂියා තත්ත්වය තමයි ඒ උප වර්ගය වෙන්නේ. නිවැරදිම නමින් කිව්වොත් Primary progressive aphasia එහෙම නැත්නම් කෙටියෙන් කියන PPA . මෙතැනදි වෙන්නේ අදාල පුද්ගලයාගේ වාචික සන්නිවේදනයේ බිඳ වැටීමක්. එතැනදි, එක් අවස්ථාවකදි වෙනත් අයෙක් කියන දේ පැහැදිලිව තේරුම් ගැනීමට නොහැකි වීම නිසා කතාබහ බිඳ වැටෙන්න පුළුවන් අතරේ, ඊට වඩා අපහසුකාරීයි, කියන්න ඕන දේ හිතේ තිබුණත් එය වාචිකව එළියට දාගන්න බැරි වන expressive aphasia තත්ත්වය. මේ ඔස්සේ තමන්ට "කියා ගන්නට ඇති දේ කියා ගන්නට බැරිවීම " නිසා, ආවේගශීලි වීම හෝ වේදනාකාරීවන චර්යාව හඳුනගන්නට පුළුවන් වේවි. මේ සන්නිවේදන බිඳ වැටීම තුල අවස්ථා කිහිපයක් වෙන්කර ගන්නට පුළුවන්.
එක් අවස්ථාවකදි සමහර වචන වල සිට, වචන වල අර්ථය මතකයට නොඒම සහ කතාබහට එකතු කරන්නට නොහැකිවීමත් (Semantic variant primary progressive aphasia-svPPA) , වචන ආවත්, සමාජය පිළිගන්නා ආකාරයට යම් රටාවකට, සාමාන්‍ය ව්‍යාකරණ අනුකූලව තවත් විදියකින් කිව්වොත් සාමාන්‍ය අයෙක් කතා කරන ආකාරයට වඩා වෙනස් වූ කතාබහක් ගෙනයන අවස්ථාවත්(Non-fluent variant primary progressive aphasia-fvPPA), අනෙක් අවස්ථාවෙදි, දිග කතාබහක යත්දි, තැනට ගැලපෙන වචනය කියන්නට බැරි වීම දකින්නට පුළුවන්. එයාට , අනෙක් අය කියන දේ ගැන අදහසක් තියෙනවා වගේම කියන්න ඕන දේත් දන්නවා, ඒත් කතාකරගෙන යත්දි හිර වෙනවා, නවතිනවා මොකද ගැලපෙන වචනය "හිර වෙන" නිසා. සාමාන්‍යයෙන් ඕනම අයෙක්ට ඉඳල හිටල මෙහෙම වුනත්, මෙම Logopenic PPA-LPA ත්ත්වයේදි එය හොඳින් හදුනාගන්නට පුළුවන් තරමට වැඩිපුර දකින්නට ලැබෙනවා.
මීට අමතරව, කථනය වගේම සමබරතාවය පවත්වා ගැනීමට නොහැකි වන, මුහුණේ හැඟීම් ප්‍රකාශ කිරීමේ හැකියාව නැතිවන , ඇස් වල පේෂි දුර්වල වීම නිසා පෙනීම වෙනස්වන වගේ විවිධ පේශිමය ගැටළු ගණනාවක් මතුවන පාකින්සන් සමඟ මිශ්‍රවූ FTD තත්ත්වයන් වගේම Amyotrophic Lateral Sclerosis සමඟ එන FTDත් (මතකද අර ටික කළකට ඉස්සර ආව, ice bucket challange එක, කට්ටිය අයිස් කැට තියෙන වතුර බාල්දි ඇගේ හලාගෙන මුදල් පරිත්‍යාග කළේ, ඒ මෙම ALS තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්) හඳුනාගන්නවා.
හරි, දැන් මේතරම් කතා තියෙන FTD සඳහා ප්‍රතිකාරයක් තියෙනවද?
මෙහෙමයි, තත්ත්වය "සුව කිරීම" සඳහා ප්‍රතිකාරයක් තවම හඳුනාගෙන නැහැ. මක්නිසාද මේ තුල සිදුවන මොළයේ වැදගත්ම කාර්යයන් කරන කළාප දෙකක සිදුවන සෛල මියයාම, නැවත පන ගන්වන්නට ක්‍රමයක් නැති තරම්. නමුත් ඒ පිළිබඳ විවිධ පර්යේෂණ සිදුවෙනවා. ඒ තුල,මියගිය සෛල වෙනුවෙන්, අළුත් සෛල වවන්න පුළුවන් කියන පර්යේෂණ සතුන් යොදා ගෙන අත්හදා බලමින් තිබෙනවා. කෙසේ වෙතත්, ඒ තුල තවමත් මිනිසා වෙත ප්‍රතිකාරයක් ලෙස සාර්ථක කරගත හැකි අවස්ථාවක් වෛද්‍ය ක්ෂේත්‍රය තුලට එක්වී නැහැ.
නමුත්, මෙම තත්ත්වය සමඟ මතුවන ලක්ෂණ, ගැටළු ගණනාවකට සාර්ථක ලෙස ප්‍රතිකාර කරන්නට, එම ගැටළු සීමා කරගන්නට උදව් කරන්නට ප්‍රතිකාර සහ චිකිත්සීය ක්‍රම තිබෙනවා. එය, ඖෂධීය ප්‍රතිකාර වල සිට, කථන චිකිත්සක සේවා ඔස්සේ වචන උච්ඡාරණය, වචන හඳුනාගැනීමට උදව් කිරීම වගේම, අනෙකුත් චිකිත්සීය ක්‍රම ඔස්සේ , වචන අමතකවන තත්ත්වය සීමා කිරීම, එවැනි අවස්ථාවක සිදුවන චර්යාත්මක අභියෝග සඳහා උපකාර කිරීම කරන්නට පුළුවන්.
දවසේ කටයුතු නිමා කරලා, සියළුම සේවාලාභීන් නිවෙස් වලට ගියා. අපි, දවස නිමාවේ දවසේ වාර්තාව පරිගණක ගත කරන්නට සූදානම.
ට්‍රීං ට්‍රී ....
"ආ..මයික්, අද මෙයා චන්ඩියෙක් වෙන්න ගියාළු නේ?" කටහඩින්ම ඒ බ්‍රයන්ගේ බිරිඳ බව හඳුනගන්න පුළුවන් වෙන්නේ, මේ අය අපත් එක්ක වසර ගණනාවක් එක්ව සිටින නිසාමයි.
"හ්ම් හ්ම්.. හැබැයි අද නම් තැනේ හැටියට ඇනේ ගැහැව්වා. වැඩි කතා ඕන නැති නිසා බ්‍රයන් ඒ වෙලාව ටිකක් මගහැරල හිටියා. වෙන ලොකු වෙනසක් වුනේ නම් නෑ, කෝකටත් මේ සතිය ටිකක් අවධානෙන් ඉන්න, ගැටළුවක් ආවොත් රිපෝර්ට් කරන්න. "
ඔන්න ඔහොමයි අපේ බ්‍රහස්පතින්දා දවස ගෙවුනේ.
No comments:
Post a Comment