Sunday, September 28, 2025

55. වැරදි ඇත්ත සහ සැප බොරුව

ඔබේ ගැටළුව .

"මම ඩිමෙන්ෂියා රෝගියෙකු බලා ගන්නවා ඇය ඇතැමිවිට මා සහ අනෙකුත් පිරිමි රැකබලා ගන්නන් ඇයගේ සැමියාව විදියට සලකනවා/එක් මතකයක් පමනි

1 .මෙහිදී ඇයට සත්‍ය පහදා දිම සුදුසුද ?නැතිනම් ඇයට එසේ සිතා ගැනිමට හැර කටයුතු කිරීම සුදුසු ද?

2.අනෙකුත් අතිත මතක සමග කටයුතු කිරීමේ සුදුසුම විදිහ කුමක්ද ?

3.පුහුවිමි වලදී ඇයගේ ලෝකයේ අපත් ජිවත්විය යුතු බව පැවමසුවත් තවදුරටත් පැහැදිලි කරගත යුතුයි ."


මගේ පිළිතුර

මුලින්ම, ඩිමෙන්ෂියා සාත්තුව තුලදි මුහුණදෙන මේවගේ ප්‍රායෝගික ගැටළුවක් ගෙන ඒම පිළිබඳව ස්තුතියි. මේ ගැටළු වලට විසඳුම් සෙවීම සහ සමාන අත්දැකීම් බෙදා ගැනීම තුල තමයි වඩාත්ම සාර්ථක ඩිමෙන්ෂියා සාත්තුවක් ලබා දෙන්නට පුළුවන් වන්නේ.

මේ ප්‍රශ්නයට කෙළින්ම අදාල නොවුනත්, මම කැමතියි මේ සිදුවීම වෙන්නට හේතුව සහ සිදුවීමට මුහුණදෙන අයෙක් කටයුතු කළ යුතු චිකිත්සීය සහ වෘත්තීය ක්‍රියාත්මක වීම් මොනවාදැයි කතා කරන්නටත්. මේ අදහස් දක්වන්නේ මගේ වෘත්තීය දැනුම සහ ලැබූ අත්දැකීම් පමණක් පදනම් කරගෙන නිසා, මෙය එකම පිළිතුර ලෙස බාර නොගෙන, අනෙක් අයගේ අත්දැකීම්, ඔබට සහ ඔබේ සේවාලාභියාට වඩාත් සාර්ථක වූ ක්‍රම ඔස්සේ දැනුවත් වෙන්න, වඩාත් සාර්ථක සත්කාරයක් ලබා දෙන්න.

දැන් ප්‍රශ්නෙට බහිමු.

මුලින්ම, මගේ අත්දැකීමකුත්.

ඔබ සඳහන් කර තිබෙන අත්දැකීම, ඩිමෙන්ෂියාව සමඟ ජීවත්වන අයට සාත්තු කරන බොහෝ අය, ඒ කිව්වේ පවුලේ අය වගේම, වෘත්තිකයන් පවා මුහුණදෙන අවස්ථාවක්. ඒ වගේම සමහර අවස්ථා වලදි අභියෝගයක්! මේ ගැන අපූරු අත්දැකීම් මටත් තිබෙනවා, එකක් විතරක් කිව්වොත් කෝවිඩ් කාළේ අපේ සියළු වැඩසටහන් දුරස්ථ ක්‍රමයට (Virtual) පත්වෙනවා. එතැනදී, ඩිමෙන්ෂියාව සමඟ ජීවත්වන බොහෝ සේවාලාභීන් (වගේම පවුල් වල අයත්) ලොකු දුෂ්කරතාවයකට මුහුණදෙනවා. ඒ, මෙතෙක් මුහුණට , මුහුණලා ලංව සිට ලබා දුන් චිකිත්සීය සේවාවන් , පරිගණක තිරයක් ඔස්සේ ලබා දෙන්නේ කෙසේදැයි යන්න. මොකද එතැනදී මතුවන තාක්ෂණය වගේම, "මිනිස් දුරස්" බව (Relational distance හෝ Screen-mediated detachment) නිසා සේවාදායකයින් අදාල චිකිත්සීය ක්‍රියාවලිය තුල රඳවා තබා ගන්නට අළුත් උත්සාහයන්, වෙනත්ම නිර්මාණාත්මක ක්‍රම අත්හදා බලන්නට වුනා. මේ සියල්ල, තුල මගේ එක් සේවාලාභිණියක් , සෞඛ්‍යය ගැටළුවක් නිසා ජීවිතයෙන් සමුගන්නට සති දෙකක් වනතුරු, මේ චිකිත්සීය ක්‍රියාවලිය තුල රඳවා ගන්නට හැකි වුනේ, මා ඇගේ ලොකු පුතා (ඔහු වෙනත් රටක හමුදා සේවයේ යෙදී සිටියා) ලෙස වූ (වරදවා) හඳුනාගැනීම නිසා. එතැනදි, අප ඇයගේ පිළිගැනීම හෝ විශ්වාසයට අවස්ථාව දීල, ඒ ඔස්සේ අවශ්‍යකරන චිකිත්සීය බැඳීම පවත්වා ගෙන සේවය ලබා දුන්නා. මා ඇයට "පුතා" වුනත් , වැඩි පුර "පුතා" වෙන්නට මා උත්සාහ කළේ නැහැ. නමුත්, ඇය තම "පුතා" වෙත තබා තිබූ විශ්වාසය නිසා, පුතා කියන දේ සමඟ එකතු වෙමින් කතාබහ කළා. ඒ තුල අප, සැලසුම් කළ චිකිත්සීය සේවය ලබා දුන්නා. (මට මතකයි මේ හමුවීම් වලින් පස්සේ, ඇගේ සැමියා මට දුරකථන ඇමතුමක් දෙනවා. "ඔයා දන්නවද, අද මාග්‍රට් ඇඳට ගියේ හරි සතුටින්, පුතාගේ වරුණෙම තමා " ඒ වචන හිතට ගෙනාවේ හිත් තෙත් කරන සතුටක්. )

දැන් ටිකක් ගැඹූරට යමු.

ඔබ සඳහන් කරන මේ "වරදවා හදුනාගැනීම" ඩිමෙන්ෂියා සත්කාර ක්ෂේත්‍රය තුලදී Delusional Misidentification Syndromes (DMS) හදුන්වනවා. ඒ පුද්ගලයා , යම් අයෙක් (හෝ යම් තැනක්) එම පුද්ගලයාගේ අත්දැකීම් හෝ පිළිගැනීම් මත, දැඩි විශ්වාසයක, පිළිගැනීමක සිටීම තමයි මෙතැනදි සිදුවන්නේ. එය, බිරිඳ, තමන්ගේ අම්මා ලෙස හදුනාගැනීම හෝ, සැමියා තමන්ගේ මල්ලී ලෙස නම් කිරීම වගේ විවිධ අවස්ථා තිබෙන්නට පුළුවන්. සිදුවීම කෙසේ වුනත්, ඒ "හදුනාගැනීම පවතින මොහොතේ" තිබෙන , අප වටහාගත යුතුම දේ තමයි ඩිමෙන්ෂියාව සමඟ ජීවත්වන එම පුද්ගලයාගේ "විශ්වාසය හෝ පිළිගැනීම" තමයි ඒ මොහොතට අදාල ඇත්ත. මොකද, ඒ පුද්ගලයාට, ඒ මොහොතක අදාල ඇත්ත "අපේ ඇත්ත" සමඟ ගලපන්න ගියොත් ඒ පුද්ගලයා දැඩි චිත්තවේගීය පීඩාවකට, සමහර විට කායික විඩාවකට, වගේම එතැනින් එහාට ගිහින්, සේවා සපයන්නා සහ සේවාලබන්නා අතර පවත්වා ගත යුතු බැඳීම බිඳ වැටීමටත් හේතු වෙන්නට පුළුවන්.

මෙහෙම වෙන්න හේතු ගණනාවක් තිබෙනවා. ඒ කිව්වේ මොළයේ සෛල වන සිදුවන වෙනස්වීම, බිඳ වැටීම් වගේම එම පුද්ගලයාගේ රුධිරය, හෝමොන වල ක්‍රියාකාරීත්වය වගේ ජෛව-රසායනික වෙනස්වීම් නිසාත් මෙම අවස්ථා ඇතිවෙන්න පුළුවන් කියන එකයි දැනට ඇති විද්‍යාත්මක හදුනාගැනීම. ඒ තුල තිබෙන "තත්ත්ව" ගණනාවක් අතරින් අපට පොදුවේ දකින්නට ලැබෙන තත්වයන් දෙකක් තමයි Fregoli Syndrome සහ Capgras Syndrome (මෙයින් Capgras Syndrome ගැන දිග ලිපියක් මීට පෙර එකතු කළා වගේ මතකයි) Fregoli Syndrome වලදි සිදුවන්නේ, ඇත්තටම එම පුද්ගලයා නොදන්නා අයෙක් "තමන්ගේ කෙනෙක්" වගේම දැනීම, පෙනීම සහ දැඩි විශ්වාසයක සිටීම. ඔබ, ඩිමෙන්ෂියාව සමඟ ජීවත්වන ඇයගේ සැමියා ලෙස , ඇය දරන "දැඩි විශ්වාසය" වැටෙන්නේත් මේ අවස්ථාවට වගේ.

මෙම අවස්ථාවන් ඩිමෙන්ෂියාවේ සමහර විශේෂයන් තුලදි (උදාහරණයක් LBD තත්ත්වය වගේ) බහුලව දකින්නට පුළුවන් වෙනවා. ඒ, මෙම එම පුද්ගලයා පිළිගන්නා "වැරදි වටහා ගැනීමට" ප්‍රධාන හේතුව වන මුහුණේ ඉරියව් හදුනාගැනීම, හැඩරුව, හැසිරීම ආදිය සංජානනය වන ආකාරය සහ ඒ හඳුනාගැනීම පුද්ගලයාට තේරුම් ගත හැකි වන ලෙස සකසා දීම කරන මොළයේ දකුණූ අර්ධගෝලය තුල සිදුවන වෙනස්විම්.ඒ ප්‍රදේශය තුල තිබෙන මුහුණුවර , ඉරියව්, හැසිරීම හදුනාගැනීම සහ ඒවා සමඟ ගැලපෙන චිත්තවේගීය තත්ත්වයන් ගලපා ගැනීමට උදව්වන මොළයේ පටක වල ක්‍රියාකාරීත්වය බිඳවැටීම හෝ වෙනස්වීම තමයි ඒතුල සිදුවන්නේ.

දැන් මේ ජීව විද්‍යාත්මක වෙනස්වීම තේරුම් ගත්තා නම් අපට වටහා ගන්නට පුළුවන්, මෙවන් අවස්ථාවකදි අප පිළිගන්නා "ඇත්ත" ‍තේරුම් කරන්නට දීම තුල විය හැකි ගැටළුව. හේතුව, මෙම පුද්ගලයාට මුහුණුවර, චර්යාවන්, හැසිරීම් දැක ගන්නට, හදුනාගන්නට පුළුවන් වුනත්, ඒවා සමඟ ඊට ගැලපෙන ඉමෝෂන්ස් නිවැරදිව ගලපා ගන්නට හැකියාවක් නැහැ. අප කොයිතරම් කිව්වත්, මේ පුද්ගලයාගේ මොළයේ අදාල ගැලපීම කරන කොටස අක්‍රියයි. එතැනදී අප වැඩි වැඩියෙන් "ඇත්ත" කියන්න ගියාම වෙන්නේ , ඩිමෙන්ෂියාව සමඟ ජීවත්වන මේ පුද්ගලයා දැඩි මානසික පීඩාවකට සහ චිත්තවේගීය වේදනාවකට පත්වීම. ඒක හරියට හිරිවැටිලා තියෙන අතකින් පෑනක් අල්ලනව වගේ. පෑන තියෙන දැක්කත්, අල්ලනව කියල තේරුණත්, ඇත්තටම පෑන අතැඟිලි අතරේ රැඳුනාම එන "නියම හැඟීම" විඳ ගන්නට බැහැ. ඒ නිසාමයි මෙවන් අවස්ථාවකදි අප පිළිගන්නා හෝ සමාජීය ලෙස පිළිගන්නා ලෙස "නිවැරදි කිරීම්" වලට යනවාට වඩා validation techniques ප්‍රායෝගික වන්නේ. ඒතුල, එම පුද්ගලයාගේ චිත්තවේගීය තත්ත්වය හදුනාගන්නා ඔබ, ඊට බාධාවක් නොවන ලෙස එම පිළිගැනීම තුල රැඳී සිටිමින්, වඩා ගැඹුරට නොයමින්, පවත්වා ගත යුතු චිකිත්සීය-සත්කාර බැඳීම තුල ලබා දිය යුතු උපරිම සාත්තුව, උපකාරය ලබා දීමයි කළ යුතු වන්නේ. (හුඟක් කාළෙකට ඉස්සර නම් මේ වගේ තත්ත්වයකදි ඇත්ත කියා පැහැදිලි කර එම අවස්ථාවට මුහුණදෙන්නට කාළය දිය යුතුයි කියන Reality orientation ක්‍රමය යොදාගත යුතු බව පිළිගත්තා, සමහර විට යාවත්කාළීන නොවූ පරණ පොතෙන් උගත් අය තවමත් මේ ක්‍රමය උත්සාහ කරනවා හෝ කරන්නට බලකරනවා වෙන්නත් පුළුවන්, නමුත් එය අද දවසේ චිකිත්සීය හදුනාගැනීම් තුල "හොඳම උපක්‍රමය" ලෙස හදුනාගන්නේ නැහැ)

උපකරණ පෙට්ටිය

මේ වගේ අවස්ථාවකදි , ඩිමෙන්ෂියාව සමඟ ජීවත්වන එම පුද්ගලයාගේ යහපත වෙනුවෙන් සහ එයට උපකාර වීමට අවශ්‍ය බැඳීම පවත්වා ගැනීම වෙනුවෙන් අපට භාවිත කළ හැකි උපකරණ කට්ටලයක් තිබනවා. කෑලි පහක මේ උපකරණ කට්ටලය මතක තියා ගන්න විවිධ ක්‍රම තිබුණත්, මගේ කැමතිම ක්‍රමය මේ "Don't Freak, Nana's Really Confused" (මතක තබා ගැනීම පිණිස විතරයි, මේ ඔස්සේ කෙනෙකුගේ සෞඛ්‍යය තත්ත්වයක් විනෝදයට ලක් කිරීමක් අපේක්ෂා කරන්නේ නැහැ.)

Don't Freak, Nana's Really Confused කියන්නේ, පහත දැක්වෙන උපක්‍රම පහ. ඒ අතරින් අවස්ථාවට වඩාත් ගැලපෙන ක්‍රමය හෝ ක්‍රම භාවිත කළොත් මෙවන් අවස්ථාවකට චිකිත්සීය ලෙස සාර්ථකව මුහුණදෙන්නටත්, සේවාලාභියාවට උපරිම සේවයක් ලබා දෙන්නටත් අපට පුළුවන් වේවි. (මේ ගැන පෙර කතා කර ඇති නිසා නැවත දිග හෑල්ලක් ලියන්නේ නැහැ)

1) Distraction පුද්ගලයා/පරිසරය/හිතුවිලි හෝ අවස්ථානුකූලව ගැලපෙන එකක් හෝ කිහිපයක් වෙනතකට යොමු කිරීම

2) Fibs එහෙම නැත්නම් පොඩි බොරුවක්( White lie) (මේ චිකිත්සීය බොරු කීම ගැනත් වෙනම ලිපියක් මේ ගෲප් එක තුල ඇති)

3) No response,වාචික ප්‍රතිචාර දීම මග හැර, සවන්දීම, හෝ නිර්වාචික ප්‍රතිචාරයක් දැක්වීම.

4) Reality-orientation,පුද්ගලයාගේ වටහා ගැනීමේ හැකියාව මත, ඇත්ත තත්ත්වය කෙටියෙන් හඳුන්වාදීම

5) Combination ( මේ කිහිපයක එකතුව)

ලිපිය දිග වුනා ඒ වෙනුවෙන් සමාවෙන්න, ඒත් මේ වගේ ප්‍රශ්නෙකදි හේතු-ඵල සහිතවම පැහැදිලි කරන්න තිබෙන ආසාව නිසාම ලියවුනා මිසක, ලිව්වා නොවේ.

No comments: