("නොබැඳුනු මනසක විත්ති" විශේෂාංගය , තුලින් මම උත්සාහ කරනවා මගේ වෘත්තීය පරිසරය තුල දිනපතා මා අත්විඳින, සමහර විට ඔබ බොහෝ දෙනෙක් නොදකින, නොවිඳින වෙනස් සිදුවීම් මාලාවක් ඔබත් එක්ක බෙදා ගන්නට. ඒ තුලින් ඩිමෙන්ෂියාව සහ ආශ්‍රිත තත්ත්වය සමඟ ජීවන මගේ සේවාලාභීන්ගේ ඇත්ත අත්දැකීම්, ඔබේ කරමින් ,මෙම තත්ත්වය ගැන යම් දැනුමක්, තොරතුරක් ලබා දෙන්නයි උත්සාහය.)
"ෆිල් මහත්මයා, මේ තමයි අපේ Release of liability ලියවිල්ල, මේ තුල තියෙන්නේ ..." හැමදාම වගේ ලියකිවිලි අත්සන් ගැනීමට පෙර කරන දිගු පැහැදිලි කිරීම කරන්නට අදත් සූදානම් වුනා.
"ඕන නෑ මයික්, මං දන්නවා ඕකේ තියෙන්නේ මොනවද කියලා, අවුරුදු තිස් හතක් මම කළේ ඔබ ලියකියවිලි හදන එක තමා, මේ පළාතේ ව්‍යාපාර වලින් , සංවිධාන වලින් සියයට හැටකට වඩා නීතිමය ලියිකියවිලි හැදුනේ මගේ අතින්, එහෙම නැත්නම් මගේ ආයතනයෙන්, ඒ කියන්නේ මම ඒවා නැවත විමසීම් කළ ඒවා.මං දන්නවා ඕකේ කියන්නේ ...." ඔහු, මගේ අතේ තිබෙන ලියවිල්ලේ ඇති කරුණූ එකක් නෑර හැම දෙයක් බලාගෙන කියවනවා වගේ කිව්වා.
"දෙන්න, මං අත්සන් කරන්නම්, මම දන්නවා අපේ හෙල්ත් සර්විස් එක ගැන" ඔහුට පාලනය කරගත නොහැකි ලෙස ගැස්සීමකට (tremors) ලක්වන අතින් හිමින් සීරුවේ ඔහුගේ අත්සන තැබුවා.
"ඔබේ අත්සනේ හරිම අපූරු හැඩයක්නේ තිබෙන්නේ" අත්සනේ තිබුණු "වෙනස්ම ආකෘතිය" නිසා මට කියවුනා.
"ඔව් පුතා, මං හරි ආසයි හැමදේකම ලස්සන , කළාත්මක හැඩයක් දකින්න. මගේ අත්සන පවා හදාගත්තේ ඒ විදියට. දැන් මේ ගැස්මත් එක්ක ඒක හරියටම කරගන්න බෑ, ඉන්න මං පෙන්වන්න මගේ අත්අකුරු සහ අත්සන තිබෙන සහතික පොතක්. අත්සන් තැබූ නීතිමය ලියවිල්ල මගේ අත මත තැබූ ෆිල් මහත්තයා, අමාරුවෙන් නැගිට්ටේ එයා කැමති යමක් මට පෙන්වන්න. විශේෂයෙන්ම මේ හමුවීම් වලට සේවාලාභීන්ගේ නිවෙස් වලට ගියාම, අප සැලසුම් කරන ආකෘතියට වඩා ටිකක් එහා මෙහා යන අවස්ථා තිබෙන නිසා , ඔහුගේ කැමැත්ත වෙනුවෙන් අවස්ථාව දුන්නේ, අත්සන් තැබූ අනෙක් ලියකියවිලි නැවත මගේ ගොනුව තුල පෙළගස්වා ගන්න ගමන්.
අමාරුවෙන් නැගිට ගත්ත ඔහු, පා අද්දවමින් (shuffling gait) අමාරුවෙන් ගියා, වටිනාකමක් පෙනෙන ස්වභාවික දැවයෙන් නිර්මාණය කළ ඔහුගේ පොත් රාක්කය හෝ ලිපි ගොනු රාක්කය වෙත. ලිපි ගොනු කීපයක් අතට ගත් ෆිල් මහත්තයා නැවතත් මා වෙතට එන්නේ පෙර සේම පා අද්දවමින්, තරමක අවදානම් සහිත ගමන් රටාවකින්.
"මේ...මම අන්තිමට පළ කළ , අන්තිම කැමැති පත්‍ර පිළීබඳ සාමාන්‍ය ප්‍රජාව දැනුවත් කරන පොතේ මැනුස්ක්‍රිප්ට් එක. අතින්මයි ලිව්වේ, මොකද ඒක මගේ කළාමය හැකියාවක් කියල මා විශ්වාස කළේ" ෆිල් මහත්තයා "අත් අකුරු යැයි විශ්වාස කළ නොහැකි තරමේ හැඩකාර අකුරු" වලින් කළ පොතක් මා අත තැබුවා.
"මේ ඔබේ අකුරු... මං හිතුවේ පරිගණක උදව්වෙන් කළ සටහන් කියලා." මට කියවුනා.
"නෑ, මගේ අකුරු. තාම මං ලියන්නේ උල්පත් පෑනෙන්, ඒ උල්පත් පෑනෙන් අකුරු හැඩ කරලා ලියත්දි , මගේ හිත හෑල්ලු වුනා. ඒත්..."
"ඒත්..."
"හ්ම්, පහුගිය සරත් සෘතුවේ මට ඇතිවුනු stroke එකෙන් පස්සේ මගේ ඒ හැම හැකියාවක්ම නැතිව ගියා මයික්"
ඔහුගේ සෞඛ්‍යය තොරතුරු අනුව, පහුගිය ගිම්හානයේ ඔහුගේ මොළයේ ඇතිවුනු රැධිර ගමනාගමනයේ ප්‍රබල අවහිර වීමක් නිසා (Stroke) සෞඛ්‍යය ගැටළු කිහිපයක් ආරම්භ වී තිබුණා. ඒ අතර, Vascular Parkinsonism සහ MCI (Mild cognitive impairment) ප්‍රධානව සඳහන්ව තිබුණූ අතර, මේ වෙත්දි එය ඩිමෙන්ෂියා (Vascular dementia (VaD)) තත්ත්වයට හැරෙන බවට සැක කර තිබුණා.
"එතෙක් මම හරිම සෞඛ්‍යයානුකූලව හිටියේ, හැමදාම උදේ ව්‍යායාම කළා, හැබැයි දවසෙම වගේ වාඩි වෙලා තමයි ඉන්න වුනේ, අනෙක කෑම බීම අතින් නම් විශේෂ පරිස්සමක් වෙන්න වුනේ නෑ, වුනේ නෑ නොවෙයි, මේ ක්ෂේත්‍රයේදී හරිම අමාරුයි ඒ පරිස්සම නම් දන්නවනේ..." වරින්වර මතුවන , නවතාගත නොහැකි වියලි කැස්සක් අතරේ ඔහු උනන්දුවෙන් කියාගෙන ගියා.
සැලසුම් කළ කාළයට වඩා පැයක විතර අමතර කාළයක් ගත කරලා ෆිල් මහත්තයට අදාල පැහැදිලි කිරීම් කරලා, අවශ්‍ය ලියකියවිලි අත්සන් කරවගෙන ඔහුගේ නිවසෙන් එළියට එන්නට ආවේ , ඉක්මණින් මගේ සේවායතනයට පැමිණීම අවශ්‍ය වූ නිසා.
ෆිල් මහත්තයාට විවේකයක් අවශ්‍ය නිසා ඔහු සාලයේ විවේක ගන්නා අතරේ නිවසෙන් එළියට එන අදහසින් දොර අසලට ආවත් , එතැන මා අපේක්ෂාවෙන් හිටියේ ෆිල් මහත්තයගේ නෝනා.
"අනේ අපට පුළුවන් නම් මේ උදව්ව කරල දෙන්න, අඩුම තරමේ එක දවසක්වත් මහත්තයා ගෙයින් එළියට ගිහින්, යාළුවො ටිකක් මුණගැහිලි සතුටුවෙන්න ලැබෙනව නම් කොයිතරම් දෙයක්ද? දැන් මේ අපහසුතා නිසා , එයා හරිම අකමැතියි ගෙයින් එළියට යන්න, යාළුවො මුණගැහෙන්න, ඒත් මට ඇහුණ එයා , ඔයාලගේ වැඩසටහනට නම් එන්න කැමැත්තක් තියෙනවා වගේ."
"ඔව්, ෆිල් නෝනා, ඔහු එකඟ වුනා අපේ වැඩසටහනට එකතු වෙලා උත්සාහ කර බලන්නට, එයම ජයග්‍රහණයක් නොවැ" මගේ සීමාව තුල පැහැදිලි කිරීම කළා.
"අනේ ලොකු දෙයක්, ඊට පස්සේ පුළුවන් නම් අපට උදව් කරන්න මෙයාට ගැලපෙන ෆැසිලිටි එකක් හොයා ගන්නත්, මොකද මට බෑ මෙයාට මේ විදියට සාත්තු කරන්න, මාත් වයසයි නේ, අනෙක අපට තියෙන ප්‍රශ්න එක්ක මට හදිසියට දුවල පැනල ඒවට යෙදවෙන්න බෑ මෙයත් එක්ක. "
"ස්තුතියි ඔබේ අදහසුත් එකතු කළාට, බලමු අපට මොනවද කරන්න පුළුවන් කියලා. " අවස්ථාවේ හැටියට දෙන්න පුළුවන් උත්තරය දුන්න මා නිවසින් එළියට ආව...
"බලන්න, මොන වයසක්ද එයාට, අපි කොයිතරම් දේවල් මේ අවුරුද්දේ කරන්න හිතං හිටියාද ? මේ එක ස්ට්‍රෝක් එකක් අපේ ජීවිත සියල්ල වෙනස් කළ හැටි..." ෆිල් නෝනා මට සමුදෙන ගමන් කී වචන කිහිපය මගේ හිත අතුලේ ගැඹුරටම දැනුනා.
------------
ඔහුට අදාලව දැනට තිබෙන රෝග විනිශ්චයන් වුනේ,
Stroke | CVA | Cerebrovascular Accident
Vascular Parkinsonism
MCI (Mild cognitive impairment)
Hyperlipidemia
සහ තවත් සුළු තත්ත්වයන් කිහිපයක්
මාස කිහිපයක් තුල ඔහු තුල සිදුවූ වෙනස්කම් වුනේ,
ඇවිදීම, ලිවීම, කථනය, Fine motor skills වල මතුවූ දැඩි වෙනස්කම්, සහ අපහසුතා
සමතුලිතතාවය බිඳවැටීම් ඇතිවීම.
අවශ්‍ය අවස්ථාවේ ගැලපෙන වචන මතකයට නොඒම සහ කතාබහ වෙනදා මෙන් කරග්නනට නොහැකි වීම.
ගණනය කිරීම්, තීරණ ගැනීම් කටයුතු වලදී, දැඩිව ආතතියට පත්වීම.
මතකයේ ගැටළු වැඩිවන රටාව
සහ තවත් අපහසුතා කිහිපයක්.
ඔහු අපේ වැඩසටහන් තුල අවශ්‍ය චිකිත්සීය සේවාවන් ලබා ගැනීම ආරම්භ කළා. පළමු ක්‍රියාවලිය තුල වන කණ්ඩායම් චිකිත්සාවන් තුල කැමැත්තෙන් සම්බන්ධවූ බව දැකගන්නට පුළුවන් වුනා. ඒ තුල ඔහු සතුටට පත්වූ බව සහ නැවත එන්නට දැඩි කැමැත්තක් සහිතව දවස නිමාවේ අපෙන් සමුගත් බව නොකියාම බැරි වෙනවා.
එහෙම නම් #නොබැඳුනු_මනසක_විත්ති කතාව අවසානයි. මගේ සේවාලාභියාගේ නම , බිරිඳගේ නම සහ වෘත්තීයට අදාලව ඔහු හදුනාගත හැකි තොරතුරු වෙනස් කළේ, ඔහුගේ තොරතුරු වල පෞද්ගලිකත්වය රැකීමට මට ඇති වෘත්තීය වගකීම නිසාවෙන්. නමුත් සිදුවීම, සහ රෝග විනිශ්චයන් සහ ලක්ෂණ එසේමයි.
මෙම රෝග විනිශ්චයන් සහ ලක්ෂණ හඳුන්වාදීම තුල , මෙය කියවන ඔබට "තනිව රෝග විනිශ්චය කිරීමට" උනන්දු නොකරන අතර, එම තොරතුරු දැනුවත් වීමට පමණක් බව නිමාවට පෙර මතක් කරනවා.
No comments:
Post a Comment