Sunday, September 28, 2025

10. Dementia 101 - ඇල්සයිමර් ඩිමෙන්ෂියාව AD

මේ තමයි ඩිමෙන්ෂීයා අතර වැඩියෙන්ම හමුවන, එක්තරා විදියක "ඩිමෙන්ෂීයා" කිව්ව ගමන් ඒ තත්ත්වයන් නියෝජනය කරන පොදු සාධකය වගේ තත්ත්වය. රට, සහ අනුව යම් වෙනස්කම් තිබුණත්, සියළුම ඩිමෙන්ෂියා වර්ග අතරින් 60-80%ක් විතර දකින්න ලැබෙන්නේ මෙම තත්ත්වය. නමුත් සමහර වෙලාවට මෙය , තවත් ඩිමෙන්ෂියා වර්ගයක් සමඟ එකතු වෙලා මිශ්‍ර ඩිමෙන්ෂියාවක් ලෙස මතුවන අවස්ථාත් බහුලයි.

ඇල්සයිමර් තත්ත්වය බහුලව දකින්න ලැබෙන්නේ තරමක් වියපත්, ඒ කියන්නේ වයස අවුරුදු 65ට වැඩි අයට කියල පොදුවේ කියන්න පුළුවන්, සහ එතැනින් එහාට වයස 70, 80 වගේ වෙත්දි ඇල්සයිමර් හඳුනාගන්නා ප්‍රමාණය වැඩි වන බව හඳුනාගන්නත් පුළුවන්.

මේ තත්ත්වය සමඟ ජීවත්වන පුද්ගලයන්, රෝග විනිශ්චය සදහා යොමු වෙන්නේ බොහෝ වෙලාවට ඒ අයගේ මූඩ් එක වෙනස් වීම , පවුලේ කෙනෙක් හඳුනාගැනීමත් සමඟ. වෙනද බොහොම ප්‍රියමනාපව හිටි අම්මා, එහෙම නැත්නම් තාත්ත "දැන් දැන් ඔහේ බලාගත්තු අත බලාගෙනෙ ඉන්නවා, වෙනදට වඩා තරහ යනවා " කියන වාක්‍යය අපට හුඟක් අහන්න ලැබෙනවා. හැම තිස්සේම කනස්සලෙන් නිසා ඒ ගැන කතා කරන්න ගියාම, වෛද්‍යවරයා "මුල්ම සැකය" ඇති කර පරික්ෂණ වලට යොමු කරනවා.

ඩිමෙන්ෂීයාවේ පොදු ලක්ෂණ වන අමතක වීම (විශේෂයෙන්ම කෙටි කාළීන මතකය අඩු වීම), තීරණ ගැනීමේ හැකියාව දුර්වල වීම, බහුලව මේ අය අතරේ දකින්න පුළුවන්. වෙනද හැන්ද ගෑරුප්පුව අල්ලල , බොහොම වැදගත් විදියටර රාත්‍රී ආහාරය ගන්න තාත්ත, දැන් දැන්, හැන්ද , ගෑරුප්පුව අල්ලන්න දන්නේ නෑ කියන කතාව අහන්න ලැබෙනවා බහුලව. ඒ වගේම කතා කරන්න ගියාම , "මේ අරක, මේක ...අර ... අර ... අර මොකක්ද උස ... දිග එක ..." වගේ "පිරවුම් වචන දමමින්, කතාව ගෙනියන්න උත්සාහ කරනවා. හේතුව, තැනට අවශ්‍ය "නිවැරදිම වචනය" අමතක වීම නිසා, මේ නිසාම සමහරු කතා කරන එක, සමාජයට එන එක අඩු වෙනවා වගේම, තවත් සමහරුන්ට වෙනදට වඩා තරහ යන්නත් හේතු වෙනවා. මොකද, හිතේ තියෙන දේ එළියට දාගන්න අපහසු නිසා. තමන්ට , තමන්ගේ හැඟීම නිවැරදිව එළියට දාගන්න බැරි වීම ගැන වැටහෙන , මෙම තත්ත්වයේ මුල් අවස්ථාවෙදි, ඒ නොහැකියාව ගැන ඇතිවන බිය නිසාම, තමන්ගේ වඩාත්ම විශ්වාසදායක කෙනා ආසන්නයේම නිතර ගැසෙන්න මෙම තත්ත්වය සමඟ ජීවත්වන අය උත්සාහ කරනවා, එකම දේ නැවත නැවත අහමින්, හිතට විශ්වාසයක් තියා ගන්නට උත්සාහ කරනවා. "මට බේරිල්ලක් නෑනේ, අඩුම තරමේ මගේ පුද්ගලික කටයුත්තකටවත් යන්න බෑ, වල්ගේ ව‍ගේ පස්සෙන්ම මෙයා" කියත්දි, ලැජ්ජාව සහ දුක මුුසුවුනු මුහුණින් ඉවත බලා සිටි බිරින්දෑවරු හමුවෙලා තිබෙනවා.

තත්ත්වේ ටිකක් වර්ධණය වුනාම, දවසේ වැඩ ටික කරගන්නවත්, ඒ කියන්නේ උදේට නැගිටල, ඇඳුම මාරු කරගන්න එක, දත් මදින , කෑම කන එක, ශාරීරික පවිත්‍රතාවය පවත්වා ගැනීම වගේ සාමාන්‍ය වැඩ කටයුතුත් කරගන්න අපහසු වෙනවා.

අපේ සායනයට ඩිමෙන්ෂියාව සමඟ ජීවත්වන අපේ සේවාලාභියෙක් , තම සැමියා සමඟින් පැමිණෙමින් තිබුණා. ඇය, තම සැමියා හඳුන්වා දෙන්නේ, "මේ මගේ මල්ලී , එයා තමයි ඩ්‍රයිව් කරන්නේ" ලෙසින්. ඒ සැමියා , තම ඇදේ නිදා ගත්බව විස්තර කරන්නේ "ඊයේ රෑ වෙන කවුද මිනිහෙක් මගේ ඇදේ හිටියනේ, හැබැයි කිසි කරදරයක් කළේ නෑ, මං මහ රෑම පොලිසියට කතා කරලා එළියට දැම්ම එයාව" ඇස් ලොකු කරගෙන, ඊයේ රෑ සිදුවුනා යැයි දැනෙන සිදුවීම ඇයි විස්තර කරනවා හැමදාමත්.

ඇල්සයිමර් ඩිමෙන්ෂියා තත්ත්වය ඇතිවීමේ අවදානම වැඩි වීම සඳහා ජානමය යම් සම්බන්ධතාවයක් තිබෙන බව දැන‍ටමත් හොයාගෙන තිබෙනවා. ඒ වගේම, එම සොයා ගැනීම තහවුරු කරමින්, එකම පවුල‍ේ සහෝදරයන් දෙදෙනෙක්, එක්තරා අවස්ථාවක අපේ සේවාව ලබා ගන්නවා "ඇල්සයිමර් ඩිමෙන්ෂීයාව සමඟ ජීවත්වන්නන් ලෙස". මීට අමතරව ,සමාන තත්ත්වය සමඟ ජීවත්වන පිය පුතු අවස්ථාත් හඳුනගන්නට ලැබී තිබෙනවා. ඒ පවුල් සම්බන්ධය සඳහා, වර්ණදේහ ඔස්සේ ගමන් කරන, අපොයි ජානය , නෑ නෑ APOE ε4 වගේ ජාන වල දැඩි සම්බන්ධය දැන් හඳුනාගෙන තිබෙනවා. මීට අමතරව, පොදුවේ ඩිමෙන්ෂාව ඇති කිරීම සඳහා බලපාන සාධක මෙම තත්ත්වයටත් බලපාන බව හඳුනාගන්නවා.

No comments: