ඩිමෙන්ෂියාව හෝ ,ඊට ආසන්න, මතකය දුර්වල වීමේ තත්ත්වයක් සමඟ ජීවත්වන අයෙකුගේ සතුට, ක්‍රියාකාරීත්වය, මානසික සහ බුද්ධිමය හැකියාවන් පවත්වා ගැනීම හෝ දුර්වල වීමේ වේගය සීමා කරගැනීමට, වගේම, දවසේ කටයුතු වලදී ඇතිවන පීඩාකාරි, අපහසුකාරී තත්ත්වයන්ගෙන් මඟ හරවා සතුටුදායක, මතකයන් අළුත් කරවන, හොඳ ක්‍රියාකාරකමක් "පිංතූර පොත" එහෙම නැත්නම් Photo Album එකක් සමඟ එක්වන්නට, ඒ ඔස්සේ පවුලේ අයත් සමඟ කතා බහ කරන්නට අවස්ථාව ලබා දීම.
එතැනදි, පිංතූර ඇල්බමය සූදානම් කිරීමේදී, අදාල පිංතූර , ලබා ගත් දිනය හෝ අදාල සිදුවීමේ දිනයට අදාලව, දින පිළවෙලකට හෝ වෙනත් යම් "පිළිවෙලකට" සංවිධානය කර තිබීමත්, හැම පිංතූරයක් සමඟම , අදාල සිදුවීම ගැන කෙටි සටහනක්, දිනය, පිංතූරය තුල සිටින්නේ කවුරුන්ද යන්න (නම් හෝ අදාල පුද්ගලයා භාවිත කරන ආකාරයට අනුව) සිදුවීමේ ස්ථානය සටහන්ව තිබීම "පිංතූර පොත" ඔස්සේ වඩාත් ඵලදායී ලෙස යොදා ගන්නට පුළුවන්. පොත සැකසීමේදී තවත් සැලකිලිමත් විය යුතු කරුණක් වන්නේ, පෙර කී තත්ත්වය සහිතව , මෙම පිංතූර පොත පරිහරණය කරන පුද්ගලයාට "පීඩා වියහැකි" සහ අප්‍රසන්න මතකයන් අළුත් විය හැකි පිංතූර ඉවත් කර සූදානම් කිරීමත්, අදාල පුද්ගලයාගේ කැමති වර්ණ, පසුබිම් වර්ණ සහිතව සහ වෙනත් හිත වෙනතකට යොමු කරන අතිරේක දේ ( distracting objects )ඉවත් කිරීමත් වැදගත් වෙනවා.
පිංතූර පොත යොදා ගෙන ක්‍රියාකාරකමක් කිරීමේදී, නිකංම පිංතූර පොත අතට දීමට වඩා, පිංතූර පොත සමඟ එක්වෙමින් අදාල පුද්ගලයා සමඟ කතාබහකට, අදාල සිදුවීම් ගැන කැමැත්ත පරිදි සාකච්ඡාවකට එකතුවීම, පිංතූරය තුල සිදුවීමට අදාල රසකතා නැවත මතු කරගැනීම සහ මතුකරගැනීමට අදාල පුද්ගලයාට උදව්වීමයි විය යුතු.
මෙම ක්‍රියාකාරකම දවසේ ඕනෑම වෙලාවක භාවිත කළ හැකි වුනත්, උදය තේ විවේකය සමඟ උත්සාහ කිරීම වඩාත් සාර්ථක වන අතර, ඒ සඳහා හොඳින් ආලෝකය ලැබෙන තැනක් සූදානම් කරගැනීම වගේම පිංතූර පොත පහසුවෙන් රඳවා ගත හැකි ක්‍රමයක් සූදානම් කරගැනීමත් ක්‍රියාකාරකමේ වටිනාකම වැඩි කරගන්නට හේතු වෙනවා. කෙසේ වෙතත්, අද පවතින තාක්ෂණික ක්‍රම අනුව, මෙවැනි පිංතූර පොතක් වෙනුවට ,අදාල පීංතූර ස්කෑන් කර හෝ කැමරාව හෝ ජංගම දුරකථනය ඔස්සේ සෘජුවම රූපවාහිනයකට, ඩිජිටල් පිංතූර රාමුවකට එක්කර මෙම ක්‍රියාකාරකම කරන්නට පුළුවන්.
පොත, හෝ පිංතූර සහිත තිරය පහසුවෙන් දැකීමේ පහසුකම, ඒ සඳහා ගැලපෙන පසුබිම් ආලෝකය, අදාල පුද්ගලයා කැමති සංගීතමය පසුබිම් වාදනයක් පැවතීම වගේම, පුද්ගලයාගේ කැමැත්ත අනුව තේ, කෝපි එකක් රසවිඳින අතරේ මෙම ක්‍රියාකාරකම , සහ කතාබහ පවත්වා ගන්නට උත්සාහ කිරීම තුල වඩාත් සාර්ථක ප්‍රතිපල ලැබේවි.
මෙම ක්‍රියාකාරකම, ඩිමෙන්ෂියා සහ ආශ්‍රිත මතකය දුර්වල වන තත්ත්ව වලදී සාර්ථකව යොදා ගන්නා photo reminiscence therapy (pRT) ලෙස හඳුන්වන, චිකිත්සීය ක්‍රියාකාරකමක, නිවස තුල සිදු කළ හැකි ආකෘතියකි.
No comments:
Post a Comment