Sunday, September 28, 2025

35. නොබැඳුනු මනසක විත්ති - මහද ප්‍රේමාදරේ

 ("නොබැඳුනු මනසක විත්ති" විශේෂාංගය , එහෙම නැත්නම් ලිපි පෙළ තුලින් මම උත්සාහ කරනවා ම‍ගේ වෘත්තීය පරිසරය තුල දිනපතා මම අත්විඳින, සමහර විට ඔබ බොහෝ දෙනෙක් නොදකින, නොවිඳින වෙනස් සිදුවීම් මාලාවක් ඔබත් එක්ක බෙදා ගන්නට. ඒ තුලින් ඩිමෙන්ෂියාව සහ ආශ්‍රිත තත්ත්වය සමඟ ජීවන මගේ සේවාලාභීන්ගේ ඇත්ත අත්දැකීම්, ‍ඔබේ කරමින් ,මෙම තත්ත්වය ගැන යම් දැනුමක්, තොරතුරක් ලබා දෙන්නයි උත්සාහය.)

දවස බ්‍රහස්පතින්දා. කැලැන්ඩරේ එහෙම කිව්වට, අපේ වෘත්තීය ජීවිත කැලැන්ඩරය තුල "Memory Care" දිනේ. ඒ කියන්නේ, අනෙක් දවස් වලට සාපේක්ෂව, සංකීර්ණ ඩිමෙන්ෂියා තත්ත්වයන් සමඟ ජීවත්වන සේවාලාභීන් සමඟ එක්වන දිනය. මගේ නම් ප්‍රියතම දවස, මොකද එක වෙලාවකට මොන්ටිසෝරියක පැටවු එක්ක වගේ සතුටු වෙත්දි, තවත් අවස්ථාවකදි හැන්ද ගෑරුප්පුව අල්ලන දිසාව නොහඳුනන ආදරණීය වියපත් අම්ම කෙනෙක්ට, තාත්ත කෙනෙක්ට උදව්වක් කරල, හිතට සතුටක් දෙන්න පුළුවන් දවස. චිකිත්සීය ලෙස ගත්තොත් අද දවස, Cognitive stimulation therapy (CST) , Cognitive behavioural therapy (CBT) සඳහා මූලික තැනක් දෙන දවස. ඒ තුල Montessori Dementia ක්‍රමය, ආර්ට්/මියුසික් තෙරපි සිට guided physical activities දක්වා ක්‍රියාකාරකම් මාලාවක් සිදුවෙනවා. පැය හයක වැඩසටහන නිමාවෙත්දි , කතා කරල, ඇවිදලා, පස්සෙන් දුවලා, නටලා , සිංදු කියලා, එකම කතාම ආයේ ආයෙත් අහගෙන ඉඳලා, ඇඟට වගේම ඔළුවටත් හරිම මහන්සි වන, නමුත් පුදුමාකාර සතුටකින් ‍දවස නිමා කරන්න පුළුවන් , අපූරු, වර්ණවත් දිනයක්.

වෙනද වගේම දවස පටන් ගත්තා. හරියටම අටයි හතලිස් පහ වෙත්දි හැමෝම ඇවිත්. සමහර තමන්ගේ විවාහක සැමියා එක්ක (සමහර වෙලාවට "මේ මගේ අයිය" කියල හදුන්වා දෙන) , තවත් සමහරු තනියම තමන්ගේ රිය පදවාගෙන එනවා, තවත් සමහරු දරුවන් එක්ක, තවත් අවස්ථාවක තමන්ගේ හෙද හෝ සාත්තු සේවිකාවත් එක්ක. මේ විවිධාකාරයෙන් එන හැමෝම උදේ නමය වෙත්දි වැඩසටහන් ඒකකයට ඇතුළු වෙත්දි, අප ඒ භාරකරුවන්, සාත්තු ලබා දෙන්නන් එක්ක කෙටි කතාබහක යෙදෙනවා, පහුගිය සතුය තුල වූ වෙනස්කම් එක්ක පොඩි කතා බහක් බෙදා ගන්නට. (ටික දවසක් යත්දි මේ හැමෝම එක පවුලක් වගේ වෙන නිසා, සමහර වෙලාවට වෙන වෙන කතාබහත් නොවෙනවා නොවේ 😉 )

දවසේ මුල්ම කොටස, සේවාලාභීන් අතරේ සහ අප අතරේ සමාජීය බැඳීම් උනන්දු කරන, "කෝපි සහ කතාබස්" ඒකකය. මෙතැනදි, ඒ අය කැමති කෝපි, තේ, බීම වර්ග එක්ක උදේට ගැලපෙන පොඩි ස්නැක් එකක් ගන්න ගමන් පොඩි කතාබහක යෙදෙනවා. කාළගුණය, පරිසරය, ජීවිතේ වෙනස්වීම් වල සිට, අතීත මතකයන් අවුස්සමින් Reminiscence therapy ටිකකුත් ඒ අස්සට එකතු කරනවා. මේ කාළය තුල අපේ වගකීම තමයි, හැමෝම ඒ කතාබහට උනන්දු කරවාගෙන, කතාබහ ගෙනයමින්, පහුගිය අවස්ථාවන් වලට සාපේක්ෂව ඔවුන්ගේ චර්යාව, කථනය,සමාජීය එක්වීම, උනන්දුව, මුහුණේ හැඟීම් වල වෙනස්වීම ගැන විමසීමෙන් ඉන්න එක. (දවස අවසානයේ ඒ හැම කරුණක්ම එකතු කරල හැම සේවාලාභියෙක්ගේම දවසේ කතාව ලියල, අදාල ක්ලයන්ට් ගේ අන්තර්ජාලගත සෞඛ්‍යය දත්ත ගබඩාව තුලට එකතු කරන්නට වෙනවා.)

දවස වෙනද වගේම පටන් ගත්තා, මේ වින්ටරයේ වෙනස, දැනටමත් ලැව් ගිණි ඇතිවීම ගැන පවා මතකය තිබුණූ අය ඒ ගැන ගැඹුරු කතාබහකට එකතු වෙත්දි, අද උදේ දැක්ක අළුත්ම කාර් එකක් ගැන නොනවත්වා කියවන තාත්ත කෙනෙකුත් හිටියා. ඔය කතාබහ අස්සේ, මාත් පහුගිය සතියක අප මුහුණ දුන්නු "වලස් හමුවීමක්" ගැන රස කතාවක් බෙදමින් හිටියා. ( මේ‍ බොහොමයක් වැඩිහිටියන්, පරිසරය, වනාන්තරය, සතා සීපාවාට , ගොවිකමට වගේම දඩයමටත් ලැදිව හිටි අය. ඒ නිසා, "වල් කතාවලට" නෑ නෑ කැලෑ කතාවලට හරිම ආසයි, අර බෝනික්කො වගේ ඇස් ලොකු කරගෙන, කන් හරවගෙන අහගෙන ඉන්නේ වල්කතාවක් කියත්දි)

"මහේෂ්, මට ඔයත් එක්ක පොඩ්ඩක් කතා කරන්නෝන , අපි කාමරේට යමුද? " කතාබහ අස්සේ, කෑමට දුන්නු කූකී එක , ‍වෝකර් එකේ පොකට් එකට අමාරුවෙන් දාගන්න ගමන් මා ළඟට ආව, මාගරට් නෝනා විමසීමක් කළා. මේ වගේ අවස්ථාවක් තුල , මොකක් හෝ වටිනා දෙයක් තිබෙන නිසා කතාබහ ගෙනයන එක මගේ සහය සේවක මිතුරියට පවරලා මාත්, මාගරට් නෝනත් ගියා කාමරයට.

මාගරට් නෝන කියන්නේ, අවුරුදු අසූ හයක් විතර වන, ඩිමෙන්ෂියා‍වේ තරමක සංකීර්ණ තත්ත්වයක් සමඟ , තමන්ගේ දුව සහ එම පවුලේ අය සමඟ ජීවත්වන විශ්‍රාමික ගුරුවරියක්. ඇත්තටම ගුරුවරියක් කිව්වම හිතට මැවෙන ආදරණීය, මව්වත්බව, ඇගේ කතාබහ, හිනාව, වගේම හැසිරීම තුලත් තවම තිබෙනවා.

"ඉතින් කෝමද මාගරට්, පවුලේ හැමෝම හොඳින්නේ?" කාමරයේ දොර වහන ගමන්ම කතාබහට ඇමිණුමක් දැම්මා.

"ඔව්, මහේෂ්, හැමෝම හොඳින්...ඒත්...." මාගරට් ක්‍රියාකාරකම් ඒකකයේ රැඳී සිටින මිත්‍රයන් දර්ශණය වන පරිගණක තිරය වෙත ඇහ යොමාගෙන කතාව පටන් ගත්තා.

"ඔව්, කියන්න මාගරට්"

"හැමෝම හොඳින්, ඒත් මට හරිම තනිකමක් දැනෙනවා. දුවයි මහත්තයයි හරිම ආදරෙන් ඉන්නවා, හිනා වෙනවා, එකතු වෙලා උයනවා. මගේ මිණිපි‍රී සිරික්කිය වගේ හිනාවෙනවා. හරිම ලස්සනයි. ඒත් මං තනි වෙලා වගේ මට දැනෙනවා මහේෂ්" මාගරට් බිම බලාගෙන, අතේ නියපොතු ඇතුලට තද කරමින් කියන්නට හදන්නේ "ලොකු ගැඹුරක්" ඇති දෙයක් බව දැනෙනවා.

"හ්ම්..."

"මට මතක් වෙනවා , මගේ විවාහ කාළේ, මට ඡායාවක් වගේ මතකයි මායි ස්ටැන්ලියි අළුත් ගෙදරට ආ හැටි, හැම දේම හදා ගත් හැටි, මගේ දුව උපන් දවසේ එයා මාව සිප ගත් හැටි මහේෂ්, මේ හැමදේම චිත්‍රපටයක් වගේ ආයේ ආයේ මට පේනවා. එදා ස්ටැන්ලි නැතිවුනු දවසේ මගේ අත අල්ලගෙන කීව දේවල් මට මේ දැනුත් ඇහෙනවා......." ඇය වෝකර් එකේ එල්ලා තිබුණූ හෑන්ඩ් බෑග් එකෙන් ගත්ත ක්ලීනෙක්ස් එකකින් ඇහැ තෙත මාත්තු කළා.

"කියන්න මාගරට්"

"මට හිතෙනවා ආයේ මැරි කරන්න...." ඇය මගේ ඇස් දිහා බැලුවේ , අමුතු බියකින් වගේ මට හැඟුණා.

"ඔව්, මාගරට් ඒක ඔයාගේ කැමැත්ත නේ, ඉතින් මගෙන් වෙන්න ඕන මොන වගේ උදව්වක්ද?

"අර ෆ්‍රැන්සිස් , මට එයාට හරියට ආදරේ හිතෙනවා. එයා කතා කරන්නේ, හිනාවෙන්නේ ස්ටැන්ලි වගේමයි. ඇවිදින්නෙත් එයා වගේමයි අනේ" මාගරට්ගේ මූණ පුරා ආදරණීය හිනාවක් මතුවුනා.

‍ෆ්‍රැන්සිස් කියන්නේ, අපේ සේවාලාභී කණ්ඩායම තුල ඉන්න, අවුරුදු අනූවකට කිට්ටු, බ්‍රිතාන්‍ය සම්භවයක් තිබෙනව , කෝපි වලට වෛර කරන, තේ වලට වන්දනා කරන, තවමත් බ්‍රිතාන්‍යය රටාවටම අදින පළදින, තනියම රිය පදවාගෙන එන්න පුළුවන් තරම් හැකියාවක් තියෙන "තරුණයෙක්" වගේ වියපත් මහත්මයෙක්. වාහන වලට පණ සේ ආදරය කරන ඔහු හරිම ගෞරවනීය, සුන්දර මහත්මයෙක්.

"ඉතින් මාගරට් මේ ගැන එයාට කිව්වද? "

"ඔව්, මම කීප වතාවක් කිව්වා, එයත් කැමතියි. එයා‍ගෙන් වයිෆ් නැතිවෙලා ලොකු කාළයක් නේ. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ ..." ඇය කතාව නතර කළා.

"මොකක්ද තියෙන ප්‍රශ්නය ?"

"මම මේ ගැන මගේ දුවට කිව්වම, මට හොඳටම බැන්නා, එයාට ලැජ්ජ කරනවා කියලා. මම මේ ගෲප් එකෙන් අයින් කරනවා කියලත් කීවා. අනේ ඔයාට පුළුවන් නම් අපේ දුව එක්ක මේ ගැන කතා කරන්න මහේෂ්. "

No comments: