Sunday, September 28, 2025

26. නොබැඳුනු මනසක විත්ති - UTI

 ("නොබැඳුනු මනසක විත්ති" විශේෂාංගය , එහෙම නැත්නම් ලිපි පෙළ තුලින් මම උත්සාහ කරනවා ම‍ගේ වෘත්තීය පරිසරය තුල දිනපතා මම අත්විඳින, සමහර විට ඔබ බොහෝ දෙනෙක් නොදකින, නොවිඳින වෙනස් සිදුවීම් මාලාවක් ඔබත් එක්ක බෙදා ගන්නට. ඒ තුලින් ඩිමෙන්ෂියාව සහ ආශ්‍රිත තත්ත්වය සමඟ ජීවන මගේ සේවාලාභීන්ගේ ඇත්ත අත්දැකීම්, ‍ඔබේ කරමින් ,මෙම තත්ත්වය ගැන යම් දැනුමක්, තොරතුරක් ලබා දෙන්නයි උත්සාහය.)

මතක විදියට ඒ 2022 සැප්තැම්බරයේ දවසක්.

මේ ප්‍රදේශවල තිබුණු කොවිඩ් තත්ත්වය නිසාවෙන් කණ්ඩායම් චිකිත්සාවන් (Gruop Sessions) ලබා දෙන අපේ සායන සියල්ල, Virtual Sessions බවට පත් කර තිබණු කාළ‍ය.

වෙලාව හවස දෙක, ඒ කියන්නේ මගේ ඊළඟ සේවාදායකයා වන (අපි කියමු ඩොනල්ඩ් කියල) ඩොන්ව, අන්තර්ජාලය ඔස්සේ හමුවිය යුතු වෙලාව.

ඩොන් කියන්නේ, බ්‍රිතාන්‍ය ගුවන් හමුදාවේ සේවය කර, අද වෙත්දි කැනඩාවේ පුරවැසියෙක් ලෙස ජීවත්වන අවුරුදු අසූඅටක් වන කොයිවෙලාවෙත් මුහුණේ හිනාවක් රඳව ගත්ත අපූරු සුන්දර මනුස්සයෙක්, මගේ සේවාලාභියෙක්. ඔහු ජීවත් වුනේ තම වියපත් බිරින්දෑ එක්කම වෙනම කුඩා නිවාසයක. දැනට වසර හතරක් පමණ තිස්සේ ඩිමෙන්ෂියා තත්ත්වය සමඟ ජීවත්වන ඩොන්, වරින්වර මතු කරන "හමුදා චර්යාවන්" නිසා සහ දෙමාපියන්ට අවශ්‍ය නිදහස ලබා දීම සඳහා ඔවුන්ගේම නිවස රැදුනත්, අවශ්‍ය රැකවරණය, ආහාරපාන ලබා දීම ඇතුළු වගකීම් කළේ, අසල්වැසි නිවසේ සිටි ඩොන්ගේ පුතා සහ ලේලිය විසින්.

යොමු කළ ඊමේලය ඔස්සේ, සූම් ඇප් එක ඔස්සේ ඩොන් , මගේ පරිගණක තිරයේ පෙනී හිටියා. දැන්, මගේ වගකීම් වන්නේ ඔහුගේ සෞඛ්‍යය තත්ත්වය ගැන විමසීමක්, අගැයීමක් කරමින් , ඔහුට සතුටක් ලැබෙන , දුර්වල වන බුද්ධිමය හැකියාව යම් තරමකට හෝ පවත්වා ගැනීමට උපකාර වන Therapeutic Recreational activities කිහිපයක් වෙත සම්බන්ධ කරගන්නට. ඒ අතරේම, ඩොන්ගේ බිරිඳ ගේ කායික වගේම මානසික පීඩා මට්ටම (Burnout) තත්ත්වය ගැනත් හදුනාගෙන වාර්තා කිරීම වගේ රැකියාවේ කොටසක්.

අපි කතාව පටන් ගත්තා හැමදාම වගේ ලබා දෙන සුබ පැතුමකින්. හැබැයි වෙනද වගේ , ඩොන් නොවෙයි උත්තර දුන්නේ.

"මේ රත්තරං, මේ ඉන්නේ ඔයාගේ යාළුව , එයා අහනවා ඔයාට කොහොමද කියලා" ඩොන්ගේ හාමිනේ ටිකක් හයියෙන් කියනව මට ඇහුනා.

මුල් තත්පර කිහිපය තුලම ඩොන්ගේ "මුහුණවරෙහි යම් වෙනසක්" හදුනාගත්තත් අපි කතාව ඉදිරියට ගෙන ගියා.

"කොහොමද ඩොන්? අද නම් හරිම ලස්සන දවසක් නේද?"

ඇප් එකේ සෙටින්ග්ස් නිසා, බොඳ වෙමින් මතුවන ඩොන්ගේ බිරිඳ, කටපුරා හිනාවෙනව දැනුනත් ඩොන් වෙනදට වඩා ටිකක් වැඩි‍ වෙලාවක් අරගෙන උත්තරයක් දෙන්න පටන් ගත්තා. වෙනද හිනාවක පුරොගෙන ඉන්න ඩොන් ඉන්නේ තරමක අපහසුතා‍වයෙන් වගේ. ඇස්, හම විතරක් නොවේ ඔහු වාඩිවෙලා ඉන්න ස්ථාපිතය පවා තරමක් වෙනස්.

"හ්ම්...අද ටිකක් රස්නෙයි කියලනම් දැනෙනවා මට............ අපි දෙන්න පෑන්කේක් කෑවා, ඔයා අද මෙහේ එනවද අපි බලන්න" ආරම්භයේ දුටු , "සැකය" තහවුරු වන මුහුණේ වෙනස්වීම් විතරක් නොවේ , උච්ඡාරණයේ සහ කෙළ ගිලීමේ වෙනසකුත් හොඳින්ම දැන් පැහැදිලියි. "සැකය" තවත් වැඩි වුනා.

"ආ ඔව් ඩොන්, මම එනවා, හැබැයි අද නොවේ ලබන සතියේ. අපට ලොකු ෆෝර්ම් එකක් පුරවන්න තියෙනවා" වෙනසක්ම සටහන් කරගන්නා අතරේම උත්තර දුන්නා.

"ෆෝම්.. ෆෝම්...මම රෝයල් එයාෆෝර්ස් එකේ වැඩ කරන කාලෙට වඩා ෆෝම් වලට අස්සන් කරන්නැති මේටිකට. රත්තරං, අපි ලබන සතියේ කොහේවත් යන්නෑ නේද?" ඩොන්, තමන්ගේ හාමිනේ පැත්තට හැරිලා විමසුවා.

උත්තර දෙන්න, තරමක් ඉදිරියට ආ නිසා, පැහැදිලිව පරිගණක තිරය තුලින් මතුවනු ඩොන්ගේ හාමිනේ කතාවක් පටන් ගත්තා.

"මයික්, මෙයා දවස් දෙක තුනක ඉඳන් හරි වෙනස් අනේ. හැම තිස්සෙම මහන්සියි, කන්නෙත් නෑ, කතාවත් වෙනස්. මේ අනෙක, බාත්රූම් ගියාම වෙනදට වඩා ගඳයිද මන්දා. මං පුතාට කිව්වා එයා කිව්වෙ නං පෙරේදා කාපු ෆිෂ්කේක් වලට කියලා, අනේ මන්දා උදේට කතා කළාම වෙනදට වඩා තරහත් යනවා"

තවත් කතාව දිගට ගියා. මගේ "සැකය" තහවුරු වන කරුණූ කිහිපයක් ලැබුණා. ඒ සියල්ල සටහන් කරගනිමින්, දෙදෙනාම කළබල නොකර තවත් විනාඩි කිහිපයක් ඔවුන් සමඟ ගත කළේ දැනෙන අවදානම ගැන මගේ ප්‍රජා සෞඛ්‍යය සේවාවේ හදිසි සේවා කණ්ඩායම සම්බන්ධීකරණයන් කරමින්.

"පැට්, මට පොඩි සැකයක් තියෙනවා ඩොන්ට UTI එකක්ද කියලා, ඒ එක්කම TIA හෝ Stroke එකකුත් එකතු වෙලාද කියන සැකයත් තියෙන නිසා දැන් ඔයාලගේ හෝම්කෙයා ටීම් එකට දැනුම් දෙනවා. තවත් විනාඩි තිහක් ඇතුල ඔවුන ඒවි ඔබේ නිවසට. පුළුවන් නම් ඩොන් සූදානම් කරගන්න රෝහලට එන්න."

තවත් විනාඩි කිහිපයකදි, දවසට අදාල හමුවීම නවත්වලා මගේ ඉදිරි කටයුතු වලට ගියා. දවස ගෙවිලා ගියේ ආයෙත් මේ සිදුවීම ගැන හිතන්නට වෙලාවක් නොලැබෙන තරමටම. සේවාමුරය නිමාවුනා, ගෙදර ඉඳන්ම වැඩ කළ කාළය නිසා තවත් පොඩි වෙලාවක් රැදිලා ඩොන්ගේ දැන් තත්ත්වය ගැන වාර්තාව කියවා බැලුවා. මේවෙත්දි ඔහු රෝහල් ගත කරලා, UTI+TIA "සැකය" ඔස්සේ පරික්ෂණ කෙරෙමින් තිබෙනවා.

පහුදා සේවා මුරය ආරම්භ වුනා.

මුල්ම පැය දෙක තුල සිදුවන්නේ අපේ සම්පුර්ණ සෞඛ්‍යය කණ්ඩායම අන්තර්ජාලය ඔස්සේ හමුවෙලා අද දවස ගැන කතාබහ කරන ඊයේ දවසේ සිදුවීම් බෙදා ගන්නා Touchdown එක.

පියවරෙන් පියවර කතාබහ වෙනවා, හදිසිසේවා ඒකකය, අවසායි සාත්තු ඒකකය, චිකිත්සක සේවා ඒකකය , ප්‍රජා සෞඛ්‍යය ඒකකය ...

"මහේෂ්, දන්නවද !, ඊයේ ඩොන්ගේ වෙනස හදුනගෙන අපට ‍යොමු කළේ නැත්නම් ඔහු අද ලොකු ජීවිත අවදානමක වෙන්න ඉඩ තිබුණා" අපේ සෞඛ්‍යය කණ්ඩායමේ කළමණාකාරවරිය ලොකු විස්තරක් කළේ, ස්තුතියක් කරන ගමන්ම.

ඊයේ රාත්‍රියේ කළ පරික්ෂණ ඔස්සේ හදුනාගන්නවා, ඩොන් පහුගිය දින කිහිපය තුල UTI තත්ත්වයෙන් පෙළෙමින් සිට ඇති බවත්, ඊට අමතරව TIA කිහිපයක් ඇත‍ිවෙමින්, ඊට වඩා දරුණූ Stroke එකක් වෙත යාමේ දැඩි අවදානමක් තිබුණු බවත්.

කෙසේ වෙතත්, ඒ වෙත්දි ඩොන් ප්‍රතිකාර ලබමින් සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් හිටියා. තවත් කාළයකට පස්සේ, ‍මේ මාර්තු මාසයේදී අපේ වැඩසටහන් පැවති ආකාරයටම විවෘත කළ අවස්ථාවේ , වැඩසටහන වෙත පරිත්‍යාගයක් කරමින් පැමිණ හමුවන්නට ඩොන්ගේ දරුවන් කටයුතු කළේ "තාත්තා" වෙනුවෙන් ස්තුති කරමින්.

දැන්, කතාවේ වැදගත්ම කොටසට.

මුලින්ම කෙටි හදුන්වාදීම් ගැන,

  • UTI කියන්නේ, Urinary Tract Infection එහෙම නැත්නම් මුත්‍රා මාර්ගික ආසාදන කියන දේ. ඩිමෙන්ෂියාව සහ ආශ්‍රිත තත්ත්ව සමඟ ජීවත්වන අයෙක් බහුලව මුහුණදිය හැකි ,වෙනත් අයට වඩා අවදානමකට පත්විය හැකි තත්ත්වයක් මේ.
  • TIA කියන්නේ, Transient Ischemic Attack මොළයේ යම් කොටසකට සිදුවන රැධිර සම්පාදනය "තාවකාලිකව" අඩාල වීම නිසා, එම කොටසේ ක්‍රියාකාරීත්වය බිඳ වැටීම නිසා ඇතිවන තත්ත්වය. මෙය තාවකාලික වගේම ප්‍රතිකාර ඔස්සේ සාමාන්‍ය තත්ත්වයට පත්කරගැනීමට හැකියාවක් තිබෙනවා.
  • Stroke / Brain Stroke / Cerebral Vascular Accident (CVA) කියන්නේ, මොළයේ යම් කොටසක රැධිර සැපයුම අඩාල වීම නිසා, එම කොටසට සිදුවන නැවත යථාතත්වයට පත්කිරීමට අපහසු හානිය නිසා මතුවන තත්ත්වය. මෙය සමහර විට නැවත "යථාතත්ත්වයට" පත් කිරීම හෝ "සුව කිරීම" කියන තැනට වඩා, සිදුවුනු හානිය තුල විය හැකි අවදානම් සීමා කරගැනීම, තව දුරටත් හානිවීම සීමා කරගැනීම සහ සිදුවූ හානිය තුල වූ බලපෑම යථාතත්වයට ආසන්න මට්ටමකට ගෙන ඒමට වෙනත් ප්‍රතිකාර, චිකිත්සා ඔස්සේ කටයුතු කිරීමයි සිදුවන්නේ.

දැන් ඩිමෙන්ෂියාව සහ UTI අතරේ සම්බන්ධකම.

ඩිමෙන්ෂියා තත්ත්වයට හේතුවන මොළයේ සිදුවන හානිවීම් වගේම, එම බලපෑම නොවුනත්, මොළයේ , තීරණ ගැනීමේ හැකියාව, බහිස්සාවය පාලනය කිරීම, අවශ්‍යතාව දැනීම වගේ අවස්ථා හදුනාගැනීමේ හැකියාවන් දුර්වල වීම නිසා , ඒ වගේම එම හේතු වගේම තවත් කරුණු නිසා (උදාහරණයක්, දිගු කාළයක් එක්තැන්ව, ඇඳ මතම ගත කිරීම, මළ මුත්‍රා බැහැරලීම තුල සිදුවන අපවිත්‍රවීම් වැනි) ශාරීරික පවිත්‍රතාවය බිඳවැටීම තුල මතුවිය හැකි මුත්‍රා මාර්ගය තුල සිදුවන ආසාදන තත්ත්වයක් මේ.

මේ තත්ත්වය ඕනෑම අයෙක්ට ඇතිවන්නට පුළුවන් වුනත්, ඩිමෙන්ෂියාව සමඟ ජීවත්වන්නෙකුට එම "හදුනාගැනීම්" වෙනස්වන්නට පුළුවන් මෙන්න මේ වගේ.

මෙවන් අවස්ථාවක පොදු රෝග ලක්ෂණ ලෙස මුත්‍රා දැවිල්ල, වේදනාව ලෙස ප්‍රකාශ කළ හැකි වුනත්, ඩිමෙන්ෂියාව සමඟ ජීවත්වන්නෙක් මෙම ලක්ෂණය ප්‍රකාශ කරන්නේ චර්යාත්මක වෙනස්වීම් , උදාහරණයක් වෙනදාට වඩා තරහ යන එක, හැඩීම, වෙනදාට වඩා ඉක්මණින් කෝප වීම, වැඩි වෙලාවක් නිදා ගැනීම, ඇඳුම් ගලවමින් වෙනදාට වඩා වෙනස් චර්යාවක් මගින් වෙන්න පුළුවන්.

වෙනත් අයෙක් මතුවන "වරින්වර මුත්‍රා කිරීමේ අවශ්‍යතාවය" , ඩිමෙන්ෂියාව සමඟ ජීවත්වන්නෙක් ඇදුම තෙමා ගැනීම් වැඩි වීම වගේ හදුනාගැනීමක්, සමහර විට , වෙනදට කාමරෙන් එළියට එන පුද්ගලයා කාමරය තුලම හිරවී සිටින රටාවක්, කතාබහ අඩුවීමක්, වගේම හදුනාගත හැකි ලෙස ඇඳුම්,ඇඳ රෙදි තෙමී ඇති වාර ගණන වැඩිවීමක් දැක ගන්නට පුළුවන් වේවි.

වෙනත් අයෙක්ට "බඩ පුරවා" දමා ඇතිබව කියන්නට පුළුවන් වෙත්දි, ඩිමෙන්ෂියාව සමඟ ජීවත්වන්නෙක් වෙනදාට වඩා කෑම වෙත ඇති කැමැත්ත අඩුවීම, සමහර විට කෑම කවන්නට , දෙන්නට උත්සාහ කරත්දි ‍ආවේගශිලී වීම, "හේතුවක් නැතිව හැඩීම" වගේ ප්‍රතිචාර දක්වන්නට පුළුවන්.

තවත් ලක්ෂණ, හදුනාගැනීම් බෝමයි.

කෙසේ වෙතත්, මෙම UTI වල පොදු ලක්ෂණ, මතුවන සහ ඉදිරිපත් වන රටාව වෙනස්වීම නිසාම සහ ඩිමෙන්ෂියාවේ අනෙක් ගැටළු නිසා නිසි විමසීමක් නොවන තැනකදි වැරදි ‍රෝග විනිශ්චනයන් , අවශ්‍ය නොවන ප්‍රතිකාර‍ ලැබීමේ අවදානමක් මෙන්ම, නිසි ලෙස UTI තත්ත්වයට ප්‍රතිකාර නොලැබීම නිසා delirium ලෙස හදුන්වන සිහිකල්පනාව වෙනස්වන අවස්ථාව දක්වා එන්නට පුළුවන්.

ඒ විතරක්ම නොවෙයි ,මෙම තත්ත්වය සමඟ බැක්ටීරියා නිශ්පාදනය කරන විවිධ ධුලක , රසායනික ක්‍රියාකාරීත්වයන්, ඒ සමඟම බැදෙන විජලනය වීම්, වියපත්වීම තුල මතුවන වෙනත් හේතු සියල්ල එකතුව රුධිරවාහිනී තුල ලේ කැටිති ඇතිවීමටත්, ඒවා මොළය හෘදය වගේ තැන්වල හිරවීමෙන් ජීවිත අවදානම් ගෙන දෙන තත්ත්ව වලට රෝගියා පත්වීමටත් ලොකු ඉඩක් තිබෙනවා. ඒ තුල TIA තත්ත්ව හෝ එතැනින් එහාටත් ගිහින් Strokes වගේ ඇතිවීමේ ඉඩත් තිබෙනවා.

එම නිසා, ඩිමෙන්ෂියාව සමඟ ජීවත්වන්නෙක්ට සාත්තු කරනවා නම්

පෙර කී චර්යාවත්මක වෙනස්වීම් ගැන, වගේම දවසේ මුත්‍රා කිරීමේ රටාව, වාර ගණන, පරිමාවන්, වර්ණය, ගන්ධය, (දේහ උශ්නත්වය තවත් සාධකයක් වුනත් හුඟක් වියපත් අයගේ මෙම ලක්ෂණය හදුනාගන්නට අපහසු වෙන්න පුළුවන්) වැනි සාධක පිළිබඳව විමසිල්ලෙන් සිටීමත්,

පුද්ගලයාගේ ශාරීරික පවිත්‍රතාවය පවත්වා ගැනීමට නිවැරදි ලෙස උපකාර වීමත්

යම් සැකයක් හදුනාගන්නා අවස්ථාවේ නිසි වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සහ ප්‍රතිකාර ලබා දීමත් හරිම වැදගත් වෙනවා.

මක්නිසාද, එහෙම නොවුනොත්, ඉතාමත් මූලික මට්ටමේ ප්‍රතිකාරයකින් සුවකළ හැකි රෝගයක් නිසා, "කියාගන්න බැරිව දුක්විඳ, ඊටත් වඩා අවදානම් තත්ත්වයකට" එම පුද්ගලයා පත්වෙන්නට පුළුවන්.

අද කතාව ඉවරයි.

(මේ UTI හෝ TIA ගැන වෛද්‍ය විද්‍යාත්මක ලිපියක් නොව, ඩිමෙන්ෂියා සාත්තුව තුලදී මෙම තත්ත්ව බලපාන ආකාරය ගැන ඔබට තව දුරටත් සොයා බලා විමසිලිමත්වන්නට උනන්දුවක් ඇති කිරීමට එක් කළ අත්දැකීම් බෙදාගැනීමක් පමණි)

ආ අමතක වුනා දැන් ඩොන්ගේ තත්ත්වය කියන්න. මේ කතාවට අදාල අවදානමෙන් ඔහු මිදුනත්, ඉන් පසුව මතුවුනු මතකය ආශ්‍රිත ගැටළු සහ ඔහුට සාත්තුව ලබා දෙමින් හිටි, පැට්, ඔහුගේ බිරිඳ කායිකව සහ මානසිකව පත්වුනු දැඩි පීඩාකාරී තත්ත්වය නිසා , ඩොන්ව ඩිමෙන්ෂියා තත්ත්වය සමඟ ජීවත්වන අය රැක බලාගන්නා දිගු කාළීන සාත්තුව ලෙස සෞඛ්‍යය මධ්‍යස්ථානයක වෙත යොමු කිරීමට කටයුතු කළා. අදත් ඔහු "අළුත් ගෙදර" ලොකු පිරිසක් එක්ක රෝයල් එයාෆෝස් එකේදි, ලෝක යුද්දයේදි කළ වීරකම් ගැන කතා කරමින් "හැමදාම අළුත් වන දවසක්" ගෙවනවා.

No comments: