Sunday, September 28, 2025

52. තනිවෙන්න ඉඩ දෙන්න(එපා!!!!)

 මතකයේ හැටියට අනූ ගණන් වල මැද භාගයේ, අජිත් ආරියරත්න නම් වූ ගායකයා , ඒ දවස්වල යොවුන්වියේ උණුසුමින් හිටි අපේ හදවත් වලට "දැනුනු" ගීතයක් ගෙනාවා. ඒ "

තනිවෙන්න ඉඩ දෙන්න මටයි මගේ හිතටයි

වැලපෙන්න ඉඩ දෙන්න මටයි මගේ නෙතටයි //

ගයමින්.

විටෙක තනිව හුදකලා මොහොතක අපූරු රසයක් විඳින්නට පුළුවන් වුනා වගේම, තවත් වෙලාවක තවත් කෙනෙක්ගේ හිතට ආදරේ ගැන පණිවිඩයක් දෙන්නත් මේ ගීතය උදව් වුනා වෙන්න ඇති.

ඔන්න අද මේ ලිපිය පරණ සිංදු ගැන කතා කරන්න හදනවා එහෙම නොවෙයි. ඒ අපූරු ගීතය දිගේ, ඔබට , අපට තවත් ආකාරයකින් වැදගත් විය හැකි කරුණූ කීපයක් ගැන කතා කරන්නයි උත්සාහය.

දිග කතාවක ආරම්භය කෙටි සාරාංශයකින් කිව්වොත්, මේ තනිකමේ යම් හානිකර, අවදානාත්මක බලපෑමක් ගැන.

මුලින්ම, මොකක්ද මේ "තනිකම" ? මේ තනිකමත් එක්කම යන අනෙක් වචනය "හුදකලාව" මේ දෙකම එකක්ද? අපි එතැනින් කතාව පටන් ගනිමු.

තනිකම සහ හුදකලාව

හුදකලාව (සමාජීය හුදකලාව) කියන්නේ මූලික අදහසක් විදියට ගත්තොත්, බැඳීම් වලින් වෙන්වෙලා, එහෙම නැත්නම් බැඳීම් අඩු ආකාරයකින් ජීවත් විම කියන්න පුළුවන්. හැබැයි "තනිකම" ඊට වඩා වෙනස්, ඒක "හැඟීමක්" එතැනදි ඒ පුද්ගලයා අපේක්ෂා කරන ආකාරයේ , හෝ කැමති අන්තර්සබඳතා නැතිව එහෙම නැත්නම් අඩු වෙන් පැවතීම නිසා ඇතිවන පීඩාකාරී හැඟීමක්.

දැන් අපි දන්න , දකින උදාහරණ කීපයකින්ම මේ ගැන තව පොඩිත්තක් කතා කරමුකෝ. ඔබ ඕන තරම් දැකල ඇති, අහල ඇති, "පිරිසක් අතරේ තනිවූ " ජීවිත ගැන. ඒ පුද්ගලයා ‍‍භෞතිකව තවත පිරිසක් එක්ක, රැඳුනත්, හිතෙන් "තනිකමක්" විඳින අය.එකම නිවස ඇතුලේ ඉන්න ,"එකට ඉන්න මිනිස්සු" අතරේ "තනිකම" විඳින අය කොයිතරම් ඇත්ද?

ඔය අතරේම, ලොකු පිරිසක් එක්ක ‍භෞතිකව ලං නොවී, තමන්ගේ පාඩුවේ හුදකලාවේ ඉන්න අය කොයිතරම් ඇත්ද, ඒ අය කැමති තවත් සෑහෙන පිරිසක් එක්ක හොඳ අන්තර්සම්බන්ධතා පවත්වා ගනිමින් "තනිකම" නොවිඳ ජීවත්වන.

තනිකමේ අවදානම

මේ අවස්ථා දෙක අතරින්, "තනිකම" කියන හැඟීම , එම පුද්ගලයාගේ අනාගතය කෙරේ විවිධ ආකාරයේ අහිතකර බලපෑම් ඇති කරන්නට පුළුවන්. මේ අතර, විවිධ මානසික ගැටළු , සහ රෝග තත්ත්ව සඳහා ඇති පෙළඹුම වගේම, මෑතදී කළ පර්යේෂණ ඔස්සේ හදුනාගන්නවා, මේ "තනිකම" , ඩිමෙන්ෂියා ලෙස හදුන්වන , මතකය, තීරණ ගැනීමේ හැකියාව වගේ හැකියාවන් නැතිවන, පෞරුෂය බිදෙන, තමන්ගේ දෛනික කටයුතු තමන්ට කරගන්නට නොහැකි තත්ත්වයකට පත්විය හැකි ඩිමෙන්ෂියා වැනි තත්ත්වයන් ඇති කිරීමේ හැකියාව 31%කින් වැඩි කරන බව. ඩිමෙන්ෂියාව වගේම, ඒ තරමටම පත් නොවූවත්, අමතක වීම්, තීරණ ගැනීමේ හැකියාවන් දුර්වල වීමේ අවස්ථා (පුර්ව ඩිමෙන්ෂීයාව තත්ත්ව) එක්කම ගත්තොත්, මේ තනිකම, 44%කට විතර අවදානමක් වැඩි කරනවා මේ අවස්ථාවට එම පුද්ගලයා පත්වන්නට.

‍මේ ලෝකය පිළිගන්නා ආකාරයෙන් කළ පර්යේෂණ වලට අමතරව මගේ අත්දැකීම කිව්වොත් , මගේ වෘත්තීය අත්දැකීම් රැදෙන්නේ මේ ඩිමෙන්ෂියා තත්ත්වය ආශ්‍රිත සෞඛ්‍යය පරිසරයක. පහුගිය අවුරුදු දහයක කාළය තුල , ම‍ගේ සේවාලාභීන්ගේ සමාජ, මානසික තත්ත්ව පිළිබඳ විමසීමක් කළොත් මෙම "තනිකම" සහ ඩිමෙන්ෂීයාව සහ ආසන්න තත්ත්ව හදුනාගැනීමේ අවස්ථාව පැහැදිලිව හදුනාගන්නට පුළුවන් බව මගේ පුද්ගලික අත්දැකීම මත කියන්නට පුළුවන්.

තනිවෙන්න ඉඩ දෙන්න (එපා!!!)

ඒ නිසා, ‍මේ ලිපිය ඔස්සේ කියන්නට ඕනම කරුණ මේ,

ගීතයේ කීවාට "තනිවෙන්න ඉඩ දෙන්න මටයි මගේ හිතටයි" කියල, දිගු කාළයක් "තනිකම" කියන පීඩාකාරී හැඟීම තුල හිරවී සිටින්නට සිදුවීම, තවත් කායික, මානසික ගැටළු රැසකට අතවැනීමක් වෙනවා.

ඒ නිසා කියන්නට ඕනම දේ, හුදකලාවීම හෝ හුදකලා ජීවන රටාවක් ගත කිරීම (ඒ කිව්වේ භෞතිකව ලොකු පිරිසක් සමග ගැටෙන්නේ නැතිව, ටිකක් වෙන්වෙලා ජීවත්වීම) ඔබේ තෝරා ගැනීමක්. සමහර විට ඒ තුල ඔබේ කායික , මානසික සෞඛ්‍යයට වාසි තිබෙන්නත් පුළුවන්. නමුත්! "තනිවීමයි" නොවිය යුතු. ඒ කියන්නේ, ඔබ පිරිසක් සමඟ හිටියත්, හුදකලා ජීවන රටාවක හිටියත්, තවත් අය සමඟ අන්තර්සම්බන්ධතා, ඔබ වෙනුවෙන් සිටිනවා කියන හැඟීම, තමන්ගේ කියන හැඟිම දැනෙන ආකාරයක ජීවන රටාවක්, හිතුවිලි රටාවක් පවත්වා ගැනීමයි වැදගත්. ඒ කියන්නේ, "හිතින් තනිවෙලා" ඉන්න එපා. ආයෙත් කියනවා, ගෙදර හැමෝම හිනාවෙලා, කතා කරල එකට ඉන්න අතරේත් ඔබට දැනෙනවා නම් "මං තනිවෙලා" කියල ....මේ ඔබ ගැන හිතන්නට වැදගත්ම මොහ‍ොත. සමහර විට ඔබ වෙනුවෙන් උදව්වක් ගන්නට අවශ්‍ය, ඔබට දැනෙන තනිකම පිළිබඳව හොයන්නට, එය හදුනාගෙන, දැනෙන "තනිකමෙන්" මිදී ජීවත්වන්නට උත්සාහ කළ යුතුම මොහොතයි.මෙතැන වැදගත්ම දේ ,ඔබට අවංකම දැනෙන හැඟීම. ෆේස්බුක් එකේ ලිස්ට් එකේ පන්දාහක් හිටියත් , රස්සාව කරන තැන හැමෝම ඔබ වටේ හිටියත් , ගෙදර ආවම දරු පවුලේ හැමෝම ඔබ වටේම හිටියත් , නෑදෑයෝ ඔක්කොම හිටියත් එය ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ තුල ඔබට , ඔබේ හිතට අවංකම දැනෙන , ඔබ තනිනොවූ බව ඔබට තහවුරු වන බැඳීම්, සම්බන්ධතා කිහිපයක් ප්‍රමාණවත් "තනිනොවන්නට".

ඒ නිසා, ඔබට දැන් ඔබ ගැනම ටිකක් හිතල බලන්න ,ඔබ තනිනොවූ අයෙක්ද කියන එක.

දැන් කෝකටත් කියල අපි බලමු, ඔබව "තනි නොවූ" අයෙක් බවට පත්වන්නට ගත යුතු උත්සාහ කිහිපයක් ගැන.

1) ඔබට දැනෙන "හැඟීම" හදුනාගන්න, පිළිගන්න.

ඒ කිව්වේ, ඔබේ හිත වෙත හැරිල බලත්දි ඔබට දැනෙනවා නම් කොයිතරම් පිරිසක් හිටියත්, මාව "තනිවෙලා" වගේ, ඒ හැඟීම හදුනාගන්න, ටිකක් කල්පනා කරන්න ඒ දැනෙන හැඟීම නිවැරදිද කියන එක, එහෙම නම් බාර ගෙන, එය අඩු කරගන්නට ඊළඟ පියවර ගැනත් හොයන්න. කිසිම අවස්ථාවක ඔබට දැනෙන "තනිවූ" හැඟීම වෙනුවෙන් ඔබට වැරදි පවරගන්න, තවත් හිත රිද්දවා ගන්න එපා. මේ තවත් එක් හැඟීමක් විතරයි, එය අපට වාසිදායක ලෙස හරවා ගන්නට පුළුවන්, නිවැරදි උත්සාහයක් ගත්තොත්.

2) දැනට තිබෙන හොඳ සබඳතා තවත් ශක්තිමක් කරගන්න.

ඔබ අතරේ ඉන්න හිතවතුන්, මිත්‍රයන් විශාල සංඛ්‍යාව අතරේ, ඔබේ හිතට දැනෙන, ඔබේ හිත හදුනගන්න, ඔබ වෙනුවෙන් ඉන්නවා වගේම දැනෙන බැඳීම, හිතවත්කම් ඇති. අන්න ඒ බැඳීම් තවත් ශක්තිමක් කරගන්න. මේ වගේ බැඳීම් දහස් ගණනක් අවශ්‍ය නෑ, එකක් දෙකක් හොඳටම ඇති ඔබේ "තනිකම" බිඳින්නට.

3) සම අදහස් කණ්ඩායම් එක්ක එකතු වන්න.

ඔබ විනෝදාංශ, ඔබ කැමති දේට සමාන කැමති ඇති මිතුරන් එක්ක එකතු වෙන්න. එහෙම සමිති, කණ්ඩායම්, එකතුවීම් තිබේ නම් ඒ තුල ඔබත් කොටස්කාරයෙක් වෙන්න. ඒ තුල ඔබට , ඔබේ හැඟීම් එක්ක සමපාත වන, ඔබේ හිතත් එක්ක ගැලපෙන අව්‍යාජ, හොඳ බැඳීම් මතුවේවි. ඒ තුල, ඔබට , ඔබ "තනිනොවූ" බව හැගේවි.

4) අසම වයස් කණ්ඩායම් එක්කත් එකතු වන්න.

ඔබේ වයසේම, ඔබේ හිතවතුන් එක්කම රැදෙනවා වෙනුවට, ඔබට වඩා වියපත් අය සමඟ, ඔබට වඩා වයසින් අඩු අය සමඟක් හිතවත්කම් , බැඳිම් ඇති කරග්නන, අදහස් බෙදා ගන්න, අත්දැකීම් මුසු කරගන්න. ඒ වෙනස් ජීවන අත්දැකීම් ඇති අය සමඟ මුසුවීම තුල, ඔබේ තනිකම වෙනුවෙන් උත්තර ලැබෙන්නට පුළුවන්, ඒ වෙනුවෙන් ඔබට අළුතින් හිතන්නට අවස්ථා උදාවන්නට වැඩි ඉඩක් තිබෙනවා.

5) හුරතලෙක් එකතු කරගන්න.

මේ කිව්වේ හුරතල් සතෙක් එකතු කරගන්න කියන එක. මොකද, සුරතල් සතෙක් නිසා හිතට දැනෙන ආදරය, බැඳීම, ඒ හුරතලා වෙනුවෙන් ඔබට ඇතිවන වගකීම වගේම, ඒ හුරතලාගෙන් ඔබට ලැබෙන කිසිවක් පෙරලා අපේක්ෂා නොකර පිරිසිදු ආදරය ඔබේ තනිකම බිඳීවි. ඒ විතරක් නොවෙයි, ඔබේ හුරතලා නිසා, ඒ බැඳීම් ඇති, තවත් මිතුරන් හදුනාගන්නටත් පුළුවන් වේවි, ඒ තුල ඇතිවිය හැකි අළුත් හිතවත්කම්, ඔබේ "තනිකම" දරලන්නට ඉඩ තිබෙනවා.

6) උදව් කරන්න.

තවත් අයෙකුට උදව්වක් කරන්න, දන්න දෙයක් කියාදෙන්න, තවත් අයෙකුගේ දුකට , සතුටට වචනයකින් හරි එකතු වෙන්න. ඒ තුල ඔබට දැනෙන සුවදායී හැඟීම තුල , ඔබේ "තනිකම" ඔබට හැරද‍ා යාවි.

7) සමාජ මාධ්‍යය පරිස්සමට භාවිත කරන්න.

අද දවසේ "තනිකම" ප්‍රධාන සෞඛ්‍යය ගැටළුවක් බවට පත්වීමට , සමාජ මාධ්‍යය වැරදි ලෙස භාවිත කිරීම ප්‍රධාන හේතුවක් වෙලා තිබෙනවා. අවබෝධයක් හෝ අවශ්‍යතාවක් නැතිව "නොදැනුවත්" ලෙස සමාජ මාධ්‍යය තුල නිස්කාරණේ කාළය වැය කිරීම, සමාජ මාධ්‍ය තුල අනෙක් සමඟ සැසඳීම් වැඩිවීම, සමාජ මාධ්‍ය ඔස්සේ ඇතිවන, ගැඹුරු , අවංක හිතවත්කම් බැඳීම් වෙනුවෙන් බහුලව විය හැකි නිකම් පෙනුමට සිදුවන බොල් හිතවත්කම් සහ බැඳීම් වගේ හේතු නිසා, මෙවැනි අවස්ථාවන්ට මුහුණදෙන පුද්ගලයෙක්ගේ "තනිකම" පිළිබඳ හැඟීම ඉහළ යන බව පර්යේෂණාත්මක ලෙස පවා හදුනාගෙන තිබෙනවා. ඒ නිසා, කාළය ගත කරන්නට හෝ "තනිකම" මකා ගන්නට සිතා , සමාජ මාධ්‍යය තුල නිකරුණේ ගැවසෙනවාට වඩා, ඔබට අවශ්‍ය යමක් දැන ගන්නට, විමසා බලන්නට, ඔබ කැමති විනෝදාංශයක්, අදහස් බෙදා ගැනීමක් වෙනුවෙන් සමාජ මාධ්‍යය තුල එකතුවීමයි විය යුත්තේ.

8 ) මනස සක්‍රියව තබා ගන්න

"තනිකම" හිතට දැනීමත් එක්කම ඊළඟට එන්නට පුළුවන් හැඟීම් දුක, අළස බව, තව තවත් මේ තනිකමම විඳවා තමන්ම රිදවා ගැනීමට ඇතිවිය හැකි පෙළඹවීම වගේ අවස්ථා. ඒ නිසා, මේ "විය හැකි" අවස්ථා ගැන දැනගෙන, ඔබේ මනස සක්‍රියව, ක්‍රියාකාරීව තබා ගැනීමයි වැදගත්. අළුත් යමක් ඉගෙන ගැනීම, යමක් ලිවීම, නිර්මාණශීලී දෙයක් කිරීම, අළුත් භාෂාවක් ඉගෙනීම වගේ මනස සක්‍රියවන ක්‍රියාකාරකම් ඔබට වාසියක් ගෙනදේවි.

9) උදව් ලබා ගන්න.

මේ උත්සාහ දරත්දී හෝ එසේ දැරීමට නොහැකි තරමේ බරක් ඔබේ හිතට ඇති නම් මේ "තනිකම" තුල, කළ යුතු හොඳම දේ වෘත්තීමය උපකාර ලබා ගැනීමට කටයුතු කිරීමයි. ඒ සඳහා මනෝ චිකිත්සකවරයෙක්, සුදුසුකම් සහිත මනෝ උපදේශකවරයෙක් හෝ වෛද්‍යවරයෙක් සමඟ ,ඔබට දැනෙන "තනිකම" කියන හැඟීම ගැන විවෘතව කතා කිරීමයි පළමු පියවර. මතක තියා ගත යුතු වැදගත්ම දේ "තනිකම" කියන්නේ මානසික රෝගයක් නොවෙයි, එය තවත් හැඟීමක්. නමුත්, එය සීමාවට වඩා වැඩි බරක් ඔබට දැනීම තුල, වැඩි කාළයක් එම පීඩාකාරී හැඟීම හිත තුල රඳවා ගැනීම තුල, මානසික පමණක් නොව, කායික ගැටළුත්, තවත් කළකදි ඩිමෙන්ෂියාව වැනි අවදානම් තත්ත්ව වලටත් හේතුවක් විය හැකි බව දැන සිටීම සහ ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වීම ඔබට බාර , ඔබ වෙනුවෙන් , ඔබේ වගකීමක් බව ලිපිය නිමාකරමින් මතක් කරනවා.

No comments: