"අනේ මන්දා , මට දැන් එකපාරට අමතක වෙනවා, සමහර වෙලාවට නිකං confuse වෙලා වගේ මට දැන ගත්තත් කියන්න ඕනදේ හිතා ගන්න බැරිව හිර වෙනවා, කල්පනාවත් අඩුද මන්ද, මේ දැන් මෙතැනට එන්න ආපු ගමනේ මට අමතක වෙලා හරවන්නේ නැතිව ඉස්සරහටම ගියානේ, ඉස්කෝලේ ගාවදි මතක් වුනේ යන්නේ කොහෙද කියලා. ටික වෙලාවකින් ආයේ සාමාන්‍ය විදියට වැඩ කරගන්න පුළුවන්" ඇය, ඇස අග තිබුණූ කඳුළු බිංදුවක් ඇගිල්ලෙන් පිසදාන ගමන්කීවා.
"මෙහෙම වෙනසක් දැනෙන්නේ අළුතින්ද? නැත්නම් කාළයක් තිස්සේ මෙහෙම වුනාද? " මා ඇසුවා.
"නෑ අනේ, මම හැමදේම හරියට පිළිවෙලට , වෙලාවට කරන්න පුරුදු වෙලා හිටියේ, අනෙක මෙයා ලෙඩ වුනාට පස්සේ ඒ වගකීම තවත් වැඩි වුනා. මේ වෙනකම් මට මෙහෙම වෙනසක් දැනිලා නෑ, ඒත් ...දැන් දැන් මටත් ඩිමෙන්ෂියාවට එනවාද කියල මට බයයි. මම ඩිමෙන්ෂියාවට බය නෑ, ඒත් මට එහෙම වුනොත් මෙයා බලාගන්නේ කවුද?" බොහොම ශක්තිමත් ගැහැණියක් විදියට අප අතරේ හදුනාගෙන හිටි ඇයට "හැඩුමක්" මතුවුනේ කොයිතරම් බරක්, වේදනාවක් හිතේ පුරවාගෙන හිටියාද කියන "පුපුරායාමේ" ලක්ෂණයත් එක්ක.
අප තව ටික වෙලාවක් කතා කළා. වැටහුනු විදියට තම සැමියාගේ මානසික හැකියාවන්, කායික හැකියාවන් ක්‍රමයෙන් බිඳ වැටෙන බව හදුනාගැනීමත් එක්ක, "වියපත් කියන්නට තරම්" වයසක් නැති මේ තරුණ බිරිඳ පීඩාවන් රැසකට මුහුණදෙන බව වෙනම කියන්න ඕන නෑනේ. ඒ සියල්ල තුල ඇයට මතුවුනු විශාදයේ ලක්ෂණ නිසාවෙන් ඒ සඳහා ප්‍රතිකාර ගැනීමත් පහුගිය සතිවල ආරම්භ වුනු බවත් ඇය කීවා.
පැය බාගයක විතර කතාවකින් පස්සේ, ඇය මේ දැනෙන තත්ත්වයට පත්වන්නට "විය හැකි" හේතු මගේ වෘත්තීය සීමා තුල ඇයට ප්‍රමාණවත් ලෙස දැනුවත් කරල, එකතු කරගත යුතු විස්තර සහිතව ඊළඟට යොමු විය යුතු තැනට යොමුවීමට පෙළඹවීමක් කළා.
අපේ සායනය වෙත සැමියා සමඟ ආ, "බර වූ බිරිඳට" වඩා, තරමක් "සැහැල්ලු වූ බිරිඳක්" ලෙස ආයතනයෙන් පිටවෙලා, නැවතත් හවසට සැමියා ගන්නට එන බව පොරොන්දු වෙලා ගියා.
මෙන්න මේ අවස්ථාව පොදු ව්‍යවහාරයේ කියන්නේ Brain fog එකක් විදියට. සාමාන්‍ය කටයුතු කරගනිමින් , සාමාන්‍ය මතකය, තීරණ ගැනීමේ හැකියාව සහිතව "සාමාන්‍ය විදියට" කටයුතු කරන අතරේ ක්ෂණිකව හෝ කෙටි කාළයකට ඇතිවන "අමතක වීමක්, හේතුවක් නැතිවම ගත යුතු තීරණයක් ගත නොහැකිව හිර වූ බවක්, මතකයේ බොඳවීමක්" වගේ දැනෙන තත්ත්වය තමයි මේ විදියට ව්‍යවහාරයේ බ්‍රේන් ෆොග් එකක් , එහෙම නැත්නම් "මතක මීදුමක්" (වෙන නිවැරදි වචනයක් ඇත්නම් දෙන්න) කියල කියන්න වෙන්නේ.
දැන්, මෙහෙම තත්ත්වයක් තමන්ට එකවරකට වඩා ඇති වෙත්දි, ඒ වගේම තමන් "ඩිමෙන්ෂියාව" ගැන යම් තරමකට දන්නවා නම් අදාල පුද්ගලයාට ඊළඟට එන ප්රශ්නය තමයි ,
"මට ඩිමෙන්ෂියා හැදීගෙන එනවාද?"
කියන එක. හැබැයි ඉතින් ඩිමෙන්ෂියාව ගැන නොදන්නා කෙනෙක්ට මේවගේ අවස්ථා දැනුනත්, මේ තරම්ම බයක් ඇති වෙන එකක් නෑ. ඒ නිකං අමතක වීමක් විදියට දැනෙන්න පුළුවන්.
ඇත්තටම , මේ Brain fog ඇතිවීම , ඩිමෙන්ෂියාවේ පෙර ලක්ෂණයක්ද? එහෙම නැත්නම් ඩිමෙන්ෂියාව ඇතිවීගෙන එනවාද?
දැනට හදුනාගෙන තිබෙන වෛද්‍ය පර්යේෂණ ඔස්සේ සහ සෞඛ්‍යය ක්ෂේත්රය කරන දැනුවත් කිරීම් මත පදනම්ව කිව හැක්කේ,
එය 100%ක්ම එසේමැයි කිව නොහැකිබව.
තවත් සරළ සිංංහලෙන් කිව්වොත්, Brain fog කියන්නේ ඩිමෙන්ෂියාව ඇතිවීමේ පූර්ව ලක්ෂණයක් ලෙසම කියන්නට බැහැ. නමුත් , සමහර ඩිමෙන්ෂියා තත්ත්ව වලදීත් මේ කියන බ්‍රේන් ෆොග් ඇති වන්නට පුළුවන්.
නමුත්, මේ කී දෙවන අවස්ථාව වෙත්දි ඒ කිව්වේ "ඩිමෙන්ෂියාවේ සමහර අවස්ථා වලදිත් මේ කියන බ්‍රේන් ෆොග් ඇති වන්නට පුළුවන්. " අවස්ථාවෙදි , ඩිමෙන්ෂීයාව නිසා මතුවන අනෙක් බලපෑම් කිහිපයක්වත් හදුනාගන්න පුළුවන් වෙනවා. ඒ නිසා මෙහෙම දැනට කියන්නම්, ඩිමෙන්ෂියාවට අදාල වෙනත් ලක්ෂණ කිසිවක් නැත්නම් , Brain fog එකක් ඇතිවුනා කියල කළබල වෙන්න එපා, හැබැයි සැලකිලිමත් වෙන්න. ඒ කිව්වේ, අවස්ථා කීයක් මේ තත්ත්වයට මුහුණ දෙනවාද, ඒ අවස්ථාවෙදි ඔබට දැනෙන්නේ හෝ සිදුවන්නේ කුමක්ද? කියන තොරතුරු සටහන් තබා ගෙන ඔබේ වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කරන එක වටින නිසා.
හේතුව මේකයි, මේ කියන විදියට බ්‍රේන් ෆොග්ස් ඇතිවන්නට පුළුවන් තවත් හේතු ගණනාවක් තිබෙනවා. දියවැඩියාව වගේ කාළීන රෝග තත්ත්ව, අක්මාවේ රෝග තත්ත්ව, සමහර ඖෂධ වල බලපෑම් නිසා වගේ හේතු ගණනාවක් මේ "මතක මීදුම් " ඇති කරවන්නට පුළුවන්.
මේ පදනම් වන තත්ත්ව මත "මීදුම්" වර්ග කීපයක් නම් කරන්න පුළුවන් නිසා අපි ඒ ගැන ටිකක් කතා කරමු දැන්.
මුලින්ම, කතා කරමින් සිටි Brain fog ගැනම, ඒ තත්ත්වය, පෙර කී හේතු සහ කාළීනව පවතින මානසික කාංසා සහගත තත්ත්වය, ස්ට්‍රෙස් , විශාදය, කායික වේදනාවන්, ප්‍රමාණවත් "හොඳ තත්ත්වයේ" නින්දක් නොලැබීම වගේ තත්ත්ව නිසාත් මතුවන්නට පුළුවන්.
ඊළඟට, Fibro Fog. Fibromyalgia ලෙස නම් කරන කාළීන පේශි, සන්ධි වේදනාවන් සහිත තත්තවයේ තවත් ලක්ෂණයක් ලෙස මෙම "ක්ෂණීක අමතක වීම්, කල්පනාව වෙනස්වීම්" සහිත Fibro Fog ඇතිවන්නට පුළුවන්.
තවත් අවස්ථාවක් Chemo fog . පිළිකා තත්ත්වයක් සඳහා පිළිකානාශක ඖෂධ ප්‍රතිකාර ලබන අවස්ථාවකදි බහුලව හදුනාගත හැකි මේ තත්ත්වයේදීත් හේතුවක් හදුනාගත නොහැකි ලෙස මතකය කෙටි කාළීනව බිඳ වැටීමක් , නැවත නැවත එම තත්ත්ව ඇතිවීමක් හදුනාගන්නට පුළුවන්.
ඔය කියාගෙන ගිය පරණ "මීදුම්" වලට අමතරව ළඟදි ඉඳන් තවත් ෆොග් එකක් මතුවුනා, ඒ COVID Fog. විශේෂයෙන්ම long COVID තත්ත්වය සමඟ දිගු කාළයක් එම රෝග ලක්ෂණ, පේෂි වේදනාවන් සමඟ ජීවත්වන අයෙක්ට මෙම COVID Fog ගැටළුව මතුවන්නට පුළුවන්. එතැනදීත් කල්පනාව වෙනස්වීම, තීරණයක් ගැනීමට නොහැකිවන "මතකය, එහෙම නැත්නම් තීරණ ගැනීමේ හැකියාව" හිර වුනු බවක් දැනීම් වගේ ලක්ෂණ මතු වෙලා , නැති වෙලා යන්න පුළුවන්.
තවත් ෆොග් කීපයක් ගැන කතාබහ තිබුණත් ඒ හැම එකකම පොදු ලක්ෂණ දැනටම කියවෙලා තිබෙන නිසා අපි දැන් ආයෙත් ඩිමෙන්ෂියා පැත්තට එමු.
මේ Brain fogs සහ Dementia අතර ලොකුම වෙනස තමයි, ෆොග් තත්ත්වය සඳහා පසුබිම් වන හේතුව, උදාහරණයක් රෝග තත්ත්වය, ඖෂධය, මානසික පීඩාකාරී තත්ත්වයන් සඳහා නිසි ප්‍රතිකාර ගත්තාම ක්‍රමයෙන් අඩුවෙලා යනවා.
නමුත් ඩිමෙන්ෂියාවේදී සිදුවන මතකය අඩුවීම්, තීරණ ගැනීමේ හැකියාවේ අඩුවිම් ඒ තරම් සාර්ථක ලෙස හොඳ පැත්තට එනවා කියන්නට බැහැ.
අනෙක, මේ Brain fogs බොහොමයක් අවස්ථා වල ඉතා කෙටි කාළීනයි, ඇතිවුනා, නැති වුනා වගේ . සමහර අවස්ථා වල තරමක් දිගු කාළයක් තිබුණත් ඒ සඳහා හේතුවන පසුබිම් රෝග තත්ත්වයක් , එහෙම නැත්නම් ගන්නා ඖෂධයක් හදුනාගන්නට පුළුවන් වන අවස්ථා වැඩියි.
ඊළඟදේ, මේ බ්‍රේන් ෆොග් නිසා පුද්ගලයාගේ දවසේ කටයුතු ඉතාමත් සංකීර්ණ ලෙස බිඳ වැටෙන්නට තිබෙන ඉඩ අඩුයි. ඒ කිව්වේ, ෆොග් ඇති වන අයෙක්ට වුනත් තමන්ගේ දවසේ කටයුතු කරගෙන යන්න "බැරිකමක්" නෑ.
මේ තමයි "මතක මීදුම්" ගැන ඔබට කියන්නට මේ වෙලාවේ මතක් වුනු දේවල්. හිතට ආ වේගෙන්ම ලියාගෙන ගියා මිසක අකුරු හැඩ තල හැදුවේ නෑ. ඒ නිසා අකුරක් දෙකක් මාරු වෙලා තිබුණොත් හදාගෙන කියවන්ට. ඒ වගේම ඔබේ අත්දැකීම්, ඔබේ දැනුමත් බෙදා ගන්න කැමති නම් එකතු කරන්න.
No comments:
Post a Comment