Sunday, September 28, 2025

49. මට, මාව පරිස්සම් කරල දෙන්න

 දවස- සිකුරාදා.

සිදුවීම- සේවාලාභියෙක් සමඟ පළමු හමුවීම

"මට ඒ සිදුවීම හොඳට මතකයි. අපි හිම කන්ද පහලට වේගයෙන් එමින් හිටියේ. මතක විදියට තදින් හිරු එළිය තිබුණා. හැමෝම හරි සන්තෝසෙන් විනෝද වුනා. අන්තිමට මට මතක මාව අන්ධ වුනා වගේ හැඟීමක්. ඊට පස්සේ වුනු දේ ගැන හරි මතකයක් නෑ." මගේ දරුවන්ට වඩා අවුරුදු දෙක තුනක් විතර වැඩිමල් මේ කොළු ගැටයා කියාගෙන යනවා.

"හ්ම්... ඒතමයි අවසාන දවස ස්කි-ඩූ ගිය. මාස හතරක් රෝහලේ හිටියා, ශල්‍යකර්ම තුනක් කළා ජීවිතය බේර ගන්න." ඔහු සමඟ පැමිණ, අම්මා කතාව මැදට එකතු වුනා.

"මගේ‍ පෙම්වතියත් එයින් තුවාල වුනාලු, ඒත් දැන් එයා සුවෙන්, ඒක මට සතුටක්. ඒත් මට එයාව තව කොයිතරම් කාළයක් මතක තියේද, හඳුනගන්න පුළුවන් වේද කියල බය තමයි තියෙන්නේ" ඔහුගේ ඇසේ කඳුලක සේයාවක් දැක්ක.

"දැනටමත් මාව වෙන කවුරු හරි කියල හදුනගන්න අවස්ථා බෝමයි. මෙයාගේ වෛද්‍ය කණ්ඩායම නම් කියන්නේ, අමතක වීම සීග්‍රවන වේගය අනුව, හුඟ කළක් මතකය රඳවා ගන්න අපහසුවේවි කියලා" අත තිබුණූ ටිෂු එකෙන් ඇස් අග පිහිදාන ගමන් අම්ම කියනවා.

හමුවීම සාර්ථකව නිමා වුනා. අවශයතා සියල්ල සපුරා ඇති නිසා ඔහු අපේ වැඩසටහන තුලට ඇතුළු කරගත්තා.

"ඔයා අපත් එක්ක එකතු වෙන්න හිතුවේ ඇයි?" සේවාලාභියාගේ අවශ්‍යතාවය, කැමැත්ත සහ අවබෝධය ගැන කරන විමසීම වෙනුවෙන් අවසන් ප්‍රශ්නය මා ඇහැව්වා.

"මගේ සෞඛ්‍යය කණ්ඩායම තමයි මේ වැඩසටහනට මාව යොමු කළේ. මම දන්නේ නෑ එයාලගේ අරමුණූ මොනවද කියල. මට නම්, මගේ මතකයේ තියෙන මේ සුන්දර මතකයන් ටික තව ටික කාළයක් වත් රඳවා ගන්න පුළුවන් නම්, වැඩියෙන්ම මට මගේ පවුලේ අය, ම‍ගේ ආදරවන්තිය, ඇගේ සිනහව, ඒ උණුසුම මතකයේ තව කාළයක් තියා ගන්න පුළුවන් නම් ඒ ඇති. මං දන්නවා ම‍ගේ ජීවිත ගමන හුඟක් දුර නෑ. ඒත් මට ජීවිතේ කියන්නේ ඒ මතක, ඒ ටික පරිස්සම් කරගන්න උදව් දෙන්න ..." ඔහු කතාව නැවැත්වුවා. එතෙක් හිත තද කරගෙන හිටි , මේ තරුණූ කොළු පැටියා‍‍ගේ කම්මුල් දිගේ කඳුළු වැලක් ගලා ආවා.

"ඔව්, ----- එන්න අපිත් එක්ක මේ ක්‍රියාකාරකම් වල යෙදෙමු, උත්සාහ කරමු ඒ මතකයන් තවත් කාළයක් රඳවා ගන්නට." මගේ අත තදින් අල්ලා හිටි ඔහුගේ හැඟීමට ඉඩ දෙමින් කෙටි උත්තරයක් දුන්නා.

මේ සියල්ල ඉදිරියේ හිත් ශක්තිමත් කරගෙන හිටි අම්මාත්, දරුවාත් හමුවීම නිමා කරන ආයතනයෙන් නික්ම යත්දි මාද ඔවුන් එක්ක එළියට ආවේ දීප්තිමත් හිරු එළියේ සුවය විඳින්නත් එක්ක වුනත් අම්මාගේ අත අල්ලාගෙන, තරමක අසමබර පා තැබීමකින් යන යන මේ උස මහත කොළු පැටියාගේ චර්යාව තවත් දකින්නට කැමැත්තක් තිබුණා.

"මට ලබන සතියෙම එන්න පුළුවන්නේද? " මා පසුපසින් එනබව දුටු නැවතී , විමසීමක් කළා.

"ඔව්, පුතා " මට කියවුනා.

"ඔයාට තවත් හරියටම දවස් පහකින් අපිත් එක්ක එකතු වෙන්න එන්න පුළුවන්." හිතේ බරටම වෘත්තීය සීමාවන් තරමක් බිදුන බව වැටහුනේ මොහොතකට පසුව.

අම්මාගේ අතින් මිදුනු ඔහු මා වෙතට ආවා,

"මට, මාව පරිස්සම් කරල දෙන්න" තදින් මා වැළඳගත් මේ තරුණ දරුවා මගෙන් බරසාර ඉල්ලීමක් කළේ, හිත තවත් හිරි වට්ටමින්.

හිමේ සීතල වගේම හිරු‍‍ගේ උණුසුමත් මොහොතකට විඳි මා, නැවතත් වැඩසහන් පරිශ්‍රයට ආවේ , මගේ දරුවන්ගේ වයස කිට්ටුව වයස් සීමාවක සිටි මේ දරුවා කියූ වැකි දෙකක් හිත තුල ‍දෝංකාර දෙත්දි.

"ජීවිතේ කියන්නේ ඒ මතක"

"මට, මාව පරිස්සම් කරල දෙන්න"

No comments: