("නොබැඳුනු මනසක විත්ති" විශේෂාංගය , එහෙම නැත්නම් ලිපි පෙළ තුලින් මම උත්සාහ කරනවා මගේ වෘත්තීය පරිසරය තුල දිනපතා මම අත්විඳින, සමහර විට ඔබ බොහෝ දෙනෙක් නොදකින, නොවිඳින වෙනස් සිදුවීම් මාලාවක් ඔබත් එක්ක බෙදා ගන්නට. ඒ තුලින් ඩිමෙන්ෂියාව සහ ආශ්‍රිත තත්ත්වය සමඟ ජීවන මගේ සේවාලාභීන්ගේ ඇත්ත අත්දැකීම්, ඔබේ කරමින් ,මෙම තත්ත්වය ගැන යම් දැනුමක්, තොරතුරක් ලබා දෙන්නයි උත්සාහය.)
අඟහරුවාදා, අද නිවාඩුවක් ගත්ත නිසා උදේ වරුව විවේකෙන් ඉන්න පුළුවන් කියල හිතුනත්, මගෙන් වෙන්න තිබුණු වගකීමක් කළ යුතු නිසා ඒ වෙනුවෙන් නමයට විතර ගියා මගේ ආයතනය වෙත. ඒ අඟහරුවාද හවස තිබුණූ විශේෂ සංග්‍රහයකට අවශ්‍ය අඩුමකුඩුම මල්ලකුත් කඩෙන් අරගෙන. ගෙනා රස කෑම බීම පුරවපු බඩු මල්ල, මගේ සහය මිතුරියට දීලා ඉක්මණට ගෙදර යන්න කියල හිතාගෙන එළියට ආවත්, මා එනතුරු මග බලාගෙන හිටියේ වෝල්ටර්, එහම නැත්නම් අපි හැමෝම ආදරේට කියන "වොලී". සුදු දිගු රැවුලත්, හැඩට ගොතාතිබෙන කොණ්ඩයත්, ඩොලර් හයසීයක් වටිනා බව කියන පැලද සිටින පරණ කව්බෝයි හැට් එකත්, අඩි හතකට කිට්ටු උසක් ඇති දේහයත් නිසා දුර සිට වුනත් හදුනාගත හැකි වෝල්ටර් කියන්නේ, එක්තරා කාළයකදි ඇල්බර්ටාවේ අශ්ව ධාවන ක්‍රීඩාවල ඉහළින්ම හිටි දක්ෂයෙක්. ලෝරි, වෝල්ටර් ගේ බිරිඳ, අවුරුදු හැට පහක විතර , විශ්‍රාමික , විශේෂ අධ්‍යාපන සහායිකාවක්, වෝල්ටර් වගේ සද්දන්තයෙක් නොවුනත් හරිම අහිංසක , ටිකක් විනෝදයට බර, අද වෙත්දි ඩිමේන්ෂියා තත්ත්වයේ අවස්ථාවක් සමඟ ජීවත් වන තවත් අම්ම කෙනෙක්. වෝල්ටර් ඇගේ බිරිඳ ලෝරි අපේ වැඩසටහනට සම්බන්ධ කරන්නේ මාර්තු මාසේ. එදා ඉඳන් අද දක්වා හරිම බැඳීමක් එක්ක, ඉහළ අගය කිරිමක් ලබා දෙමින් අපව දිරි ගන්වන හරිම අපූරු යුවලක් මේ.
වෝල්ටර් මේ විදියට මග බලාගෙන ඉන්නේ මොකක් හෝ ලොකු දෙයක් කියන්න බව වැටහුනා.
"හේයි, මම ඔයාව හෙව්වා, සැන්ඩි කීවා ඔය අද ඔෆ් කියලා" පැලද හිටිය කව්‍බෝයි හැට් එක ගලවා හිස පිරිමදින ගමන් වෝල්ටර් කතාව පටන් ගත්තා.
"ඔව්, වොලී, අද මම නිවාඩුවක් ගත්ත , ඒත් අද හවස පාටියට බඩු ගන්න කාඩ් එක මා ගාව තියෙන නිසා ඒ අඩුමකුඩුම ගෙනත් දීල යන්න ආවේ"
"ම්...කළබලයක් නැත්නම් අපි යමුද ටිම් එකකට කෝපි එකක් බොන ගමන්ම කතා කරන්න" වොලී බොහොම සැලකිල්ලෙන් ආරාධනාවක් කළා.
"බොහොම ස්තුතියි වොලි, සමාවෙන්න මට ඉක්මණට ගෙදර යන්න වෙනවා අද නම්, ඒත් අපට මෙහෙම ටිකක් කතා කරන්න බැරි කමක් නෑ" ආරාධනාව කාරුණිකව ප්‍රතික්ෂේප කරන ගමන්ම, පොඩි කතාවක් පටන්ගන්න මටත් ඕන වෙලා තිබුණා පහුගිය සතියේ දුන්න දේවලින් ඔවුන් ප්‍රයෝජනයක් ගත්තාද දැන ගන්නට.
"හරි, මුලින්ම ලෝරිගේ මේ අවුරුද්දේ අන්තිම ඇසෙස්මන්ට් එක බ්‍රහස්පතින්දා, මං හිතනවා ඔයාල ඕන කරන විස්තර ඔක්කොම දැනටමත් ඇතුළු කරලා ඇති කියල, අනෙක අර ගිය සතියේ අපි කතා කළ වැඩේ සාර්ථකයි. ඔන්න ඔය දෙක කියන්න තමයි මම මේ බලාගෙන හිටියේ"
ඩිමෙන්ෂියාව සහිත අයෙක් අවම වශයෙන් වසරකට දෙවතාවක් හෝ වෙනස්කමක් හදුනාගැනීම මත සෞඛ්‍යය තක්සේරුවකට ලක්කරනවා. එතැනදී, අදාල සේවාලාභියාට අදාල සියළුම සෞඛ්‍යය කණ්ඩායම්, අදාල කණ්ඩායම විසින් ලබා දෙන සෞඛ්‍යය සේවාවන් වලට අදාල නිරික්ෂණ, හදුනාගැනීම් , වෙනස්කම් හෝ ප්‍රතිචාර සියල්ල අදාල සේවාලාභියාගේ පරිගණකගත සෞඛ්‍ය්‍ය දත්ත ගොනුවට ඇතුළු කර තිබිය යුතු වෙනවා. එම තක්සේරුව කරන විශේෂ පුහුණූ හෙද නිළධාරිවරයා සිදුකරන්නේ, මේ ලබා දී ඇති තොරතුරු, හමුවීම තුල හදුනාගන්නා සාධක ඔස්සේ විශේෂීත පෝරම සහ ආකෘති සියල්ල සම්පුර්ණ කර වාර්තාවක් ලබා දීම.
"ඔව්, වොලී, අපි දවස ගානෙම කේස්නෝට් කරනවා, ඒ නිසා ලෝරි ගැන අපේ පැත්තෙන් දෙන්න තියෙන හැමදෙයක්ම දැනටමත් ෆයිල් එකේ තියෙනවා. ඒ ගැන කළබල වෙන්න එපා. මොකක්ද අර හරිගියා කිව්ව වැඩේ ? " මගේ කුතුහලය නිසාම ඇහැව්වා.
"අර බ්‍රෙක්ෆාස්ට් වැඩේ, අර ඔයා කීවේ ඩොන් විලියම්ස්ගේ සිංදු ......" වොලී තව කියාගෙන යන්න ගියත් , දැන් මට කතාව මතක් වුනා.
"ආ...අපි කිව්වේ බ්‍රෙක්ෆස්ට් එකට ඩොන් විලියම්ස්ගේ සිංදුවක් දාල බලමු කියලා ඒකනේ?"
"ඔව්, හැමදාම මට උදේ එයත් එක්ක යුද්ද කරන්න වුනේ ඔය ප්‍රශ්නෙට නේ. පස්සෙ කන්නං පස්සේ කන්නං කිය කිය දවල් දෙක වෙනකං නිදාගන්න කෙනා, ඔයා කිව්ව වගේ ඩොන්‍ගේ සිංදුවක් දාල මම කෑමමේසෙට වාඩි වුනාම, මෙන්න එනවා පිජාමා එකෙන්ම " වොලීගේ ඇස්වල සතුටක් තිබුණා.
පහගිය මාස ගණනාවක් පුරාම ලෝරි උදේ ආහාරය නොගනන්නා බවත්, ඒ වෙනුවෙන් කියන එකම ඇයට කරදරයක් වූ නිසා හැමදාමත් උදේ කෑම මතක් කර කතාබහක්ඇති වුනු තත්ත්වය අප හදුනාගෙන තිබුණා. සමහර දවස් වලට ලෝරි අපේ වැඩසටහනට ආවේ , මොන්ටිසෝරි යන දරුවෙක් වගේ, මොකද උදේ පාන්දර වොලීගෙන් හොඳට බැණුම් අහල , බලෙන්ම වගේ කෑම එක කවාගෙන තමයි එන්නේ.මේ සඳහා ගත හැකි විවිධ උපක්‍රම ගැන විවිධ සෞඛ්‍යය වෘත්තිකයන් උපදෙස් දී තිබුණා. ඒ අතරේ වෙනස් ආහාර වර්ග, කෑම මේසයේ සැලැස්ම වෙනස් කිරීම , රාත්‍රි කෑම වේලේ වෙනස් කිරීම් වගේ තාක්ෂණික උපදෙස් තිබුණා.
මේ සියල්ල සිදුවන අතරේ අප අපේ සාමාන්‍ය චිකිත්සීය කටයුතු ලෝරි වෙනුවෙන් කරගෙන ගියා. මොකද, ඇය නිවසේදි ආහාර ගැනීමට අදාල ගැටළු ගැන සෘජු වගකීමක් අපට නොතිබුණූ නිසා. නමුත් ඇය අපේ වැඩසටහන තුලදී දිවා ආහාරය ගැනීම , අනෙක් කෙටි ආහාර ගැනීම් වලදී කිසිම වෙනසක් දැක්වූයේ නැහැ. නමුත්, පොදු ලක්ෂණයක් අප හදුනාගත්තා, ඒ ඇය ප්‍රිය කරන ගායකයෙක්ගේ ගීතයක් වාදනය වෙත්දි ඇය ගන්නා ආහාර ප්‍රමාණය සහ එය ගන්නා තත්ත්වයේ ඉහළ බවක් අප හදුනාගන්නවා. ඒ අතරේම , ක්‍රමයෙන් ඇගේ ජීවිත කතාව හදුනාගැනීමේදී ඇය සංගීතයට කොයිතරම් ආදරේද, ඒ සංගීත ආදරයේම ප්‍රතිපලයක් ලෙස අශ්ව තරඟදිනා කෙල්ලන් පිරිවරා සිටි වොලීව අල්ලා ගන්නට පුළුවන් වූ බව රස කරමින් කී අවස්ථාත් වැදගත් තොරතුරක් අපට හෙලි කළා. වයස විසි ගණන් වලදී වොලී සමඟ හාදවන ඇය, හැමදාමත් රැකියාවෙන් පසු හවස් වරුව වොලී සමඟ ප්‍රදේශයේ ඇති ආපනශාලාවේ , අඳුරු කෙළවරක ඇති කෑම මේසයේ ඇති අස කෑම මෙන්ම, රස බීමද හිස්කරමින් ගෙවූ කාළය ඇය වරින්වර සිහිපත් කළේ පුදුමාකාර සතුටකින්.
මේ සියළු හදුනාගැනීම් ඔස්සේ, "ලෝරි උදේ කන්නේ නෑ" ප්‍රශ්නය ගැන පහුගිය සතියේ කතා කරමින් සිටියදි , ලැබී ඇති උපදෙස්, ඒවායේ වර්තමාන හොඳ නරකත් අසාගෙන් අළුත් යොජනාවක් ඉදිරිපත් කළා. ඒ, ලෝරි-වොලීගේ ගෙදර පොඩි වෙනසක් කරන්නට. කෑම මේසයේ ආරක්ෂාවට සහ ලස්සනට යොදා තිබූ ප්ලාස්ටික් ආවරණය ඉවත් කර, මේසයේ පැරණි, දැව වර්ණයන් වයනව (texture) දැනෙන ලෙස සූදානම් කරමින්, එය පිහිටි තැනින් නිවසේ කෑමකාමරයේ කෙළවරකට ගෙනියන්නටත්, නිවසේ ඇති ප්‍රධාන ආලෝකය නොව, එම කෑම මේසය සහිත ප්‍රදේශයට අඳුරු කහ පැහැ ආලෝකය ලැබෙමින් , අපූරු පැරණි ආපනශාලාවක පරිසරයට ලබා ගන්නට යෝජනා කළා. මේ සියළු උපදෙස් , යෝජනා ක්‍රියාත්මක කරමින් වොලී, කෑම කාමරය "වෙනස්" කළ බවත්, දැන් කෑම මේසය සහ අවට එදා ලෝරි ආසා කළ, ලෝරි සහ වොලී ආදරය බෙදා හදා ගත් ආපනශාලාවේ පසුබිමට සමාන කරගන්නට ඔහු කටයුතු කර තිබුණා.
"ආ , ඒ විතරක් නොවෙයි, මම අර පරණ රෙකෝඩ් ප්ලේයර් එකට ඩොන් විලියම්ස්ගේ කැසට් හයක් ෆිඩ් කරල තියෙන්න්. දැන් මම කරන්නේ, උදේට කෑම ලේස්ති කරලා, මේසේට කෑම බෙදලා අර කැසට් එක ප්ලේ කරන එක විතරයි. මම මුකුත් කියන්නේ නෑ, නැගිට්ටවන්නෙත් නෑ. මෙන්න ටික වෙලාවක් ගියාම පිජාම එක පිටින්ම කෙල්ල එනවා. මූණේ හිනා පිරිලා , මට ඒ සතුට මෙහෙම කියන්න බෑ මහේෂ්" කොයිතරම් හැඩිදැඩි දේහයක් තිබුණත්, මනුස්ස හිතක් තිබුණු වොලීගේ ඇහට කඳුලක් ආවේ දුකට නොබව බව මට දැනුනා.
"ඒ කියන්නේ අපේ ප්ලෑන සාර්ථකයි වොලී" මටත් දැනුන සතුට ටිකක් හයියෙන්ම වචන වෙලා එළියට ආව.
"ඔව්, ගිය සතියේම එක දවසයි එයා කෑමට නොආවේ. ඒත් ඊට ඉස්සර වෙනිදා ගත්ත බෙහෙත් වල සයිට් ඊෆෙක්ට් එකක් නිසා කරකැවිල්ල ආපු නිසා. නැත්තං හැමදාම උදේ හිනාවෙවී කෑමට එන, කෑම කාළත් තවත් පැයක් විතර පරණ කතා කිය කිය මාත් එක්ක එන්න , මගේ ලෝරි මට ආයෙත් හම්බුණා මහේෂ්. දැන් හැමදාම උදේට අපි දෙන්න ආයෙත් ඩේටිං කරනවා වගේ දැනෙන්නේ"
මට වගේම වොලීටත් තවත් හුඟක් දේ කතාකරන්න තිබුණත්, වොලීගේ හිතේ බර වගේම , මට නිවසට ඒමට තිබුණූ අවශ්‍යතාවයත් නිසා කතාව එතැනින් නිමාකරල අප වෙන්වුනා.
මේක හරිම සරළ සිදුවීමක්, නමුත් ඩිමෙන්ෂියාව සහිත අයෙක්ට කැවීම් පෙවීම් වලදී සිදුවන අපහසුතා වල ඉහළින්ම එන , කෑම ප්‍රතික්ෂේප කිරීම, ප්‍රමාණවත්ව ආහාර නොගැනීම වගේම විශේෂයෙන්ම ආහාරය ගැනීම තුල ලැබිය යුතු සතුට නොවිඳීම කියන ගැටළුව තුලදී මේ ලැබූ අත්දැකීම් හරිම සතුටක් වගේම සාර්ථක වූ අත්දැකීමක් නිසා , ඔබත් එක්කත් මේ කතාව බෙදා ගන්න ඕන කියල හිතුනා. ඊයේ සිදුවුනත්, පසුව වුනු අවිවේකයන් නිසා ලියන්න නොහැකි වුනත්, අද විවේකයේ මේ අකුරු කරන්නේ අන්න ඒ සැබෑ වූ ලෝරිගේ කතාව.
මගේ සේවාලාභියාගේ සහ එම පවුලේ පුද්ගලික සහ සෞඛ්‍යය තොරුතුරු වල ආරක්ෂාව වෙනුවෙන් මට ඇති බැඳීම නිසාවෙන් කතාවේ නම් ව්‍යාජ ලෙස යෙදූවත්, සිදුවීම ඩිමෙන්ෂියාව සමඟ ජීවත්වන්නන් සමඟ කටයුතු කරන අප දිනපතා මුහුණදෙන අත්දැකීම් අතර තවත් සත්‍ය කතාවක් පමණි.
No comments:
Post a Comment