මේ ලිපිය අපේ සාමාජිකයෙක්ගේ ගැටළුවකට දෙන පිළිතුරක්. කොමෙන්ට් තීරය තුල ප්‍රමාණවත් ලෙස අදහසක් එක් කළ නොහැකි නිසා වෙනම පෝස්ට් එකක් ලෙස එකතු කළා.
ගැටළුව -
වයස 38 පසුවෙන දෙපලක් වන අපිට අනාගතයේ ඇති විය හැකි ඩිමෙන්ශියා තත්ත්වයක් මග හරවා හෝ වලක්වා ගැනීම සදහා දැන් සිටම ගත හැකි ක්‍රියා මාර්ග හෝ පිලිපැදිය යුතු හෝ පවත්වා ගත යුතු ජීවන රටාව ගැන අදහසක් දැන ගැනීමට කැමතියි. අප වයසට ගිය පසු අපිව බලා ගැනීමට කිසිවෙකු නොමැති වෙයි යන උපකල්පනය මත මෙය විමසන බව කාරුනිකව සලකන්න
මගේ අදහස්-
මේ වගේ ප්‍රශ්නයක් ගෲප් එක ඇතුලේ දකින්නට ලැබීමත් සතුටක්. හේතුව, තවමත් අපේ බහුතරයක් "ලෙඩ වුනාම බෙහෙත් ගන්න" ආකල්පයේ ඉන්නට මිස, වලක්වා ගත හැකි හෝ සීමාකරගත හැකි අවදානම් වෙනුවෙන් සූදානමක් වෙනවාදැයි සැක හිතෙන තරම් නිසා. ඩිමෙන්ෂියා තත්ත්වය තුලත්, මෙලෙස වලක්වා ගැනීම හෝ සීමා කරගැනීම, එහෙමත් නැතිනම් පමා කරගැනීම සඳහා ගත හැකි ජීවන රටා උත්සාහයන් 14ක් (12 ළඟදි වැඩි වුනා 14කට) ඩිමෙන්ෂියාව පිළිබඳ පර්යේෂණ ඔස්සේ හදුනාගන්නවා. මුලින්ම ඒ ගැන කෙටි සඳහන් කරන්නම්, පොතේ හැටියටම. ඊට පස්සේ, මේ වයස් සීමාවන් වලට අදාලව වගේම, ඩිමෙන්ෂියාව සමඟ ජීවත්වන්නන් සමඟ වෘත්තීය අත්දැකීම් ඔස්සේ අප හදුනාගන්නා (සමහර විට පර්යේෂණමය ලෙස සාර්ථකව තහවුරු නොකළ) විය හැකි අවදානම් සාධක ගැනත් ලෙස, දෙආකරයක කරුණූ මේ ලිපියට එකතු කරන්නම්. ඒ ඔස්සේ, මෙම අවදානම සීමා කරගැනීමට අපට වඩාත් ගැලපෙන ජීවන රටාව සැලසුම් කරගන්නට බලමු.
මුලින්ම, පර්යේෂණ අනුව 45%ක පමණ ඩිමෙන්ෂියා තත්ත්වයන් ප්‍රමාණයක් සීමා කරගැනීමට හෝ වලක්වා ගැනීමට කළ හැකි 14 modifiable risk factors ගැන කෙටියෙන්.
1) ළමා කාළයේ නිසි පරිදි පාසල් අධ්‍යාපනය නොලැබීම.
කුඩා කාළයේ ප්‍රමාණවත් ලෙස, ඒ කියන්නේ ලංකාවේ විදියට කිව්වොත් සාපෙල දක්වාවත් අධ්‍යාපනය නොලැබීම අවදානමක් ලෙස හදුනාගෙන තිබෙනවා. හේතුව මේකයි , මේ වර්ධණය වන අවධියේ අධ්‍යාපනය ලැබීම, මතක තබා ගැනීම, පරිකල්පනය, නිර්මාණශීලිබව ඔස්සේ මොළය තුල “cognitive reserve” එක ඉහළ යාමක් සිදුවෙනවා. හොඳ “cognitive reserve” එකක් පැවතීම, වියපත් වීමේදී හැම දේම අඩු වෙත්දි “cognitive reserve” එකත් අඩුවීම තුල , ඩිමෙන්ෂියාව මට්ටමට පත්වීම හෝ එම අවදානම ඇතිවීම පාලනය කරගන්නට පුළුවන්. තව විදියකින් කිව්වොත් මොළය තුල “cognitive reserve” අඩුවීම (මේක වයසගතවීම, මොළය තුලට වන හානි, මොළයේ සෛල වලට හානිකර රසායනික වගේ සාධක ගණනාවක් නිසා වෙන්නට පුළුවන්) පාළනය කරගත්තොත්, ඩිමෙන්ෂියාවට පත්වීම වලක්වා ගන්නට හෝ ප්‍රමාද කරගන්නට පුළුවන්. ඒ සඳහා හොඳ “cognitive reserve” එකක් සකසා ගන්නට සහ පවත්වා ගන්නට, ළමා වයසේදී හොඳ අධ්‍යාපනයක් ලැබීම, වගේම ඉන් පසුව මොළය බුද්ධිය සක්‍රියව පවත්වා ගන්නා, ක්‍රියාකාරකම් වල යෙදීමත් හරිම වැදගත්.
මේ “cognitive reserve” පිළිබඳව ළඟදීම කළ පර්යේණ ඔස්සේ හදුනාගන්නවා, දරුවෙක් කුඩා කාළයේ මානසික පීඩාකාරී අත්දැකීම් වලට මුහුණදීම තුල ජීවිතේ ආරම්භක කාළ සීමාවේ “cognitive reserve” සැකසීම තුලදී, එහි ප්‍රමාණය අඩු වීමක් වන බවත්, එය ජීවිතයේ වැඩිහිටි වියේදී එම පුද්ගලයාට ඩිමෙන්ෂියාව හෝ ආසන්න තත්ත්වයන්ට මුහුණදීමට සිදුවීමට වැඩි ඉඩක් ඇති බවත්.
ඒ නිසා දරුවාට හොඳ ආරක්ෂීත, සතුටුදායක ළමා කාළයක් ලබා දීමත්, හොඳ අධ්‍යාපනයක් සඳහා අවස්ථාව දීමත්, එතැන් සිට බුද්ධිමය ක්‍රියාකාරකම් හොඳ මට්ටමක පවත්වා ගන්නා ජීවන රටාවක්, රැකියා පරිසරයක් ලබා ගැනීමත් අවදානම වලක්වා ගැනීමක් වේවි.
අපේ අත්දැකීම් තුලදී, ළමා කාළයේ යුද්ධ, විනාශ වලට මුහුණදුන්, දෙමාපියන්ගෙන් අනපේක්ෂීත ලෙස වෙන් වීම් වලට ලක්වූ පුද්ගලයන් සෑහෙන ප්‍රමාණයක් ඩිමෙන්ෂියා තත්ත්වය සමඟ හදුනාගන්නට පුළුවන් වෙනවා.
2) කණ් ඇසීම අඩුවීම (ප්‍රතිකාර නොලැබීම)
කණ් ඇසීම අඩුවීම සහ ඒ සඳහා නිවැරදි කිරීමේ උපක්‍රම හෝ ප්‍රතිකාර නොලබා ජීවත්වීම, ඩිමෙන්ෂියාව කැන්දා ගැනීමක් බව අද වෙත්දි තහවුරු වෙලා තිබෙනවා. නියමිත ප්‍රමාණයට වඩා ඩෙිසිබල් දහයක ශ්‍රවරණ හැකියාව අඩුවීම, 10%කින් විතර ඩිමෙන්ෂියා අවදානම වැඩි කරන බව සාමාන්‍ය අදහස. ඒ නිසා, යම් ශ්‍රවණ ඌණතාවයක් ඇත්නම් ප්‍රමාද නොකර ප්‍රතිකාර ලබා ගැනීම හෝ ශ්‍රවණාධාර ලබා ගැනීම තුල මෙම අවදානම අඩු කරගන්නට පුළුවන්.
3) අධික කොලෙස්ටරෝල් ප්‍රමාණයක් රැධිරයේ පැවතීම.
මෙය ක්‍රම කිහිපයක් ඔස්සේ ඩිමෙන්ෂීයා අවදානම වැඩි කරන බව හදුනාගන්නවා. මේතුල LDL කොළෙස්ටරෝල් ප්‍රමාණය අධික වීම , මොළයේ රුධීර වාහිනී වල සෞඛ්‍යමත් ක්‍රියාකාරීත්වයන්ට බාධා ඇති කිරීම වගේම, මොළයේ රුධිර නාල අවහිර කිරීම නිසා මොළය තුල විය යුතු නිසි රුධිර ප්‍රවාහණයන්, කැළිකසල බැහැර කිරීමේ ක්‍රියාවන් කරගන්නට බැරිවීමත් මොළයේ සෛල වලට හානිකර ලෙස බලපෑමක් කරන බව හදුනාගන්නවා. ඒ නිසා, රුධිරය තුල කොලෙස්ටරෝල් ප්‍රමාණයන් හදුනාගැනීම, කොලෙස්ටරෝල් සංයුතියට අහිතර කර ලෙස බලපෑම් ඇතිවන ආහාර පාන, ජීවන රටාවන් සීමා කරගැනීම මෙන්ම, අවශ්‍ය අවස්ථාවේදී නිසි ඖෂධීය සහ ජීවන රටා වෙනස් කිරීම් ඔස්සේ යහපත් මට්ටමක පවත්වා ගැනීමත් වැදගත්.
4) විශාදය පැවතීම
මානසික අවපීඩනය, එහෙම නැත්නම් විශාධය තත්ත්වය නිසි ප්‍රතිකාර නොලබා කාළයක් තිස්සේ පැවතීම නිසා මොළයේ සෛල වලට සිදුවන හානි වගේම, හොමෝන පද්ධතිය මත කරන බලපෑම ඔස්සේ ඩිමෙන්ෂියාව ඇතිවීමේ වැඩි අවදානමක් හදුනාගන්නවා. එම නිසා, ඉක්මණින් එම තත්ත්වයන් හදුනාගැනීම සහ වඩාත් සාර්ථක සහ අහිතකර ප්‍රතිපල අඩු ඖෂධීය හෝ චිකිත්සීය ප්‍රතිකාර ලබා ගැනීමත් හරිම වැදගත්. (ඒ වගේම, මානසික රෝග වලට ලබා දෙන සමහර ඖෂධ නිසා, ඩිමෙන්ෂියා අවදානම ඉහළ යන්නටත් පුළුවන්. ඒ නිසා, ප්‍රතිකාර ලබා ගැනීමේදී අවදානම අඩු, වාසිය වැඩි ප්‍රතිකාර , චිකිත්සීය ක්‍රම ඔස්සේ ප්‍රතිකාර ලබා ගැනීමට යොමුවීම හරිම වැදගත්)
5) හිසට වන අනතුරු
විශේෂයෙන්ම, හිසට වරින්වර වන අනතුරු , ඩිමෙන්ෂීයා අවදානම වැඩි කරන බව හදුනාගන්නවා. ඒ නිසා, සෘජුව හදුනාගත හැකි අනතුරු වගේම, සමහර ක්‍රීඩා වලදී සිදුවන ගැටීම් නිසා, සෘජුව එළියට නොපෙනෙන අනතුරුත් සීමා කරගැනීම වැදගත්
6) අක්‍රිය ජීවන රටාව.
සතියකට අවම විනාඩි 150කවත් හොඳ දැනෙන, කායික ව්‍යායාමයක් (moderate-intensity aerobic physical activity) කරනවා නම් ඒ ඔස්සේ, රුධීර සංසරණ පද්ධතිය තුල සිදුවන සක්‍රිය වීම්,දේහයට අවශ්‍ය ප්‍රෝටීන් නිශ්පාදනයේ ඉහළයාම් වගේ සාධක නිසා, මොළයේ සෛල වලට සිදුවන වාසිය වැඩිවීම, ඩිමෙන්ෂියා අවදානම අඩු කරනවා. මෙතැනදි කියන්නේ "ව්‍යායාම" කිරීම කියන අදහස වුනත්, ඒ තුල දවසේ ජීවන රටාව සක්‍රිය මට්ටමක පවත්වා ගැනීම, ඇඟට දැනෙන්නට හොඳට ඇවිදීම වගේ ක්‍රියාකාරකම් එහෙමත් එකතු කරගන්නට පුළුවන්.
7) පාලනය නොකළ දියවැඩියාව.
දියවැඩියාව ඔස්සේ දේහය තුල සිදුවන බලපෑම් ඔස්සේ ක්‍රම කිහිපයක් මොළයට බලපෑම් කරනවා. ඒ තුල ඩිමෙන්ෂීයාව සඳහා පවතින අවදානම ඉහළ යන බව පර්යේෂණ ඔස්සේ හදුනාගෙන තිබෙනවා. විශේෂයෙන්ම, හුඟක්ම වියපත් වුනාට පස්සේ දියවැඩියාව මතුවීමට වඩා, තරුණ මැදි වියට ආසන්නව මතුවන දියවැඩියාව තත්ත්වය ( midlife onset) ඔස්සේ මේ බලපෑම් වැඩි වෙනවා. දියවැඩියාව සහ ඩිමෙන්ෂීයාව කොයිතරම් ළඟයිද කියනවා නම් සමහර අවස්ථා වලදී, ඩිමෙන්ෂියාව යනු Type -3 දියවැඩියාව ලෙස හදුන්වාදෙන අවස්ථා (පොදු වෛද්‍ය විද්‍යාත්මක ලෙස නොව) තිබෙනවා.
8 ) දුම්පානය
ඇල්සයිමර් ඩිමෙන්ෂියා තත්ත්වය සඳහා , දුම්පානය ප්‍රධාන සාධකයක් බව හදුනාගන්නවා. මෙහිදී, සක්‍රියව දුම්පානය කිරීමට සෘජු බලපෑමක් කරන බව තහුවරු කරගනිත්දි, ද්වීතීක සහ තෘතියික දුම්පානය ද මතකය අඩු කිරීම සඳහා හේතුවිය හැකි බව හදුනාගනිමින් තිබෙනවා.
9) අධිරුධීර පීඩනය පැවතීම.
විශේෂයෙන්ම, වියපත් වුනාට පසුව මතුවන අධිරුධීර පීඩනය අවස්ථාවට වඩා, මැදිවයසේදී අධීරුධීර පීඩනය ප්‍රතිකාර නොලබා පැවතීම ඩිමෙන්ෂියාව සඳහා උදව්වක් බව හදුනාගන්නවා. ඒ වගේම, නිසි ප්‍රතිකාර , ජීවන රටා සැලසුම් සහ ආහාර පාලනය ඔස්සේ රුධිර පීඩනය නිසි මට්ටමේ පවත්වා ගැනීම තුල මේ අවදානම අඩු කරගන්නටත් පුළුවන් වෙනවා.
10) තරබාරුව.
අධික තරබාරුව ක්‍රම කිහිපයක් ඔස්සේ ඩිමෙන්ෂියා සඳහා අවදානම වැඩි කරනවා. ඒ තුල හොමෝන ක්‍රියාවලින් තුල සිදුවන අක්‍රමිකතා, ප්‍රදාහික තත්ත්ව වගේම, රුධිර පීඩනය මත වන බලපෑමත් ඉහළින් තිබෙනවා. මෙතැනදි නිවැරදිව තරබාරුව හදුනාගැනීමත්, ඒ සඳහා waist-to-hip ratio , BMI වගේ අගයන් කිහිපයක ගැලපීමක් කර විමසා බැලීමත් වැදගත්.
11) මත්පැන් අධික ලෙස භාවිත කිරීම.
මේ තුල පොදුවේ ඩිමෙන්ෂීයා අවදානම වැඩිවන බව මෙන්ම, අධික ලෙස මත්පැන් භාවිතය, වැඩි කාළයක් භාවිත කිරීම තුල අක්මාවට සිදුවන හානිය ඔස්සේ Alcohol-related Dementia එහෙම නැත්නම් Korsakoff Syndrome වැනි තත්ත්ව මතුවීමටද ඉඩක් තිබෙනවා.
අපේ වෘත්තීය අත්දැකීම් තුල එවන් අවස්ථා කිහිපයක් හදුනාගන්නා අතර, මේ වෙත්දීත් අප සමඟ සිටින Korsakoff Syndrome සමඟ ජීවත්වන සේවාලාභියෙක් ගැන මෙහි ලිපි කිහිපයක් පළ කළා පෙරදී.
12) සමාජීය ලෙස තනිවීම.
Social isolation කියන හේතුව අද වෙත්දී බොහෝ සෞඛ්‍යය ගැටළු සඳහා හේතුවක් බව හදුනාගන්නවා. ඒ තුල විශාදය, අධිරුධිර පීඩනය, හෘද රෝග වගේම මතකය අඩු වීම සහ ඒ ඔස්සේ ඩිමෙන්ෂීයාව සඳහාත් හේතු වෙනබව හදුනාගන්නවා. මේ හේතුවම අප පෙර කී මතක ධාරිතාවය අඩුවීමට “cognitive reserve” හේතුවක් බවත් හදුනාගන්නවා.
13) වායු දුෂණය
වාතයේ අහිතකර මට්ටමින් පවතින හානිකර වායු, අංශු රුධිර සංසරණ පද්ධතියට, හෝමොන පද්ධතියේ ක්‍රියාකාරීත්වයට කරන බලපෑම ඔස්සේ වගේම, තවත් අවස්ථාවකදී මොළය තුල ප්‍රෝටීන අහිතකර ලෙස තැන්පත්වීම වැඩි කිරීම සහ ස්නායු බිඳ වැටීමට හේතුවීම ඔස්සේ ඩිමෙන්ෂීයාව වෙත යොමු කිරීමක් කළ හැකි බව හදුනාගන්නවා.
14) ප්‍රතිකාර නොකළ දෘශ්‍යාබාධ.
ඇස් පෙනීම අඩු වීම සහ ඒ සඳහා නිසි ප්‍රතිකාර නොලැබීම ඩිමෙන්ෂියාව හෝ මතකය අඩු කිරීමේ සෞඛ්‍ය තත්ත්වයන් සඳහා හේතුවන බව ළඟදී පර්යේෂණ ඔස්සේ හදුනාගන්නවා. ඒ තුල පෙර කී තවත් සාධක කිහිපයක් තිබිය හැකි වුනත්, මෙවැනි තත්ත්ව සඳහා ප්‍රතිකාර ලබා ගැනීම අවදානම සීමා කරගැනීමක් වේවි.
දැන් මේ මෙතෙක් කියාගෙන ගියේ මගේ අදහස්ම නොවෙයි. පර්යේෂකයින් වසර ගණනාවක් තිස්සේ කළ විවිධ පර්යේෂණ වලට ප්‍රතිපල ඔස්සේ, The Lancet Commission on Dementia Prevention ලෙස පළකළ, modifiable risk factors 14. ඊට අමතරව අපේ සායනික අත්දැකීම් සහ ළඟදීම කළ පර්යේෂණ කිහිපයක කරුණුත් එකතු කළා.
දැන්, මේ ඔස්සේ යමින් ඔබේ ප්‍රධානම ගැටළුව, එනම්, ඩිමෙන්ෂීයා තත්තවයෙන් හෝ ඒ අවදානමින් ගැලවීමට , හෝ පමා කරගැනීමට කළ හැකි පියවර මොනවාදැයි ටිකක් සොයා බලමු. මෙතැනදී, මගේ අදහස් වගේම ඔබේ අදහස්ද වටින නිසා, කොමෙන්ට් තීරුව ඔබ හැමෝටම විවෘතව තබන්නම්.
1) මතක ධාරිතාවය cognitive reserve ඉහළ නංවා ගන්න, පරිස්සම් කරගන්න.
ඒ සඳහා කරන්නට පුළුවන් ක්‍රියකාරකම් විදියට, හොඳට අධ්‍යාපනය ලැබීම, අධ්‍යාපනික ක්‍රියාකාරකම් වල යෙදීම, අවබෝධයෙන් කියවීම, දැනුවත්ව සැලසුම් සහිතව ලිවීම, අළුත් විෂයක් , යමක් ඉගෙනීම සහ එය නැවත ස්මර්ණය හෝ නැවත කියාදීම, අළුත් භාෂාවක් , හැකියාවක් ඉගෙනීම, අවබෝධිතව තීරණ ගැනීම, සැලසුම් කිරීම වැනි බුද්ධිමය ක්‍රියාකාරකම් සිදුවන කටයුතු වල යෙදීම (ඒ තුල රැකියා පරිසරය වගේම, නිවස මිදුල අලංකරණයත් වැදගත්) , මතකයන් ඇවිස්සීම, Dual Task ක්‍රියාකාරකම් (මේ ගැන වෙනම ලිපියක් ඇති) වැනි සැලසුම් ගත, මොළය , බුද්ධිය උතේතේජනය වන ක්‍රියාකරම් කිරීම වගේ උත්සාහ දරන්නට පුළුවන්.
2) ශාරීරික ව්‍යායාම හොඳින් කිරීම.
මේ ගැන ඉතින් කියන්න දෙයක් නෑනේ. අඩුම තරමේ සතියකට විනාඩි 150ක්වත් හොඳට ඇඟට දැනෙන්න යම් ව්‍යායාමයක යෙදීම හරිම වැදගත්. ඊට අමතරව, පේෂී ක්‍රියාකාරීත්වය ශක්තිමත්බව වැඩි කිරීමට , වගේම සමබරතාවය පවත්වාගැනීමට වැදගත් ව්‍යායාමත් එකතු වීම වැදගත් වෙනවා. සරළ උදාහරණ ලෙස සැලසුම් සහිතව ව්‍යායාම කිරීම වගේම වේගයෙන් ඇවිදීම, පිහිනීම, බයිසිකල් පැදීම, කඳු නැගීම වගේ විනෝදාංශමය ක්‍රියාකාරකම් එහෙමත් එකතු කරගන්නට පුළුවන්.
3) සමාජීය ක්‍රියාකාරීත්වය පවත්වා ගැනීම.
මේතුල සමාජීයව තනි නොවී මිතුරන්, හිතවතුන් සමඟ කතාබහ, අදහස් හුවමාරු කරගැනීම් ඔස්සේ බැඳී සිටීම, චිත්තවේගීය බැඳී සිටීම වගේම "සුහද කතා කිරීම" සහ අර්ථවත් කතාබස් වල යෙදීමත් වැදගත් වෙනවා. මේ සඳහා රැකියාව හෝ රැකියා පරිසරය වගේම, පාසල් මිතුරන් , වෙනත් සමිති , ස්වෙච්ඡා ක්‍රියාකාරකම් වගේ උත්සාහයන් ගන්නටත් පුළුවන්. තමන් "තනි නොවූ" බව දැනීම වැදගත් නිසා, තමන් වෙනුවෙන් අනුන් සමඟ එක්ව සිටීමත් මෙතැනදී වැදගත්.
4) පෝෂණය හොඳින් පවත්වා ගැනීම.
මේ තුල පොදුවේ සමබල ආහාරයක් ගන්නවා වගේම, ඒ තුල මොළය, ස්නායු පද්ධතිය වෙත වාසි දෙන ආහාර වර්ග එකතු කරගැනීමත් වැදගත් වේවි. සමහර විට අපේ "බත්" පිඟාන දිහා නැවත විමසා බැලීම නම් වැදගත් වේවි. ඒ තුල හැකියාවක් ඇත්නම් MIND (Mediterranean-DASH Intervention for Neurodegenerative Delay) වැනි ආහාර රටාවකට යොමුවීම හෝ , එසේ නොහැකි නම් එකම ආකෘතියකට ආහාර වලට වඩා , වෙනස් ආහාර රටා උත්සාහ (dietary variety) කිරීම තුල ඩිමෙන්ෂීයාව (හෝ මතකය අඩුවීමේ ගැටළු) අඩු කරන බව හදුනාගන්නවා. කෙසේ වෙතත්, ඒ තුල සෞඛ්‍යයට අවදානම් රසායනික, රසකාරක වගේම, අධිකව ගැනීම අවදානම් වන සංඝටක( උදා. සරළ සීනි වැනි) සීමා කරගැනීමත් කළ හැකි උත්සාහක් වේවි. ඒ තුලම, ප්‍රමාණවත් දියර පානය කිරීමේ පුරුද්දත් එක්වීම වාසියක්.
5) හොඳ සැප නින්දක්.
නින්ද සහ මතකය, මොළය ආශ්‍රිත ක්‍රියාකාරීත්වය අතර ලොකු සම්බන්ධයක් තිබෙනවා. ප්‍රමාණවත් ලෙස සුවදායී නින්දක් නොලැබීම කායික වෙහෙස වගේම මානසිකව වෙහෙසක් ඇති කරනවා වගේම, මොළය තුල සිදුවිය යුතු සාර්ථක රුධිර සංසරණය, පිරිසිදු කිරීමේ ක්‍රියාවන්ටත් බාධාවක් වෙනවා. ඒ නිසා දවසකට අවම පැය 7-9ක හොඳ, සැප නින්දක් ලබා ගැනීමත්, ඒ සඳහා නින්දට පෙර කෝපි, හෝ නින්දට බාධා කරන ආහාර පාන නොගැනීමත්, නින්දට යාමට පෙර ජංගම දුරකථන, පරිගණක වැනි දීප්තිමත් ආලෝකය දෙන "තිර" වලින් ඉවත්ව සිටීමත් වැදගත්. මෙයටම, දවස තුල යම් ව්‍යායාමයක් කර තිබීම, (උදාහරණයක් පැයා බාගයක් , පැයක් පමණ පවත්වා ගන්නා වේගයක් සහිතව ඇවිදීම වැනි ) වැදගත් වෙනවා.
6) කාළීන රෝග, සෞඛ්‍යය ගැටළු සදහා ප්‍රතිකාර ලබා ගැනීම.
මේ තුල දියවැඩියාව, අධිරුධිර පීඩනය, අධික කොලේස්ටරෝල් පැවතීම, හෘද රෝග වගේම මානසික ගැටළු, රෝගත් ශ්‍රවණාබාධ හෝ දෘශ්‍යාබාධ ඇත්නම් ඒවාට නිසා උපකාර ලබා ගැනීමත් වැදගත් . තවමත් ලංකාවේ අපට තරමක් නුහුරු වුනත් (අප බොහෝ වෙලාවට හුරු වෙලා ඉන්නේ ලෙඩ වුනාම බෙහෙත් ගන්නනේ) වාර්ෂික සෞඛ්‍යය පරික්ෂාවන් සහ පෙර හදුනාගැනීම් සඳහා යොමුවීම අවශ්‍යතාවයක් ලෙස වටහා ගන්නට සහ ක්‍රියාත්මක කරන්නට පුළුවන්කමක් ඇත්නම් එයත් උදව්වක්.
7) හානිකර විය හැකි දෙයින් ඈත්වීම/සීමා කිරීම.
අධික මත්පැන් භාවිතය, දුම්පානය වගේම පාරිසරික ධූලක වලින් හැකිතරම් ඈත්වීම "විය හැකි අවදානම්" අඩු කිරීමට වැදගත්. අධික පරිසර, වායූ දූෂණය ඇති ප්‍රදේශ වලින් ඉවත්වීම හෝ රැඳීම සීමා කිරීම කළ හැකි නම් ඒ උත්සාහය වගේම, අධික වාහන තදබදය ඇති අවස්ථාවන් මග හැරීම, එවන් අවස්ථාවක වාහනයක් තුල රැදෙනවා නම් ඒවායේ වීදුරු ආවරණය කර තිබීම, වාහනය තුල කරකැවෙන ලෙස වායුධාරව සැකසීම (re-circulation), හැකි නම් වායුසමීකරණය ක්‍රියාත්මක කිරීම , හොඳමට්ටමේ පෙරහන් (cabin filter) පවත්වා ගැනීමත් වැදගත්.
8 ) යහපත් මානසික සෞඛ්‍යයක් පවත්වා ගැනීම.
ඩිමෙන්ෂියාව සහ මානසික රෝග සහ කාළීනව පැවති මානසික ගැටළු දැඩි සම්බන්ධතාවයක් පවතින නිසා, තම මානසික සෞඛ්‍යය වෙත වැඩි අවධානයක් යොමු කිරීමත්, යම් අවදානමක් හදුනාගැනීමේදී, එය සඟවා තබා නොගෙන, නිසි ප්‍රතිකාර උපකාර ලබා ගැනීමට යොමුවීමත්, ගර්භණීත්වය, ප්‍රසවය, හෝ වියපත්වීම තුල හෝමෝන පද්ධතියේ වෙනස්වීම තුල බලපෑමෙන් ඇතිවන මානසික ගැටළු තත්ත්ව සඳහා ප්‍රමාද නොවී ප්‍රතිකාර ගැනීමත් වැදගත් වෙනවා. වැදගත්ම දේ, සඟවාගෙන පවත්වා ගන්නා තමන්ගේ මානසික ගැටළුව, මානසික රෝගයක් දක්වා පත්වී, එහි ප්‍රතිපල ලෙස ඩිමෙන්ෂියාවට හෝ ඊට සමාන අවස්ථාවන් වලට පත්වූ සෑහෙන පිරිසක් අපට හමු වෙලා තිබෙනවා සහ එම සම්බන්ධතාවය පර්යේෂණ ඔස්සෙත් තහවුරු වෙනවා. එම නිසා, තමන්ගේ , ඒ වගේම තමන්ගේ පවුලේ සාමාජිකයාගේ මානසික සෞඛ්‍යය ගැන අවධානය යොමු කිරීම සහ අවශ්‍ය අවස්ථාවේම නිසි උපකාර ලබා ගැනීමට පෙළඹවීම ,මෙම අවදානම සීමා කරගැනීමට උදව් වේවි.
9) තාක්ෂණය වාසියට යොදා ගන්න.
මානසික සහනය, විනෝදාංශ, බුද්ධීමය පරිමාව පවත්වා ගැනීම, සබඳතා පවත්වා ගැනීම වගේම, දවසේ කටයුතු, වගකීම් සැලසුම් කරගැනීම වැනි කටයුතු වලදී පවතින නව තාක්ෂණික පහසුකම් "හානි අඩු, වාසි වැඩි" ආකෘතියක් ඔස්සේ යොදා ගැනීමත්, සීමාව දැන භාවිත කිරීමත් මෙම අවදානම සීමා කර ගැනීමට උදව්වක් කරගත හැකිවේවි
10) ස්ථාවරයක් ගොඩනගා ගන්න.
මේ සියළු දේ කරන්නට නම් ඔබට හොඳ ස්ථාවරයක් පවත්වා ගත යුතු වෙනවා. ඒ සඳහා අධ්‍යානය, රැකියා අවශ්‍යතා දියුණූ කරගැනීම වගේම, ආරක්ෂිත ආර්ථික පරිසරයක් පවත්වා ගැනීමත් වැදගත්. ඒ ඔස්සේ, අනාගත වගකීම්, යුතුකම් සැලසුම් කර , නීත්‍යානුකූල ලෙස සූදානම් කරතිබීම, විය හැකි අවදානම් සඳහා සූදානම් ද වන ලෙස ආර්ථික තත්ත්වය පවත්වා ගැනීම , ඔබේ හිතට සැහැල්ලුවක් වගේම, මතුවිය හැකි පීඩාවන්ද සීමා කරාවි.
තවත් කරුණූ එකතු කළ හැකිවේවි, මේ මගේ වෘත්තීය අත්දැකීම් සහ මා සහ පවුලේ අප දැනුවත්ව කරන උත්සාහයන් කිහිපයක් ගැන සටහන් කළේ. කෙසේ වෙතත් ඔබේ ගැටළුව තුල සඳහන් වන උපකල්පනය ගැන යමක් කියන්නට හිතුණා ලිපිය නිමා කරන්නට පෙර.
ඒ ,"අප වයසට ගිය පසු අපිව බලා ගැනීමට කිසිවෙකු නොමැති වෙයි " කියන අදහස. ඇත්තටම , යම් අයෙකුට ඩිමෙන්ෂියාව තත්ත්වය සමඟ ජීවත්වන්නට වුනොත්, එම පුද්ගලයා රැක බලා ගැනීමට යම් ආකාරයක උදව් අවශ්‍ය වන තත්ත්වයකට එන්නට ඉඩ තිබෙනවා. ඒ , අප ගැන, අපේ දවසේ ක්‍රියාකාරකම් ගැන තීරණ ගැනීමට නොහැකිවන අවස්ථාවකට පත්වන නිසා. එතැනදී, ඩිමෙන්ෂීයාව ගැන නොදන්නා අයෙක්ගෙන් උපකාර ලබා ගැනීමට වඩා, මේ ගැන දන්නා, මෙහි ලක්ෂණ, චර්යාවන් ගැන අවබෝධයක් ඇති අයෙකුගෙන් උපකාර ලබා ගැනීමයි වඩා ආරක්ෂිත සහ සුවදායී. ඒ නිසා, මේ උපකල්පනය ගැන අනවශ්‍ය බියක් ඇති කරගැනීමට අවශ්‍ය වෙන එකක් නැහැ. සතුටින්, සැලසුමක් සහිතව, මෙම අවදානම ගැන දැනුවත්ව, සීමා කළ හැකි අවදානම් වලින් වැලකී ජීවත්වෙන්න, අද දවස , මේ මොහොත පරිස්සමින් , සතුටින් විඳින්න. එයයි සතුට!