Wednesday, November 12, 2025

58. Dementia Caregiver Burnout තත්ත්වය ගැන

රෝගියෙක්ට සාත්තු කිරීම කියන්නේ වෙහෙසක් දැනෙන ක්‍රියාකාරකමක්. ඒ වෙහෙස රෝගියා‍ගේ තත්ත්වය, සාත්තුව වෙත සහය වීමේ හැකියාව වගේම, රෝහලක හෝ සෞඛ්‍යායතනයක් තුල සාත්තුව ලබනවාද , එහෙමත් නැත්නම් නිවසේදී සාත්තුව ලබනවාද කියන කරුණත් එක්ක අඩු වැඩි වෙන්නට පුළුවන්.

ඒ අතරින්, ඩිමෙන්ෂියාව සමඟ ජීවත්වන්නෙකුට සාත්තු කිරීම කියන කාරණයේදී නම්, මේ කුමන ස්ථානයේ සාත්තු කළත්, ඒ සඳහා වැඩි වෙහෙසක් දරන්නට සිදුවෙනවා. ඒ තුල කායික වෙහෙස වගේම, මානසික වශයෙන් සිදුවන පීඩාකාරී වෙහෙසත් එකතු වීම ‍පොදුවේ දකින්නට පුළුවන්.

මේ දැනෙන "සාමාන්‍යය වෙහෙස" එහෙම නැත්නම් Caregiving fatigue කියන අවස්ථාව කායික වෙහෙස මූලිකව, යම් මානසික වෙහෙසකාරී බවක් මිශ්‍රව දැනෙන මහන්සියක්. මේ තත්ත්වය බොහෝ විට යම් කාළයක් විවේක ගැනීමෙන්, හොඳ නින්දක් ලැබීමෙන් ලැබීමෙන් සුවපත් වන "තාවකාලික" දෙයක්. නමුත්, Caregiver burnout කියන අවස්ථාව ඊට වඩා වෙනස්, ඊට වඩා ප්‍රබල වෙහෙසකාරී තත්තවයක්. කායික වෙහෙස, මානසික පීඩාකාරී බව, චිත්තවේගීයව දැනෙන බර එක්ව , මිශ්‍රව ඇති වන, විවේකයකින් හෝ හොඳ නින්දකින් සුවදායී බවක් නොලැබෙන කාළීන වෙහෙසකාරී තත්ත්වයක්. මේ කාළීන වෙහෙසකාරී තත්ත්වය සමඟ තමන්ට කිසිදු ශක්තියක්, උද්යෝගයක් නැති , බිඳ වැටුනු බවක් ඇති කරනවා. මේ සමඟම, මෙතෙක් සාත්තු කරමින් සිටි , ඩිමෙන්ෂීයාව සමඟ ජීවත්වන පුද්ගලයා හෝ තම පවුලේ සාමාජිකයා වෙත තිබුණූ කැපවීම අඩු කිරීමට , සාත්තුවේ තත්ත්වය අඩු වීම හෝ සමහර විට , එම පුද්ගලයා කෙරේ තරහක්, ආවේගකාරී හැඟීමක් වුනත් ඇති වන්නට පුළුවන්. (මෙහි ප්‍රබල අවස්ථාවකදි, මෙතෙක් ආදරයෙන්, කරුණාවෙන් සාත්තු කළ පුද්ගලයා අතින්, ඩිමෙන්ෂියාව සමඟ ජීවත්වෙමින් සාත්තුව ලබමින් සිටින පුද්ගලයාට කායික, මානසික හෝ චිත්තවේගීය පීඩාවන් abuse සිදුවන්නට පුළුවන්.) ඒ ඔස්සේම, තමන් ලබා දෙන සාත්තුව, උපකාරය පිළීබඳව අකාර්යක්ෂම බවක්, සෘණාත්මක බවක් හැඟීම සහ මේ සියළු සිදුවීම් "හානිකර චක්‍රයක්" vicious cycle බවට පත්වී, සාත්තු කරන්නා මෙන්ම, සාත්තුව ලබන්නාද අනපේක්ෂිත පීඩා වලට , කාළීන රෝග තත්ත්ව වලට පත්වන්නට පුළුවන්.

ඒ නිසා, ‍මේ තත්ත්වය ගැන නිකං උඩින් පල්ලෙන් හිතනවා වෙනුවට තරමක් ගැඹුරට සොයා බලමු, කතා කරමු. (මේ ලිපිය ඒ සඳහා ආරම්භයක් මිස, මේ තත්ත්වය පිළිබඳව සියළු දේ අන්තර්ගත සටහනක් නොවන අතර, ඔබේ අදහස් , අත්දැකීම් ඔස්සේ තව දුරටත් සාර්ථක කරගැනීමේ වගකීම කියවන ඔබට බාර කරනවා. )

Burnout ‍වන්නට හේතු මොනවාද?

1) සාත්තු කරන්නා සහ සාත්තුව ලබන්නනා අතර සන්නිවේදනයේ බාධාවන්.

ඩිමෙන්ෂියාව සමඟ ජීවත්වන්නෙකුගේ සිදුවන චර්යාත්මක සහ මානසික වෙනස්වීම් නිසා (Behavioral and Psychological Symptoms of Dementia (BPSD)) දෙපාර්ශවය අතර අදහස් , අවශ්‍යතා පිළිබඳ සන්නිවේදනය වෙනදාට වඩා සංකීර්ණ සහ අපැහැදිලි හෝ පීඩාකාරී වීම බහුලව දකින්නට පුළුවන්. මේතුල රෝගියා තම අවශ්‍යතා පෙන්නුම් කරන ආකාරය වගේම, සාත්තුව ලබා දෙන්නා සිදුකරන උපකාරය ගැන රෝගියාවට නිවැරදි වැටහීමක් නොවීම නිසා , සාත්තු කරන්නා කායිකව මෙන්ම, මානසිකවත් පීඩාකාරී අවස්ථාවකට පත් වෙනවා. මේතුල වෙනදා මෙන් පැහැදිව වචනයෙන් කළ සන්නිවේදනය තුල හුවමාරු කළ අදහස් , හදුනාගැනීමට හුදෙක් වචන පමණක් නොව, ‍මෙම තත්ත්වය සමඟ ජීවත්වන පුද්ගලයාගේ අනෙක් චර්යාවන් , ඉඟි, නිර්වාචික සන්නිවේදනය මෙන්ම හැඬීම්, කෝපවීම් වැනි අපහසුකාරී චර්යාවන් ගැන පවා වෙනදාට වඩා වැඩි විමසිලිමත් බවකින් තම සාත්තුව ලබා දෙන්නට, කෙයාගිවර්ට සිදුවෙනවා. මේ තත්ත්වය ඉතා වෙහෙසකාරී සහ පීඩාකාරී අත්දැකීමක්.

2) අනපේක්ෂිත වෙනස්වීම් නිසා සිදුවන වෙහෙස.

පෙර කී, Behavioral and Psychological Symptoms of Dementia (BPSD) තුල සිදුවන විවිධාකාර චාර්යාමත්, සහ මානසික වෙනස්වීම තුල සාත්තුව ලබා දෙන්නා නිරන්තරයෙන් දැඩි විමසිල්ලෙන් සිටිය යුතු වෙනවා. ඒ තුල හේතුවක් නොමැතිව අනාරක්ෂීත ලෙස ඇවිද යාම ( Wandering and elopement risk) , අහේතුකව සහ අනපේක්ෂිත ලෙස රෝගියා වෙතින් ලැබිය හැකි ආවේගකාරී හැසිරීම්, සැකකිරීම්, බැණ වැදීම් මෙන්ම කළහකාරී තත්ත්වයන් වගේම විවිධ නොගැලපෙන හෝ අවදානම්කාරී හැසිරීම් නිසා සාත්තුව ලබා දෙන්නා පත්වන පීඩාව මේ තුලට අයත්. විශේෂයෙන්ම මෙම තත්ත්වය සමඟ ජීවත්වන්නනෙකු පත්වන Sundowning වැනි තත්ත්වයන් මෙන්ම රාත්‍රියෙදී සිදුවන වරින්වර ඇහැරීම් නිසාවෙන්, සාත්තු කරන්නා ප්‍රමාණවත් , සුවදායී නින්දක් ලබා ගන්නට අවස්ථාවක් නොලැබීමත් මෙයටම එකතු වෙනවා.

3) නිමාවක් නොවන උපකාර අවශ්‍යතාවය

ඩිමෙන්ෂීයාව සමඟ ජීවත්වන්නාට ඖෂධ ලබා දීම , ආහාර ලබා දීම වැනි උපකාර වලට වඩා වැඩි කායික වෙහෙසක් දැනෙන , නැහැවීම්, ස්ථාපිත මාරු කිරිම්, ඇවිදීම හෝ නැගිටීමට උදව්වීම්, ඇඳුම් ඇන්දවීම් වගේම, මේ සාත්තු කිරිම් තුල නැවත නැවත සිදුකිරීමට වීම, සහ රෝගියාගෙන් ලැබෙන උදව්ව අඩුවීම තුල දවස පුරා සිදුකරන සාත්තුව තුල , වෙනත් රෝගියෙක්ට සාත්තු කරනවාට වඩා කායික වෙහෙසක් සහ මානසික පීඩාකාරී බරක්, ඩිමෙන්ෂීයාව සමඟ ජීවත්වන්නෙකුට සාත්තු කරන්නා විඳිනවා.

4) වෙනස්වීම අත්දැකීම තුල ඇතිවන පීඩාව

ඩිමෙන්ෂියාව සමඟ ජීවත්වන තමන්ගේ ඥාතියා, රෝගියා කායිකව හෝ පෙනුමෙන් "එම පුද්ගලයා" වුවත්, මතකය, කල්පනාව මෙන්ම හැසිරීම තුල වෙනස් පුද්ගලයෙක් බවට පත්වන බව අත්විඳින, සාත්තු කරන්නා ඒ වෙනස්වීම තුල මානසිකව දැඩි වේදනාවකට පත් වෙනවා. (Ambiguous Loss) පෙනුමින් තමන්ගේම අම්මා වන ඇය, අද දවසේ ඩිමෙන්ෂියාව නිසා තමන් පුතු හෝ දුව ලෙස හදුනානොගන්නා අවස්ථාවේ සාත්තු කරන්නාට දැනෙන වේදනාව, මානසික පීඩාවක් ලෙස දැඩි බලපෑමක් කරනවා.

5) පුද්ගලික අවශ්‍යතා දෙවන තැනට දැමීමට සිදුවීම

විශේෂයෙන්ම, ඩිමෙන්ෂීයාව සමඟ ජීවත්වන්නා පවුලේ සාමාජිකයෙක් නම්, එමෙන්ම නිවස තුල රඳවා ගනිමින් රැකබලා ගන්නවා නම් මේ ගැටළුකාරී තත්ත්වයට සාත්තු කරන්නා පත්වෙනවා. පැය විසි හතර පුරා රැක බලා ගැනීමේ , සාත්තු කිරීමේ වගකීම තුල තම රැකියාව, රැකියාවේ වගකීම්, එසේ නොවේ නම් තම පවුලේ , දරුවන්ගේ කටයුතු කරගැනීමට අපහසුවීම, සමාජීය ව‍ශයෙන් තිබුණූ බැඳීම් පවත්වා ගැනීමට අපහසුවීම මෙන්ම , සාත්තුව ලබන්නා වෙත වැඩි අවධානයක් යොමු කිරීමට සිදුවීම තුල ඇතිවන අපහසුතා, පීඩාවන්ද caregiver burnout තත්ත්වයට හේතු වෙනවා.

6) ආර්ථීක සහ නීතිමය ගැටළු

ඩිමෙන්ෂීයාව සමඟ ජීවත්වන්නෙකු‍ට සාත්තු කිරිමේ ක්‍රියාවලිය තුල සිදුවන අතිරේක පිරිවැය, සාමාන්‍ය පවුලක එදිනෙදා වියදමට දැඩි බරක් එකතු කරන්නට පුළුවන්. ඒ වගේම, ඩිමෙන්ෂීයාව සමඟ ජීවත්වන්නාගේ ‍දේපල, රැකබලාගැනීම වැනි වගකීම් වලදී අපේක්ෂා නොකළ නීතිමය ගැටළු මතුවීමත් සාත්තු කරන්නා පීඩාවලට ලක් කරන්නට පුළුවන්.

7) සාත්තු කරන්නා වෙත අපේක්ෂා කරන උපකාර නොලැබීම

මෙම රෝගියාට සාත්තු කරන්නා අපේක්ෂා කරන උපකාර සහයෝග නොලැබීම, එනම් සමහර විට පවුලේ අනෙක් සාමාජිකයන්ගෙන්, සෞඛ්‍යය ආයතන වෙතින් හෝ වෙනත් උපකාර සේවා වෙතින් , ලැබෙන පීඩාවට සාපේක්ෂව උපකාරයක් නොලැබීමද , මෙම සාත්තු කරන්නා දැඩි පීඩාවට පත් කරන්නට හේතු වෙනවා.

තවත් හේතු තිබෙන්නට පුළුවන්, ඒ අදහස් කොමෙන්ට් තීරුවට එක් කරන්නට ඔබට පුළුවන්.

දැන් මේ හේතු නිසා, තමන් caregiver burnout තත්ත්වයට පත්විය හැකි බව, මේ ඩිමෙන්ෂියාව සමඟ ජීවත්වන්නාට සාත්තු කරන පුද්ගලයා දැන ගන්නවා නම්, එම තත්ත්වයට පත්වීමට ඇති ඉඩ අහුරා ගැනීමයි වැදගත්. දැන් අප කතා කරමු, එසේ උත්සාහ කළ හැකි , මෙම අවදානම වලක්වා ගැනීමේ හෝ අඩු කරගැනීමේ උපක්‍රම කිහිපයක් ගැන.

1) සාත්තුවේ ආකෘතියක් හදා ගන්න

මේ තුල සකසාගත යුතු අනුගමනය කළ යුතු ප්‍රධාන අවශ්‍යතා තුනක් තිබෙනවා.ඒ තුල,

a) දෛනික සාත්තු සැලසුමක් හදාගන්න. මේ කියන්නේ දවසේ කුමන වෙලාවට රෝගියා අවදිකරලා, දත්මැද මුහුණ සොදා, වැසිකිලි තුල උපකාර ලබා දී, ඇඳුම් ලබා දී සූදානම් කරනවාද කියන තැන සිට, කුමන වෙලාවට උදෑසන ආහාර, ඖෂධ ලබා දෙනවාද , නිවසේ ‍කටයුත්තකට හෝ යම් ක්‍රියාකාරකමකට රෝගියා සම්බන්ධ කරගන්නේ කීයටද, විවේකයක් හෝ කෙටි නින්දක් සඳහා ලබා දෙන වේලාව, දවල් ආහාරය, සවස් වරුවේ ඇවිදීම හෝ වෙනත් කටයුත්තක් කිරීම, රාත්‍රී ආහාරය, ඖෂධ ලබා දෙන වේලාව වැනි දවසේ සාත්තුව තුල සිදුවන ක්‍රියාකාරකම් සහ ඒවා කළ යුතු වේලාව සහිත සටහනක් සකසා ගැනීම සහ එය සාත්තු කරන අනෙක් අය, පවුලේ සාමාජිකයන්ටද දැක ගත ලෙස පවත්වා ගැනීම හරිම වැදගත්. මේ ඔස්සේ සාත්තු කරන්නා මෙන්ම, සාත්තුව ලබන්නාද යම් හුරුවීමකට පත්වීම තුල , වෙ‍හෙස යම් තරමකට අඩුවීමක් සිදුවෙනවා. ඒ වගේම සාත්තුව ලබන්නාට වඩාත් කාර්යක්ෂම සාත්තුවකුත් ලැබෙනවා.

b) සාත්තු කරන්නන්ගේ කැලැන්ඩරයක් සකසා ගන්න. මෙය ආයතනික ලෙස පවත්වා ගන්නා schedule එකක් හෝ පවුලේ සාමාජිකයක් අතර සාකච්ඡා කර වගකීම බෙදා ගැනීමට හදා ගන්නා සටහනක් වුනත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් Google calendar වගේ පහසුකමක් උදව් කරගෙන , සාත්තු කරන්නන්, අදාල පුද්ගලයාට උපකාර වන්නට යොමුවන කාළය, වෙලාව බෙදා හදා ගැනීමයි විය යුතු. මේ කිනම් ක්‍රමයක් ඔස්සේ හෝ සාත්තු කරන්නන් තම වගකීම බාරගැනීම තුල එක් සාත්තු කරන්නෙක් කායික, මානසික පීඩාවට පත්වීම සීමා කරගන්නට පුළුවන්.

(c) සාත්තු කරන්නා සඳහා self-care plan එකක් සකසා ගන්න. මේ තමන්ගේ ජංගම දුරකථනයේ ඇප් එකක් හෝ සටහනක් ලෙස සූදානම් කරගන්නේ, දවස තුල "තමන් වෙනුවෙන්" ලබා ගත යුතු විවේකය, සාත්තුව , සුවයක් ලබා ගැනීමට යම් කාළයක් වෙන් කරගැනීමයි. එය, සාත්තු කිරීමේ වගකීමෙන් මිදී , නිදහස් සුවදායී නින්දක් ලබා ගැනීම, සාත්තු පරිසරයෙන් ඉවත්වී මිතුරන් සමඟ යම් කාළයක් ගත කිරීම හෝ , සාත්තුව ගැන අවධානය යොමු නොකළ හැකි යම් කාළසීමාවක් තමන් කැමති දෙයක් කරන්නට වෙන් කරගැනීමයි. සාත්තුව ලබන්නා වෙනුවෙන් සකසන සැලසුම මෙන්ම, සාත්තු කරන්නා වෙනුවෙන් සකසා ගත යුතු මෙම සැලසුමත් අතිශ්‍යය වැදගත් වෙනවා.

2) උදව් ලබා ගන්න

මේ තුල, ඩිමෙන්ෂීයාව සමඟ ජීවත්වන්නාට සාත්තු කිරීම අනෙක් සාත්තු ‍සේවකයන්ගේ හෝ පවුලේ සාමාජිකයෙක් නම්, පවුලේ අනෙක් සාමාජික සාත්තු සේවකයන්ගේ උදව් ලබා ගැනීමට කටයුතු කිරීමයි. මෙවන් තත්ත්වයක් සමඟ ජීවත්වන්නෙකට තනිව සාත්තු කිරීම ඉතා අපහසුකාරී සහ පීඩාකාරී වන නිසා, තවත් කිහිපදෙනෙක් මේ සාත්තුව ලබා දීමේ ක්‍රියාවලියට එක් කරගැනීම අතිශ්‍යය වැදගත් වෙනවා. මේතුල ගෙවීම් කළ යුතු සාත්තු සේවයකයන් මෙන්ම, පවුලේ බැඳීම්, වගකීම් ඔස්සේ නොමිලේ සාත්තුව ලබා දෙන සාමාජිකයන්ට එක් කරගත යුතු වේවි. එමෙන්ම, රෝගියාගේ තත්වය අනුව යම් අවස්ථාවකදී, වෘත්තීය පුහුණූව සහිත සෞඛ්‍යය වෘත්තිකයන්‍ගේ උපකාරයන්ද ලබා ගැනීමට සිදුවේවි. විශේෂයෙන්ම මෙවැනි තත්ත්වයකදී , සාත්තු කරන්නාට විවේකයක් ලබා දෙමින්, වෘත්තිමය උපකාරයක් සාත්තුව ලබන්නාට ලබා දිය හැකි In-home respite, Adult day program , Overnight respite වැනි වෘත්තීමය උපකාර ලබා ගැනීමට හැකි විය යුතු සහ හැකි වුවත්, මේ අවස්ථාව වෙත්දී ලංකාව තුල මෙවන් පහසුකම් රාජ්‍ය සෞඛ්‍යය සේවාව ඔස්සේ ලබා ගත හැකිදැයි මා දන්නේ නැහැ. නමුත් , අනාගතයේ වැඩිවන වැඩිහිටි ජණගහණය සහ ඩිමෙන්ෂියා අවදානම සමඟ මෙවන් පහසුකම් රාජ්‍ය සහ පෞද්ගලික සෞඛ්‍යය සේවා ඔස්සේ ලබා ගැනීමට හැකිවිය යුතුය යන දැඩි විශ්වාසය මා සතුයි.

3) Support Group සමඟ එක්වන්න.

මෙයද ලංකාව තුල සක්‍රියව පවතීදැයි සහ රට පුරා පවතීදැයි මට අවබෝධයක් නැතත්, ඩිමෙන්ෂියාව සමඟ ජීවත්වන්නෙකුට සාත්තු කරන, කෙයාගිවර් කෙනෙක්ට ලැබිය යුතුම උපකාරයක් බව නම් සඳහන් කළ යුතුම වෙනවා. මෙවන් සපෝර්ට් ගෲප් තුලදී, සමාන අභියෝග වලට මුහුණදෙන සාත්තුකරුවන් එක්වී තම අභියෝග මෙන්ම, ඒ අභියෝග ජයගත් ආකාර, උපකාර ලබාගත් ක්‍රම ආදිය තොරතුරු අත්දැකීම් බෙදා ගන්නා අතර, සෞඛ්‍යය වෘත්තිකයන් මැදිහත්වී අවශ්‍ය දැනුවත් කිරීම්, යාවත්කාළීන තොරතුර උපදෙස් ලබා දීමත් කෙරෙනවා. අද දවස වන විට එවන් උපකාරක සමූහයන් නැත්නම්, ඒ සඳහා ආරම්භයක් ගැනීමට ‍මේ ලිපිය ඔස්සේ පෙළඹේ නම් එයම වටිනා ආරම්භයක් වේවි.

4) දැනුවත්වීම සහ දැනුම බෙදා ගැනීම

ඩිමෙන්ෂීයාව යනු අද දවස වෙත්දීත් අළුත්වන, යාවත්කාළීන විය යුතු දැනුමක් ඇති ක්ෂේත්‍රයකි. ඒ තුල සාත්තු ක්‍රම , ප්‍රතිකාර , ඒවායේ අතුරුපල මෙන්ම, රෝග තත්ත්වය ගැනද දැනුම ලබා ගැනීම අවශ්‍යතාවයකි. ඒ දැනුවත් වීම තුල විය හැකි අවදානම් සඳහා හෝ අනපේක්ෂිත සිදුවීම් සදහා සූදානම් වීම , අභියෝග දැනුවත්ව බාර ගැනීමේ හැකියාවක් ලැබීම, සාත්තු කරන්නා burnout තත්ත්වයට පත්වීම පමා කිරීම හෝ අඩු කිරීම කරනවා. ඒ අතරේම, තම ඥාතියා, රෝගියා මෙන්ම තමන් වෙනුවෙන්ද උපකාර ගත හැකි රාජ්‍ය, හෝ පෞද්ගලික සෞඛ්‍යය ආයතන, හදිසි සේවා, නීතිමය උපකාර සේවා ගැන දැනුවත්ව, අදාල සෞඛ්‍යය අංශ සමඟ සම්බන්ධ විය හැකි දුරකථන අංක ආදිය ගැන දැනුමක් සහිතව සිටීම වැදගත් වෙනවා.

5) තමන් වෙනුවෙන් කාරුණික වීම.

මෙය සාත්තු කරන්නා කායික, මානසික පීඩාකාරී caregiver burnout තත්ත්වයට පත්වීම වලක්වා ගැනීමට අත්‍යවශ්‍ය අවශ්‍යතාවයකි. තමන්ගේ වෙහෙස හදුනාගැනීම, විවේක ගැනීම, හොඳ නින්දක්, යහපත් පෝෂණයක් පවත්වා ගැනීම, තමන්ගේ සීමාවන් පවත්වා ගැනීම ඔස්සේ තමන්ගේ වටිනාකම් පවත්වා ගැනීම මෙන්ම, තමන්ට පාළනය කළ නොහැකි රෝග තත්ත්වයක් සමඟ ජීවත්වන තම ඥාතියා හෝ රෝගියාගේ සිදුවන වෙනස්වීම් වල වගකීම් තමන් බාර ගෙන එසේත් නැතිනම් , ඒ වෙනස්වීම් වල වේදනාකාරී හැඟීම් වල බර දරාගෙන කාළීන පීඩාකාරී තත්ත්වයකට පත් නොවී සිටීමට උත්සාහ කිරීම ද ඉතා වැදගත් වෙනවා.

මේ ලියගෙන ගියේ, ඩිමෙන්ෂියාව සහිත අයෙකුට සාත්තු කරන්නෙක් පත්විය හැකි පීඩාකාරී තත්ත්වයන් අඩු කරගැනීමට හෝ මගහරවා ගැනීමට කළ හැකි යම් පියවර කිහිපයක්. මේ ඔස්සේ තවත් පියවර, උපක්‍රම ලිවීමට ඇතත්, ආරම්භයක් ලෙස මේ ප්‍රමාණවත් යැයි හිතන්නේ, දිගු ලිපි කියවීම අපහසුකාරී වන නිසාවෙනි.

No comments: