මාස කිහිපයක පෙර මේ ගෲප් එක ඇතුලේ පුංචි විමසීමක් කළා, ඩිමෙන්ෂියා සාත්තුවේ යෙදෙන අයෙකුට respite care කොයි තරම් වැදගත් වේවිද කියල. අද ලිපිය අන්න ඒ මාතෘකාව ගැන.
සාත්තුව/සත්කාරය කියන වචනේ ඇහුණූ ගමන්ම ඔබට දැනෙනව ඇති එම වගකීමේ ඇති බව. තවත් අයෙකුට සාත්තු කිරීම තුල තිබිය යුතු දැනුම, ලබා දිය යුතු සාත්තුවේ නිවැරදි බව, ලබා දිය යුතු සුව පහසු බව, විය හැකි අතපසුවීම් සහ ඒ ඔස්සේ විය හැකි සංකූලතා. ඔය වගේ ලොකු වගකීමක් "සාත්තුව" තුල තිබෙනවා. එයිනුත්, ඩිමෙන්ෂියා සාත්තුව කියන්නේ වඩාත් සංකීර්ණ, පෙර කී වගකීම් වල බර හුඟක්ම වැඩි අවස්ථාවක්. හේතුව , ඩිමෙන්ෂීයා සත්කාරය කියන්නේ කායිකව වෙහෙස වන ක්‍රියාවක් පමණක් නොවේ, එය කායිකව, මානසිකව ලොකු වෙහෙසක් දෙන ක්‍රියාකාරකමක්.
ඒ නිසාම, ඩිමෙන්ෂීයා සත්කාරය කරන සත්කාරකරුවන් ඉක්මණීන්ම වෙහෙසට පත්වන, burnout අවස්ථාවට පත්වන අවස්ථා බහුලයි. එපමණක් නොවේ, ඩිමෙන්ෂියාව සමඟ ජීවත්වන තම පවුලේ අයෙක් රැකබලා ගන්නා සාත්තුකරුවන්, පෙර කී වෙහෙසකර තත්ත්වයට අමතරම දැඩි මානසික පීඩනයට පත්ව, chonic stress, depression වැනි තත්ත්ව වලට පත්වන අවස්ථාත් තිබෙනවා. මෙන්න මේ හානිකර තත්ත්ව වලක්වා ගැනීමට තමයි respite care කියන පහසුකම වැදගත් වන්නේ.
මොකක්ද මේ රෙස්පයිට් කෙයා කියන්නේ. මෙතැනදි වෙන්නේ, ඩිමෙන්ෂියාව සමඟ ජීවත්වන්නාට සාත්තුකරන්නාට යම් විවේකයක් ලබා දීම සඳහා පුහුණුවක්, දැනුමක් සහිත යම් අයෙක්, අදාල සාත්තු ක්‍රියාවලියට මැදහත්වීම. උදාහරණයක්, අපි මෙහෙම හිතමු. ඔබ තමයි , ඩිමෙන්ෂීයාව සමඟ ජීවත්වන ඔබේ මවට සාත්තු කරන්නේ. දිනපතා, සතියේ දින හතේම සමහර විට දවස පුරාම මේ රැකබලාගැනීම හරිම පීඩාකාරීයි. මෙන්න මේ අවස්ථාවේ, ඔබේ සහෝදරියක් එනවා සති අන්තයට "වීකෙන්ඩ් එකේ ඔයා රෙස්ට් කරන්න, මම අම්ම බලාගන්නම්" සහෝදරිය කියන මේ වචන ඔබට ලොකු සතුටක් ගේනවා. ඒ මවට සාත්තු කිරීමෙන් ඉවත්වීමට හැකිවීම නිසාම නොවෙයි, ඔබට යම් විවේකයක්, සැහැල්ලුවක් ලබා ගැනීමට හැකිවීම නිසා. මෙයින් කියවෙන්නේ නෑ, ඔබ , ඔබේ මවට සාත්තු කිරීම කරන්නේ අකමැත්තෙන් බවක්. නමුත්, ඔබටත් යම් විවේකයක් අවශ්‍යයි. අන්න ඒ විවේකය ලබා දීම වෙනුවෙන් , ඔබේ සහෝදරිය මැදහත් වීම තමයි මෙතැනදි ඔබට respite care එකක් වෙන්නේ.
මේ විදියට රෙස්පයිට් කෙයා එකක් ලබා ගැනීම තුල, දිගු කාළීනව සාත්තුකරන්නා පත්විය හැකි caregiver burnout තත්ත්වයෙන් වලක්වා ගන්නට පුළුවන් වෙනවා. ඒ ඔස්සේ වැඩි කාළයක්, සාර්ථකව සාත්තුව ලබා දීමට අවශ්‍ය හැකියාව, ඒ ප්‍රධාන සාත්තුකරුට ලැබෙනවා. මෙතැනදි "සාර්ථකව" කියල කිව්වේ, ඔබ දැඩි වෙහෙසකින් නම් ඔබ ලබා දෙන සාත්තුව හොඳ මට්ටමක නොවෙන්න පුළුවන්. ඔබ පීඩාවෙන්, විඩාවෙන් සමහර විට හිතේ තරහක් වුනත් තියෙන්න බැරි නෑ. මේවගේ තත්ත්වයකදි "සාත්තුව" ප්‍රමාණවත් සාර්ථක මට්ටමක නොවෙන්න පුළුවන්.
දැන් කොහොමද මේ රෙස්පයිට් කෙයා එකක් ලබා ගන්නේ. මේ සඳහා සමහර රටවල විවිධ පහසුකම් තිබුණත්, අපි ලංකාවේ ඇතුලේ වඩාත්ම ලාබදායී ක්රමයේ සිට පටන් ගනිමු.
හිතන්න, ඔබේ පවුලේ අයෙක් ඩිමෙන්ෂීයාව සමඟ ජීවත්වන බව වෛද්‍යවරයා රෝග විනිශ්චයක් ලබා දෙනවා. දැන්, ඔබ, අදාල පුද්ගලයා වගේම මුළු පවුලේම අය එක්තරා විදියක කළබලයක්, බියක්, අවිනිශ්චිත බවකට පත් වෙනවා. එය සාමාන්‍යයි. මෙන්න මෙතැනදි ඇති වන පවුලේ කතාබහ තුලම, මේ රෙස්පයිට් කෙයා වගකීම් ගැනත් කතා කරන එකයි වඩාත්ම සුදුසු. පවුලේ තනි පුද්ගලයේ අදාල පුද්ගලයාගේ සාත්තුව "තනිව කරට ගන්නවාට" වඩා, පවුලේ කිහිපදෙනෙක් ඒ වගකීම බෙදාගැනීමයි වැදගත්. සමහර විට ඔබ නිවසේ සිට රැකියාව කරන නිසා, සතියේ දවස්වල ඔබ එම වගකීම බාර ගනිත්දි, සති අන්තය නිවාඩු ඔබේ සහෝදරිය සති අන්තයේ වගකීම බාර ගනීවි. එහෙම නැත්නම් තවත් අයෙක් තවත් එක් දිනයක, ඩිමෙන්ෂියාව සහිත පුද්ගලයා නිවසින් ඉවතට ගෙනයමින්, සතුටක් ලබා දෙන්නට කටයුතු කරාවි. මෙන්න මේ වගේ පවුල තුලම රෙස්පයිට් කෙයා ප්ලෑනක් හදා ගැනීමයි වඩාත්ම ලාබදායී.
මක්නිසාද, රෙස්පයිට් කෙයා සඳහා මුදල් ගෙවා පහසුකම් ලබා ගැනීමේදී ලොකු පිරිවැයක් දරන්නට වෙන්න වැඩි ඉඩක් තිබෙනවා. ඒ වගේම, ලංකාව වගේ රටකදී, එසේ පහසුකම් ලබා ගත්තත්, ඒ කුලී පදනම මත සාත්තුවට එන්නා "ඩිමෙන්ෂියා සාත්තුව" පිළීබඳ කොයිතරම් දැනුවත්ද, පුහුණුවක් ඇත්ද යන්න පිළිබඳ ඇති ගැටළුකාරී තත්ත්වය ඔස්සේ, ලැබෙන සාත්තුවේ සාර්ථක බව ගැන ගැටළු ඇති වෙන්නටත් බැරි නැහැ.
කෙසේ වෙතත්, ඊළඟ ඔප්ෂන් එක තමයි In-home respite services ලබා දෙන ආයතනයක් ඔස්සේ පැය කිහිපයකට හෝ රෙස්පයිට් කෙයා එකක් ලබා ගැනීම. මෙහිදී, නිවැරදි පුහුණුවක්, වගකීමක් සහිත ආයතනයත් ඔස්සේ මෙම සාත්තුව ලබා ගැනීම, "විය හැකි" ගැටළු සීමා කරන්නට උදව් වන බව මතක් කරන්නටම ඕන. එසේ නොවුනොත්, මේ පෞද්ගලිකව ලබා ගන්නා සාත්තුවේ අවසානයේ, ඩිමෙන්ෂීයාව සමඟ ජීවත්වන ඔබේ පවුලේ සාමාජිකයා තවත් පීඩාකාරී තත්ත්වයකට පත් වෙන්නටත් පුළුවන්.
ලංකාව තුල ඇත්දැයි මා පුද්ගලිකව නොදනිත්ත, අප ලබා දෙන සහ කළ හැකි තවත් රෙස්පයිට් කෙයා ක්‍රමයක් තමයි virtual respite programs. මෙතැනදී, ඩිමෙන්ෂීයාව සමඟ ජීවත්වන, නමුත් තවමත් දවසේ කටයුතු කරගැනීමට යම් හැකියාවක් සහිත පුද්ගලයන් වෙනුවෙන් අන්තර්ජාලය ඔස්සේ, පරිගණකය හෝ ඔවුනගේ ජංගම දුරකථනය ඔස්සේ යම් කාළසීමාවක්, යම් සැලසුම් කළ ක්‍රියාකාරකම් සමඟ එකතු කරගැනීමක් තමයි කරන්නේ. මෙතැනදි, අදාල කාළ සීමාව , සාත්තු කරන්නාට යම් විවේකයක් ලබා ගැනීමට පුළුවන් වෙනවා.
ඩිමෙන්ෂියාව ගැන අවධානය ඉහළ මේ වගේ රටවල භාවිතවන තවත් ප්‍රධාන, රෙස්පයිට් කෙයා ලබා දෙන ක්‍රමයක් තමයි Day programs කියන්නේ. මගේ වෘත්තීය පසුබිමත් ඇත්තේ මේ වැඩසටහන් සමඟ නිසා, day programs ඔස්සේ ලබා දිය හැකි සත්කාරය ගැන ප්‍රායෝගිකව විඳ තිබෙනවා. මෙහිදී, ඩිමෙන්ෂීයාව සහිත පුද්ගලයා, ප්‍රදේශයේ යම් මධ්‍යස්ථානයකට , ඩේ ප්‍රොග්‍රෑම් එකකට පැමිණෙන අතර, සාමාන්‍යයෙන් උදේ නමයේ සිට හවස තුන විතර වනතුරු අදාල වැඩසටහන තුල විවිධ කණ්ඩායම් ක්‍රියාකාරකම්, බුද්ධිය/මතකය පවත්වා ගැනීමට අදාල චිකිත්සීය ක්‍රියාකාරකම් සමඟ එක්වෙමින් කාළය ගත කරනවා. මෙම සියළු ක්‍රියාකාරකම් පවත්වාගෙන යන්නේ, ඩිමෙන්ෂීයාව පිළීබඳ වෘත්තීය දැනුමක් සහිත කණ්ඩායමක් නිසා, අදාල පුද්ගලයාගේ නිවසේ සාත්තු කරන්නාට හිත නිදහසේ තම "විවේක කාළය" ගත කළ හැකි වෙනවා.
Short-stay residential respite කියන්නේ, තවත් මේ වගේම , නමුත් දිනකට වඩා වැඩි කාළයක් ඩිමෙන්ෂීයාව සහිත පුද්ගලයා රඳවාගෙන රැකබලා ගත හැකි පහසුකමක්. තවමත් ලංකාවේ මේ සඳහාත් පහසුකම් ඇත්දැයි පුද්ගලිකව මා නොදනිතත්, assisted living or long-term care homes වැනි සෞඛ්‍යය ආයතන ඔස්සේ යම් කෙටි කාළයක් සඳහා මේ පහසුකම් , මුදල් ගෙවා ලබා ගන්නට පුළුවන්.
මීට අමතරව, මෙම රටවල නම් සමහර ස්වෙච්ඡා සංවිධාන, ප්‍රජා සෞඛ්‍යය සේවයේ ස්වෙච්ඡා කණ්ඩායම් හරහා, නොමිලේ රෙස්පයිට් කෙයා ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. මෙතැනදී, යම් පුහුණුවක් සහිත අයෙක්, දවසේ නිශ්චිත පැය ගණනක්, ඔබේ පවුලේ ඩිමෙන්ෂීයාව සමඟ ජීවත්වන්නා එක්ක ගත කරමින්, යම් සැලසුම්ගත ක්‍රියාකාරකම් සමඟ එක් කරගනිමින්, ප්‍රයෝජනවත් රෙස්පයිට් කෙයා එකක් ලබා දෙනවා.
මේ තමයි බහුලව භාවිත වන respite care පහසුකම්. මුදල් ගෙවා ලබා ගත හැකි තවත් ක්‍රම තිබෙනවා. නමුත් අඩුම තරමේ මේ ක්‍රම ටික ගැනවත් දැනුවත්ව, ඒ උදව් ලබා ගන්නට පෙළඹුනොත් එයම වාසියක් වේවි. ඒ වගේම, මෙය කියවන ලංකාවේ සිටින යම් අයෙක් මෙවන් සේවාවක් ඇරඹීම හෝ එවන් සැලසුමක් වෙනුවෙන් උත්සාහ කරනවා නම් ඒ වෙනුවෙන් සහයෝගය ලබා දෙන්නටත් අප සූදානම්. ඇත්තෙන්ම කිව්වොත්, මෙම SL Dementia ගෲප් එකේ එක අරමුණක් වුනේ Dementia Community Companion පිරිසක් ලංකාවේ සමාජයට එකතු කරන්නට. ඔබේ සක්‍රිය එක්වීම සහ පෙළඹවීම 2026 වසරේදී ලැබුණොත් අපට එවන් Dementia Community Companion පිරිසක් සමාජයට එක් කරවන්නට බැරි වෙන එකක් නැහැ.
එහෙම නම් මේ ඇති කියල හිතනව රෙස්පයිට් කෙයා ගැන කතාව. මේ ගැන තවත් ගැඹුරට විස්තර අවශ්‍ය අයෙක් වේ නම් , මගේ Chronicles පිටුව තුල ලිප පෙළක්ම ඇති. මේ ලිංක් එකෙන් ගොස් කියවන්න, යමක් ලබා ගන්න.
https://www.facebook.com/share/p/17dATy2rnA/
කියවූ ඔබට ස්තුතියි.
SL Dementia සමූහයේ මෙහෙයුමේ සාමාජිකයන් ඇතුළු ඔබ සියළු සාමාජිකයන්ට ලබන්නාවූ 2026 වසර සුව සතුට පිරි වාසනාවන්ත සුබ නව වසරක් වේවා!!